ඉදිරි දිගහැරුම… (XLIV) | HTTYD2 දෙවැනි පුහුණුව…
“මකර රැජිණ ආපහු ඇවිත්…!”
“අපොයි නෑ… දෙයියන්ගේම පිහිටයි!“
“හැමෝම සූදානම් වෙන්න!“
“වෝහෝව්… ඉන්න! ඉන්න!“
“දැන්ම නෙමේ; දැන්ම නෙමේ…“
“මම කියනකම් ඉන්න.“
“හරි…! දැන්! පටන්ගන්න!“
ගියවතාවේ හිකප් කොලුවගේ අමරණීය; මරණීය වික්‍රමය බැලූ අපේ සගයන්ට මතක ඇති ඒක අවසන් වෙච්ච හැටි. ඒකාන්ත මරණයකින් ඔහුව මුදාගත්තේ ඔහුගේ ප්‍රාණ සම මකර මිත්‍රයා ටූත්ලස්(දත්නැත්! 😛 ) ඉන්පස්සෙ ඉතින්, Berk ගමේ කවුරු කවුරුත් මකරු පදින්න අරන්! දැන් මකරෙක් නැති කෙනෙක් වගේම; මකරෙක් නැති වැඩකුත්, නැති ගාණයි. Dragons රූපවාහිනී කතාමාලාව බලනා අය හිකප් ඇතුළු පිරිසගේ වික්‍රමයන් ඉදිරියටම දිගහැරුණු අන්දමත් හොඳින්ම දන්නවා. නැද්ද? 😉

ඒත් ඒ වතාවේ මේ සේරම අලකලංචිවලට මුහුණදීගෙන හිකප් සහ දත්නැත් මකර රැජිණ පරාද කළානේ! මතකනේ… ; අර මහා දැවැන්ත රෞද්‍ර මකරි’ව විනාශ කරලා දාලා, ඇගේ අසීමාන්තික භීමත්වයට ගොදුරු වෙලා, සදාකාලික වහලුන් බවට පත්ව හුන් සියලු මකරවර්ගයාම ඉන් නිදහස් කරගෙන, තම තමන්ගේ ජීවිතඋරුමයට හිමිකරුවන් බවට පත් කරන්නටත් ඒ ක්‍රියාව උදව් වුණා. ඒ විතරක් නොවෙයි; මිනිස්-මකර සම්බන්ධය විශාල පෙරළියකට ලක්කර, තහනම් සීමා මායිම් බිඳගෙනත් ගියා.
එහෙමනම් මොකද්ද මේ “මකර රාජිණියක්” ගැන කියන්නෙ ආයෙමත්! ඒක මෙහෙමයි. මේ පාරත් රැජිණක් ඉන්නවා. හැබැයි ඒ රැජිණ ගිය පාර වගේ මකරන්ව තලා-පෙළා ගෙන ඔවුන්ව භීෂණයට පත්කරන කෙනෙක් නොවෙයි. මේ පාර කෙනා මකරුන්ට පණ වගේ ආදරය කරන, මකරුන්ව දරුවන් වගේ ආරක්ෂා කරන, මකරුන්ට මවක් වගේ පිහිට වෙන, මකරුන්ගේ ඉටු දෙව්දුවක් වගේ කෙනෙක්. ඒ වගේම එයා මනුස්ස දුවක්!
ඔව් හරි! මනුස්ස දුවක්! හැබැයි මෙයා නිසා ගියපාර හිකප් දිනාගත්ත මකරසහෘද සන්නාමය ඔහුට අහිමි වෙන්නටයි යන්නේ… හේතුව? මෙයා මකරුන්ව අඳුනන්නේ හිකප්ට බොහොම ඉස්සර ඉඳලයි! ඉතින් ඒ නිසා, මේ වෙනුවෙන් අලුතින් එකතුවන මිනිස් චරිත ඇරුණහම; අලුත්ම මකර චරිතත් ගණනාවක්ම දැකගන්නට ලැබෙයි අපට. ඒ අතරට වල්කා‘ගේ ප්‍රියතම මකරා වන X-Wing ඇතුළු තවත් මෙතෙක් නොදුටු වර්ග ගණනාවක් තිබෙනවාට කිසිම සැකයක් නෑ. 😉 (මේ රූපෙ ඉන්නෙනම් හැබැයි එයා නෙමෙයි හොඳේ.. ඒ මෙතෙක් නොදුටු; තවත් එක මකරෙක් විතරයි.)

