ඉදිරි දිගහැරුම… (XVI) | RE6 වෛර6’ක ශාපය..

Resident Evil 6

වෛර6(වෛරසය)ක් කියන්නෙ විටෙක බොහොම භයානක වන්නටත් හැකි, විටෙක බොහොම හිතෛශී වන්නටත් හැකි ලෝකයේ පවතින වටහාගත නොහැකි පුදුමාකාර ජීවී කොට්ඨාශයක්. විදුදරයන් මේවා පහදන්න කොතරම් කුකුසකින් වැඩ කටයුතු කළත් ඒවා හඳුනාගැනීම හෝ වටහාගැනීම කෙළවරක් නෑ. සමහර සිනමා පෙළයනුත් ඒ වගේ. කෙළවරක් නෑ. ලෙහෙසියට ඉවරයක් කරන්නට ඉඩක් ලැබෙන්නෙ නෑ. නමුත් මෙතෙක් කලක් වෛරසයක් හා බැඳුණු කතාවක් පදනම් කරගෙන දිගහැරුණු එවන් එක් සිනමා පෙළක අවසානය සනි‍ටුහන් කරන්නට එහි නිෂ්පාදන සමාගම වන තීරණය කරලා.

එහි මෙතෙක් තැනුණු චිත්‍රපට 5 ඇසුරින් $ 248m වැයක් තුළ $ 916m කට ආසන්න මුදලක් උපයා දෙන්නට සමත් වී තිබෙන නිසා කොච්චර වුණත් එහෙම අහවරක් කරන්නෙ එච්චර කැමැත්තකින් නොවෙයි කියන එක සහතිකයි. නමුත් කාලයත් එක්ක මේ වෙනුවෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හීන වී යාම නිසා යළිවරක් ප්‍රත්‍යාරම්භයක් සහිතව නිර්මාණය කිරීමේ හෝ ප්‍රතිනිර්මාණයක් කිරීමේ හෝ අදහසක් ඇතුව මේ විදිහට සමුගන්වනවා වෙන්නට බොහොම ඉඩ තිබෙනා බවයි වැටහීම. නමුත් දැනට තියෙන තත්ත්වය මත තවත් ඉදිරියට යාම නිෂ්ඵල දෙයක් බව ඔවුනට වැටහිලා. එනිසා මෙයට අත තියාපු පුද්ගලයම නැවතත් ගෙන්වලා ඉවරයක් කරලා දාන එකත් ඔහුට භාර දීලා.

Paul W.S. Anderson මේ සිනෙ පෙළේ 1, 4, 5 දැනට ඔහු අතින් තමයි කෙරිලා තියෙන්නේ.විචාරක ගැ‍රැහුම් මැදත් අච්චර සල්ලි කන්දරාවක් හොයන්ඩ මේ සිනෙ පෙළ සමත් වුණත් දැන් කාලය හරි බවයි ඔවුන්ගේ අදහස. එනිසා 6 වැන්නෙන් Resident Evil චිත්‍රපට මාලාව නිම කරන්නටයි සූදානම. ආරංචි විදිහට මේ වසරේ පතන සමයේදී මෙහි රූගතකිරීම් ඇරඹෙන්නට නියමිතයි. RE පටන් ගත්තේ ජාන මැවිසුරුවේදය හා සම්බන්ධ පර්යේෂණයකදී සිදුවන වැරදීමක් හේතුවෙන් භයානක වෛරසයක් විද්‍යාගාරයක් තුළට නිකුත්වීම නිසා, එම තහනම් පර්යේෂණ සිදුකරන ආයතනයේ සියල්ලන් මියගොස් පසුව මළයකුන් බවට පත්වීමත්, ඊට එරෙහිව සටන් වදින්නට එළඹෙන ඔවුන් විසින්ම ආයුධ පර්යේෂණයක් ලෙසින් නිර්මාණය කරන ලද යුවතියකත් වටා ගොඩනැගෙන කතාවක් ලෙසිනුයි. නමුත් පසුව එය; විකෘති ජීවීන්, චෛතසික හැකියාවන්, අනුපිටපත් හමුදාවන්, මොළය-වෙනස් වන පරපෝෂිතයන් වගේ විවිධ පැතිවලට ගමන් කළා.

