Gotham – 01×07 – Penguin’s Umbrella ***Spoilers***
ගිය පාර මතකනේ ඔස්වල්ඩ් ගෝතම් පොලිස් ස්ථානයට ආව සිද්දියෙන් තමයි කතාව ඉවර උනේ. ඒකත් එක්ක ඇතිවුණු සිද්දි දාමය මොකක්ද කියලා අද කතාවෙන් අපි බලමු.
අද කතාවේ තියන විශේෂත්වය තමයි වෙනදා වගේ අපිට කතාවේ රහස් පරීක්ෂණයක් දකින්න ලැබෙන්නේ නෑ. මොකද සේරම චරිත ටික අසාමාන්‍ය විදිහට කාර්යය බහුල වෙනවා ගිය සතියේ ඔස්වල්ඩ් ගේ පෙනී සිරිමත් එක්ක.
• හැමදාම කියනවා වගේ මේ සතියෙත් ඔස්වල්ඩ් ඉනිමගේ පියවර එකක් නෙවේ දෙක තුනක්ම නැග්ගා. කතාව පටන් ගන්නේ කොහොමද ඔස්වල්ඩ් ගේ එහෙමත් නැතිනම් පෙන්ගුවින් ට දැන් තියන පිළිගැනීම අපිට පැහැදිලි කරලා. එක තැනක දී කෙනෙක් පෙන්ගුවින් ගේ ඇඟේ හැප්පෙන්න එනවා. ඒත් එයාව අයින් කරලා දාන්න කෙනෙක් දැන් අපේ පෙන්ගුවින් ට ඉන්නවා.
• ඔස්වල්ඩ් ගේ පෙනී සිටීම එක්ක වැඩි පුරම කරදර වෙන්න උනේ ගෝර්ඩන් ට. මොකද මෙච්චර කාලයක් ඕන දේකට හිටපු හාර්වි පවා ගෝර්ඩන් ගේ මේ වැඩේට කැමති වෙන්නේ නෑ. ඊට අමතරව ගෝතම් පොලිසිය ඇතුලේ පිරිස ගෝර්ඩන් දිහා බලන්නේ පිස්සු මිනිහෙක් දිහා බලනවා වගේ. ගෝර්ඩන් සහ හාර්වි දෙන්නාට අමතරව හිත කරදර කර ගත්ත අනික් එක්කෙනා තමයි ෆිෂ් මුනි. මොකද පෙන්ගුවින් කරපු දෙය පැහැදිලිවම ෆිෂ් මුනිගේ නමට කරපු අභියෝගයක්. මම කලිනුත් කිව්වා ෆිෂ් කැමති එයාගේ ඒකාධිපති වාදය තියාගන්න. ඒක හින්දා පුදුමයක් නෑ ෆිෂ් ට තරහා ගිය එකට.
• ගෝර්ඩන් සහ බාර්බරා අතර සම්බන්ධෙ පිළිබඳව සුභ වාදී පැත්තක් අපි අද මේ කතාවේ දකිනවා. ෆිෂ් මුනිගේ ගෝලයන්ගේ පහර දීමෙන් පස්සේ බාර්බරා නගරයෙන් පිටකරන්නේ ආරක්ෂාව වෙනුවෙන්. ඒත් බාර්බරා ඒක පැත්තක දාලා ආපහු නගරයට එනවා. මේක හින්දා අමතර කරදර ඇති වුනු එක වෙනම දෙයක් උනත් බාර්බරා, ගෝර්ඩන් ගේ පලවෙනි බිරිඳ වෙන ගමනේ මේක ගොඩක් වැදගත් තැනක්.
• මේ කතාවේ අපි දැකපු වැදගත් ම සිදු වීමක් තමයි මොන්ටයා සහ ඇලන් දෙන්නා ගෝර්ඩන් වෙනුවෙන් පෙනී හිටපු ආකරය. මේක අනිවාර්යෙන්ම සිද්ද වෙන්න ඕනේ එකක්. මොකද කොමික් වල නම් මේ දෙන්නා කියන්නේ ගෝතම් නගරය ඇතුලේ සාධාරණතවය වෙනුවෙන් සටන් කරන දෙන්නෙක්. වේන් දෙපල ඝාතනය ගැන පරීක්ෂණය ඒ දෙන්නාට භාර කරන්න තරම විශ්වාසයක් ගෝර්ඩන් ට ගොඩ නැගෙන්න තරම් ඒක බලවත්.