වල්කා! ඒ තමා ඇගේ නම. මිනිස් වාසයෙන් ඈත්වෙලා ගිහින් මකරන්ගේ සමාගමය ලබමින් මකරන්ගේ මිතුරෙක් ලෙස ජීවිතේ ගෙවන ඇයත් මකරෙක්’ම ගාණයි. මකර වර්ගයාට කුරිරු ඉරණමක් හිමිකර දෙන, නිකරුණේ මකරුන් සමූල ඝාතනය කරන, මකරුන් හා වෛර බැඳගෙන සිටින, විනාශකාරී මිනිසුන්ගේ අකාරුණික/ සටකපට උපක්රමයන්ගෙන් මකරුන්ට නිදහස සලසා දීමට තමන්ගේ මුළු දිවියම කැප කළ කෙනෙක්. ඇය ජීවත් වෙන්නේ මකරුන් අතරට වැදීගෙන. ඇය තමන්ගේම කෙනෙක් විදිහට මකරුන් පවා පිළිගන්නවා.
“මෙවර කතාව දිගහැරෙන්නේ හිකප් සහ වල්කා අතරේයි. මුල් චිත්‍රපටයේ දුටු සිදුවීම් පෙළින් පසු වසර පහක් ගතවී ගිහින්. දැන් හිකප් සහ මිතුරන් කලින් දුටුවාට වඩා බොහොම ලොකුයි. මිනිස්-මකර සහසම්බන්ධයත් බොහොම ලොකුවට වර්ධනය වෙලා. මිනිස්-මකර දෙගොල්ලන්ටම නවයුගයක් උදාකළ, හිකප්’ට වුවමනා මකරුන් සහ මිනිසුන් ජීවිතාන්තය තෙක් කලණ මිතුරන් විදිහට එකිනෙකා හා සාමයෙන් වෙසෙනවා දකින්න. නමුත් වල්කාට වුවමනා නිහීන මිනිස් වර්ගයාගෙන් මකරුන්ව දුරස් කර මේ දෙගොල්ලන් සදහටම වෙන්කර තබන්න. නමුත් ඇය එහෙම කරන්නේ තරහකින් නොවෙයි, මකරුන් කෙරෙහි ඇති දයාව සෙනෙහස සහ මිනිසුන් ගැන ඇති අප්රසන්නතාවත් අවිශ්වාසයත් හේතුවෙන්. ඉතින් මේ මකර විශේෂඥයන් දෙදෙනා අතර ඇති වන මේ ඝට්ටනය කොයි විදිහට කෙළවරක් දකීවිද?”
කලින් වගේම මෙවරත් Jay Baruchel(Hiccup)/ America Ferrere(Astrid)/ Gerrad Butler(Stoick the Vast)/ Jonah Hill(Snotlout)/ Christopher Mintz-Plasse(Fishlegs)/ T.J. Miller(Tuffnut)/ Kristen Wiig(Ruffnut)/ Craig Ferguson(Gobber) ලෙස සුපුරුදු චරිත මවනවා. ඒ හුරුපුරුදු චරිත හැරුණු විට පෙර කී වල්කා චරිතයත් ඇතුළත්ව අලුත් හඬවල් 03කුත් මෙවර එකතු වෙනවා.
ඒ Cate Blanchett ඔස්කාලාභිනිය Valka‘ගේ හඬින්, Djimon Hounsou සුපිරි රංගධරයා Drago Bludvist -(වල්කා’ගේ ඒකායන සතුරා වන මකර දඩයක්කරුවා)- ‘ගේ හඬින් සහ Kit Harington හෙවත් Game of Thronesහි Jon Snow තුරුණු හඬ Eret නමින් යුතුව; මකර දඩයක්කරුගේ දෙවැනියා ලෙස දායකත්වය දක්වමින්.

පෙර චිත්‍රපටයට සම තිරරචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැකියාවන් මුසුකළ දෙදෙනාගෙන් Chris Sanders මෙවර එක්කාසු වන්නේ නෑ; ඒ වෙනුවෙන්! Dean DeBlois පමණක් ඒ කටයුතු සිදුකොට තිබෙනවා. Cressida Cowell’ගේ ඉමහත් ජනප්‍රියත්වයක් උදුරාගත් How to Train Your Dragon පොත් පෙළ ඇසුරින් ගොඩනැගෙන මෙය ‘ත්රිත්ත්වයකින් යුතු සිනමා නිර්මාණ පෙළෙහි අතරමැදියා’ වෙනවා.
අතිමහත් විචාරක පැසසුම් මැද, ලොව පුරා $ මිලියන 495කට ආසන්න මුදලක් හෙවූ, මේ චිත්‍රපටය 2010 වසරේ; 05 වැනි වැඩිම ආදායම ලද සජීවීකරණ චිත්‍රපටය බවට පත්වෙමින්ම එම වසරේ වැඩිම ආදායම්ලාභීන් අතරින් 10 වැන්නා බවටද පත්වුණා. ඒ වගේම Dreamworks Animations සමාගමේ සජීවීකරණ චිත්‍රපට ලැයිස්තුවේ 11 වැනි තැනත් උසුලනවා. IMDb අගය 8.2ක් ලෙස සටහන් කරමින්, ‘අනගි 250 ලැයිස්තුවේ 167 වැනි තැනටද‘ උරුමකම් කියනවා.
2010 වසරේදී ඔස්කා නාමයෝජනාවන්ගෙන් “හොඳම වෘත්තාන්ත චිත්‍රපටය” සහ “හොඳම පියවි සංගීත සංයෝජනය” වෙනුවෙනුත් නම්වුණා. ඔබේ මකරා පුහුණු කරගන්න… තවමත් බැරිවුණානම්, ඔන්න ඒකට දෙවැනි අවස්ථාවකුත් ඉක්මනින්ම ලැබෙනවා. එනිසා තම-තමන්ගේ මකරුන්වත් සූදානම් කරගෙන කට්ටියම ලෑස්තිද දෙවැනි පුහුණුවට සහභාගී වෙන්න…??!! හරී… එහෙමනම් සූදනමින් ඉන්න!
තිරයට එන දිනය: 2014 ජුනි 13(USA)
🙂 😉 🙁 😮 😀 😛 :@ :-S :$ B-) :'( :-* >:) 0:) :-/ 😐 :-B <3 @-}– o_O :-# :*) -:) :O :-!
awsome! thanks!!!!!!!!!
wow………..
නියම ලිපිය.
දැනුවත් කලාට ස්තූතියි.