Hellboy | මිනිස් සංහතියෙ විනාශයට පැමිණි යක්ෂයා – හෙල්බෝයි

අද කතා කරන්න හදන්නේ තවත් සුපිරිම, වැඩි කතාබහකට ලක් නොවන කොමික් චරිතයක් ගැන කතා කරන්නයි. වැඩි කතාබහක් නැහැයි කියලා කිව්වේ ලංකාව ගැන හොදෙ. මොකද ලංකාවේ බහුතරය කොමික් කිව්වම දන්නේ මාවල් හො ඩීීසි හොදයි කියාගෙන චරිත වලට, සිනමා විශ්වයන්වල හොයලා තියෙන සල්ලි ගානට රණ්ඩු වෙන්න මිසක් එක වගේ රස විදින්න නෙවෙයිනේ. ඒ වගේ සමහරක් ඔය දෙකට රණ්ඩු වෙද්දී ලංකාවෙත් සුළුතරයක වගේම වෙනින් රටවල්වල සැහෙන ප්‍රසිද්ධියට පත් වෙච්ච කොමික් වර්ගයක චරිතයක් තමයි හෙල්බෝයි කියන්නෙ. 

එතකොට හෙල්බෝයි කියන්නේ ඩීීසි හො මාවල් චරිතයක්ද?

අපො නැහැ. මේක මාවල් හො ඩීීසි චරිතයක් නම් නෙවෙයි. කලිනුත් කිව්වා වගේ ලෝකේ වැඩි දෙනා කතා කෙරෙන කොමික් තරම් ජනප්‍රිය නැති, නමුත් සුළු තරයකගේ හදවත් දිනාගත්ත Dark Horse Comics (ඩාක් හෝ(ර්)ස් කොමික්ස්) යටතේ බෙදාහැරුණු චරිතයක්. හැබැයි හෙල්බෝයි ඩාක් හෝ(ර්)ස් කොමික්ස් යටතෙ බෙදාහැරීම කරන්න කලින් මේ චරිතෙ බෙදාහැරීමේ කටයුතු කරන්න මුලින්ම සංකල්පය තිබිලා තියෙන්නෙ ඩීීසි කොමික්ස් යටතෙයි. ඒ අයගේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ අදහසට වගේම චරිතයට එක සේ කැමති වෙලා තිබුනත් “අපාය” සම්බන්ධ වෙන නිසා ඒ කාලේ මේ අය කැමති වෙලා නැහැ.

එතකොට ඇයි මේ මුලින් කිව්වා වගේ හෙල්බෝයි ඒ හැටි ජනප්‍රියත්වයක් නැත්තෙ?

ඒ මොකද කිව්වොත් මේ වෙද්දී පොඩි දරුවන්ගේ ඉදලා වැඩිහිටි පරම්පරාවේ අය දක්වාම හුරු වෙලා තියෙන්නෙ කබායක් දාගත්ත, පලිහක් අතට ගත්ත, ලොකු දිස්නයක් තියෙන කොස්ටියුම් එකක් ඇදගත්ත අපරාධ වෙනුවෙන් සටන් කරන සුපිරි වීර චරිත වලට ආසා කරන්නයි. මොකද ඔය වගේ දේවල් වලට ආසාවක් දක්වන්න පෙළඹෙන්න යන්නේ හරිම පුංචි වෙලාවක් විතරයි. ඒත් හෙල්බෝයි කියන්නේ ඔය අයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. එයාට ලැබිලා තියෙන හැකියාවන් වලට අනුව හෙල්බෝයි කියන්නේ අසම්මත විද්‍යා ගවේෂණ පිළිබඳ දේවල් සමීක්ෂණය කරන සුපර්හිරො කෙනෙක් විදිහට සැලකුවත් එයා හරිනම් මනුස්ස වර්ගයා විනාශ කරන අරමුණින් පෘතුවියට කැදවපු ඩිමන් කෙනෙක්. අනික කතාව ඇතුලෙ යන්නෙ සෑහෙන වෙනස්, අදුරු තේමාවක් තියෙන කතා පසුබිමක්. කෙටියෙන්ම කියනවනම් මේකයි අපායෙ ඉදන් පෘතුවියට ආව ඩීමන් කෙනෙක් එයාට සමාන තවත් වර්ගවල ජීවීන් එක්කලා සටන් කරනවා දකින්න හැමෝම ආසා නැහැ. අනික ලොකු තරගකාරිත්වයක් තියෙන මාවල් හො ඩීීසි එක්කලා තරගයක් දෙන්න ඩාක් හෝ(ර්)ස්ලට අපහසුයි. ඉතින් ඔය වගේ හේතු උඩ ඩාක් හෝ(ර්)ස් කොමික්ස්ලට හෙල්බෝයි කොමික් පෙල විකුණගන්න පුංචි අපහසුතාවයක් තියෙනවා.

