කෙටි සිනමාපටචිත්‍රපටදැනුමටවගතුගවීඩියෝසිංහල උපසිරසසියල්ල

Corona Virus – Covid 19, Earth & Us | කොරෝනා, මහපොළව සහ අපි… (කෙටි චිත්‍රපටය)

මේ මොහොත වන විට ලොව පුරා මිලියන 5කට අධික පිරිසක් නරඹා ඇති ලොවම කලඹන ඉන්දියානු කෙටි චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟින් ගෙන එන්නේ “බයිස්කෝප් සිංහලෙන්” වෙබ් අඩවිය විසිනි.

අපි…….

අපි කවුද?

ඒ ප්‍රශ්නෙ මං ඔයාලගෙන් ඇහුවොත්, බහ තෝරන පොඩි එකාගෙ ඉඳන් මහළු වියේ පසු වෙන කෙනෙක් දක්වා ඕනෙම කෙනෙක් ගාව එක එක උත්තර තියෙන්න පුළුවන්….

අපි මිනිස්සු….

අපි මානවයො….

අපි පෘථිවි වාසීන්……

අපි සත්තු….

හරියට හරි….

අපි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපි සත්තු….

කිසිම හැඟීමක් දැනීමක් කෙළෙහි ගුණයක් නැති කාලකණ්නි සත්තු…

ඇයි මම එහෙම කියන්නෙ?

ඔයාලා මේ පොඩි වීඩියෝ කෑල්ල ඩේටා කපා ගෙන බැලුවා කියලා පාඩු නෑ මිත්‍රවරුනි…

අපි කවුරුත් කැමති නෑ අල්පෙනෙති තුඩකවත් හිරිහැරයක් වෙනවට.. වේදනාවක් දැනෙනවට… ඒත් අපි අපිට හැර, අපි වටේ ඉන්න අනිත් අයට දෙන දුක් වේදනාවල් ගැන අපිට දැනෙන්නෙ නෑ. මොකද තුවාලෙ තියෙන එකාට තමයි ඒ වේදනාව දැනෙන්නෙ….

ඒත්…. මුහුණු පොතේ, සමාජයේ සහ අනිකුත් සමාජ මාධ්‍ය ජාලා ඉදිරියේ අපි හැමෝම හරි සුද්ධවන්තයො… ගහකොළ, සතා සිව්පාවට ආදරේ කරන අපේ කම ගැන, මනුස්සකම ගැන ලොරි ටෝක්ස් දෙන මහ වීරයෝ… හැබැයි පොඩි දෙයක් වෙච්ච ගමන් කැති පොලු උස්සගෙන තම තමන්ගෙ ජාති, කුලමල වලට භේද ඇති කර ගන්නවා. මේක ලියන මමත් සංහිඳියාව ලොකු කරගෙන ටෝක්ස් දෙන එකෙක් නෙවෙයි. තමන්ගෙ එකෙක්ට මොනවහරි කරදරයක් වෙනවා නම් මරාගෙන මැරෙන්න හරි ඉදිරිපත් වෙන තරමේ හිතුවක්කාර හිතක් තියෙන එකෙක්.

ඒත්…… අපි කොච්චර ඇණ කොටා ගත්තත්…..මොන යම් හෝ විපතක් උනාම අපේ මිනිස්සුන්ට එකට එකතු වෙලා එක අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන විදියේ මොකෙක්දෝ යක්ෂයෙක් ආවේස වෙනවා. ඒ යකා වැහුණම වටේ පිටේ ඉන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්ද සතෙක්ද වෙන මොන මල යකෙක්ද කියලා නෑ තමන්ගෙ බොක්කෙ තියෙන දේ එළියට අරන් දීලා හරි පිහිට වෙන්න පුළුවන් විදියෙ පට්ට ගැම්මක් එනවා. සුනාමි ආවා…. යුද්ධෙ තිබුණා…. ගිය අවුරුද්දෙ බෝම්බ ගැහුවා…. මේ අවුරුද්දෙ කොරෝනා වසංගතේ ආවා…. අපි සැලුනද ? නෑ මිත්‍රවරුනි…. අපි ඔක්කොම එකාවන්ව එකට එකතුවෙලා එක අරමුණක් වෙනුවෙන් මහන්සි වෙනවා දිවා රෑ නොබලා. ඉතින්… ඇයි මං මේක ගැන මෙච්චරටම දොඩවන්නෙ? මේ වගේ කතා මීට කලින් කියලා තියෙනවානේ ගොඩක් අය….. ඔව්……. ඇත්ත… ඒත් මං අද මෙහෙම ලියන්නෙ එකම තැටිය ආයේ ආයෙත් දාන්න නෙවෙයි….. අපිට නොපෙනෙන, දරා ගන්න බැරි තරම් වේදනාවක් උහුලන, ඒ වේදනාවට හේතුව අපි උනත් ඒ ගැන අපිට ඔළුවට දෙකක් ඇනලා කියා ගන්න බැරි පණ තියෙන තවත් ජීවියෙක් වෙනුවෙන් ඔයාලගෙන් ආයාචනයක් කරන්න… උදව්වක් ඉල්ලන්න..

