ඉදිරි දිගහැරුම… (XXXVI) | Planes 2 – කාර්වලට උඩින් යං!
Disney සමාගමට මේ වසර තරම් සිහින බොඳවුණ කාලයක් තවත් නෑ. ඇතැම් අය පුංචියටයි අඩමානෙටයි දැකපු හීන ලොවක් වසඟයට ගද්දී, Disney‘ලා ලොකුවට, මහ ඉහළින්ම දැකපු හීන, හීනයක්ම වෙලා ගියා. ඒ වුණත්, ඒ අය කොහෙත්ම බලාපොරොත්තු නොරැඳුව ඇතැම් නිර්මාණ සාර්ථකත්වයට පත්වුණේ හරියට; කොච්චර ලොකු ලොක්කෝ හිටියත් පොඩ්ඩන්ට සමහරවෙලාවට ඊට වඩා ලොකු වැඩ කළ හැකි බව සනාථ කරමින්. “අලි විකුණලා බැරිකොට; පලා විකුණලා කොහෙද?” කීවට අලින්ට වඩා පලා ලාභයි කියලා දැන් දැන් ඔන්න Disney‘ලාට තේරෙනවා වගේ… 😉
අර කියන්නේ; “අඩු කුලේ නොවෙයි, හොඳකම කිරියාව…” කියල. කුලෙන් අඩු වුණාට Planes (2013) සජීවීකරණිත චිත්‍රපටය Disney සමාගමට වෙනත් වැඩවලින් ඇති වූ පාඩුව අවම කරදෙන්නට කළ වැඩ ටිකනම්, පොඩි නෑ. විශේෂයෙන්ම එහෙම කියන්ඩ වෙන්නේ, Planes කියන්නෙ කොහොමටවත්ම සිනමා-තිරය සදහා කළ නිර්මාණයක් නොවෙන නිසා. මේක හදනකොට මුලින්ම අරමුණු කරලා තිබුණේ DVD/ BD වෙළඳපළ. ඒ කියන්නේ, මේක සෘජුවම පිටපත් විකිණීමේ අරමුණින් කළ නිර්මාණයක් කියන එකයි. Disney කට්ටියගේ Cars සජීවීකරණ චිත්‍රපට ද්විත්වය අනුසාරයෙන් නිර්මාණය කරන්නට පටන් ගනිපු මේ Planes චිත්‍රපටය Cars රසිකයන් ඉලක්ක කළ පිට-පැන්මක්(Spin-Off).
එනිසාවෙන්ම වන්නට ඇති ඔවුන් මේක තිරයට නොයොදා, ගෙදරම බලන එකක් බවට පත්කළේත්. කොහොමින් කොහොම වුණත් අන්තිමේ; මේ Planes පුළුල් තිරයත් ආක්‍රමණය කරන්නට තරම් ශක්තිසම්පන්න බව ඇස්පනාපිටම ඔප්පු වුණේ, ඇතැම් යෝධයන්ගේ මූණේ වැලි විතරක් නෙමෙයි දැලිත් ගෑවෙද්දී. Disney සමාගමේ තවත් එක නිර්මාණාංශයක් වන ‘DisneyToon Studios’ විසින් නිර්මාණය කරන්නට යෙදුණු මේ චිත්‍රපටය $ 50m වියදමින් US වල හොයපු ගාණ $ 89m වෙනවා. එතකොට ලෝ-පුරා හෙවූ මුදලේ අගය $ 207m. ඒ කියන්නේ; වියදම වගේ තෙගුණයකින් වැඩි ආදායමක්. ඉතින් ඒ විදිහට කරුණු සිද්ධ වෙනකොට තවත් ඉදිරියට මේක අරං යන්ඩ හිතුවොත්නම් ඒක කොහෙත්ම පුදුමයට කාරණාවක් නොවෙයි.