2019 අප්‍රේල් මාසයට අදාළ හොදම කොමික් චිත්‍රකතා ප්‍රකාශකයන්

ඩාක් හෝ(ර්)ස් කොමික්ස්හි විකාශය

ඩාක් හෝ(ර්)ස් කොමික්ස්හි ප්‍රධාන කාර්යාලය

මීට අවුරුදු 33 කට කලින්, ඒ කිව්වේ 1986 දී මිල්වෝකි, ඔරිගන් වලදී තමයි මයික් රිචර්ඩ්සන් විසින් ඩාක් හෝ(ර්)ස් චිත්‍රකතාවල ප්‍රතිස්තාපිත කිරීම සිද්ද කරලා තියෙන්නෙ. රිචර්ඩ්සන් මුලින්ම වැඩේ පටන් අරන් තියෙන්නෙ 1980 දී බෙන්ඩ්, ඔරිගන්වල “Pegasus Books” නමින් තමන්ගේම කියලා චිත්‍රකතා වෙළදසැලක් පටන් අරගෙනයි. එදා ඉදන් ලැබුණු අරමුදල් වලින් රිචර්ඩ්සන්ට හැකියාවක් ලැබිලා තියෙනවා තමන්ගේම කියලා ප්‍රකාශිත සමාගමක් පටන් ගන්න. මුල්ම චිත්‍රකතා දෙක විදිහට Dark Horse Presents වගේම Boris the Bear 1986 වසරේදී නිකුත් කරන්න ලැබෙන්නෙ. අවුරුද්දක් ඇතුලත ඩාක් හෝ(ර්)ස් කොමික්ස්ලට හැකියාවක් ලැබෙනවා තවත් නාමයන් නවයක් යටතේ චිත්‍රකතා එලිදක්වන්න. ඒවා තමයි Hellboy, The American, The Mask, Trekker, වගේම Black Cross. ෆ්‍රෑන්ක් මිලර් ඩාක් හෝ(ර්)ස් කොමික්ස්ලා එක්ක එකතු වෙලා නිර්මාණය කරපු Sin City ඒ කාලෙ සෑහෙන ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. Aliens, Buffy the Vampire Slayer, Conan, වගේම Star Wars වැනි ඒවා ප්‍රකාශනය කරන්න ලබාගත්ත අවසරය එක්කලා ඩාක් හෝ(ර්)ස් කොමික්ස් කියන නාමය සැහෙන කීර්තියට පත්වෙලා තියෙනවා. මෑත කාලීනව Netflix සමාගම යටතෙ නිකුත් වුණු The Umbrella Academy කතාමාලාව පදනම් වෙලා තියෙන්නෙත් ඩාක් හෝ(ර්)ස් කොමික්ස් යටතෙ ඒ නමින්ම බිහි වුනු චිත්‍රකතා නිසාමයි. මේ වෙද්දී ඩාක් හෝ(ර්)ස් කොමික්ස් යටතේ ඇමරිකානු චිත්‍රකතා පොත් සේම, ජපන් මැන්ගා චිත්‍රකතා ප්‍රකාශකයන් විදිහට හදුන්වන්න පුලුවන්.

