ඉදිරි දිගහැරුම… (XXX) | Kahaani 2 – දෙවැනි කතාව…

කොහොමද කතාව? කතාව කිව්වෙ ‘Kahaani (2012)’ කතාව. හින්දි වුණත් කාලෙකින් ආපු රජම බඩුවක්! නැද්ද මං අහන්නෙ? පිට පිට දෙවෙනි වරටත් විද්‍යා බාලන් ඉන්දියානු සිනමා අඹරෙහි හොඳම නිළිය ලෙසින් ‍ෆිල්ම්ෆෙයා සම්මානයෙන් අභිෂේක කළ ඒ කතාව, සිංහලෙන් අපට කිව්වෙ අපේ KUG! ඒ කිව්වෙ K.U.G. උදාර සහෝ. ඒ කතාව මතක නැතිනම් මෙතනට ගොහිල්ලා බලන්ඩකෝ. මුළු කතාවම සිංහලෙන් තියෙනවා අපේ සහෝ කියාපු විදිහටම.

හරි මේ පාරත් අර වැඩේටමයි හිත! 😛  දිගු කලකින් නොදු‍ටු අපේ මිතුරා KUG; -දැන් හිටිකරණම්, මාලක්කම් ගහන අපේ සිංහලෙන් විබපළ යාන්තම් කකුල් කෙලින් කරගන්ඩ වැර දරන කාලෙ- අපිත් එක්ක නිතරම ‍රැඳුණු මහානර්ඝ සම්පතක් වුණා. එනිසාවෙන්ම අපේ පැරණි උදවිය අපට ප්‍රතිචාර දුන්නත් නැතත් ඒ අය වෙත අපේ ඉල්ලීම් ඉදිරිපත් කරන්නට අප පසුබට වෙන්නේ නෑ.

Sujoi Ghosh

ඔන්න ආරංචිවල හැටියට Kahaani 2 වෙනුවෙන් කටයුතු සිදුවෙනවා. මේ වෙනකොටත් Kahaani 1 අධ්‍යක්ෂක සහ පිටපත් රචක Sujoi Ghosh දෙවැන්න ලියාගෙන යනවලු. පෙර පරිදිම කල්කටාව පසුබිම් කරගත් කතාවක් බවට මෙයත් පත්වෙන බව ඔහු පවසලා තියෙනවා. ඉන්දියන් රුපියල් කෝටි 104ක් හොයාපු කතාවක් එහෙම ලේසියට අමතක කරලා දාන්ඩ පුළුවන් කාටද නේද? ඒ නිසා සම නිෂ්පාදන දායකත්වය දරපු PEN India නිෂ්පාදන සමාගම වෙනුවෙන් නිෂ්පාදක Jayantilal Gada ප්‍රකාශ කර තිබෙනවා, දෙවැන්නට ඔවුන්ගේ දායකත්වය ලැබෙනු ඇති බව.

ඒ වගේම විද්‍යා යළි මේ වෙනුවෙන් එක්වනු ඇති. දැන් පෙනෙන විදිහට Hollywood‘යට කාන්තා වීරවරියක් මුල් කරගත් කතාමාලාවක් පවත්වාගෙන යෑම ලොකු අභියෝගයක් වුණාට, Bollywood‘යට ඒක ඒ තරමටම අමාරු කාරියක් නොවෙන පාටයි. අධ්‍යක්ෂකවරයා කියන හැටියට;

විද්‍යා නිසාම තමයි මගේ අතින් Kahaani ලියවුණේ. ඇය මේ වෙනුවෙන් මට ලොකු ශක්තියක් දුන්නා. ඇය පිටපත හසුරුවන්නට තැත් කරන්නේ නෑ, අනුබල දෙමින් දිරිගන්වනවා පමණයි. එනිසා දෙවැන්නටත් ඇගේ චරිතය නිසැකවම එක්වෙනු ඇති”.

Kahaani 2 වෙනුවෙන් ගියවර චිත්‍රපටයට පාදක වූ ප්‍රධාන යෙදවුම් දෙකම නැවත ඔහුට ඕනෙලු. ඒ තමයි “කල්කටා” සහ “විද්‍යා”. ඉතින් මේක කොයි විදිහකට ගොඩනැගෙයිද කියන්නට තරම් විස්තර තවමත් නෑ. ඒ වුණත් මේ නිර්මාණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදන සමාගම අතර මතභේද ඇති වෙලා තියෙන නිසා තවමත් මෙහි වැඩ කටයුතු පටන් අරගෙන නෑ. Kahaani බොහොම ඉහළින් රසවින්ද රසිකයන් හැටියට අපි ප්‍රාර්ථනය කරමු ඉක්මනින්ම මේ මතභේද සමථයකට පත්වෙලා මේ නිර්මාණයත් අපට දැකගන්නට අවැසි ඉඩ කඩ සැලසේවා කියලා…

තිරයට එන දිනය: නිශ්චය කර නොමැත.

උදා (217 Posts)


2 thoughts on “ඉදිරි දිගහැරුම… (XXX) | Kahaani 2 – දෙවැනි කතාව…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!