The Witcher විශ්වය ගැන දැනගමු

Netflix කියන්නෙ හැම අවුරුද්දකම වගෙ අමුතුම විදිහෙ සුපිරි නිර්මාණ නිකුත් කරන තැනක් කියලා කොයි කවුරුත් දන්නවා ඇතිනෙ. අද අරන් එන ලිපිය සම්බන්ධ වෙන්නෙ එයාලගෙ අලුත් නිර්මාණයක් වන, The Witcher කතාමාලාව නරඹන්න ඉන්න අය වෙනුවෙන් මේ සම්බන්ධ තොරතුරු කිහිපයක් බෙදාගන්නයි. සමහරු නම් මේ දේවල් ගැන මටත් වඩා හොදට දන්නවා ඇති. ඒත් ඉතිං දන්න නොදන්න හැමෝම වෙනුවෙන් මේකට සම්බන්ධ කරුණු ටික කියන්න ඕනමයි කියලා හිතුනා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව කතාවට බහිමු.

The Witcher | නවකතාව

Netflix යටතේ මේ විදිහේ කතාවක් නිර්මාණය වෙන්න කලින් Andrzej Sapkowski නම් පොලිෂ් කතුවරයා යටතෙ 1990 – 2012 කාලය දක්වාම ලියැවුණු නවකතාවන්/කෙටි කතා තමයි The Witcher කියන්නෙ. The Witcher ඇසුරින් සම්පුර්ණ පොත් අටක් නිකුත් වෙනවා. ඒ තමයි,

  1. The Last Wish 
  2. Sword of Destiny 
  3. Blood of Elves
  4. Time of Contempt
  5. Baptism of Fire 
  6. The Tower of the Swallow 
  7. The Lady of the Lake
  8. Season of Storms

ඔය විදිහට තමයි පොත් ටික නිකුත් වෙන්නෙ. පොත් කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් හොයාගෙන කියවන්න. පොත් ටික පරණ වුනාට දේශීය වගේම විදේශීය අන්තර්ජාලය හරහා පොත් විකුණන අය තවමත් මේ පොත් අලෙවි කරනවා. ෆැන්ටසි කැටගරි එක පදනම් වෙමින් නිකුත් වුන පොත් කිහිපය නිසාම Andrzej Sapkowski අතිශය ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. මේ විදිහට නිර්මාණය වෙන පොත් ඇසුරින් පසුකාලීනව චිත්‍රපට, කතාමාලා වගේම ක්‍රීඩා පවා නිර්මාණය වෙලා නිකුත් වෙලා තියෙනවා. 

Witcher Reading Order

 

පොලිෂ් කියන වචනය තැන් කිහිපයකම මේ වෙද්දී භාවිතා වුනාට වැඩිය අහලා නැතුව කියලා හිතනවා. Polish, polszczyzna, simply polski, වගෙ නොයෙක් නම් වලින් හදුන්වන මේ පොලිෂ් භාෂාව කියන්නෙ ලෙච්ටික් කියන උප භාෂා සමුහයට අයත් වෙන බටහිර ස්ලාවික් භාෂාවක්. පෝලිස් නොහොත් පොලිෂ් ජනතාවගෙ මව් භාෂාව විදිහටත්, පෝලන්තයෙ මුලික භාෂාවක් විදිහටත් භාවිතා වෙනවා. 

Witcher Schools | මායාකරුවන්ගේ පාසැල්

තරුණ මායාකරුවන්ගෙ පුහුණුවට යවන පාසල් තියෙනවා. මේවා නම් කෙරෙන්නෙ සත්වයෙකුගේ නමින්. ඒ ඒ අදාළ පාසල්වල ශිෂ්‍යයන් හදුනාගන්න පුලුවන් ලේසිම විදිහ තමයි ඔවුන් පළදින පෙන්ඩන්ට් එක හරහා .ප්‍රධාන ඒවා වශයෙන්,

  • School of the Wolf
  • School of the Viper
  • School of the Griffin
  • School of the Cat

ඔය හතර හදුන්වන්න පුලුවන්. මීට අමතරව,

  • School of the Bear
  • School of the Manticore
  • School of the Crane
  • Order of Witchers 

එහෙමත් හදුන්වන්න පුලුවන්. මේ හැම මායාකාර පාසලක්ම පිහිටලා තියෙන එකිනෙකට වෙනස් වූ තැන්වල. ඒ වගේම මේවායේ අරමුණ අනුව ඉගැන්වීම්වල වෙනසක්ද තියෙනවා. 

බිහිවීම හා ඔවුන්ගේ අරමුණ

Temeria (ටෙමේරියා) නම් කොටසට මුල්ම මිනිසුන් වාසය කිරීමට ආව කාලෙ, මේ අයට තමන්වම ආරක්ෂා කරගන්න සිද්දවෙන විදිහෙ ප්‍රශ්න වගේම තර්ජන ඇතිවෙලා තියෙනවා. මේ කාර්යය ඉෂ්ට කරන්න බාර වුනෙ රණශුර භික්ෂූන් කිහිප දෙනෙක්ට. එහෙම නැත්තම් “මුල්ම මායාකරුවන්” කියලත් ඔවුන්ව හදුන්වන්න පුලුවන්. ලෝකයේ ජිවත් වෙන රාක්ෂයින්ගෙන් ආරක්ෂා කරන්න ඔවුන් තමන්ගෙ ශරීරයේ ස්වභාවය වෙනස් කරගත්තා ස්වභාවික පරිසරයෙ තියෙන අමුද්‍රව්‍ය එකතු කරලා හදාගන්න සංයෝගයක් හදාගෙන. මේකට විපර්යාස කාරක හතු වර්ග, ඖෂධ වර්ග වගේම උත්තේජක ඇති කරන ශාක. මේකෙන් මේ අයට සුපිරි ශක්තින් ලැබුනා ලෝකයේ ජීවත් වන රාක්ෂයින් දඩයම් කරන්න අවශ්‍ය වන ප්‍රමාණයට. 