නිර්මාණය හා මෙතෙක් ආ ගමන් මග

මේ වෙද්දී සුපිරි වීර චරිතයක් විදිහට සලකන හෙල්බෝයි කියන චරිතය නිර්මාණය වෙන්නෙ Mike Mignola විසින්. මේ වැඩේදී කතාව ලියන්න වගේම සිතුවමට නගන කරතව්‍යයන් දෙකම වෙන්නෙ මයික් විසින්මයි. එතකොට මුලින්ම චරිතය දැකගන්න ලැබෙන්නෙ 1993 දී සැන් ඩියෑගො කොමික්-කොන්වල දෙවනුව ඉදිරිපත් කිරීමක් විදිහට, Dime Press හතරවැනි කලාපයේ කළු-සුදු ආකාරයටයි. මේ ඉදිරිපත් කිරීමෙන් පස්සෙ මාස ගණනාවක් ගිහින් 1993 වසරේම දෙසැම්බර් මාසයෙ නිකුත් වන Next Men 21 වැනි කලාපය හරහා තමයි නියමානුකූල වර්ණ වලින් නිර්මාණය වෙච්ච හෙල්බෝයි චරිතය මුලින්ම දැකගන්න ලැබෙන්නෙ. එතනින් පටන් ගත්ත ඒ ගමනෙ මේ වෙද්දී සෑහෙන කොමික් චිත්‍රකතාවල, විවිධ තේමාවන් යටතෙ බිහිවෙලා තියෙනවා. ඒවගේම බිහි වුනු සජීවී-ක්‍රියාදාම චිත්‍රපට ත්‍රිත්වයක්, ඇනිමේෂන් චිත්‍රපට ද්විත්වයක් වගේම ඇපල් අයිෆෝන් පරිශීලකයන් සදහා නිකුත් වූ විඩියො ක්‍රීඩාවක්ද ඇතුලත් වෙනවා.

සැන් ඩියෑගො කොමික්-කොන්වලදී දකින්න ලැබුණු හෙල්බෝයි චිත්‍රකතාවේ එක්තරා කොටසක්

චිත්‍රපට ගැන කියද්දී මතක් කල යුතුම කාරණාවක් තමයි මීට වසර ගානාවකට පෙර නිකුත් වුනු Hellboy (2004). Hellboy II: The Golden Army (2008) චිත්‍රපට වලින් පස්සෙ දෙවැනියට නිකුත් වූ චිත්‍රපටයේම මීලග චිත්‍රපටය විදිහට “Hellboy III: Dark Worlds” විදිහට නම් වූ තවත් චිත්‍රපටයක් නිකුත් වීමට අවශ්‍ය කරන කටයුතු 2009 වසරේදී ආරම්භ කර තිබුනත් 2017 වසරේදී නිවේදනය කර තිබුනා තුන්වැන්න නිර්මාණයට අවශ්‍ය කරන මුදල් සැපයීමක් කරන්න බැරි බවත් ඒ වෙනුවට චිත්‍රපට සියල්ල නැවත අලුත් වන පරිදි රීබූට් කිරීමක් කරනවා කියලා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වෙද්දී අලුත් 2019 වසරේදී Hellboy නමින්ම අලුත් පිරිසකගේ එක්කාසුවෙන් අලුත් චිත්‍රපටයක් බිහි වුණේ. නිකන් හරි තුන්වැනි චිත්‍රපටය බිහි වුනා නම් අපිට දැකගන්න තිබුනා “අලුත උපන් දරුවන් දෙදෙනෙකුගෙ සාමාන්‍ය තාත්තා කෙනෙක්ගේ ජීවීතයක් ගත කරන් යන හෙල්බෝයිට මුහුණ දෙන්න සිද්දවෙන තවත් අතිශය බලගතු හතුරන්ගේ පෘතුවි ආක්‍රමණයක්” සම්බන්ධයෙන්. ඒත් ඉතින් මේක දෙවෙනි එකෙන් කැන්සල් වුන නිසා ඔය ටික හරිම අපූරුවට බලාගන්න තිබුණු අවස්ථාව නැතිව ගියා.

