ඉදිරි දිගහැරුම… ‍(‍‍XXII) | Avengers 2: ලෝකය වෙනුවෙන් යළිත් සටනට…

ලෝකය කළඹමින්, ආදායම් වාර්තා අලුත් කළ, MCU සමූහ-වීර චිත්‍රපටිය ‘The Avengers (2012)’ හි දෙවැන්න ගැනයි මේ ආරංචිය. ඔන්න මෙදා සැරේ COMIC-CON උළෙලෙ’දී ඒ ගැන යම් විස්තර ස්වල්පයක් හෙළිදරව් කරලා අධ්‍යක්ෂක Josh Whedon විසින්. මෙතෙක් කලක් මෙය හැදින්නුවේ Avengers 2 යන කේත නමින් පමණයි. දැන් හෙළි කර තිබෙන අයුරින් මෙහි නිල නාමය The Avengers: Age of Ultron!

ඔහු මේ වනවිට දෙවැන්න වෙනුවෙන් චරිත ගොඩනගමින් පවතිනවා. ඒ කියන්නේ කතාව ලියමින් යනවා කියන එකනෙ. ගියවර දු‍ටු සමූහ-වීර කණ්ඩායම හැරුණු කොට තවත් අලුත් MCU චරිත කිහිපයක්ම එක්වෙන බවක් දැන් දැන් සහතික වෙලා. ඒ අතරට Quick Silver/ Wasp/ Scarlet Witch/ Vision සහ Ant-Man කියන චරිත අඩංගු විය හැකි බවටයි වාර්තා වෙන්නේ. මේ සියල්ලම නැතත් දෙක තුනක්වත් තියෙයි කියල කියවෙනවා. ඒ ඇරුණහම තියෙන අනිත් ආරංචිය; මෙවර දුෂ්ඨයා ගැනයි.

ගියවර අවසානයේ පෙන්වූ පරිදි, Thanos දෙවැන්නෙහි දුෂ්ඨයා වෙනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා. නමුත් මෙවරත් ඔහු නොවෙයි මේ පෘථිවියේ මහ බලැති වීරයන් එක්ක ගැටෙන සතුරා බවට පත්වෙලා තියෙන්නේ. මෙවර සතුරා නමින් “Ultron”.

Ultron

මේ Ultron චරිතය චිත්‍ර-කතා පොත්වලට අනුව නම් Hank Pym හෙවත් Ant-Man’ගේ නිර්මාණයක්. ඔහුගේ නිර්මාණයක් ලෙස ලොවට බිහිවන දියුණු ගුණ සහිත රොබෝවෙක් තමයි Ultron. නමුත් ඔහු පසුව සුපිරි බුද්ධියක්, වේගයක් සහ පරිසැකසුම් හැකියාවක් ලබාගෙන තනිවම ක්‍රියාත්මක වියහැකි අන්දමේ තත්ත්වයක් අත්පත් කර ගන්නවා. ඉන් අනතුරුව ඉබේම නවීකරණය වෙමින් තමන්ගේම නව සංස්කරණයන් බිහිකරගනිමින් තම නිර්මාතෲවරයාට වෛර බඳිමින් ලෝකය නසන්නට වැර දරනවා.

ඔය කිව්වේ චිත්‍ර-කතා චරිතය මිස චිත්‍රපටි චරිතය නොවෙයි. චිත්‍රපටි චරිතය මීට හාත්පසින්ම වෙනස්. හේතුව Ultron හට නව සම්භවයක් ලබා දෙන්නට Josh Whedon ඇතුළු පිරිස තීරණය කර තීබීම. නමුත් ඒ කොයි විදිහේ උප්පත්ති කතාවක් දැයි තවමත් හෙළි කොට නැහැ. හැබැයි ඇතැමුන් අනුමාන කරන පරිදි මේ Ultron මෙවර උපත ලබන්නේ Tony Stark‘ගේ නිවසිනුයි. මොකද එවැනි ස්වයංක්‍රීය බුද්ධි රොබෝවක් දැනටමත් ඔහු සතුව තිබෙනවා සහ අලුතින් අවශ්‍ය වන්නේ එම රොබෝවාගේම නරක සොහොයුරෙක් ලෙස; තනිව ක්‍රියාත්මක වන දරුණු ගණයේ කෘතිම බුද්ධි රොබෝවෙක් බිහිකිරීම පමණයි. ඒ හැරුණුකොට, මේ රොබෝවාත් ගියවර සතුරා වූ Loki පරිද්දෙන්ම Thanos‘ගේ තවත් එක ඉත්තෙක් විය හැකි බවත් මත පළව තිබෙනවා. කෙසේ නමුත් ඔවුන්ගේ කතාව කෙපරිද්දෙන් ගොඩ නැගේවිද යන්න ගැනනම් තවමත් කිසිවෙකුටවත් පැහැදිලි අදහසක් නැතුවා වගෙයි.