මේ විදිහට නිර්මාණය වූ මායාකරුවන් මුදල් හොයන පරමාර්ථයෙන්, රාක්ෂයො දඩයමේ යන එක තමයි මේ අයගෙ අරමුණ වෙන්නෙ. නමුත් මේ අයට උද්වේගයන් වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් ලැබෙන්නෙ නැති, මිනිස් වර්ගයාට අයත් වූවත්, මිනිසුන් අතරේ මිනිසුන් ලෙස නොසැලකෙන කොට්ටාශයක් විදිහටයි හදුන්වන්නෙ.

ආයුධ

ඔවුන් පුහුණුවේදී ලබාගන්නා ප්‍රවීණත්වයට අනුව ඕනෑම ආයුධයක් මානව හසුරවන්න පුලුවන්. නමුත් පුහුණුවේදී මොවුන්ට ඉලක්ක කෙරෙන ප්‍රධාන ආයුධ දෙකක් තියෙනවා.

  1. The Steel sword

කඩු වර්ග දෙකෙන් එකක් තමයි වානේ කඩුව කියන්නෙ. මේක පාවිච්චි වෙලා තියෙන්නෙ පිටපොත්ත හුගක් හයිය හො සිල්වර් වලට සංවේදී බවක් නැති රාක්ෂයින්ට හානි කරන්න. මේ කඩු එක්කො මායාකරුවන් විසින් හදාගන්නවා. එහෙම නැත්තම් මෙවැනි කඩු නිර්මාණය කරන තැන් වලට කියලා හදා ගන්නවා. හුගක් වෙලාවට “මහාකම්” කියන යටත් රාජ්‍යයට ගිහිල්ලා හදාගන්නවා. උතුරු රාජධානි වලටත්, නිල්ෆ්ගාඩ්ලටත් යකඩ හා වානේ අපනයනය කරන්නෙක් විදිහට මහාකම් රාජ්‍යය සලකනවා. 

  1. The Silver sword

සිල්වර් (රිදී) කඩු පාවිච්චි වෙලා තියෙන්නෙ අස්වාභාවික බලයන් තියෙන සතුරන් එක්ක සටන් කරද්දීයි. මේ සිල්වර් කඩු මායාකරුවන් විශේෂිත කඩු විදිහට සලකනවා. 

“Witcher” | නාමය

Witcher කියන්නෙ ඉංග්‍රීසි වචනයක් වුනාට Andrzej Sapkowski විසින් මුල් කාලේ භාවිතා කරලා තිබුනෙ පොලිෂ් භාෂාවෙන් “wiedźmin” කියලයි. පස්සෙ කාලෙක මේ වචනෙ “Hexer” කියලා පරිවර්තනය වෙනවා 2000 වසරේදී මේ ඇසුරින් නිකුත් වූ කෙටි කතාවක යොදාගන්නත් 2001 දි බිහි වූ චිත්‍රපටය සදහාත්, 2002 වසරේදී නිකුත් වූ කතාමාලාව සදහා යොදාගන්නත්.  මේ දෙකම නිකුත් වෙන්නෙ “The Hexer” කියන තනි නාමයක් යටතෙ. “Hexer” කියන්නෙ ජර්මානු භාෂාවෙන් “මායාකාරයා, ඉන්ද්‍රජාලිකයා” වචන වලටයි. පසු කාලීනව වීඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන CD Projekt Red සමාගම විසින් 2007 වසරේදී ඔවුන්ගේම වීඩියෝ ක්‍රීඩා නිකුත් කරන්න wiedźmin, Hexer යන වචනවල ඉංග්‍රීසි පරිවර්තනය යොදාගත්තා. ඒ The Witcher ලෙසින්.

The Witcher | ප්‍රධාන චරිත

Geralt of Rivia

මනුස්සයෙක්. මිත්‍යාවක්. පුරාවෘතයක්. මායාකරුවෙක්.

ඔය හැම විදිහකින්ම රිවීයාවල ගැරල්ට්ව හදුන්වන්න පුලුවන්. White Wolf, Gwynbleidd, Butcher of Blaviken, Ravix of Fourhorn, Butcher of White Orchard යන නම් සියල්ලෙන්ම හදුන්වන මොහු The Witcher හරහා දැකගන්න ලැබෙන ප්‍රධානම චරිතයයි. ගැරල්ට් කියන්නෙ වීසෙනා කියන මායාකාරියගෙත්, කොරීන් කියන රණශුරයාගෙත් පුතා. ගැරල්ට් ඉපදුනාට පස්සෙ එයාගෙ අම්මා එයාව කයර් මෝහෙන්වල පිහිටලා තියෙන School of the Wolf කියන පාසලෙ අතහැරලා එනවා. එහෙදි උස් මහත් වෙන ගැරල්ට් Witcher කෙනෙක් නොහොත් “මායාකාරයෙක්” වෙන්න පුහුණුව ලබනවා. පුහුණුව සරල නම් නැහැ. අති විශාල, ක්‍රැර විදිහට කායිකව මෙන්ම මානසික තත්වයන් වලටත්, අභිරහස් පිළිවෙත් වලටත් මුහුණ දෙන්න වෙනවා මේ පුහුණුව අතරතුරේදී. එහෙදි තමයි ගැරල්ට්ගෙ නම Geralt of Rivia නොහොත් “රිවීයාවල ගැරල්ට්” නැවතත් නම් කරගන්නෙ. 