ඒක එහෙම වුණත්, පුදුමය තමයි, මේ දෙවැන්නේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ පළමුවැන්න තිරගතවෙන්නටත් කලින් සිටම වීම. ඒ නිසා තමයි අධ්‍යක්ෂකවරයා වෙනස් කරන්නටත් සිදුවෙලා තියෙන්නේ. පළමුවැන්නේ හැඩ-වැඩ කිරීම් කරන්නට අවශ්‍ය ප්‍රමාණවත් කාලයක් Klay Hall ට ලබාදෙමින්ම දෙවැන්න ඒ උණුසුම-පිටම ඉදිරිපත් කරන්නටනම් වෙන විකල්පයක් නෑ. (මතකනේ F&F6 සහ 7) ඒ අනුව Disney සැලසුම 2014 වසරේදී දෙවැන්න තිරයට ගෙනෙන්නයි. (හේතුව පැහැදිලියි. Cars 1 සහ 2 අතර වසර කිහිපයක(5ක) පරතරය තුළ ඒ වෙත පැවති ඉල්ලුම විශාල ලෙස පහතවැටුණා. එනිසා දෙවැන්න සිතූ තරම් සාර්ථක වුණේ නෑ. විශේෂයෙන්ම මේ වගේ එකක ඉලක්ක වෙළඳපොළ වෙන්නේ “වාහන උණෙන්” පෙළෙන නවයොවුනන් නිසා ඒ වසර කිහිපය අතීශය තීරණාත්මක වුණා දෙවැන්නෙහි සාර්ථකත්වයට. මෙවර ඒ වරද නොකරන්නටනම්, මේ තමා හොඳම ක්‍රමය 😛
දැන් ඔන්න, සිංහලත් දුන්නු නිසා, මුල් එකත් බලලම, මේකට සූදානම් වුණහැකි අපට. මුල් එකේ තිබෙන, තරමක් දුර්වල සජීවීකරණ සහ නිර්මාණකරණ තත්ත්වය ගැන මැසිවිලි නොනගන්නට හොඳ හේතුවක් දැන් අපට තියෙනවා. ඒ වුණත් දෙවැන්න පළමුවැන්නට වඩා ප්රශස්ත මට්ටමකින් එළිදක්වන බවට Disney ප්‍රතිඥා දී හමාරයි.මෙවර අධ්‍යක්ෂණය පවරා තිබෙන්නේ Roberts Gannaway කියන පළපුරුදුකරුවෙකුට. ඔහු මේ වගේ නිර්මාණවලට හොඳට පදං වුණ අයෙක්. Secret of the Wings (2012) මතකනම් ඔහු අතින් මෙහෙයවෙන සජීවීකරණ චිත්‍රපට ගැන අමුතු සැකසංකා වුවමනා නෑ. ප්‍රධාන චරිතය වන Dusty‘ගේ හඬ දුන් Dane Cook සහ Lil Dipper වූ Julie Bowen ඇතුළු තවත් පිරිසක් යළි මේ වෙනුවෙන් එක්වෙනු ඇති. තිරචනය යළිත් Jeffery M. Howard‘මයි.
ඩස්ටි ඇත්තටම වීරයෙක් වෙන්න යන්නෙ මේ වතාවෙයි. ගියපාර තරගෙන් පස්සෙ, ඩස්ටි ලෙඩ වෙලා. ඔහුගේ හදවතේ ආබාධයක්. එන්ජිමේ දෝෂයක් නිසා ඔහු නැවතත් තරග වැදීම ජීවීත අවදානමක් බවයි කාර්මික-වෛද්‍ය මතය. එනිසා ඩස්ටිට ඒ අදහස අත්හරින්නට වෙනවා. ඔන්න ඔය අතරතුරේ “පිස්ටන ශිඛර – ජාතික උද්‍යානය” පුරා ලැව්ගින්නක් පැතිර යන්නට පටන්ගන්නවා. ජාතික උරුමයක් වන, මේ උද්‍යානය දැන් අනතුරේ. මෙවර ගිනිනිවීමේ වාසර බලකායක් හා එක්ව ජාතික උරුමය බේරාගන්නටයි ඩස්ටිගේ වෑයම. ජීවිත කැපකිරීමෙන් වෙහෙසෙන ‘දුම්පිමිකරුවන්’/ පළපුරුදු මෙහෙයවන්නන් සහ දක්ෂ ගිනිනිවීම් කණ්ඩායමක් සමගින් ඩස්ටිගේ මීළඟ වික්‍රමය ඉක්මනින්ම තිරයට එනවා.
2014 වසරේ Disney නිර්මාණයක් නැති අඩුව පිරිමහන්නටත් ඩස්ටිගේ දෙවැනි වික්රමයට හැකි වේවි කියන එකයි නිෂ්පාදකයන්ගේ අදහස. බාගවිට 2014 වෙනුවෙන් Disney ආයතනයට තනිවම වටිනාකමක් ලබාදෙන්නටත් Planes 2: Fire & Rescue චිත්‍රපටයට බැරිවෙන එකක් නැහැ.මේ යන විදිහටනම් – Cars >>Planes මීළග Disney සජීවීකරණ පිට-පැන්ම >>Boats – වෙයි කියල සමහරුනම් කියනවා. ඒ කොහොමවුණත් මේ පළමුවැන්න අනපේක්ෂිත විදිහට පුළුල්තිරේදි ලබපු සාර්ථකත්වය මත, දැන් දෙවැන්න සිනමාහල් කරා පියාසර කරන්නට අපේක්ෂා පෙරදැරිව සූදානම් වෙනවා. ඒකෙන් පස්සෙ එන්නෙ මොකද්ද කියන එක දැනගන්ඩ ටිකක් කල් බලා ඉන්ඩ සිද්ධවෙනවා අපට. 😀
තිරයට එන දිනය: 2014 ජුලි 18
patta pahara mekanam bn
නියමයි උදා
ඔව් බන් ඒක කියන්නත් බැරි නෑ තමා 😀
නියමයි උදා එළකිරි ආ
කියන්න බැරි උනා Planes වලට පස්සෙ Boats නෙමෙ
සමහරවිට Cars Vs Planes කියලා ඒ 2 එකතු කොරලා ෆිල්ම් එකක් ගසාවි
සමහරවිට……
හොද විස්තරක් උදා
තුති