මම මේ කියන දුක් වේදනාවල් විඳින ජීවියා වෙන කවුරුත් නෙවෙයි… මේ මහපොළව, නැතිනම් අපේ සොබාදහම, අපේ නිවහන වෙන පෘථිවිය…. දැන් ඉතින් මට වඩා උගත් උන් රෙද්ද උස්සගෙන ඒවි ජීවී අජීවී දේවල් ගැන නිර්වචන ගැන තර්ක කරන්න. කමක් නෑ. ඇහැට නොපෙනෙන දේවල් ගැන මහා ලොකුවට පර්යේෂණ කරන, කවදාවත් තමන්ට නොලැබෙන ආදරයක් වෙනුවෙන් මුළු ජීවිතයම මඟ බලාගෙන ඉන්න, කොහෙවත් ඉන්න සමහර පාලකයො වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ නොතකා දිවා රෑ නොබල කඩේ ගිහින් වරිගෙ නහගන්න ආදී විවිධාකාරයෙ මිනිස්සු ඉන්න ලෝකෙක මං වගේ පිස්සොත් එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් මේ මහපොළවට සිද්ධ වෙන්න යන නස්පැත්තිය දකිද්දි පපුව ඇතුලෙන් ලොකු වේදනාවක් දැනෙන.

මේ වීඩියෝ කෑල්ල තියෙන්නෙ මිනිත්තු කිහිපයක් උනාට, ඒ ටික වෙලාවට අපිට මතක් කරලා දෙනවා අපි නොතේරුනා වගේ හිටියට මේ ලෝකෙට කරන විනාසෙ ගැන….. ඉස්සරහට සිද්ධ වෙන දේශගුණ විපර්යාස වලින්, ව්‍යසන වලින් අපිට ටොකු ඇන ඇන තේරුම් කරද්දි අපිට දැනෙන්න ගනීවි මේ මහපොළවට වේදනාව දරා ගන්න බැරිම තැන ඒකට අපිට දඬුවම් කරන හැටි.. දැනුත් ඒ දඬුවම් පෙළගැස්මෙ කිහිපයක් අපි අත්විඳලා ඉවරයි. කවුරුත් කවදාවත් නොහිතපු විදියට ඇමසන් වනය අක්කර දහස් ගානක් ගිනි ගත්තා. මහා බාධක කොරල්පරය මැරිලා ගියා. ග්ලැසියර දියවෙලා මැරිලා ගියා. පරිසර උෂ්ණත්වය වැඩි වෙන්න ගත්තා. තව තව දේවල් ගොඩක් දැනටමත් මේ ලෝකෙ සිද්ධ වෙනවා… සමහර උන් ඒ කිව්වෙ පාලකයො, ලොකු ලොකු මිනිස්සු මේ ගැන දන්නවා. හැබැයි දන්නෙ නෑ දැක්කෙ නෑ වගේ ඉන්නවා. මොකද උන්ට ඕනෙ තම තමන්ගෙ මඩිය තර කර ගන්න විතරයි. අපි… අපිට ඕනෙ දෙයක් සති දෙකයිනෙ බං. අපිට ඕවට වඩා වැදගත් දේවල් තියෙනවා හොයන්න. වෙන්න ඇති. ඔක්සිජන් ඕනෙ නෑ කිව්ව මිනිස්සු ඉන්න රටේ මේ මහපොළව මැරෙමින් ඉන්නවා කිව්වත් කිසි ගානක් නෑ.