ශක්තිමත්ම හා බලවත්ම රණශුරයෙක් වෙන්න තියෙන තවත් සමීක්ෂණයක් තමයි Trial of the Grasses නොහොත් herbs කියන්නෙ. මේක නිකන්ම නිකන් සමීක්ෂණයක් නම් නෙවෙයි කලින් කිව්වා වගේම මේකත් හුගක් දුෂ්කර, වේදනාකාරී එකක්. මේ අයව අතිප්‍රබල අය කරවන කාර්යයට යොදාගෙන තියෙන්නෙ මුලින් සදහන් කරපු රණශුර භික්ෂූන් ඒ කාලෙදි භාවිතා කරපු අමුද්‍රව්‍යයම තමයි මේකෙදිත් භාවිතා කරලා තියෙන්නෙ. මේකට තරුණ මායාකරුවන් දහදෙනෙක් මුහුණ දුන්නොත් මේකෙදි ජීවීතේ බේරෙන්නෙ තුන්දෙනෙකුගෙ විතරයි. ඒ අයගෙන් කෙනෙක් තමයි ගැරල්ට් කියන්නෙ. ඒකෙන් එයාට විශාල වේගයත්, ශක්තියත් වගේම එයාගෙ මායාකරුවන්ටත් වඩා වැඩි සවි බලයකුත් ලැබිලා තියෙනවා.

බලයන්

  • සවිමත් ඇටකටු –  Trial of the Grasses සමීක්ෂනයට ලක් කිරීමත් එක්ක මායාකරුවන්ගෙ ඇටමිදුළු වෙනස් වීමකට භාජනය වෙනවා. අවසාන ප්‍රතිඵලය වශයෙන් ඒවා සවිමත් ඒවා බවට පත් වනවා. 
  • වැඩිදියුණු වූ බලපෑමක් – විෂ හා රෝග වලින් බලපෑමක් ඇති නොවෙන විදිහට ඒවට ප්‍රතික්‍රියා කිරීමක් සිදු වනවා.
  • වැඩිදියුණු වූ වේගය – අතිශය විශාල සුපිරි මිනිස් වේගයක් ඔහු සතුව පවතිනවා.
  • කිසිදු උපකරණයක් නැතුවම එක් උස් ස්ථානයක සිට තවත් තැනක තියෙන ස්ථානයක් වෙත පැනීමට හැකියාව පවතිනවා.
  • වේගවත් සුව වීම – ඇතිවෙන තුවාල වලින් ඉතාමත් ඉක්මණින් ඉබේම සුව වීමේ හැකියාව ඔහු සතුව පවතිනවා.
  • ආයුකාලය – මේ මායාකරුවන් කියන්නෙ ශතවර්ෂ ගණනාවක්ම ජීවත් විය හැකි අය. ඔවුන්ගේ පෙනුම ඉතාමත් හෙමින් තමයි මහලු භාවයට පත් වෙන්නෙ.
  • මායාකාර සංවේදක – අඩු ආලෝකයක් පවතින තැන් වලදී ලෙහෙසියෙන්ම දැකීමේ හැකියාව, වැඩිදියුණු වූ සවන් දීමේ හැකියාව, තමන්ගේ ඉලක්ක ඉන්නා තැන් හදුනා ගැනීමේ සංවේදක ඔහු සතුව පවතියි.
  • කඩු හරඹෙහි දක්ෂයෙකි – කයර් මෝහෙන්වල තුලදී ලැබූ පුහුණුවත් එක්ක කඩු හාවිතා කරමින් මනා ලෙස සටන් කිරීමේ හැකියාව ඔහු සතුව පවතිනවා. මාරක පහරවල් එල්ල කිරීමද ඔහු සතුව පවතිනවා.
  • ආයුධ හැසිරවීම – මායාකරුවන් සාමාන්‍යයෙන්  භාවිතා කරනුයෙ කඩුය. නමුත් ඊට අමතරව පොරව, හරස් උල්, කැට පොලු මෙන්ම දුනු/ඊතලද මනා ලෙස හසුරවන්නත් පුලුවන්.
  • කිසිදු ආයුධ නැතුව සටන් කිරීමේ හැකියාව – තමන් සතුව කිසිදු ආයුධයක් නැති විටෙක වුවද තමන්ගේ අත් හා කකුල් දෙක භාවිතා කරන සටන් කිරීමේ හැකියාව පිහිටලා තියෙනවා.
  • සෑම මායාකාරුවෙකු වගේම රාක්ෂයින් දඩයම් කිරීමේ හැකියාව ඔහු සතුව පවතිනවා. ඔවුන් සතුව පවතින දුර්වල ස්ථාන හදුනාගෙන පහර දීමේ හැකියාව මනා ලෙස පිහිටලා තියෙනවා. මේ නිසාම ඔහු ඉතාමත් දක්ෂ උපාය දක්ෂයෙක් විදිහටත් හදුන්වන්න පුලුවන්.
  • තමන්ගේ ගමන අතරතුර ඖෂධ හා හතු වර්ග එකතු කරමින් අරිෂ්ඨ වර්ග හදන්න පුලුවන් හදන්න පුලුවන් හැකියාවද ඔහු සතුව පවතිනවා. ගැරල්ට් මේ විදිහෙ අරිෂ්ඨ පාවිච්චි කරන්නෙ තමන්ගෙ ශක්තිය වැඩි කරගන්න උදව්වක් විදිහටයි.