කෙසේ වුණත් IM3 අවසාන වුණේ Iron-Man‘ගේ අකුළා ගැනීමක් එක්ක හින්දා, මේ ඉහත කිවූ ක්‍රමයෙන් ඔහු යළි සක්‍රීය කිරීමට අවශ්‍ය දැඩි බලපෑමක් සහ පීඩනයක් එම චරිතයටත් ලැබෙනු ඇතැයි කියන එකයි අදහස වෙලා තියෙන්නේ. (මට හිතෙන විදිහටනම් මේක බොහෝ දුරට කතාවට ළඟයි! මොකද RDJ දැන් Avengers 2 සහ 3ට එක්වන්නට ගිවිසුම් ගතව අවසන්! ඇතැම් විට ඔහු තීරණය වෙනස් කර IM 4-6 වෙනකම් යළි එක්වන්නටත් බැරි නැහැ.)

කොහොම වෙතත් අධ්‍යක්ෂකවරයා කියන විදිහට, ගිය පාරට වඩා විද්‍යාත්මක පිවිසීමක් සහ ගොඩනැගීමක් මෙම දෙවන කතාවෙහි අඩංගු වෙනු ඇති. ඔහුට අනුව චිත්‍ර-කතා වලින් ඔවුන් අරගන්නේ ඔවුන්ගේ නිර්මාණයට වුවමනාම කොටස් පමණයි. අනික්වා දෙවරක් නොසිතා ඉවත දානවා. මේ චරිත සඳහා එක්වන නළු-නිළියන් කවුදැයි යන වගනම් තවමත් අනාවරණය කොට නැහැ. නමුත් චිත්‍රපටියේ නාමය හෙළි කිරීමත් එක්ක නිකුත් කළ නිලරූපය තමා මේ…

කොහොම වුණත් ගිය සැරේ වගේම; ඇතැම් විට ඊටත් වඩා, වීරත්වය කැටි කළ නිර්මාණයක් ලෙස මෙය එළි දකීවි. දැනටමත් හෙළි කර ඇති පරිදි Marvel දෙවන පියවරෙහි අවසානය සනි‍ටුහන් වන මේ චිත්‍රපටිය මුල් එක වගේ සතු‍ටුදායක අවසානයක් කරා යොමු නොවෙන එකක්. ඇතැම් විට මුළු ලෝකයම හෝ නැතහොත් වීරයන් කිහිප දෙනෙකුගේ ජීවිත හෝ තර්ජනයට ලක්වීමේ ඉඩ කඩ වැඩියි. ඒත් එක්කම Avengers 3 වෙනුවෙන් පදනමකුත් සකසන්නට මින් බලාපොරොත්තු වෙනවා විය හැකියි.

එහෙමනම් ලෝකයේ තෙද-බලැතිම වීරයන්ගේ යළි-එක්වීමට කාලය ළං වෙනවා. තව වැඩිය කල් නෑ. අවුරුදු දෙකයි… 😛 (එච්චර කල් බලාගෙන ඉන්න එක තමා අමාරුව! නැද්ද? 🙁 )

තිරයට එන දිනය: 2015 මැයි 01

9 thoughts on “ඉදිරි දිගහැරුම… ‍(‍‍XXII) | Avengers 2: ලෝකය වෙනුවෙන් යළිත් සටනට…

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!