බයිස්කෝප් සිංහලෙන් 09 – Game of Thrones [S4E09 – The Watchers on the Wall] | ප්‍රාකාරය අනතුරක

game-of-thrones-all-men-must-dieකවුද මේ ජෝරා කියන්නෙ? ජෝරා කියන්නෙ වෙස්ටරොස් වල හිටපු නයිට් වරයෙක්. ඔහුගේ පියා තමා නයිට්ස් වොච් වල ප්‍රධානියා විදියට උන්නු ජෝර් මෝමන්ට්. මතක ඇතිනේ ජෝන් ස්නෝව් මුලින්ම නයිට්ස් වොච් ඇවිල්ලා අතවැසියා වුණේ මොහුට තමා. අර ක්‍රස්ටර්ස් කීප් වලදී තමුන්ගෙම කට්ටිය අතින් මැරුම් කෑවේත් මෙයාම තමා. ඒ මරපු කාල්ව මරන්න තමා ජෝන් ස්නෝව් මේ අදියරේ මුල් කොටස් වලදී ගියෙත්. ඉතින් මේ මෝමන්ට් වංශය කියන්නෙ ස්ටාක් වංශයේ අනු වංශයක් විදියටයි. ඔවුන් පාලනය කරන්නෙ බෙයාර් දූපත නැත්තම් වලස් දූපත කියන දූපතයි. එහි නායකයා වෙච්ච ජෝර් තම පුතා වෙච්ච ජෝරාට පාලනය භාර දීලා තමා නයිට්ස් වොච් වල නායකයෙක් වෙන්න යන්නේ. ජෝරා තමුන්ගේ නයිට් පදවිය ලබා ගන්නේ මේ රූපවාහිනී කතා මාලාව පටන් ගන්න අවුරුදු නවයකට විතර කලින් තිබ්බ ග්‍රේජෝයි වරුන්ගේ කැරැල්ල මැඩපවත්වන්න කරපු අවසන් සටනෙදි. අපි ඒ ගැන කලින් කතා කළා මතක ඇතිනේ.

නමුත් මේ ජෝරා තම ණය පියව ගන්න හොර දඩයක්කාරයෝ කට්ටියක්ව වහල් කමට විකුණන්න ගිහින් නෙඩ් ස්ටාක්ට මාට්ටු වෙනවා. වෙස්ටරොස් වල වහල් වෙළඳාම තහනම් වගේම හරිනම් හොර දඩයක්කරුවන්ට දඬුවම් විදියට ඔවුන්ව නයිට්ස් වොච් එකට දෙන්නත් ඕනා. ඉතින් නෙඩ් ස්ටාක් විසින් ජෝරව වෙස්ටරොස් වලින් පිටුවහල් කරනවා. වලස් දූපත දැන් පාලනය කරන්නේ ජෝරෝගේ සහෝදරියයි. (දැන් ජෝරා මේ සල්ලි හොයන්න හැදුවේ තම බිරිඳගේ අතිශය වියදම් කාරී මනදොළ සපුරන්න වුණත් අන්තිමේ එයත් ජෝරාව දාල තවත් ධනවතෙක් ළඟට ගිය බව තමා කියවෙන්නේ.) මේ පිටුවහල් කිරීමෙන් පස්සෙ ඔහු රං කණ්ඩායම කියන කුලී හමුදාවට බැඳිලා සටන් කරලා තියෙනවා. ඊට පස්සෙ තමා ඔහු ඩැනේරිස් හා කාල් ඩ්‍රාගෝ ගේ විවාහයෙන් පස්සෙ භාෂා කුසලතා මත ඔවුන්ට සේවය කරන්න බැඳෙන්නේ.

හැබැයි මේ අතරම ඔහු වෙස්ටරොස් වල වාරිස්ට ඇය ගැන ඔත්තු සපයනවා. ඔයාලට මතක නම් ඩැනේරිස්ට කාල් ඩ්‍රාගෝගේ දරුවා පිළිසිඳගෙන ඉන්න වෙලාවේ ඔහුට සමාව දානය කරලා ලිපියක් ලැබෙනවා. ඔහුට තේරෙනවා යම් දෙයක් සිදුවෙන්න යන බව. ඒ වෙලාවෙදි ඔහු ඒ වයින් පෙවෙන එක වලක්වලා ඇයව බේරගන්න සමත් වෙනවා. එදා ඉඳන් ඔහු ඇයට නියමාකාරයෙන් සේවය කරනවා. හැබැයි ඔහු කලින් ඔත්තු දුන් බව ඇයට ඔහු කියන්නෙ නෑ. ඉතින් ඒ හින්දා ටයිවින් ලැනිස්ටර් ගහන ගැටෙන්, මුල සිටන්ම ඩැනේරිස්ට සිටි වටිනා පුද්ගලයෙක්ව ඇයට අහිමි වෙනවා.

[divide style=”3″]

හොඳයි දැන් එහෙනම් ඉතිහාස පාඩම. අද මම මේ ලියන කොටස් සෑහෙන්න දීර්ඝ වශයෙන් ලියන්න ඕනා. ඒ මොකද කියනවනම් ඒ හැම එකකින්ම දැන් යන කථාවේ එක් එක් කොටස් වල අරුත පැහැදිලි කරගන්න ඉතා වැදගත් වෙනවා. ඒත් ගොඩක් ලොකුවට ලියන එක ප්‍රායෝගික නැති නිසාම මම බොහොම සැකවින් අවශ්‍ය කරුණු විතරක් ලියන්නම්.

මේ වෙස්ටරොස් වල අවුරුදු ගණන් කරන්නේ ඒගොන් නම් විජයග්‍රාහකයා හෙවත් ටාගේරියන් අධිරාජ්‍යා මුලින්ම වෙස්ටරොස් වලට ගොඩබැසිමේ අවුරුද්දට පෙර (Before Aegon’s Landing – BAL) හා පසු (Aegon’s Landing- AL) වශයෙනුයි.

ප්‍රාග් ඉතිහාසයේ වෙස්ටරොස් වල උන්නයි කියන්නේ Children of the Forest නම් මනුෂ්‍ය නොවන කණ්ඩායම් හා යෝධයන් ලෙස හඳුන්වන කොටසුයි.