සලකුණු

ඉහත සදහන් කරලා තියෙන බලයන් වලට අමතරව ගැරල්ට් පුහුණුව ලැබූ මායාකාර්ම වලදී එයාට හැකියාව ලැබිලා තියෙනවා අති දක්ෂ විදිහට සලකුණු හරහා සුළු මන්තර පිට කිරීමේ හැකියාවන් ඉගෙනගන්න.

  • Aard – තම සතුරන් සිහිය නැති කිරීමක් හො බිම හෙලන්න පුලුවන් මට්ටමේ telekinetic (ග්‍රීක පරිවර්තනය කිරීමට අනුව “ආත්ම”) තරංග පිට කරන්න පුලුවන් හැකියාව මේ හරහා ලැබෙනවා. යොදාගන්න විදිහ අනුව නොයෙක් විදිහෙ ප්‍රයෝජන ගන්න පුලුවන්. බිත්ති විනාශ කරන්න, ආයුධ අරන් ඉන්න කෙනෙක්ව නිරායුධ කරන්න දේවල් මේ හරහා කරන්න පුලුවන්.

  • Igni – තම අතෙහි අල්ල භාවිතා කරලා ගිනිදර පිට කරන්න පුලුවන් හැකියාව මේ සලකුණට තියෙනවා. හිස් ආවරණයක් දාගෙන හිටියත් ඒ ගැන සැලකීමක් දක්වන්නෙ නැතුව ගින්දර පිට කිරීමක් කලොත් හම පිච්චිලා යන මට්ටමට මේ ගින්දර බලවත්.

  • Yrden – මේ සලකුණ හරහා පුලුවන් කමක් තියෙනවා මායාමය උගුලක් අටවන්න. තමන්ගෙ ප්‍රතිවිරුද්ධකරුවා ඉන්න දිහාවට විහිදෙන්න සැලැස්සුවාට පස්සෙ ඒ කෙනා ඉබේම අඩපණ වෙනවා. සලකුණ හරහාම එක් වතාවකට මෙවැනි උගුල් තුනක් අටවන්න පුලුවන්. 

  • Quen – තමන්ට පුද්ගලික ආරක්ෂාවක් සලසගන්න පුලුවන් විදිහෙ සලකුණක්. ගිනි බුබුලක හැඩයක් ගත්ත මේක එල්ලවෙන හැම හානියක්ම ඇදගෙන එල්ලවුණ දිහාවට තප්පර 30 ක කාලයක් ඇතුලත හැරවිලා යනවා. 

  • Axii – මේක හුගක් දුරට වශියකට සමාන දෙයක්. තමන් වෙත එන ප්‍රතිවිරුද්ධකරුවෙක්ව සිහි නැති වෙන විදිහෙ ප්‍රහාරයක් එල්ලවෙන්න, තාවකාලික කාලයකට ප්‍රතිවිරුද්ධකරුව තමනගේ පැත්තට නම්මාගන්න යොදාගන්න පුලුවන්. විශේෂයෙන්ම අතිශය කලහකාරී අය වෙත යොමු කිරීමෙන් ඒ අයව සන්සුන් කරවන්න, ප්‍රතිවිරුද්ධකරුවෙක් එකිනෙකාට කෙටවිමක් වගෙ දේවල් කරන්නත් පුලුවන්. 

  • Heliotrop – අත් දෙකෙහි මැණික් කටුව ප්‍රදේශයන් ප්‍රතිවිරුද්ධ විදිහට (වොන්ඩර් වුමන් පහර දෙන්න යොදාගන්න විදිහට සමාන විදිහට) තබාගැනීමෙන් මායාමය හො කායික වශයෙන් එල්ලවෙන ප්‍රහාර වලින් බේරෙන්න පුලුවන්. කර කියාගන්න කිසිවක් නැති වෙලාවට ක්ෂණික උපක්‍රමයක් විදිහට භාවිතා කරනවා.

  • Somne – අවශ්‍ය කරන අයෙකු නින්දට යැවීමට භාවිතා කරයි.

දුර්වලතා

  • විවිධාකාර අරිෂ්ඨ වලින් ඇතිවෙන්නෙ එකිනෙකට වෙනස් විදිහෙ බලපෑම් නිසා ඔහු සුළු කාලයක් ඇතුලත වැඩියෙන් අරිෂ්ඨ වර්ග ගොඩක් බිව්වොත් එයාට ඒවා විෂ වීමක් හො මරණයට පත් වෙන්න වුනත් පුලුවන්.
  • විවිධාකාර තුවාල සුව වෙන්න එකිනෙකට වෙනස් කාලයක් නිසා හැම එකක්ම එකම විදිහට ප්‍රතික්‍රියා නොකරන්න ඉඩ තියෙනවා. 

