ඉදිරි දිගහැරුම… (XLIII) | Bad Asses – දඩබ්බරයෝ… (+) A Haunted House 2 – දෙභූත ගෙදර…
මේ පාර එකසැරේ දෙකක්ම ගෙනාවා. වෙන වෙනම ලිපි දෙකක් පළකරන්නට තරම් කරුණු කාරණා නැති එකයි; කවුරුත් වැඩිය දන්න කියන ඒවා නොවෙන එකයි; අපි කියන අනික් ඒවා තරම්ම සුපිරි නැතිකමයි; තමයි හේතුව ඉතිං…. 🙂
මෙන්න මුල්ම එක:-
මීට අවුරුදු තුනකට කලින් ඇමෙරිකාවේ ඕක්ලන්ඩ් නගරයේ බසයක් තුළ සිදුවූ සිදුවීමක්; ජංගම කථනයකින් වීඩියෝ කළ දිසිරුවක්; අන්තර්ජාලය පුරා ඉමහත් ජනප්‍රිය වුණා. එය අන්තර්ජාලය පුරා වෛරසයක් මෙන් පැතිර ගියා. එහි තිබුණේ මොකද්ද… එහි අඩංගු වී තිබුණේ රැවුල්කාර තලත්තෑනි මිනිසෙකු තවත් කිහිපදෙනෙකුට බඩකට පුරා හොඳ හැටි මුෂ්ටි ප්‍රහාරයක් දෙන දසුන් වගයක්. මේ වීඩියෝවත් සමගම, ‘රැවුල්කාර වීරයා’ (Epic Beard Man) යන අදහසකුත් බොහෝදෙනා අතර පැතිර ගියා.
ඒ ඔස්සේ 2012 වසරේ චිත්‍රපටයක් නිර්මාණය වුණා. Danny Trejo රංගනයෙන් දායක වූ මෙහි නම වුණේ, ‘Bad Ass (2012)’. ඒ චිත්‍රපටයෙන් රැවුල්කාර වීරයා යන සංකල්පය රිදී තිරය මත ජීවමාන කළේ, සැඩපරුෂ සහ මාරාන්තික දඩබ්බරයෙකු බවට පත්කරවමිනුයි. නිරන්තර සුපරීක්ෂාවෙන් සිටින, තලතුනා වයසේ පසුවන, අසාධාරණයට සහ අයුක්තියට එරෙහිව යන, නාහෙට නාහන කේන්තිකාරයා’ගේ තනි වික්‍රමයෙන් පස්සෙ මේ පාර සූදානම හවුල් මෙහෙයුමකට යොමුවෙන්නයි.
පෙනෙන විදිහට Bad Ass සෑහෙන හොඳ උත්සාහයක්. මොකද A කාණ්ඩයේ චිත්‍රපටයක් හෝ සුපිරියි කියන මට්ටමේ ක්‍රියාදාම නළුවෙක් නොමැතිව වුණත් මේක IMDb වලදි ලබාගෙන තිබෙන අගය 5.3 ක්. මම හිතන්නේ ඉන්න නළුවාත් මේකේ නමට තිතටම ගැළපෙන නිසා වෙන්නත් පුළුවනි.
Danny Trejo කියන නළුවා හැබෑවටම හැබෑ ලෝකෙදි, වීරයෙක්! නිකම් නෙමෙයි සුපිරි වීරයෙක්. මම එහෙම කියන්නෙ ඔහු කාට වුණත් ආදර්ශයක් සපයන චරිතයක් නිසයි. නවයොවුන් සමයේදීම ඔහුට පුනරුත්ථාපනයකට යන්නට සිදුවෙනවා. ඉන් නිදහස්’ව ආ පසුවත් කිහිපවාරයක් හිරබත් කනවා. 1959 – 69 කාලය තුළ සය වතාවක් කැලිෆෝනියා සිරගෙවල් වල තපිනවා. ඔහු’ම පවසන පරිදි ඔහුගේ අවසන් සිරගතවීම වසර 5ක් දිග එකක්. 1972න් පසු මේ දක්වා ඔහු යළිත් ඒ තත්ත්වයටනම් වැටී නැහැ. San Quentin හිරගෙදර ගත කරන සමයේදී ඔහු; ලයිට්වෙයිට් බොක්සින්කරුවෙකු බවට පත්වී වෙල්ටර්වෙයිට් බරපන්තියටත් පිවිසෙනවා. ඒ අතරතුර කාලයේදී ඔහු Twelve-Step Program නම් නිවරණ වැඩසටහනක් හා එකතු වී තමන්ගේ නරක මත්ඇබ්බැහියෙනුත් මිදෙන්නට සමත් වෙනවා. 2011 වසරේදී; “තමන් වසර 42ක් පුරා යළි මතට නොවැටී සිටි බව” ඔහු ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ඒ අතරතුරේ සුළු චරිත හරහා හොලිවුඩයට රිංගන ඔහු ක්‍රමයෙන් සහාය ප්‍රධාන චරිත වලින් ප්‍රධාන චරිත වලටත් එළඹ සිටිනවා. ඉතින් ඔහු වීරයෙක් නෙවෙයිද…?!
ආපහු යමු චිත්‍රපටය දිහාවට… මේ චිත්‍රපටය හොඳ සහ නරක විචාරයන් දෙවගයම ලැබුවා. නමුත් එහි ආදායමත් ජනප්‍රියත්වයත් R වර්ගීකරණය නොතකා හැරීමට සමත් වුණ නිසා දෙවැන්නකුත් නිර්මාණය වුණා. එනිසා B කාණ්ඩයේ චිත්‍රපටයක් ලෙස යළිවරක්; නමට එකතු වුණ සුළු වෙනසකුත් එක්ක Bad Asses ලෙසින් තිරයට පිවිසෙන්නට එය සූදානමින් පසුවෙනවා.