 

12,000 BAL – මුල්ම මනුෂ්‍ය කොට්ඨාසය වෙච්ච පළමු මිනිසුන් (First Men) නම් කණ්ඩායම ඩෝන් හී අත නම් එසොස් හරහා බැදී තිබුණු භූමියක් හරහා වෙස්ටරොස් ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණය වළක්වන්න Children of the Forest වරු තම මායා බලය භාවිතා කොට එම කොටස කැබලි වලට බිඳ Stepstones නම් දූපත් සමූහය නිර්මාණය කළත් එම මිනිසුන් සාර්ථකව වෙස්ටරොස් ආක්‍රමණය කරන්න සමත් වෙනවා.

358px-Stepstones

 

[divide]

ඒත් Children of the Forest වරු තම මායා බලයෙන් මහා ජල ගැල්මක් නිර්මාණය කරලා THE NECK නම් කොටස ජලයයෙන් යට කරලා වහා වගුරක් බවට පත් කරවනවා. මේ හින්දා තමා අදටත් උතුරට මහා හමුදාවක් යවන්න භාවිතා කරන්න වෙන්නේ කිංග්ස් රෝඩ් නම් පටු පාර පමණයි. ඒ වගේම ඒක මෝට් කේලින් හරහා වැටී තියෙන නිසා තමා එතන ඉතා වටිනා වැදගත් යුධ මර්මස්ථානයක් වන්නේ.

358px-Stepstones

[divide]

10,000 BAL – දී Children of the Forest වරු හා පළමු මිනිසුන් (First Men) අතර ගිවිසුමක් අත්සන් කරනවා. ඒ අනුව පළමු මිනිසුන් (First Men) විවෘත භූමීන් හා Children of the Forest වරු වනාන්තර ප්‍රදේශ පාලනය කරන්න පටන් ගන්නවා. ඒ වගේම පළමු මිනිසුන් Old Gods of the Forest කියන දෙවියන්ට වන්දනා කරන්න පටන් ගන්නවා. ඒ වුණාට අයන් දූපත් වලට ගියපු පළමු මිනිසුන් ගේ කණ්ඩායම වෙනම දෙවියක් අදහන්න පටන් ගන්නවා.

[divide]

වීරයන්ගේ යුගය.

8,000 BAL – හිදී මහා සීතලක් පැමිණ වෙස්ටරොස් පරම්පරා ගණනාවක් සීතලට යටවෙනවා. මේ කාලෙදි ධවල ඇවිදින්නන් පැමිණ වෙස්ටරොස් ආක්‍රමණය කරනවා. ඉතින් Children of the Forest වරු හා පළමු මිනිසුන් (First Men) එකතුව මොවුන්ට විරුද්ධව සටන් වදිනවා. ඉතින් ක්‍රම ක්‍රමයෙන් මේ ආක්‍රමණීක ධවල ඇවිදින්නන්ව උතුරට පලවා හරින්න මොවුන් සමත් වෙනවා වගේම බොහෝ වීරයන් මේ යුගයේදී මතුවෙනවා. එයින් කෙනෙක් තමා බ්‍රැන්ඩන් ස්ටාක් නම් ගොඩනගන්නා. (Brandon Stark -the Builder) මොහු තමා අනාගත ආක්‍රමණ නැවැත්වීමට උපායන් හා මායාවන් භාවිතයෙන් ප්‍රාකාරය ගොඩ නගන්නේ. ඒ වගේම වින්ටර්ෆෙල් බලකොටුව, ස්ටාක් වංශය හා නයිට්ස් වොච් නම් ආරක්ෂක කණ්ඩායම් ගොඩ නගන්නේ මොහු විසිනුයි. සමහරුන්ට අනුව මොහු උතුරේ පළමු රජ ලෙස අභිෂේක ලබන බව කියවෙනවා. නමුත් ජයග්‍රහණය ලැබුවා වුණත් Children of the Forest වරුන්ට සිදුවන හානි ඉතා විශාල බැවින් ඔවුන් ක්‍රම ක්‍රමයෙන් වඳ වී යෑමට පටන් ගන්නවා.

මේ ප්‍රාකාරය හදන කොට ඊටත් උතුරින් සිටි පළමු මිනිසුන් (First Men) ස්වල්පයක් දෙනා ප්‍රාකාරය ගොඩ නැඟූ පසු වෙස්ටරොස් වලින් වෙන් වෙනවා. පසුව රාජධානී ගොඩ නැඟීම් වැනි සියලු දෙයින් වෙන් වන මොවුන්ගෙන් පැවතෙන අය පසු කාලීනව වෙස්ටරොස් වලම සතුරන් වෙනවා. ඔවුන්ටද නායකයෙක් ඇති අතර, ඔවුන් තමන්ව “නිදහස් මිනිසුන්” ලෙස හඳුන්වා ගත්තත් ප්‍රාකාරයට දකුණෙන් ඉන්න අය ඔවුන්ව ම්ලේච්ඡන් ලෙස සලකා “වනචාරීන්” ලෙස හඳුන්වනවා. ඒ වගේම ප්‍රාකාරයේ මුල්ම බලකොටුව නයිට්ෆෝට් වන අතර මේ වන විට තවත් බලකොටු 18 ක් එහි ගොඩ නගා තිබෙනවා.

[divide]

 