Yennefer

යෙනිෆර් කියන්නෙ The Witcher හරහා දැකගන්න ලැබෙන තවත් එක් ප්‍රධාන චරිතයක්. ඉතාම දුෂ්කර ළමා කාලයකට හිමිකම් කියන ඇය 1173 කාලයෙ බෙලෙටෙයින්වල තමයි උපත ලබන්නෙ උපතින්ම කුදූ කෙනෙක් විදිහට.  මේ නිසාම එයාගෙ තාත්තා එයාට කැමති වුනෙත් නැහැ වගේම එයාගෙ තාත්තා යෙනිෆර්ව පිළිකුල් කලා. මේ දේවල් නිසාම පසුකාලිනව එයාගෙ තාත්තා එයාලව දාලා යනවා. සොඩන්වල ඇති වූ දෙවැනි යුද්ධ කාල සමයේදී ෆ්‍රින්ගීලා විගෝ නම් නිල්ෆ්ගාඩියන් මන්තරකාරිය විසින් ඇයව අන්ධ බාවයට ලක් කරනවා. පසුකාලීනව ඇයගෙ පෙනීම නැවත වතාවක් මායා බලයෙන්ම ලැබෙනවා. 

යෙනිෆර්ට ඇයගේ බලයන් ලැබෙන්නෙ ඇයගෙ තරුණ කාලෙදි මන්තරකාරියක් වන්නට කැමති අය වෙනුවෙන්ම වෙන් වූ ආ(ර්)ටූසා නම් ඇකඩමියේ ඇයගගෙ තරුණ කාලයේදී අධ්‍යන කටයුතු ඇරඹීමත් එක්කයි. මේ ඇකඩමියට ඇතුලත් වීමත් එක්ක එයාට තිබුණු කුදු බව නැති කරගන්න හැකි වෙනවා. හුගක් මන්තරකාරියන් වගේම ඇයත් දරුඵල ලබන්න බැරි කෙනෙක් බව දැනගත්තම යෙනිෆර් දරුඵල ලැබීමත් මායා බලයෙන් කරගන්න හැකි වේවි කියලා බලාපොරොත්තු වුනත් ඒ දේවල් ඒ විදිහට නම් ලැබෙන්නෙ නැහැ. නමුත් පසුකාලීනව ඇය මවක මෙන් “සිරි” නම් ඇය හදාවඩාගන්න ගත් දරුවාට ආදරය කරනවා. ඇයම තමයි ගැරල්ට්ට Law of Surprise (චාරිත්‍රයක්) තුලින් නියම වන දරුවා වෙන්නෙත්. 

Cirilla Fiona Elen Riannon (Ciri)

සිරෙල්ලා ෆියෝනා එලන් රීඇනොන් නොහොත් “සිරි” තමයි කලින් සදහන් කරපු ගැරල්ට්ගෙත්, යෙනිෆර්ගෙත් හදාවඩාගන්න ගත්ත දරුවා විදිහට සැලකෙන්නෙ. සිරිට Lion Cub of Cintra, Falka, Zireael, Swallow, Ashen one, Ugly one,  Lady of Space and Time වගේ නම් බොහොමයකින් හදුන්වනවා. එයාගෙ මව පවේටා වගේම පියා ඩනී. සිරි පැවතෙන්නෙ Elder blood (එල්ඩර් බ්ල්ඩ්) පරම්පරාවකින්. මේ නිසාම මෙයා හුගක් බලවත් චරිතයක්.

Elder blood (එල්ඩර් බ්ල්ඩ්) එහෙමත් නැත්තම් Hen Ichaer හො Lara gene නම් බොහෝමයකින් හදුන්වන මෙය ලාරා ඩොරන් නම් බලගතු රුධිරය/ජාන හිමිකම් කියන දෙයක්. එල්ඩර් බ්ල්ඩ් වලින් පැවත එන අය සාමාන්‍යයෙන් බලගතු පිරිසක් විදිහටයි සලකන්නෙ.

ඇය කයර් මෝහෙන්වල ඉන්න කාලෙදි කඩු හරඹ පුහුණුව සදහාම ඇය ගැරල්ට්, කෝඑන්, වෙස්මීර්, ලැම්බර්ට්, එස්කල්, ට්‍රිෂ් වැනි බොහෝ දෙනා යටතෙ පුහුණුව ලබලා තියෙනවා. පසුකාලීනව එලන්ඩර්වල කාලය ගෙවන සමයේදී යෙනිෆර් යටතෙ මන්තරකාරියක් වෙන්න පුහුණුව ලබලා තියෙනවා. තැනඩ් කැරැල්ල (මෙජ්වරුන් අතර ඇති වූ ප්‍රහාරය) නිසා සිරී ගැරල්ට්ගෙන් හා යෙනිෆර්ගෙන් වෙන් වෙනවා. ස්ථාවර නොවන ද්වාරයක් විවෘත කරලා ඒ අතරින් යන සිරී මතු වෙන්නෙ කෝරාත් කියන කාන්තරයට. එහෙදි එයා “රැට්ස්” කියලා කල්ලියක් එක්ක එකතු වෙනවා. පස්සෙ එයාව ලියෝ බොන්හාර්ට් කියන තාග්‍ය මුදල් බලාපොරොත්තුවෙන් දඩයමේ යන කෙනෙකුට අහු වෙලා යුධ භූමියක සටන් කරන්න බල කිරීමකට ලක් වෙනවා. පස්සෙ කාලෙක එහෙන් පැනලා යන සිරිට එයින් එල් කියන ලෝකයට යන්න ලැබෙනවා. එහෙදි එයාව තවත් බල කිරීමකට ලක් වෙනවා රජ කෙනෙක් එක්ක එකතු වෙලා ළමයෙක් හදන්න කියලා. ඒකෙනුත් ගැලවිලා ආපහු වතාවක් සිරිට ගැරල්ට් හා යෙනිෆර් ලගට එන්න ලැබෙනවා.

Triss Merigold

මරිබෝ(ර්) කියන නගරෙන් පැවතෙන ටැමේරියන් මන්තරකාරියක් තමයි ට්‍රිෂ් මේරිගෝල්ඩ් කියන්නෙ. එයාව Fourteenth of the Hill,  Merigold the Fearless කියන නම් වලිනුත් හදුන්වනවා. ඇය ගැරල්ට්ගෙ වගේම යෙනිෆර්ගෙත් හුගක් හොද යාලුවෙක්. සීරි කයර් මෝහෙන්වල ඉන්න කාලෙදි ඇයවත් හුගක් හොදින් වැඩිමල් සහෝදරියක් වගෙ බලාගෙන තියෙනවා.

මායා සම්බන්ධ වැඩ වලටත්, ඇල්කමි (ආදිරසානය) පැති වලින් තමයි එයාට හැකියාවන් පවතින්නෙ. සංචාරය කරද්දී සෑහෙන අරිෂ්ඨ වර්ග වර්ග අරන් යනවා වගේම එයා ඒ කිසිම අරිෂ්ඨයක් පාවිච්චි කරන්නෙ නැහැ මොකද එයා අරිෂ්ඨ වලට අසාත්මිකතා දක්වන නිසා. රෝග සුව කරන පැත්තෙන් ගත්තොත් හුගක් හොදට ඒ දේවල් කරන්න පුලුවන් හැකියාව ඇය සතුව පවතිනවා.

මේ සදහන් කලේ The Witcher හරහා වැඩිපුරම දැකගන්න ලැබුණු, ප්‍රධාන චරිත හතරක් සම්බන්ධයෙන් විතරයි. මීට අමතරව,

  1. Dandelion, King Foltest
  2. Maria Barring
  3. Cahir Mawr Dyffryn aep Ceallach
  4. Emiel Regis Rohellec Terzieff-Godefroy
  5. Angoulême
  6. Philippa Eilhart
  7. Dijkstra, Vilgefortz
  8. Leo Bonhart
  9. Eredin (King of the Wild Hunt)

චරිත බොහොමයක් දැකගන්න ලැබෙනවා. මේ අය සම්බන්ධයෙන් වෙන වෙනම හොද හැදින්වීමක් එක්කම The Witcher කතාමාලාව හරහා අනිවාර්යෙන්ම දැකගන්න ලැබේවි.

The Witcher | ක්‍රීඩා

Tabletop role-playing game

පරිඝණක වලට මෙන්ම ප්ලේස්ටේෂන් වලට The Witcher ක්‍රීඩා නිකුත් වෙන්න කලින් Tabletop role-playing game එකක් එහෙම නැත්තම් තමන්ගේ චරිතය සම්බන්ධව කටින් විස්තර කරමින් කෙරෙන ක්‍රීඩාවක් 2001 වසරේදී නිකුත් වෙනවා MAG  නම් පොලිෂ් ප්‍රකාශන සමාගම යටතෙ Wiedźmin: Gra Wyobraźni නොහොත් The Witcher: A Game of Imagination නමින්.  2016 වසරේදී නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් තවත් මෙවැනිම ක්‍රීඩාවක් නිර්මාණය වෙනවා R. Talsorian Games නම් වූ වොෂින්ටන් ප්‍රකාශන සමාගම යටතෙ. නමුත් 2016 වසරේදී නම් මේක නිකුත් කරන්න ලැබෙන්නෙ නැහැ. ඒ වෙනුවට ඔවුන් 2018 වසරේදී එය නිකුත් කිරීමක් කරනවා. 

Video games

2007 වසරේදී මුල්ම The Witcher ක්‍රීඩාව නිකුත් වෙන්නටත් පෙරම 1996 – 1997 කාලය පුරාවටම පෝලන්තයෙ පිහිටලා තියෙන Metropolis Software සමාගම විසින් The Witcher ඇසුරින් ක්‍රීඩාවක් නිර්මාණය කරමින් හිටියටත් මේක අවලංගු වෙලා තියෙනවා මේ ක්‍රීඩාවේ අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කල Adrian Chmielarz විසින් ක්‍රීඩාවට අදාළ පරිවර්තනයන් ව්‍යාජ කිරීමක් කරලා බොරු කතා ගොතපු නිසා. 