• අපි වෙනදා නොදකින තරම් නිර්භීත පැත්තක් අද ගෝර්ඩන් පෙන්නුම් කරනවා. ෆිෂ් මුනිගේ ගෝලයෝ ටිකෙන් බේරෙන එක, ෆැල්කොනි සහ නගරාධිපති අත් අඩංගුවට ගන්න දරපු උත්සාහය, වික්ටර් සාස් ආපු වෙලාවේ හැසුරුණු විදිහ වගේම අවසානේ ෆැල්කෝනි අත්අඩංගුවට ගන්න ගිය වෙලාවේ හැසිරුණු විදිහ අපි මතක් කරලා දෙන්නේ නීතියේ නාමයෙන් තනියම අපරාධ වලට එරෙහිව සටන් කරපු කොමික් ලෝකේ පොලිස් නිලධාරියා.
• ෆිෂ් මුනි ගේ චරිතේ කියන්නේ හැම වෙලේම අපි පුදුම කරන චරිතයක්. හැබයි අද කතාව පුරාම අපිට දැනුනේ ෆිෂ් මුනි ගේ බලයට පහර වදින ආකාරය. එකේ හොදම අවස්ථාව උනේ සැල් මැරෝනි හම්බෙන්න ගිහිල්ල ඔස්වල්ඩ් භාර දෙන්න කියපු වෙලාව. සමාව ඉල්ලනවා කියලා පෙන්ගුවින් හැසිරුනේ ෆිෂ් ගේ ගෞරවය බින්දුවටම දාලා.
• පෙන්ගුවින් ගේ සැලසුම් වල උපරිම අවස්තාවක් තමයි කාර්බෝන් ගේ ඝාතනය. පෙන්ගුවින් දක්ෂයි ඉස්සරහට යන්න පාරක් නැතිනම අලුතෙන් එකක් හදා ගන්න. සැල් මැරෝනි ගේ ප්‍රධාන සහචරයා විදිහට ඉන්න කාර්බෝන් පෙන්ගුවින් ගේ ඉදිරි ගමනට බාධාවක් කියලා කතාව බලනා හැමෝටම වගේ තේරිලා තිබ්බ දෙයක් තමයි. මොකද ගොඩක් පොඩි කාලෙකින් පෙන්ගුවින් හදා ගත්තු නම කාර්බෝන් ට තර්ජනයක්. ඒක අයින් කරන්න කාර්බෝන් සුදානම් වෙද්දී පෙන්ගුවින් ඊට වඩා ගොඩක් දුර හිතලා ඉවරයි වගේම අවශ්‍ය පියවර අරගෙනත් ඉවරයි.
• අපිට මේ සතියේ පරීක්ෂණයක් දකින්න හම්බුනේ නැති උනත් හොදම විදිහේ දුෂ්ටයෙක් නම් හම්බෙනවා. ඒ තමයි වික්ටර් සාස්. මෙයා කොහොම කෙනෙක් ද කියලා අපි තව ටිකකින් කතා කරමු. ඒත් ගෝතම් නගරය ඇතුලේ එයා තියාගෙන ඉන්න නම නම් එසේ මෙසේ දෙයක් නෙවේ. ලංකාව් දේශපාලකයෙක් වගේ මෙයාට පුළුවන් පොලිසියේ මේසයක් උඩ නැගලා සද්දේ දාන්න. 50 ක් විතර පොලිස් කාරයෝ එක වචනයකින් එලියට යවන්න (ඇත්තටම ගෝතම් නගරය ලංකාවේ තියන එකක් ද මන්දා).
• මේ සතියේ කතාවේ දී අපිට ෆැල්කෝනි ගේ චරිතය ගැන පැතිකඩක් දකින්න පුළුවන්. මුලින්ම ෆිෂ් මුනි කොච්චර කලබල උනත් සටනක් ආරම්භ කරන්න ෆැල්කොනි ලැස්ති වෙන්නේ නෑ. ඒ වගේම සැල් මැරෝනි එක්ක ගනුදෙනු වේදී හැසිරෙන ආකාරය දැක්කාම කොච්චර අපරාධ කාරයෙක් උනත් කතාව බලන කාටවත් අකැමති වෙන්න නම් බෑ. ඒ වගේම කතාව අන්තිමේ දී ගෝර්ඩන් සම්බන්ධව අනුගමනය කරපු පිළිවෙල උනත් අමුතු එකක්. තව ඉස්සරහටත් මේ චරිතයේ විකාශනය දකින්න පුළුවන් වෙයි අපිට.