6,000 BAL – මේ යුගයේදී වෙස්ටරොස් වල තවත් විශේෂ සිදුවීමක් සිදුවෙනවා. ඒ තමා ඇන්ඩල් වරුන්ගේ ආක්‍රමණය. මේ සිදුවීම වෙස්ටරොස් වල සංස්කෘතියට බොහොම වෙනස් කම් සිදු කළ සිදුවීමක් වුණා (මේ ගැන වෙනම රචනාවක් ලියන්න පුළුවන් වුණත් ඒක දැන් නොකර ඉන්නම්කෝ). ඔවුන් පැමිණියේ එසොස් වල ඉඳගෙනයි. ඔවුන් මුලින්ම පටු මුහුද හරහා යාත්‍රා කර වෙස්ටරොස් වල ගොඩ බැස්සේ ඒරින් හී ඇඟිලි නම් හඳුන්වන භූමියටයි. 358px-Stepstonesපළමු මිනිසුන් (First Men) ගේ ලෝකඩ ආයුධ වලට හැප්පෙන්න සිදුවුණේ ඇන්ඩල් වරුන්ගේ ලෝහ හා වානේ සමඟයි. ඒ වගේම මේ වෙද්දි පළමු මිනිසුන් (First Men) වෙස්ටරොස් පාලනය කළේ සිය ගාණක් වූ කුඩා කුඩා රාජධානී විදියටයි. ඒ හින්දම වෙස්ටරොස් ආක්‍රමණය කරන්න ඇන්ඩල් වරුන්ට බොහෝ පහසු වුණ බව තමා කියවෙන්නේ. හැබැයි නැවත වතාවක් ස්ටාක් වංශයේ අය විසින් උතුර මේ ආක්‍රමණයෙන් බේරගන්න සමත් වෙනවා. ඒ ඇන්ඩල් වරුන්ට THE NECK කියන ප්‍රදේශය තරණය කරගන්න බැරි වෙන හින්දයි. ඒ හින්දම පසුව ඔවුන් උතුරේ රජ වරුන් හා එකඟතාවකට පැමිණ ඊට යටින් තිබෙන භූමිය පාලනය කරන්න තෝරගන්නවා. ඒ වගේම ඔවුන් කලින් යුද්ධයෙන් හොඳින්ම බැට කෑ Children of the Forest වරුන්ගේ මායාවන් ගැන දැනගෙන ඔවුන්ව සදහටම වෙස්ටරොස් වලින් අතුගා දානවා. ඉතුරු වූ ස්වල්පයක් වූ Children of the Forest වරු ප්‍රාකාරයෙන් එහා ශීත පෙදෙස්වලට ගිය බව තමා කියවෙන්නේ.

මේ ඇන්ඩල් වරු මුලින්ම ආක්‍රමණය කරනකොට ඔවුන් ආවේ සත් විශ්වාසය නම් ධජ පතාක යටතේයී. ඒ වගේම ඒක තමා ඔවුන්ගේ ආගම වුණෙත්. ඉතින් ඔවුන් ආවට පස්සෙ Old Gods of the Forest දෙවියන් ඇදහීම, ඔවුන් යටත් කර නොගත් උතුරට පමණක් සීමා වෙලා දකුණු දිග ප්‍රදේශ වල Faith of the Seven නම් දහම ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඇන්ඩල් වරු තමා නයිට්වරුන්ව හඳුන්වා දෙන්නෙත්. නයිට් වරු ගැන ලබන සතියේ කතා කරන්නම්.

ඉතින් මෙහෙම ගත්තහම දකුණේ උන්නු පළමු මිනිසුන් (First Men) සියලු දෙනාවම ඇන්ඩල් වරු මරා දැම්මේ නෑ. ඔවුන් මුලින්ම ගොඩ බැහැපු වේල් වල එහෙම වුණා වුණත් අනික් තැන් වල මරා දානවට වඩා පාලනය කරන්න තමා ඇන්ඩල් වරුන් පෙළඹුණේ. ඉතින් දකුණෙ උන්නු පළමු මිනිසුන් (First Men) හා ඇන්ඩල් වරුන් අතර ආවාහ විවාහ මඟින් භූමියේ අයිතිය තහවුරු කරගැනීම් වගේ ඒවා වෙච්ච බව තමා කියවෙන්නේ. ඒ වගේම උතුරේ වුණත් ආවාහ විවාහ ඇන්ඩල්වරුන් එක්ක සිදුවුණා. හැබැයි උතුරෙ කලින් තිබ්බ පැරණි භාෂාව වෙනුවට ඇන්ඩල් වරුන්ගේ භාෂාව වෙච්ච සාමාන්‍ය භාෂාවට හුරු වෙච්ච එක සිදු වෙච්ච සිදුවුණා. ඇන්ඩල් වරුන් උස, පැහැපත් කොන්ඩයෙන් යුතු ලස්සන අය කියලා තමා කියවෙන්නේ. ලැන්ස්ටර් වංශය මොවුන්ගේ ලේ වලින් පැවත එන්නන් වෙනවා.

මේ කාලයේ තව වෙච්ච විශේෂ දෙයක් තමා ඇන්ඩල් වරු 4,000 BAL දී පමණ අයන් දූපත් ආක්‍රමණය කිරීම. හැබැයි මෙහිදීත් පළමු මිනිසුන් වගේම ඇන්ඩල් වරුනුත් අයන්බෝන් මිනිසුන්ගේ සංස්කෘතියට හා ආගමට නැඹුරු වෙච්ච එක විශේෂ සිදුවීමක් විදියට සැලකෙනවා.

2,000-700 BAL – අතර වෙද්දි ක්‍රම ක්‍රමයෙන් දැනට තියෙන සත් රාජධානී සකස් වීම ඇරඹෙනවා. ඒ වෙද්දි තිබ්බ කුඩා කුඩා රාජ්‍යන් එකිනෙකා සටනින් පරාජය කොට භූමිය ඈඳෑගෙන හෝ විවාහ මඟින් උරුමයක් වෙනස් වීම මඟින් මෙසේ විශාල ලොකු රාජධානී බවට පත්වීමට පටන් ගත් බව තමා කියවෙන්නේ.

700 BAL – මේවා මෙහෙම වෙනකොට මීට යාබද එසොස් වල, 5,000 BAL වගේ ඉඳන් ආරම්භ වෙන්න ගත්ත හා ඉදිරියේදී තවත් අපි කතා කරන වැලේරියානු අධිරාජ්‍යය පැතිරෙන්න පටන් ගන්නවා. මේ වැලේරියානු අධිරාජ්‍ය මේ වෙනකොට අපි කලින් සතියේ සිතියම් වල දැක්ක එසොස් වල රොයින් ගඟ ආශ්‍රිත ප්‍රදේශ පහු කරලා මේ වෙද්දි නිදහස් නගර විදියට හඳුන්වන ප්‍රදේශයට පැතිරෙනවා. මේ වැලේරියන් වරු තමා මකරුන්ව හීලෑ කරගෙන යුද්ධ වලට යොදව ගන්නේ. ඉතින් මේ රොයින් ප්‍රදේශ වල රොයිනාර් වැසියනේ නායිකාව මේ මකරුන් එක්ක සටන් කරන්න බැරි බව තේරුම් අරගෙන වෙස්ටරොස් වල ඩෝන් වලට ඇවිල්ලා, එහෙ ඒ කාලේ උන්න මෝට් මාටෙල් කියන (ගිය සතියේ ද්වන්ධ සටනෙදි මැරුම් කෑව ඕබ්‍රන් කුමාරයාගේ මුතුන් මිත්තන්) වංශවතාව විවාහ කරගෙන මුළු ඩෝන් ප්‍රදේශයම යටත් කරගන්න ඔහුට උදව් කරනවා.

400 BAL – මේ අතර ස්ටාක් වංශයේම උප වංශයක් විදියට උන්න බෝල්ටන් වංශය කැරලි ගහන්න ගන්නවා. හැබැයි ඒක ස්ටාක් වංශය විසින් මැඩපවත්වනවා. (මේ වෙද්දි රූස් බෝල්ටන් ගන්නෙ මේ ආදීකාලීනයේ ඉඳන් එන වෛරය පිරිමහන එක වෙන්න ඕනා.)

360 BAL – The Stormlands වල ස්ටෝම් රජවරුන් විසින් Riverlands ආක්‍රමණය කිරීමත් සමඟ ජාතීන් ගණන හතකට බහිනවා. එනම් උතුරු රාජධානිය, වේල් රාජධානිය, දූපත් හා ගංඟා රාජධානිය, රොක් රාජධානිය, රීච් රාජධානිය, ස්ටෝම් රාජධානිය හා ඩෝන් රාජ්‍යයයි.

300 BAL – අලුතෙන් පිහිට වූ ෆ්‍රේ වංශය විසින් The Twins නමින් පාලමක් හදනවා. ඒක උතුරේ සිට දකුණට එද්දි හමුවෙන වැදගත් ස්ථානයක්. (ඔයාලට මතකනම් රොබ් ස්ටාක්ට මේ පාලම හරහා යන්න එකඟ වෙන විවාහය කඩ කිරීම නිසා තමා වෝල්ඩර් ෆ්‍රේ පසුව ඔහුව මරන කුමන්ත්‍රණයට එකඟ වෙන්නේ.)

200 BAL – එසොස් වල මකර ටාගේරියන් පාලකයා දකින දර්ශනයක් නිසා ඩ්‍රැගන්ස්ටෝන් කියන දූපත අල්ලාගෙන තමුන්ගේ වෙළඳ නගරයක් විදියට පාවිච්චියට ගන්නවා.(මතක ඇති අපි කලින් මේ දූපත ගැන කතා කළා. ස්ටැනිස් බැරැතියන් ඉන්නෙ මෙහෙ තමා)

100 BAL – මේ කාලයේදී අර බලගතු වැලේරියානු අධිරාජ්‍ය විනාශ වෙනවා. ඒ අධිරාජ්‍යයේ හදවත බඳු නගරය විශාල ගිනිකඳු පිපිරමකින් විනාශ වෙලා අළු වලට යට වෙනවා. අර මකරුන්ගෙන් වැඩි ප්‍රමාණයක් එහිදි මිය යනවා. ඒ ප්‍රදේශයේ මුහුද තවමත් විෂ සහිත බව තමා කියවෙන්නේ. හැබැයි මේ විනාශයට කලින් ටාගේරියන් පවුලේ අයව ඩ්‍රැගන්ස්ටෝන් දූපතට එන්න සමත් වෙනවා. මින් පස්සෙන් පහු තමා ක්‍රමක්‍රමයෙන් ඒ අධිරාජ්‍ය කැබලි වලට කැඩිලා නිදහස් නගර නවය වගේම, ඩොත්රාකි වරු වගේම අපි කලින් කොටසෙදි කතා කරපු විදියටම වහල් බොක්ක ආශ්‍රිතව වෙළඳ නගර බිහිවෙන්නෙ.

 

60 BAL – අයන් දූපත් වැසියෝ තම භූමිය දූපත් වලින් පිටට ව්‍යාප්ත කරගන්න සමත් වෙනවා. ඒක කොච්චරද කියනවනම්, බ්ලැක්වෝටර් සිට NECK දක්වාත් බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළ දක්වාත් කියලා තමා කියවෙන්නේ. ඉතින් මේක පටන් ගත්ත රජතුමාගේ මුණුබුරා වෙච්ච Harren Hoare විසින් තම ධනය බලය පෙන්වීමට භූමියේ සිට බිඳ නොහැලිය හැකි ආකාරයේ බලකොටුවක් තනන්න ගන්නවා. ඒ දේව ඇස නම් විලේ උතුරු ඉවුරේයි.358px-Stepstonesඑනම් හැරන්හෙල් (Harrenhal)බලකොටුවයි.

හැබැයි මේ ශ්‍රේෂ්ඨ නිර්මාණය හදලා ඉවර කරන දවසෙම වෙස්ටරොස් ඉතිහාසයේ තවත් එක වැදගත් සන්ධිස්ථානයකට මුහුණ දෙන්න සිදුවෙනවා.

[divide]

ටාගේරියන් ආක්‍රමණය.

358px-Stepstones

 

2 BAL – 0 AL – ඒ තමා එසොස් වල ටාගේරියන් අධිරාජ්‍යයේ විනාශයෙන් සියවසකට පස්සෙ එම වංශයේ ඒගොන් අධිරාජ්‍යා වෙස්ටරොස් වලට ඉතා කුඩා හමුදාවත් හා බිහිසුණු ආයුධයක් එක්ක ගොඩ බහිනවා. ඒ ගොඩ බහින්නෙ පසුව කිංග්ස් ලෑන්ඩින් විදියට වෙනස් වෙච්ච ප්‍රදේශයේ තියෙන බ්ලැක්වෝටර් බොක්ක නම් බ්ලැක්වෝටර් රශ් (පිංතුරයේ රතු පාටින් දක්වා තියෙන) කියන ගඟ මුහුදට වැටෙන ස්ථානයට.ඊට පස්සෙ මුහුදට නෙරාගිය ස්ථානයක ලී බලකොටුවක් හදනවා. (දැන් එතෙන්ට කියන්නෙ රෙඩ් කීප් කියලා. එහෙ තමා දැන් රජු නැවතිලා ඉන්න මන්දීරය) දැන් මේ ප්‍රදේශය මම කලින් කිව්වා වගේ යටත් කරන් ඉන්නේ අයන්බෝන් මිනිසුනුයි. ඒ ගැන උදහසින් ඉන්න භූමියේ උරුමකරුවන් වෙච්ච ටලි වංශයේ උදව් ඇතිව මේ ඒගොන් විසින් අලුතෙන් හැදූ හැරන්හෙල් බලකොටුව වට කරනවා. ඊට පස්සේ Harren Hoare ඒගොන්ට යටත් වෙන්න ප්‍රතික්ෂේප කළාම ඔහු තම රහස් ආයුධය පාවිච්චි කරනවා. ඒ තමා ඉතිරිව ඉන්න අවසාන මකරුන් තිදෙනා. ඒ මකරුන් විසින් හැරන්ව පණපිටින් පුළුස්සා තිබෙනවා. ඒ බලකොටුවත් විනාශ වෙනවා. ඒ බලකොටුවේ නටඹුන් දර්ශන ඔයාල කලින් කතා මාලා වලදි දකින්න ඇති. ඒ වගේම රිවරන් වල පාලනය තමාට උදව් කල ටලී වංශයට භාර දෙනවා.