ඒත් ඇත්ත කතාව ඒක තමයි. මේ මහපොළවට මිනිස්සු ආපු දවසේ ඉඳන් අද දක්වා කරපු දේවල් වලින් තුවාල වෙලා හොඳටම වේදනා විඳිනවා. ඒ වේදනාව දරා ගන්න බැරුව හෙම්බත් වෙච්ච දවසක මහපොළව හුස්ම ගන්න එකත් නවතීවි. අන්න එදාට අපි පරක්කු වැඩියි. එදාට වෙන්නෙ අන්තිම මිනිසා දක්වා එක එකාට යුද්ධ කරන්න. සොබාදහමෙන් අපිට නොමිලේ දෙන හැම සම්පතක්ම වෙනුවෙන් අපි එකිනෙකා මරා ගනීවි.

පොඩ්ඩක් ඉන්න….

මේ වෙන්න යන නස්පැත්තිය ගැන හිතෙන්නෙ මට විතරද? නෑ. තව එහෙම හිතෙන අය තමයි මේ මහපොළව බේරගන්න අරගල කරන්නෙ. ගුණමකු මිනිස්සු එක සටන් වදින්නෙ. දැන් ඉතින් පුළුවන් නම් මං අර කලින් කිව්ව යක්ෂයා ආවේස කර ගනිල්ලා… හැමෝම එකතු වෙලා කොරෝනා පරද්දන්න එකට එකතු වෙලා වැඩ කරනවා වගේ අපි අපේ මහපොළව වෙනුවෙනුත් යුතුකම් ඉෂ්ට කරන්න ඕනෙ.

දැන් අපේ ලොකුම මෙහෙයුම ගෝලීය වසංගතයක් වෙච්ච කොරෝනා වලින් අපේ මනුශ්‍යත්වය බේර ගන්න එක. ඒ අතරෙ හැමෝම මතක තියාගෙන අධිෂ්ඨාන කර ගන්න අපේ ඊළඟ මෙහෙයුම මොකක්ද කියන එක. නැත්නම් ඉස්සරහට ලෝකෙ කතා කරන්නවත් මනුස්සයෙක් ඉතිරි වෙන එකක් නෑ. කොරෝනා නිසා ගෙවල් වලට හිර වෙලා බොහොම අමාරුවෙන් බලෙන් එක තැනක තියා ගෙන ඉන්න අපිට දැන් වැදගත් දෙයක් ගැන කල්පනා කරන්න ඕනෙ තරම් කාලය තියෙනවා.

සුපැහැදිලි මනසකින් හිතලා බලන්න….. අපි නොදැනුවත්වම අපි අපේ මහපොළොවට වද දීලා ඇති කරපු තුවාල වලින් ඇති වන වේදනාව සමනය කර ගන්න, මහපොළවට නිදහසේ පොඩි හුස්මක් ගන්න පොඩි ඉන්ටවල් එකක් දීලා තියෙන්නෙ. ඒක මනාව පැහැදිලි වෙනවා මේ දවස් වල මුහුණු පොතේ සංසරණය වෙන ඕසෝන් වියන, වායුගෝලීය දත්ත තොරතුරු දැක්කම…

ඉතින්… මං මීට වඩා කියන්න යන්නෙ නෑ. උඹලම තම තමන්ගෙ මට්ටමින් හිතලා බලපල්ලා…

කොරෝනා කියන්නෙ වසංගත රෝගයක් නොවී මේ මහපොළවට බෙහෙතක් නම්….

අපිද මේ මහපොළව විනාස කරන වෛරසය???

කෙටි චිත්‍රපටය මෙතනින් පිවිස නරඹන්න.

සටහන – ෂෙරින් සමාධි ද සිල්වා

Author

One thought on “Corona Virus – Covid 19, Earth & Us | කොරෝනා, මහපොළව සහ අපි… (කෙටි චිත්‍රපටය)

  • Corona is not just a virus.Nature will control who try to control the nature.Thanks for this great post.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *