Live and Let Die (1973) – ජේම්ස් බොන්ඩ් හා වූඩූ මායාවන්…

Live and Let Die (1973) 1

James Bond’ගේ 70 දශකයට පිවිසීම සටහන් කරපු Sir Sean Connery, 70 දශකයේ පළමු බොන්ඩ් චිත්‍රපටය වුණ Diamonds are Forever (1971) චිත්‍රපටයෙන් පසු යළිත් වතාවක් මේ අද්විතීය චරිතයට සමුදුන් බව කියමින් අපි ගියවර ලිපිය අවසන් කළා. ඒ වුණත් මේ දෙවැනිවර සමුදීමත් නිෂ්පාදන සමාගමේ බලවත් විරෝධය මධ්‍යයේ සිදු වුණ බව සඳහන්. EON Productions ආයතනය යටතේ Bond චිත්‍රපට නිපදවන Albert R. Brocolli සහ Harry Saltzman දෙපළගේම හිත වුණේ, මේ චරිතයට සුපුරුදු Bond’ම සහභාගී කරගන්නට. ඒ වුණත් මෙවර එකහෙළාම දැඩි මතයක හිටපු Connery’ගේ තීරණයේ නොසැලෙන බව හේතුවෙන්, මේ සුපිරි චරිතයට වෙනත් නළුවෙකු ‍තෝරාගැනීම හැර කළ හැකි අන්යමක් ඔවුනට ඉතිරි වුණේ නෑ.

කොහොම වුණත්, කොච්චර සුපිරි වුණත්, හොඳ සහ දක්ෂ නළුවෙකුට තිබෙන අමාරුම වැඩේ තමයි එකම පන්නයේ චරිතවලට කො‍ටුවෙන එක. Connery’ට වුණේ ඊටත් වඩා එහාගිය වැඩක්. එකවගේ චරිත වෙනුවට; එකම චරිතයක කො‍ටුවෙනවාද? නැද්ද? කියන ‍තෝරාගැනීමෙදි, ඔහුගේ නිසැක පිළිතුර “නෑ” කියන එක. මම හිතන්නෙ ඒ ගැන තේරුම් ගන්න අමාරු නෑ. මෑතක තවත් එවැනි තීරණයක් අපට දැනගන්නට ලැබුණා. Robert Downey Jr. සිය ප්‍රබලතම නිරූපණය වෙච්ච Iron-Man චරිතයෙන් ඉවත්වීමට ගත් තීරණයත් ඒ වගේමයි. එකම චරිතයක කො‍ටුවීමෙන් තමන්ගේ සැබෑ හැකියාව මොට වී අපතේ යනවාට අකමැත්තෙන් ඔහු ගත් ඒ තීරණය, මීට පෙරත් එවන් නළුවන් විසින් ‍තෝරාගත්තා. මේ අවස්ථා දෙකම එක වගේ වෙන්නේ, ඇති තරම් සල්ලි උනන උල්පතක් වගේම හොඳ රක්ෂණාවරණයක් බවටත් ඒ චරිතය පත්වෙන මොහොතකම මේ තීරණයට ඔවුන් පැමිණීම නිසාමයි.

Clint Eastwood
Clint Eastwood

හරි ආයෙත් Bond දිහාට යං. දැන් Bond’ගෙ තැන හිස්. ඉතින් කොහොමද Bond නැතුව Bond චිත්‍රපටි හදන්නේ. කට්ටිය හෙව්වා අලුත් කෙනෙක්ව. නමුත් ලෙහෙසි නෑ වැඩේ. මුල්ම Bond නොහොත් Connery’ගේ දෙවැනි නිකමයාමෙන් පස්සෙ මුල්ම තේරීම වුණේ Clint Eastwood. අනිවා. ඒ වෙනකොට ඔහු ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැගෙගෙන හැකියාවෙන් අගතැන්පත් නළුවෙකු ලෙස වැඣඹෙමින් උන්නේ. නමුත් ඔහුත් ගත්කටටම බෑ කිව්වා. හේතුව වුණේ, Bond චරිතය බ්‍රිතාන්‍යයෙකු විසින්ම රඟපෑ යුතුය යන මතයේ ඔහු සිටීම.(අපේ වගේ රටවල සල්ලියි ජනප්‍රියකමයි ලොකු වුණාට, මේ නළුවන් සැලකිල්ලට ලක් කරන්නේ වෙනත් දේවල් බව වැටහෙනවා නේද? ඔවුන් කෙතරම් ඒ කෙරෙහි ගැඹුරක් එක්කරනවාද යන්නට හොඳම උදාහරණයක් Eastwood’ගේ ඒ හේතු දැක්වීම!)

Live and Let Die (1973) 2
Roger Moore ජේම්ස් බොන්ඩ් ලෙස

ඒවුණත්, EON Productions සමාගමට ඕඒනෑ කළේ, ඇමරිකන් නළුවෙකු, චරිතයට යොදාගන්නට. හැබැයි මේකට හරහට හිටියේ Brocolli. ඔහුත් නළුවාගේ සම්භවය ගැන දැඩි මතයක හිටියා. එනිසා Roger Moore චරිතයට ‍තෝරාගන්නා පළමුව, විවිධ නළුවන් 10 දෙනෙකු පමණ ඔවුනගේ අවධානයට ලක්වුණා. Moore ගැන කියකොට කතාව ටිකක් වෙනස්. හේතුව Dr. No; එනම් පළමු Bond චිත්‍රපටය තනන්ට සැරසෙන විටදී සහ On Her Majesty’s Secret Service; එනම් Connery’ගේ මුල් හැර්යාමෙන් පසු චිත්‍රපටය තනන්නට සැරසෙන විටදීත් සලකා බැලුණු නළුවන් ලැයිස්තුවට Moore ඇතුළත්ව සිටීම. කොහොම වුණත්, ඔහුව ‍තෝරාගැනීමෙන් පස්සෙ, චරිතයත් ටිකක් වෙනස් වුණා, මොකද ඔහුගේ ප්‍රතිරූපය හා ගැළපෙන අයුරින් හාස්‍යමය ස්වරූපයක් සහ සිනෝදකාමී ගතියක් චරිතයට ඇතුළත් කිරීමට Mankiewicz තිරරචනා ශිල්පියා කටයුතු කළා. චරිතය නිරූපණයේදී Moore’ගේ පළමු සැලකිල්ල වුණේ, Connery අනුකරණය නොකොට, තමන්ගේම ස්වාධීන නිරූපණයක යෙදීම ගැන. (විශේෂයෙන් කිව යුතුයි අපේ සගයන් කිහිපදෙනෙකු සිංහල උපසි‍රැසි ‍රැගෙන ආ Sherlock Holmes ටෙලිකතාවේ ප්‍රධාන චරිත නිරූපනයෙහි යෙදෙන Jeremy Brett’වත් Bond චරිතය සඳහා සලකා බැලුණ බව සඬහන් වෙනවා.)

Live and Let Die (1973) 3
Madeline Smith

චිත්‍රපටයේ එන ‘හිත කියවන කාඩ් කෙල්ල’ ලෙස කළු යුවතියක් යොදන්නට තිරරචකයාගේ දහස වුවත්, නිෂ්පාදක දෙපළගේ තීරණය වුණේ, Fleming’ගේ විස්තරයට එඤ්ගව එම චරිතය සුදු යුවතියක් වශයෙන්ම තබන්නටයි. එනිසා එම චරිතය Jane Seymour හට හිමිවුණේ, නිළියන් දෙදෙනෙකු අතරේ තරගයකින් පසුවයි. මේ චිත්‍රපටය හා සබැඳි විශේෂතම සිදුවීමක් විදිහට සටහන් කළ හැකි දෙයක් වෙන්නේ, චිත්‍රපටයේ ආරම්භක දර්ශනය රූගත කිරීමේ අවස්ථාව. Moore’ගේ නිර්දේශ කිරීම මත Miss Caruso චරිතයට ‍තෝරාගැනුණේ Madeline Smith’ව. එහිදී දර්ශනය වුණේ Bond’ගේ මායම්වලට හසුවෙන නියෝජිත සගයෙකු හා සයනය මත හිඳින අයුරු රූගතකිරීමක්. මේ ටික ගන්නකොට Roger Moore’ගේ බිරීන්දත් එතැන ඉඳලා තියෙනවනේ. Moore’ට ගාණක් නැතිවුණත්, Madeline නම් මේ හේතුව නිසා බලවත් අපහසුතාවකට පත්වෙලා තියෙනවා. හැංගි හොරා මොනව කළත් ඇස් ඉස්සරහ කරනකොට ඔහොම තමා :ඵ්