The Witcher: Rise of the White Wolf

2003 වසරේදී පෝලන්ත වීඩියෝ ක්‍රීඩා නිර්මාණ සමාගමක් වන CD Projekt Red සමාගම විසින් අවශ්‍ය සාකච්ඡා සිදු කරලා The Witcher ඇසුරින් ක්‍රීඩා නිර්මාණය කරන්න අයිතිය ලබාගෙන 2007 වසරේදී ප්‍රේක්ෂකයන් වෙත ලබාදෙනවා. මෙය පරිඝනක පරිශීලකයන් සදහාම වෙන් වූ එකක්. මෙහිදී පාදක වූ කතාවම යොදා ගනිමින් 2009 වසරේදී නිකුත් කිරීමේ බලාපොරොත්තුවෙන් කන්සෝල් සදහාම වෙන් වූ The Witcher ක්‍රීඩාවක් The Witcher: Rise of the White Wolf නමින් නිර්මාණය කරමින් තිබුනත් මෙයද පසුකාලීනව අවලංගු කිරීමක් සිදු වනවා.

දුරකථන පරිශීලකයන් වෙනුවෙන් The Witcher: Crimson Trail නමින් ක්‍රීඩාවක් නිර්මාණය කර තිබෙනවා. මේ සදහා Breakpoint සමාගම විසින් 2007 වසරේ නොවැම්බර් මාසයේදී CD Projekt යටතෙ අනුමැතිය ලබාගෙන තියෙනවා.

ඇඩෝබි ෆ්ලෑෂ් පදනම් වූ The Witcher: Versus නමින් තවත් ක්‍රීඩාවක් CD Projekt යටතෙ 2008 වසරේදී නිකුත් කලත් පසුකාලීනව එය අත්හිටුවා තිබෙනවා.

The Witcher 2: Assassins of Kings

2007 වසරේදී නිකුත් වූ The Witcher ක්‍රීඩාවේ සික්වල් එකක් (දෙවැන්නක්) ලෙසින් CD Projekt සමාගම The Witcher 2: Assassins of Kings නමින් තවත් ක්‍රීඩාවක් එකක් නිර්මාණය කරමින් තිබියදී 2009 සැප්තැම්බර් 16 වැනිදා පිටතට යාමක් (ලීක් වීමක්) සිදු වෙනවා. පසුව CD Projekt සමාගම විසින් නිවේදනයක් සිදු කරමින් කියලා තියෙනවා මෙය තවමත් නිර්මාණය වෙමින් පවතින එකක්ය කියලා. පසුකාලීනව ඔවුන් නිල වශයෙන්ම මෙය නිකුත් කිරීමක් කරලා තියෙනවා.

2015 මැයි 19 වැනි දින The Witcher ඇසුරින් The Witcher 3: Wild Hunt නමින් ගුණාත්මක බවින් වැඩි ක්‍රීඩාවක් නිකුත් කරනවා. video Game Journalists හා ප්‍රේක්ෂක මත වලට අනුව හොදම වීඩියෝ ක්‍රීඩා අතරට එක්වන ලයිස්තුවට ඇතුලත් වෙන්නට මෙයට හැකියාවක් ලැබෙනවා. මෙම ක්‍රීඩාවේ ලැබූ සාර්ථකත්වය කොතරම්ද කියනවනම් Andrzej Sapkowski විසින් රචිත The Witcher පොත්වල නව මුද්‍රණ සදහා පිට කවරය පවා වෙනස් වෙනවා මේ පරිඝනක ක්‍රීඩාවේ පින්තුර වලින්. ඒ වෙන කිසිම හේතුවකට නොව, පොත්වල අන්තර්ගත දෑ සම්බන්ධව ප්‍රේක්ෂකයන් හට ඉතාම ලෙහෙසියෙන් අවබෝධයක් ලබා දීමේ අරමුණ සදහායි.

මීට අමතරව මෙහි එන ගැරල්ට් කියන චරිතය Soulcalibur VI ක්‍රීඩාවේද ආරාධිත පෙනී සිටීමක්ද සිදු කරලා තියෙනවා. 

Card games

CD Projekt සමාගම විසින් නිකුත් කල වීඩියෝ ක්‍රීඩා පදනම් වූ ඩිජිටල් කාඩ් යොදාගෙන සිදු කරන ක්‍රීඩා (Card games) දෙකක්ම නිකුත් කරලා තියෙනවා The Witcher: Adventure Cardgame හා The Witcher Promo Card Game ලෙසින්. මීට අමතරව The Witcher 3: Wild Hunt අන්තර්ගත වන පරිදි “Gwent” නමින්ද ඩිජිටල් කාඩ් යොදාගෙන සිදු කරන ක්‍රීඩාවක්ද CD Projekt සමාගම විසින් මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් පරිශීලකයන් වෙනුවෙන් නිකුත් කරන ලැබුවා. තවද The Witcher පදනම් වූ Gwent: The Witcher Card Game හා Thronebreaker: The Witcher Tales යන ක්‍රීඩා ද්විත්වයම 2018 වසරේදී නිකුත් කර තිබෙනවා.

Boardgame

CD Projekt සමාගම හා Fantasy Flight Games සමාගම එක්ව බෝඩ් ක්‍රීඩාවක්ද නිකුත් කරනවා The Witcher Adventure Game නමින්.

The Witcher | චිත්‍රකතා පොත්

1993 – 1995 කාලය පුරාවටම Andrzej Sapkowski විසින් රචිත පොත් ඇසුරින් Maciej Parowski කියන තවත් පොලිෂ් ජාතිකයා විසින් චිත්‍රකතා (කොමික්-බුක්) හයකට නිර්මාණය කරනවා. ඒවා සටහන් වෙන්නෙ මේ විදිහට.