දිසිරූ ක්‍රීඩාවක් ඇසුරින් තිරයට නැගුණු බොහෝ සාර්ථකත්වයක් හිමිකරගත් සිනමා නිමැවුම් පෙළක් ලෙස මෙය හැඳින්විය හැකියි. ජපානයේ Capcom සමාගමේ දිසිරූ ක්‍රීඩාවක් ලෙස තමයි මුල්වරට මේ අදහස කවුරුත් හඳුනා ගන්නේ. නමුත් ඔවුනගේ ක්‍රීඩාවත් මේ චිත්‍රපට මාලාවත් එකිනෙකට හාත්පසින්ම වෙනස්. මෙහි අඩංගු වෙන්නට යන කතාව ගැන තවමත් නිසි තොරතුරක් නැති නමුත් කලින් වගේම Alice ගේ චරිතයෙන් Milla Jovovich නම් එලෙසම එක්වනු ඇති බව ඒකාන්තයි. ඒ වුණත් අධ්‍යක්ෂකවරයා සහ ප්‍රධාන නිළිය හැරුණුකොට වෙනත් දායකත්වයන් ගැන කිසිදු විස්තරයක් තවමත් හෙළි කොට නැහැ.

නමුත් මෙහි 6 වැන්නෙන් අනතුරුව 7 වැන්නක් සඳහාත් කිසියම් සැලසුමක් ඇති බව නිෂ්පාදනායතනය හෙළි කර තිබෙනවා. අධ්‍යක්ෂක Anderson කියන විදිහට 6 වැන්න මේ සිනෙ පෙළෙහි අවසන් නිර්මාණය වන නිසා මේ කියන 7 වැන්න ප්‍රතිනිර්මාණයක් හෝ ප්‍රත්‍යාරම්භයක් වීමේ ඉඩකඩ වැඩියි. ඒ වුණත් යළි මෙහි අධ්‍යක්ෂණයට එක් නොවන බව පවසන Anderson තමන්ගේ අවසාන RE දායකත්වය මේ කියන 6 වැන්න බවයි පවසා තිබෙන්නේ.

ඉතින් මේ ජාතියේ චිත්‍රපටවලට නැතිනම්; මේ සුවිශේෂී චිත්‍රපට පෙළට ආශා කරන අයටනම් මෙය හොඳ වගේම නරක ආරංචියක් බව නිසැකයි. කොහොම වුණත් ආපහු එකක් එන නොඑන එක ගැන තීරණය 6 වැන්නෙහි තත්ත්ව වාර්තාවන් පිරික්සලාම අරගන්නට සමාගම ඉවසීමෙන් මග බලාගෙන ඉන්නා බව සඳහන්.

තිරයට එන දිනය: 2014 සැප්තැම්බර් 12

උදා (217 Posts)


2 thoughts on “ඉදිරි දිගහැරුම… (XVI) | RE6 වෛර6’ක ශාපය..

  • July 3, 2013 at 9:01 PM
    Permalink

    ඉස්තූතී මචන් දැනුවත් කිරීමට

    මම ආසම කරන ෆිල්ම් සෙට් එකක් මේක

    කියනවාක් වගේ අන්තිම රෙසිඩෙන්ට් එවිල් ෆිල්ම් එක හිතුව තරම් හිතට වැදුන් නෑ

    ඒ කියන්නෙ රසිකයින් අතරින් ඈත් වෙන්න ඉඩ තියෙනව මේ ෆිල්ම් සෙට් එක තව ඇදුනොත්

    ඒ නිසා ඊලග එක හොද කතාවක් එක්ක හොද වැඩ කිඩ වැස්සක් වස්සල සමුගන්න එක තම හොදම දේ

    නැත්නම් තවත් එක ෆිල්ම් එකක් විතරක් වෙන්න ඉඩ තියෙනව තවත් ඉස්සරහට මේ ෆිල්ම් සෙට් එක ඇදුනොත්

  • July 3, 2013 at 8:38 PM
    Permalink

    thawath lihan uda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!