Jane Seymour ජේම්ස් බොන්ඩ් සමඟ
Jane Seymour ජේම්ස් බොන්ඩ් සමඟ

මේ චිත්‍රපටය වෙනුවෙන්ම එක්කෙරුණු විශේෂ චරිතයක් වුණ, Sheriff J.W. Pepper චරිතය පොතේ නැති එකක්. ඒ වගේම Bond’ගේ තරගකාරී නියෝජිත සගයා Felix Leiter චරිතය මුල්වරට දැකගන්නට ලැබෙන්නෙත් මේ චිත්‍රපටියෙදී තමයි.

Live and Let Die (1973) 5
Gloria Hendry ජේම්ස් බොන්ඩ් සමඟ

ඒ වගේම 2006 වසර දක්වාම Bond’ගේ ගැජමැටික් සපයන්නා වන Q චරිතය අඩංගු නොවුණු එකම චිත්‍රපටය වුණෙත් මේක. ඒ චරිතය නොමැතිව ආපහු චිත්‍රපටයක් හැදුණේ 2006දීයි. ඒ වගේම පළවෙනි වතාවට අප්‍රිකානු-ඇමෙරිකානු නිළියක් Bond’ගේ පෙම්කෙල්ලක් විදිහට ඉන්නෙත් මේ චිත්‍රපටියේ බව මතක් කරන්න ඕනි. ඒ Gloria Hendry. චරිතයේ නම Rosie Carver

තව මරු වැඩ ටිකක් වෙලා තියෙනවා මේක රූගත කරද්දී. ඒ ටිකත් කියන්නම්කො එහෙනම්. මේකෙ Script Supervisor විදිහට වැඩ කළ කාන්තාව Jamaica’වෙ රූගත කිරීම් අතර කොයිම වෙලාවකවත් දර්ශනතලයට ගිහින් නෑ සර්පයින්ට තිබිච්ච බිය නිසා. ඒ වගේම කිඹුල්ලු උඩින් පනින දර්ශනය 5 වතාවක් ගන්නට වුණා. එක්වරක් ප්‍රයෝග ශිල්පියාගේ කලිසම් කකුල කිඹුලෙක් ඩැහැගෙන ඉරලා ගතා. සර්ප දෂ්ඨනයකින් මියයන දසුනක් හසුකර ගන්නා වෙලාවේ නළුවෙක් සැබෑවටම සිහිසන් නැතුව ගිහින්. Geoffrey Holder නම් නළුවා සර්පයන් පිරුණු මිනීපෙට්ටියකට වැටෙන දසුන රූගත කිරීමට එකඟ වූ එකම හේතුව එදින Alexandra කුමරිය දර්ශනතලයට පැමිණීමට නියමිතව තිබීම. ඒ විතරක් නොවෙයි ජැමෙයිකාවෙ රූගත කිරීම් කරනතාක් මැර කල්ලියකට කප්පම් ගෙවන්නත් වෙලා කට්ටියගේ ආරක්ෂාව වෙනුවෙන්. සල්ලි ගෙවාගන්න බැරිවුණහම යන්න සිද්ධ වෙලා. ඒ වගේම මේ චිත්‍රපටයේ රූගතකිරීම් අරඹද්දීම වාගේ Moore’ගේ වකුගඩුවල ගල් සෑදී ඇති බවත් දැනගන්නට ලැබී තිබෙනවා.

Live and Let Die (1973) 6

මේ වෙනුවෙන් යොදාගැනුණු සුපුරුදු Bond Gadget හරුණුකොට අලුතින් තිබුණේ එක යෙදවුමක් විතරයි. බෝට්‍ටු! මේ චිත්‍රපටයේ බෝට්‍ටු ලුහුබැඳීමේ දර්ශනය සඳහා යොදාගන්නට විශේෂයෙන්ම බෝට්‍ටු 26ක් මේ වෙනුවෙන්ම නිපදවූ බව සඳහන්. පෙරපුහුණුවීම් අතරේ ඉන් 17ක්ම විනාශ වී ගිහින්. මෙහි අඩංගු වූ ජව-බෝට්‍ටුවක් උඩින් පනින දසුන රූගත කිරීමේදී නොදැනුවත්වම ගිනස් වාර්තාවක් පිහි‍ටුවා තිබුණා. ඒ මේ වෙනුවෙන් පාවිච්චි කළ ආධාරකය නිර්මාණය කිරීමේදී.