  1. Droga bez powrotu 
  2. Geralt 
  3. Mniejsze zło
  4. Ostatnie życzenie
  5. Granica możliwości
  6. Zdrada

මීට අමතරව Dark Horse Comics සමාගම විසින් 2013 වසරේදී චිත්‍රකතා පොත් කිහිපයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කරනවා මේ වෙද්දී නිකුත් වූ වීඩියෝ ගේම් පදනම්ව හා CD Projekt Red සමාගමේ එකතුවෙනි. සම්පුර්ණ මුද්‍රණ 20 ක් පුරාවටම 2014 ඉදන් 2019 වෙනකන් චිත්‍රකතා පොත් නිකුත් වීමක් වෙනවා. ඒවා තමයි,

  • House of Glass (2014)
  • Fox Children (2015)
  • Killing Monsters (2015)
  • Curse of Crows (2016 – 2017)
  • Of Flesh and Flame (2018 – 2019)

The Witcher | චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා

Andrzej Sapkowski විසින් රචිත පොත් පාදක කරගත් The Hexer නමින් චිත්‍රපටයක් 2001 වසරේදීත්, The Hexer නමින් සම්පුර්ණ කොටස් 13 කින් සමන්විත වූ කතාමලාවක් 2002 වසරේදීත් නිකුත් වෙනවා. චිත්‍රපටයෙ වගේම කතාමාලාවෙත් අධ්‍යක්ෂණය සිදු වෙන්නෙ Marek Brodzki යටතෙ. පොලිෂ් රංගන ශිල්පී Michał ebrowski විසින් මෙහි ප්‍රධාන රංගනය සිදු කර තිබෙනවා “ගැරල්ට්” චරිතයට රංගනයෙන් එක් වෙමින්. මේ විදිහට නිර්මාණය වූ චිත්‍රපටයත්, කතාමලාවත් දෙකම අතිශය අසාර්ථක වෙනවා. කොටින්ම The Witcher පොත් රචක Andrzej Sapkowski විසින් මේ නිර්මාණ ද්විත්වයම සාකච්ඡා කිහිපයකදීම විවේචනය කරනවා “හරිම කැතයි” කියලම. 

මේ ලැබූ අසාර්ථක වීම් එක්ක Platige Image සමාගම විසින් නිවේදනය කිරීමක් සිදු කරනවා 2017 වසරේදී නිකුත් වීමට නියමිත The Witcher සම්බන්ධ නවකතා ඇසුරින් චිත්‍රපටයක් නිකුත් කරන බවට. නමුත් 2017 වසරේ මැයි මාසයදී ඔවුන් කල නිවේදනය සංශෝධනයට ලක් කරනවා Netflix සමාගමෙත් හා Sean Daniel නම් ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකවරයාත් එක්කාසු කරගෙන The Witcher නමින් කතාමලාවක් නිකුත් කරන බවට. 

Netflix’s The Witcher (2019-) | කතාමාලාව 

2017 වසරේ මැයි මාසයේදී කල නිවේදනයත් එක්ක, මුල් කතාසමයෙ රූගත කිරීම් ආරම්භ වෙන්නෙ 2018 වසරේ ඔක්තෝබර් 31’වැනිදා. ඒ හංගේරියාවෙදි. එහෙම ආරම්භ කරපු කතාව 2019 මාර්තු මාසය වෙනකන්ම රූගත කිරීම් කටයුතු සිදු වෙනවා. Netflix සමාගම යටතෙ නිකුත් වූ Daredevil, The Defenders, The Umbrella Academy වැනි ප්‍රසිද්ධ කොමික් කතාමාලා නිර්මාණයට එක් වූ Lauren Schmidt Hissrich විසින් තමයි මේ කතාමාලාවේ අයිතිකාරිය විදිහට කටයුතු කරලා නිර්මාණය කරලා තියෙන්නෙ. The Witcher පොත් රචනයෙන් එක් වූ Andrzej Sapkowski මෙහි නිර්මාණ කටයුතුවල උපදේශකවරයෙකු විදිහට එක් වුනත් ඔහු විසින් මෙහි කිසිදු කොටසක්වත් අධ්‍යක්ෂණය කිරීම සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. 

මේ ලිපිය ප්‍රයෝජනවත් වුනා කියලා හිතෙනවනම් අනික් අයටත් බලන්න ශෙයා කරන්න. තවත් මෙවැනිම ලිපියකින් ඉදිරියේදී මුණගැහෙමු. 

  • Netflix’s The Witcher Trailer #1

 

  • Netflix’s The Witcher Trailer #2
  • Netflix’s The Witcher (Final) Trailer #3
චාමර සම්පත් (104 Posts)


8 thoughts on “The Witcher විශ්වය ගැන දැනගමු

  • May 9, 2020 at 10:30 PM
    Permalink

    Thanks විස්තර කිරීමට..

  • February 7, 2020 at 7:26 AM
    Permalink

    patta game tika . mama gahapu supirima video game eka witcher 3. dan supirima tv series ekath the witcher.
    thanks thorathuru tikata

  • December 30, 2019 at 7:45 PM
    Permalink

    Tnx

  • December 28, 2019 at 1:24 PM
    Permalink

    thanks

  • December 23, 2019 at 11:14 PM
    Permalink

    Thanks

  • December 19, 2019 at 8:54 PM
    Permalink

    ස්තුතියි.තොරතුරැවලට සහෝ……

  • December 19, 2019 at 5:44 PM
    Permalink

    ela

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!