ඉතුරු වෙච්ච අයන්බෝන් වැසියෝ පලා ගිහින් පසුව යටත් වෙනවා. අයන් දූපත් වල පාලනය යටත් වෙච්ච පයික් හී ග්‍රේජෝයි වංශයට බාර දෙනවා. ඒ වගේම ඒගොන් ගේ අවජාතක අඩ සොහොයුරෙක් වෙච්ච ඕරිස් බැරැතියන් විසින් ස්ටෝම් රජුව පරදා එහි පාලනය බාර ගෙන බැරැතියන් වංශය පිහිටුවනවා.

ලැනිස්ටර් වරු හා ගාඩ්නර් වංශය ඒගොන් හා සටනට යනවා. මකරුන් අතින් මිනිසුන් 4000 ක් පණ පිටින් පුළුස්සා දැමූ පසු, ලැනිස්ටර් වරු යටත් වෙනවා. ඔවුන්ට වෙස්ටර්ලෑන්ඩ් වල පාලනය බාර දෙනවා. ගාඩ්නර් වංශය විනාශ වෙන අතර ඔවුන්ගේ ආවතේව කරන්න උන්නු ටයිරෙල් වංශයට රීච් ලබා දෙනවා. ඒ වගේම ස්ටාක්වරු හා ඒරින් වරුත් සතුරාගේ ප්‍රබලත්වය දැකලා සාමාකාමී විදියට යටත් වෙනවා. හැබැයි ගරිල්ලා සටනකට ගිහින් මකරුන්ගෙන් බේරෙන ඩෝන් යටත් කරගන්න අසමත් වෙන ඒගොන් පසුව ඔවුන්ට ස්වාධීනව ඉන්න ඉඩ දීලා විජයග්‍රාහී සටන අවසන් කරනවා.

ඒ වගේම ඒගොන් විසින් ඊට පසු කිරුළු පළඳින අතරම එදා සිට නව අවුරුදු ක්‍රමයක් හඳුන්වා දෙමින් එය 1 AL (Aegon’s Landing) ලෙස නම් කරන අතර තමන් ගොඩ බැහැපු භූමියේ කිංග්ස් ලෑන්ඩින් නගරය ගොඩනඟනවා. (වර්ෂ ක්‍රමය සමහර විටෙක AC (After Conquest) ලෙසත් හඳුන්වනවා.

[divide]

ටාගේරියන් පාලන සමය.

ටාගේරියන් පාලන සමයේ එක් එක් රජවරුන්ගේ අතිරේක කතා තිබ්බත් විශේෂම සිදුවීම් ඇර අනික්වා හිස්ව තියන්නම්. 😉

37-48 AL – පළමු ඒගොන් රජුගෙන් පසුව (ඔහුගේම සහෝදරියකුට දාව උපන්) ඔහුගේ පුත් ඒනිස් බලයට පත්වේ. (Faith of the Seven ආගමෙන් මේ අපචාරය නිසා ඔහුගේ නීත්‍යානූකූල බවට විරුද්ධව ඇතිවෙන කැරැල්ලක් ඔහුගේ අඩ සොහොයුරු මේගෝර් විසින් කුරිරු ආකාරයට මර්දනය කරමින් රාජ්‍ය පාලනය කරනු ලබයි)

48 AL – ඒනිස් පුත් පළමු ජහඑරිස් බලයට පත් වී මෙම ප්‍රශ්නය නිරාකරණය කොට එකඟතාවක් ඇතිකර ගනු ලබයි. ඒ වගේම නයිට්ස්වොච් කණ්ඩායම නයිට්ෆෝට් අතහැර කාසල් බ්ලැක් වෙත තම මූලස්ථානය ගෙන යනු ලබයි.

129-131 AL – එක්සත් සත් රාජධානියේ මුල්ම සිවිල් යුද්ධය හට ගනී. බලයට පත් කළ රජට විරුද්ධව ඔහුගේම සහෝදරයිට යුද ප්‍රකාශ කරන අතර ඔවුන්ගේ මකරුන් මකරුන්ට විරුද්ධව යුද වදී. යුද්ධය අවසාන වන විට ඉතිරි වන එකම මකරාත් අවසානයේ මිය යයි.

157-161 AL – වයස අවුරුදු 14 දී බලයට පත් වෙන ප්‍රථම ඩේරොන් විසින් ඩෝන් වලට විරුද්ධව යුද වදී. ඔහු ජයග්‍රහණයට ආසන්න වන මුත් ඔහු වැඩ බැලීමට පත් කළ ටයිරෙල් වරු ඩෝන් වෙත හිතවත් බැවින් කැරැල්ලක් ඇති කරයි. එමඟින් රජතුමා මිය යන අතර ඔහුට ළමුන් නැති නිසා තම සොහොයුරා වූ බේලන් රජකමට පත්වී ඩෝන් වලින් විවාහයක්ද කරගෙන එම මතභේදය සමථයකට පත්කරනවා.

161-171 AL – මේ තමා ආශිර්වාද ලත් බේලන්ගේ රාජ්‍ය සමය. ඔහු ඉතා තදබල ලෙසම බ‍්‍රහ්මචාරී විදියට හිටපු කෙනෙක්. තම වර්ගයාගේ පිළිවෙළ අනුව තමන්ගේම සහෝදරියක් විවාහ කරගැනීමට වේ යැයි සිතා, තම සහෝදරියන්වද රෙඩ් කීප් වල කුළුණක සිර කරපු බව සඳහන්.

172-184 AL – මේ කාලයේ වෙස්ටරොස් ඉතිහාසයේ දරුණුම රජෙක් සතර වැනි ඒගොන්ගේ රාජ්‍ය සමයයි. ඔහු තම අවජාතක පුතෙක්ට ඩේමොන් බ්ලැක්ෆයිර් යන නාමයෙන් වංශයක් ආරම්භ කිරීමට ඉඩ දෙනවා.

195-196 AL – මේ කාලයේදී දෙවන ඩේරොන් රජගේ නීත්‍යානූකූලබව අභියෝගයකට ලක් කරමින් බොහොම දරුණු ගණයේ යුද්ධයක් ඇති වෙනවා. ඩේමොන් බ්ලැක්ෆයිර් රජ කමට සුදුසුකම් කියමින් ආරම්භ කළ මෙය පළමු බ්ලැක්ෆයිර් කෝලහාලය යන නමින් හැඳින්වෙන. රජට මේ සිවිල් යුද්ධය ජය ගන්න ඩෝන් හමුදාවල සහය ලැබෙනවා.

197 AL – ඩෝන් හමුදාවට ස්තූතිය පළකිරීම පිණිස තම බාල සොහොයුරියක්ව ඩෝන් හී මේරොන් මාටෙල්ට සරණ පාවා දී නිල වශයෙන් ඩෝන් භූමියත් සත් රාජධානියට එකතු කරගන්නවා.

209 AL – Great Spring Sickness නමින් මහා වසංගතයක් පැමිණ ඩේරොන් රජ මෙන්ම ඔහුගේ උරුමකරුවන් බොහෝ දෙනෙක් මිය යනවා. පළමු ඒරිස් ටාගේරියන් රජකමට පත් වෙනවා.

211 AL – බ්ලැක්ෆයර් අනුගාමිකයින් දෙවන බ්ලැක්ෆයිර් කැරැල්ල ආරම්භ කරන්න හිතුවත් එය හෙළිවී ඩේමොන් බ්ලැක්ෆයර්ගේ එක පුත්‍රයෙක්ව අල්ලාගෙන තවත් බ්ලැක්ෆයර් කුමන්ත්‍රණ කරුවන් බොහෝ දෙනෙක්ව මරා දමනවා.

221 AL – පළමු මේකාර් රජකමට පත්වේ.

233 AL – රජු මිය ගිය විට ඔහුගේ පළමු පුතුන් දෙදෙනාද මිය ගොස් ඇති බැවින් තෙවන පුතුට රජකම දුන්නත් ඔහු එය ප්‍රතික්ෂේප කොට ප්‍රාකාරයට යනවා. (ඔහු තමා අදටත් ප්‍රාකාරයේ ඉන්න අන්ධ තැනැත්තා. ජොන් ස්නෝව්ට කැමති කෙනා) එවිට හතර වෙනි පුතා පස්වන ඒගොන් ටාගේරියන් රජ කමට පත්වෙනවා.

233-259 AL – පස්වන ඒගොන් ටාගේරියන් ගේ රාජ්‍ය සමය බොහොම සාමකාමී කාලයක් වන අතර ඔහුගේ රාජ්‍ය සමයේ අවසාන කාලයේ තමා ප්‍රධාන ආචාරී තනතුරට පයිසෙල් පත්වෙන්නේ.

257-259 AL – පස්වෙනි බ්ලැක්ෆයිර් කැරැල්ල ලෙස හැඳින්වෙන Ninepenny රජුන්ගේ යුද්ධය ආරම්භ වෙනවා. කුලී හේවායන්, වාසනාව සොයන්නන් සමඟ බ්ලැක්ෆයිර් පරපුරේ මේලිස් වෙස්ටරොස් ආක්‍රමණය සඳහා පැමිණෙනවා. ඒත් ජොෆ්‍රී නෙරපලා දැන් ඩැනේරිස් ගාව ඉන්න සර් බැරිස්ටන් සෙල්මි විසින් මේලිස්ව ද්වන්ධ සටනකදි මරලා දාලා බ්ලැක්ෆයිර් පරපුර අවසාන කරවනවා.

259 AL – ඒගොන් රජු හා ඔහුගේ පුත් ඩන්කන් කුමරු සමර්හෝල් ගින්නෙන් මිය යනවා. ඒ ඔවුන් මකර බිත්තර තුනකින් පැටවුන් ගැනීමට යෑමේදී කියලා තමා කියවෙන්නේ. ඒ බිත්තර එම ගින්නෙන් විනාශ වූවා කියලා තමා සැලකුනේ.

Mad King (පිස්සු රජුගේ) පාලන සමය.

259 AL – පස්වෙනි ඒගොන් රජුගේ පුත් දෙවෙනි ඒරිස් ටාගේරියන් රජකමට පත් වෙනවා. මේ තවත් එක වැදගත් කාල සමයක්. ඔයාල ගොඩක් පිස්සු රජා ගැන කතා වෙනවා අහලත් ඇති. මේ තමා ඔයාලා දන්න, දැනට වහල් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ මකරුන් තුන්දෙනෙකුත් එක්ක ඉන්න ඩැනේරිස් ගේ තාත්තා.

ඇත්තෙන්ම ඔහු රාජ්‍ය පාලනය පටන් ගන්නේ බොහොම සුභවාදි විදියටයි. ඔහුගේ පියාගේ හා සීයාගේ කාලේ ඉඳන්ම රාජ සභාවේ උන්න මහලු අයව අයින් කරලා තරුණ ශක්තිමත් අයව ඒ වෙනුවට ආදේශ කරපු බව කියවෙනවා. ඉතින් ඔහුගේ රාජ්‍ය සමය මුලින් හොඳ විදියට ආරම්භ වුණත් පසුව තමා ඔහුට පිස්සු වැටෙන්නේ. මොහුගේ රාජ්‍ය සමය අතරතුර 270 AL දී පමණ ලැනිස්ටර් වරුන්ට විරුද්ධව රෙයින් වරු කැරැල්ලක් ඇතිකරනවා ලැනිස්ටර් පාලන ප්‍රදේශ වලම. මේ කැරැල්ල එවකට තරුණ ටයිවින් ලැනිස්ටර්විසින් බොහොම දරුණු ආකාරයට මර්දනය කරලා ඉතුරුවුණ සියලුම රෙයින් ළමයින් පවා මරපු බව තමා කියවෙන්නේ. ඉතින් මේ අනුකම්පා විරහිත ස්වභාවයට කැමති වෙන පිස්සු රජ තමාගේ කින්ග්ස් හෑන්ඩ් තනතුරට ඔහුව පත් කරගන්නවා.