• කතාවේ අන්තිම විනාඩි කිහිපය මේ වෙනකල් අපි ගෝතම් වල බලපු සේරම ටික අනිත් පැත්ත හරවන්න තරම් පුදුමාකාර වෙනවා. අපි මෙච්චර දවසක් බලලා තියෙන්නේ පෙන්ගුවින් සැලසුම් කරපු නාට්‍යක් විතරයි කියලා දැනගන්න කොට, මිනිහෙක් ට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා අපිට අපෙන්ම අහන්න සිද්ද වෙන තැනට එනවා.
අද කතාවේ අපිට අලුත් චරිතයක් හදුන්වාලා දෙනවා. ඒ තමයි වික්ටර් සාස් (#01 පින්තුරය). කොමික් වල හැටියට නම් වික්ටර් සාස් එක දවසක කැසිනෝ ගහන්න ගිහිල්ලා සේරම දේපල ටික පෙන්ගුවින් ට පරාද වෙනවා. ඊට පස්සේ සාස් ගෝතම් නගරයේ පාලමෙන් පැනලා සියා දිවි නසා ගන්න හදනවා. කරුමෙට එතනට ආපු හොරෙක් සාස් ට පිහියක් දික් කරලා සාස් ගෙන් සල්ලි ගන්න ට්‍රයි කරනවා. ඒත් සාස් පිහිය උදුරාගෙන ඒ මිනිහටම අනිනවා. එදා ඉදන් සාස් කුලියට මිනි මරන්න පටන් ගන්නවා. වැදගත්ම දේ තමයි මරණ හැම එකකටම ඇඟේ සලකුණක් දා ගන්නවා. අපිට මේ සිද්දිය කතාව ඇතුලේ දීත් දකින්න හම්බෙනවා (#02 සහ #03 පින්තුරය)
අපි දන්න කියන චරිත කොහොමද කොමික් වල හැසිරෙන විදිහ ගැන කතා කරන්න අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ පෙන්ගුවින් නම් විතරයි. මොකද බ්රුස් ගේ සහ සෙලිනා ගේ කොටස් තිබ්බෙම නැති තරම්. අද කතාව පටන් ගන්න කොටම අපි දකිනවා පෙන්ගුවින් කුඩය අරගෙන පෙන්ගුවින් ගමනෙන් ඇවිදින විදිහ (#04 පින්තුරය). දැන් නම් අපේ පෙන්ගුවින් කියන කොමික් චරිතය සම්පුර්ණයි.
අපිට අන්තිමට කතා කරන්න තියෙන්නේ අද කතාව ඇතුලේ හැංගිලා තියන පුංචි පුංචි දේවල් ගැන.
• හාර්වි ගෝර්ඩන් ගේ නවාතැනට එක්කරගෙන එන කාන්තාව ගේ නම් තමයි මාර්ශා ආදිපාද වරිය. 1966 දී විකාශය වුනු බැට් මෑන් කතාවක ඉන්නවා මර්ශා කියලා චරිතයක්. එයාට කියන නම තමයි “Queen of Diamond”. අපිට මේ කතාවේ ඉන්න ගෑනු කෙනාටත් දියමන්ති වලින් නම් අඩුවක් තිබ්බේ නෑ (#05 පින්තුරය).
• මේ පාරත් අපිට ජෝකර් ගැන පොඩි හෝඩුවාවක් හම්බෙනවා. ඒ තමයි සැල් මැරෝනි ෆැල්කෝනිට දෙන්නේ ඉන්දියන් හිල් වල තියන කෙමිකල් වේස්ට් ඩම්ප් එකක්. කොමික් වල හැටියට නම් ජෝකර් කියන චරිතය බිහිවෙන්නේ මේ විදිහේ කෙමිකල් වේස්ට් ඩම්ප් එකකට වැටුනා ට පස්සේ. සමහරක් විට ෆැල්කොනි මේ කෙමිකල් වේස්ට් ඩම්ප් එකත් එක්ක කටයුතු කරනවා දකින්නත් ඉඩ තියනවා.
කතාව අලුත්ම පැත්තකට හැරිලා තියෙන්නේ දැන්. අපි බලමු මොකද ඊලඟට වෙන්නේ කියලා මේ අලුත් සිදුවීමත් එක්ක
niyamai saho