පළමුවැන්න අධ්‍යක්ෂනය කළ Craig Moss මෙවරත් එලෙසින්ම තිරය පිටුපස සිට මෙහෙයවීම් සිදු කරනවා. Danny Glover (Lethal Weapon)/ Andrew Divoff (Lost)/ Jacqueline Obradors (NCIS)/ Johnathan Lipnicki (Jerry Maguire) වැනි නළුවන් පිරිසක් Trejo සමග මෙවර එකතු වී සිටිනවා. එහෙමනම් බලමු රැවුල්කාර වීරයා හවුලේ දක්වන දෙවැනි ඉරියව්ව කොයි වගේ වේවිද කියලා. මෙන්න මේ පෙරාතුව බැලුවොත් අදහසක් ගන්ට ඇහැක් වෙයි!
තිරයට එන දිනය: 2014 වසරේ අනිශ්චිත දිනයක්
——————————————————————————————————————————————————————————————–
මෙන්න ඊගාව එක:-
Holly-Wood වල ඉන්න අර හිතුවක්කාර, බාගෙට පිස්සු හාදයො දෙන්නගෙන් එක්කෙනෙක් හදාපු හාස්‍ය චිත්‍රපටයක් ගිය වසරේ තිරගත වුණා. ඩොලර් මිලියන 2.5ක් යොදලා හදපු ඒක ලෝකෙ වටේ මිලියන 65කට වඩා හොයන්නට සමත් වුණා. ඉතින් එහෙම වෙනකොට අනුබැඳියක් නාවොත් තමා පුදුමෙ.
Open Road සමාගමෙන් හදපු මේ චිත්‍රපටයට කොහෙත්ම විචාරක සම්මාන ලැබුණෙ නෑ. බොහොම බාල චිත්‍රපටයක් විදිහට ඒ අයගෙන් හම්බුණේ ගැරැහුම් විතරයි. ඒ වුණත් මේක මිනිස්සුන්ට සුපිරි විනෝදයක් සැපයුවා. හේතු කිහිපයක්ම තියෙනවා. 01 තමා- Marlon Wayans තිරරචනයෙන් සහ ප්‍රධාන චරිතයෙන් දායකවීම. 02 තමා- කන පැළෙන්න හිනා යන තාලෙ චිත්රපටයක්වීම. 03 තමා- Paranormal Activity භීම චිත්‍රපටයන්ට මදි නොකියන උපහාසයක් එල්ල කර තිබීම.
ඉතින් මෙහෙව් එකක් අතාරින්න හැමෝම කැමති නෑ. විශේෂයෙන් භීම චිත්‍රපටවල දැඩි විරෝධියෙක්නම් මෙහෙම එකක් හීනෙන්වත් මගාරින්නෙ නෑ. ඇයි ඒකට බයවෙච්ච කෙනෙකුට වුණත් තමන් බයවෙච්ච එකත් අමතක කරලා දාලා, හද්දා ෆන් එකක් ගන්න කියාපු වෙලාවක්නෙ මේ… 😛
(මාත් බැලුවා පිස්සු ආතල් – පට්ට පීකුදු එකක්නම් තියෙනවා. අඳුරු භීම චිත්‍රපටවලට එල්ල කරන උපහාසයනම් උපරිමයි. හැබැයි චිත්‍රපටය එතරම් හොඳ බවක්නම් කියන්නටමත් බැහැ. බැලුවට පාඩුත් නෑ කොහොමටවත්. හි හි 😀 )
මෙවර උපහාසයට ගොදුරුවෙන්නට යන්නේ අතිසාර්ථකව තිරගත වූ Sinister සහ The Conjuring. “ගියපාර වගේම මැල්කම්’ගේ සුරතල් බල්ලා මැරෙනවා. (හැබැයි හිටපු පෙම්වතිය කීශා වාහන අනතුරකින් මියගිහින්; ඇය අතින් මැල්කම්’ගේ සුරතලා මියගියා වගේම. ඇගේ මරණයෙන් පස්සේ දැන් ඔහු ඉන්නෙ වෙනත් තැනකයි.) ඔහුගේ අලුත් පෙම්වතිය සහ ඇගේ දරුවන් දෙන්නත් එක්කයි මැල්කම් මේ ගෙදර ජීවත් වෙන්නේ. මේ පාරත්, මැරුණු බලු අවතාරය ඇවිදින්; බල්ලෙක් කාලෙ කරන්න ඉඩ නොලැබුණු බලු වැඩ ගොඩක් කරයි වගේ… 😛“
කලින් එක වගේම දළපට-හමුවීමේ තේමාව මෙවරත් යොදාගැනෙනවා. තිරරචනය සහ ප්‍රධාන චරිතයත් Marlon Wayans‘ගෙන්මයි. ගියවර භූතපැන්නිල්ලට සහභාගී වූ පිරිසෙන් වැඩි හරියක් මෙවරත් යළි එක්වෙනවා. Gabriel Iglesias/ Atkins සහ Cedric the Entertainer ඒ අතරට ඇතුළත්. ඉතිං මේකත් ආපුහාම තවත් පිස්සු ආතල් – පට්ට පීකුදු චිත්‍රපටයක් බලන්නට ඉඩ ලැබෙයි. ඔය තියෙන්නෙ ඒකෙ පෙරාතුව. ඒකත් බලලාම හිතාගන්ඩකෝ… 😉
තිරයට එන දිනය: 2014 මාර්තු 28
elaz