ඉතින් මේ අතරතුරේදී ටයිවින්ට ඕනා වෙනවා තමාගේ දියණිය වෙච්ච අපි හැමෝම දන්න සර්සිව පිස්සු රජාගේ පුතා වෙච්ච රේගාර්ට බන්දලා දෙන්න. හැබැයි ඒකට අකමැති වෙන රජු කරන්නෙ ඔහුව ඩෝන් වල එලියා මාටෙල්ට (ගිය සතියෙ මැරුණු ඕබ්‍රන් කුමාරයාගේ අක්කට) බන්දලා දෙනවා. ඕකට ටයිවින් නොසතුටෙන් ඉන්න බව දන්න පිස්සු රජාට මාළිගාවේ තැන් තැන් වල ටයිවින් තමා සත් රාජධානිය ඇත්තටම පාලනය කරන්නේ කියලා කථාවෙනවා ඇහෙනවා. මේ අතර ඩාක්ලින් කියන වංශවතා බදු ගෙවීම ප්‍රතික්ෂේප කරලා ඇතිකරන ප්‍රශ්නය ටයිවින්ගේ උදව් නොගෙන තනිවම විසඳන්න යන පිස්සු රජාව ඒ වංශවතා විසින් හිරකරනවා. ඔහුව පස්සෙ බේරගන්නේ ටයිවින් හා බැරිස්ටන් සෙල්මි විසින්මයි. ඔය සිදුවීමෙන් පස්සෙ තමා ඔහුගේ මානසික ස්වභාවය වෙනස් වෙන්න ගත්තෙ කියලා තමා කියවෙන්නේ.

මේ අතර 280 AL හිදී තවත් සිදුවීමක් සිදුවෙනවා. රජු හා ඔහුගේ පුතා වෙච්ච රේගාර් තරඟාවලියකට යනවා. (නයිට්වරු තරඟ කරන එකක් අපි දැක්කා මතක ඇතිනේ S01 එකේදී) මේක ජයග්‍රහණය කරන රේගාර් තම බිරිඳ වෙනුවට ස්ටාක් පවුලේ සුරූපි දියණියක් වෙච්ච ලියෙන්නා ස්ටාක්ව (නෙඩ් ස්ටාක්ගේසහෝදරියව) නම් කරනවා ආදරයේ හා ලස්සනේ රැජින විදියට. ඒ වගේම ජේමි ලැනිස්ටර් ගේ දස්කම් දකින පිස්සු රජා ඔහුව කිංග්ස්ගාඩ් ආරක්ෂක අංශයට් බඳවගන්නවා. මේකට ජේමි ආඩම්බර වුණත් ටයිවින් හොඳටම උරණ වෙනවා. ඒකට හේතුව තමා කිංග්ස්ගාඩ් ආරක්ෂකයෙක්ට පවුලක් නඩත්තු කරන්න බැරි නිසා ටයිවින්ට තම නාමය ගෙනියන්න දරුවෙක්ට ඉතුරුවෙන්නෙ අපි හැමෝම දන්න කොට ආදිපාදතුමාපමණක් වීම හා කවදහරි ටයිවින් කැරැල්ලක් ගැහුවොත් පිස්සු රජා ගාව ප්‍රාණ ඇපකාරයෙක් විදියට ජේමි සිටීම. ඉතින් සර්සිගේ පලහිලව්ව කෙසේ වෙතත් මේ සිද්ධියෙන් පස්සේ ටයිවින් තම තනතුර දමලා ගහලා ආපහු කාස්ලිරොක් වෙත යනවා.

මීට ටික කාලෙකට පස්සේ පිස්සු රජාගේ පුත්‍ර රේගාර් කුමාරයා විසින් ස්ටාක් පවුලේ අර සුරූපි දියණිය ලියෙන්නා ස්ටාක්ව පැහැරගෙන අතුරුදහන් වෙනවා. මේ වරදට යුක්තිය ඉල්ලලා පිස්සු රජා ගාවට ලියෙන්නා ස්ටාක්ගේ පියා රිකාඩ් ස්ටාක් හා ලියෙන්නාගේ එක් සහෝදරයෙක් වෙච්ච බ්‍රැන්ඩන් ස්ටාක්යනවා. පිස්සු රජා මේ දෙන්නවම ප්‍රසිද්ධියේ කෲර විදියට මරලා දානවා.

[divide]

රොබට් බැරැතියන්ගේ කැරැල්ල.

280-281 AL – මේ පිස්සු රජාගේ ක්‍රියාව නිසා දැන් ස්ටාක් පවුලේ ප්‍රධානියා වෙච්ච අපි හැමෝම දන්න නෙඩ් ස්ටාක් හා ලියෙන්නා විවාහ ගිවිසගෙන සිට රොබට් බැරැතියන් යුද ප්‍රකාශ කරනවා. මීට එතකු වෙනවා, ඔවුන් දෙදෙනාගේම උපදේශකයෙක් වූ වේල් වල අධිපති ජෝන් ඇරන්. ඊට පස්සේ මරා දැමුණු බ්‍රැන්ඩන් විවාහ කරන්න නියමිතව උන්න කැට්ලින් ටලි ව විවාහ කරගන්න නෙඩ් පොරොන්දු වීම නිසා කැට්ලින් ගේ පියා වෙච්ච හොස්ටර් ටලි වංශාධිපතියත් එකතු වෙනවා. ඒ වගේම ටලි වංශාධිපතියා තම සහයෝගය වඩාත් ස්ථිර කරන්නට තම දෙවන දියණිය වූ ලයිසාව ජෝන් ඇරන්ට සරණ පාවා දෙනවා. ඉතින් ඔවුන් රජුට පක්ෂපාත කොටස් සමඟ සටන් කරමින් ඉදිරියට එන විට ලැනිස්ටර් මේ සටනේ මොන පැත්තක්වත් නොගෙන කාස්ලිරොක් වලටම වී සිටිනවා.