සුපුරුදු පරිදි John Barry තේමා සංගීතයෙන් දායක වීමට නොහැකිවීම නිසා Paul McCartney සංගීතයෙන් සහ තේමා ගීපදරචනයෙන් මෙහි සංගීත කටයුතු සම්බන්ධ වගකීම දැරුවා. Live and Let Die ගීතය ඔහු අතින් ලියැවුණේ, ඔහු ලද ඉහළ ගෙවීම නිසා පදරචනයත් කළයුතු බවට නිෂ්පාදකවරුන් ඉල්ලා සිටීමේ හේතුවෙන්. මෙය ඔහුගේ බිරිඳ Linda සමඟ ලියා ඔවුනගේ සංගීත කණ්ඩායම වූ Wings විසින් ඉදිරිපත් කෙරුණක්. Bond චිත්‍රපටයක් ආරම්භ කිරීමට යොදාගත්, ප්‍රථම සත්‍ය Rock and Roll ගීතය වන්නේත් මේ ගීතයමයි. මේ ගීතය “හොඳම නැවුම් ගීතය” සඳහා ඔස්කා නාමයෝජනාවන් ලැබුවා.

ඒ වගේම මුල්ම වරට කළු ජාතික සාහසිකයන් පිරිසක් වටා ගොඩනැගෙන කතාවක් ‍රැගත් Bond චිත්‍රපටයත් මේකයි. මොකද වර්ගවාදී අරගල සහ වෙනත් ජාතිවාදී ක්‍රියාකාරකම් ඉතා දැඩි ලෙස පැවති සමයක මෙම නිර්මාණය සිදුකිරීම නිසා, ඒ මිශ්‍රනය වඩාත් උචිත බව තිරරචකයාට හැඟීයාම. ඒ වගේම ජැමෙයිකාවෙ තැන් හොයාගෙන යද්දි කිඹුල් ගොවිපළක තිබුණු “ඇතුළුවන්නන් කාදමනු ඇත” යන දැන්වීම නිසා පිටපතට ඒ කිඹුල් ගොවිපළත් එක්වුණා. ඒ මදිවාට ප්‍රධාන දුෂ්ටයාට නම ලැබුණේ මේ කිඹුල් ගොවිපළේ අයිතිකාරයාගෙන්. ඔහුගේ නම තමයි Ross Kananga. අර පෙර කී කිඹුලන් මතින් දුවන දර්ශනයට පෙනී ඉන්නෙත් මොහු තමයි.

චිත්‍රපටියේ ඉපයීම් ගැන බැලුවහමනම් එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කර නැ ඇම්රිකාව තුළ ($ 35.4m). නමුත් ලෝ-පුරා එකතුව $ 126m වෙමින් Connery’ගේ අවසන් Bond නිරූපණයේ සමස්ත ආදායම ඉක්මවා ගියා. ඒ $ 7m වැයක ප්‍රතිපලය ගෙන එමින්. කෙසේනමුත් Roger Moore නිල වශයෙන් EON ලේබලය සහිතව තැනුණු වැඩිම Bond චිත්‍රපට සංඛ්‍යාවක Bond බවට පත්වීමේ ආරම්භය වුණේ මේ චිත්‍රපටය. ඔහුගෙන් පසු දෙවැනි තැන ඉන්නේ Connery. ඒ EON චිත්‍රපට 6ක Bond වෙමින්. එහෙනම් ඊළඟ වතාවෙත් හම්බෙමු ඊළඟ චිත්‍රපටයේ විස්තර සමගින්.

සිංහල උපසිරැස සමඟ Live and Let Die (1973) නරඹන්න මෙතනින් අප මව් අඩවියට පිවිසෙන්න.

උදා (217 Posts)


One thought on “Live and Let Die (1973) – ජේම්ස් බොන්ඩ් හා වූඩූ මායාවන්…

  • November 2, 2013 at 5:22 PM
    Permalink

    patta machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!