මේ අතර රේගාර් කුමාරයාත් සටනට යන අතර ට්‍රිඩන්ට් සටනේදී ඔහු පරාජය වී මිය යනවා. මෙන්න මේ අවස්ථාවේ ළඟ එන රොබට්ගේ හමුදාවලින් පරාජය නියත බව දැනගන්න පිස්සු රජා සතුරා කිංග්ස් ලෑන්ඩින් වලට ඇතුළු වූ විට නගරයත් පුළුස්සා විනාශ කර දැමීමට නගරයේ තැන් තැන් වල වයිල්ඩ්ෆයර් නම් ද්‍රව්‍ය සඟවා තිබෙනවා. මෙන්න මේ මොහොතේ මෙච්චර කල් රජුගේ උදව්වට නොපැමිණි ටයිවින් ලැනිස්ටර්නගරය ආසන්නයට පැමිණ නගරයේ ද්වාර විවෘත කොට ඔවුන්ව ඇතුළට ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. හැබැයි ඔවුන්ව ඇතුලට ගත්ත ගමන්ම ඔහු රජුගේ ආරක්ෂකයන්ට පහර දෙන්න ගන්නවා. මේක දැනගන්න පිස්සු රජා ජේමිට කියනවා තම පියාවූ ටයිවින් ලැන්ස්ටර්ගේම හිස රැගෙන එන ලෙස. මේ නියෝගයට වගේම නගරය විනාශ කරන්න යන බව දැනගෙන්න ඉන්න ජේමි විසින් පිස්සු රජාගේ පසුපසෙන් සිට ඔහුට තම කඩුවෙන් ඇන ඔහුව ඝාතනය කරනවා. මෙතන ඉඳන් තමා ඔහුට රජුන් නසන්නා යන නාමය පට බැඳෙන්නේ.

ඒ වගේම රොබට් ප්‍රමුඛ හමුදාව කිංග්ස් ලෑන්ඩින් එනකොට ලැනිස්ටර් රේගාර් කුමාරයාගේ බිරිඳ වෙච්චඑලියා මාටේල් ව හා දරුවන් දෙදෙනාවත් මරා දමා ඔහුට තම පක්ෂපාතීත්වය පළකළ බව සඳහන්. මතක ඇතිනේ මේක ගැන තමා ඕබ්‍රන් කුමාරයා අහන්නෙත්. ඒ වගේම ජේමි පිස්සු රජාව මරලා සිංහාසනය මත ඉඳගෙන උන්න කියලත් කියවෙනවා. හැබැයි ටාගේරියන් අනුගාමිකයින් විසින් පිස්සු රජාගේ ඉතුරු දරුවන් දෙදෙනා වෙච්ච විසේරිස් හා ඩැනේරිස්ව හොර රහසේ එසොස් වෙත රැගෙන යන්න සමත් වෙනවා.(ඩැනේරිස් ට රජකමේ උරුමය තියෙන්නෙ කොහොමද කියලා පැහැදිලියි නේ)

ඉතින් රජ පවුල වෙච්ච ටාගේරියන් පවුලේ ලේ උරුමයකින් (මම උඩින් ලියලා තියෙන ටාගේරියන් ආක්‍රමණය කොටස බලන්න) පැවත එන වංශයක් වෙච්ච රොබට් රජු විදියට අභිෂේක ලබනවා. ඒ වගේම ලැනිස්ටර් වරුන් හා තිබෙන බැඳීම ශක්තිමත් කරන්න සර්සි ලැනිස්ටර්ව සරණ පාවා ගන්නවා. ජේමිට රාජ ඝාතන චෝදනාවට සමාව දීලා ඔහුව නැවතත් කිංග්ස්ගාඩ් ආරක්ෂක අංශයේම පිහිටුවනවා.

[divide]

රොබට් බැරැතියන් ගේ පාලන සමය.

රොබට් රජු සර්සිව බැන්දට හැබැයි ඔහු ඇයට ආදරය කරන්නෙ නෑ. හැබැයි ඔහු බොහොම සල්ලාල රජෙක් බව තමා කියවෙන්නේ. ඒ වගේම ඔහුට දාව ළමුන් තිදෙනෙක් සර්සි බිහි කළත් අපි දැන් දන්නවනේ එයාලා ඇත්තටම ඇගේ සහෝදර ජේමිට දාව උපන් අය කියලා.

289 AL – අයන් දූපත් වල බේලන් ග්‍රේජෝයි කැරැල්ලක් පටන් ගන්නවා. මේ කැරැල්ල රොබට් හා නෙඩ් විසින් මර්දනය කරනවා. එහිදී බේලන් ග්‍රේජෝයිගේ වැඩිමහල් පුතුන් දෙදෙනා මිය යනවා. පොඩිම පුතා වෙච්ච තියෝන් ව නෙඩ් ළඟ ප්‍රාණ ඇපකරුවෙක් වෙන පොරොන්දුව පිට ආපහු බේලන් හට පාලනය භාර දෙනවා. මේ පලිය තමා බේලන් රොබට් ස්ටාක් යුද්ධයට ආධාර ඉල්ලපු වෙලාවේ අරගන්නේ.

297 AL – එසොස් වල පෙන්ටොස් වල ප්‍රභූවරයෙක් වූ ඉලීරියෝ මොපාටිස් විසින් පිස්සු රජු ගේ ඉතුරු වෙච්ච ළමයි දෙන්න වෙන ඩැනේරිස් හා විසේරිස්ට තම මන්දීරයට ආරාධනා කරනවා නැවතත් කිරුළ දිනාගැනීමට උදව් දෙන්න.

298 AL – Game of Thrones පළමු අදියරේ සිදුවීම් පටන් ගත් කාලයයි.
299 AL – Game of Thrones දෙවන අදියරේ සිදුවීම් සිදුවෙන කාලයයි.
300 AL – Game of Thrones තෙවන අදියරේ සිදුවීම් සිදුවෙන කාලයයි.
301 AL – Game of Thrones මේ අදියරේ (සතරවෙනි අදියරේ) සිදුවීම් සිදුවෙන කාලයයි.

මේ කාල සීමාවන් රූපවාහිනී කතා මාලාවේ කාලසීමායී. පොත් වල මේවලට සුළු සුළු වෙනස් කම් තියෙනවා කියලා කියවෙනවා.

[divide style=”2″]

ලිපියරොයිලි ප්‍රනාන්දු

මව් අඩවියේ ලිපිය හා මෙතනින් සම්බන්ධ වන්න.

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!