හෙල්බෝයි සිනමාපටවල එදා සහ අද රගපෑ නළුවන් දෙදෙනා

කලින් සදහන් කලානෙ ඇනිමේෂන් චිත්‍රපට ද්විත්වයක් ගැන. 2005 නොවැමබර් 9’වැනිදා IDT Entertainment සමාගම විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියලා තියෙනවා ඔවුන්ට හෙල්බෝයි චරිත යොදාගෙන ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කිරීමට අවශ්‍ය ලියාපදිංචි සහතිකයක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට 2006 ඔක්තෝම්බර් 28 වැනිදා Hellboy: Sword of Storms ඇනිමේෂන් සිනමාපටයත්, 2007 මාර්තු 17 වැනිදා Hellboy: Blood and Iron නම් වූ ඇනිමේෂන් සිනමාපටයත් Cartoon Network හරහා විකාශය වෙලා තියෙනවා.

හෙල්බෝයි හැදින්වීම

දෙවැනි ලෝක යුධ සමයෙ එංගලන්තයේ බ්‍රෝම්වීච්වල ඉන්න අමුතු විදිහෙ නාසිවරුන් වගයක් ගැන සමීක්ෂණය කරන්න පළමු සාජන්ට් ජෝජ් වයිට්මන්ගෙ මග පෙන්වීම යටතේ ඇමරිකානු සොල්දාදුවෝ වගයක් ගිහින් තියෙනවා. මේ අයගෙ සහයට තවත් කෙනෙක් යනවා ට්‍රෙවර් බෲටින්හෝම් කියලා Bureau for Paranormal Research and Defense (අසම්මත විද්‍යා ගවේෂණ හා රක්ෂිත කාර්යංශය) තුල සේවය කරන මහාචාර්ය කෙනෙක් එක්කලා. මේ අය මේ විදිහට නාසිලා හොයාගෙන එන අතරේ නාසිලා එයාලගේ “Project Ragna Rok” නම් වෙච්ච යුද්ධයක් පරාද වෙමින් හිටියෙ. මේ නිසාම ග්‍රීගෝරි රැස්පූටින් කියලා මායාකාරයෙක් ලවා නාසිලා පොරොන්දු කරගන්නවා මේ යුද්ධය ආපස්සට හරවන්න පුලුවන් විදිහේ ප්‍රාතිහාර්යයක් සිද්ධ කරන්නයි කියලා. ග්‍රීගෝරි රැස්පූටින් තමන්ගේ වැඩ කොටස ඉවර කලත් කිසිම දෙයක් එතන සිද්දවුනේ නැහැ. හැබැයි මේ මායාකර්මයෙ ප්‍රතිඵලයක් විදිහට බ්‍රෝම්වීච්වල තියෙන දේවස්ථානයෙ ඉදිරිපස කොටස හරියෙ පිපිරුමක් සිද්දවුණා අපායෙ ඉදන් පෘතුවියට ආව දරුවා නිසා. පස්සෙ එතන පුංචි රතු පාට ඩිමන් කෙනෙක්ව ට්‍රෙවර් එක්ක ගිය සොල්දාදුවන්ට දැකගන්න ලැබෙනවා. මෙයාගෙන් කිසිම හානියක් නැහැ කියලා තේරුම් ගත්ත මහාචාර්ය ට්‍රෙවර් තීරණය කරනවා ඩිමන් දරුවාව හදාගන්න ඕන කියලා.

පස්සෙ එයාව B.P.R.D. එකට ගෙනිහිල්ලා පුංචි කාලේ ඉදන්ම ළමයෙක්ව වගේ බලාගත්තා. ට්‍රෙවර් මේ ලමයව හදාගන්න ගන්නවත් එක්කම එයාව “හෙල්බෝයි” කියලා නමකුත් තිබ්බා.

හෙල්බෝයි කියන්නෙ අඩ-මිනිස් වගේම අඩ-යක්ෂ ස්වරූපයක් තියෙන “කැම්බියන්” කියන ජීවින් කොට්ටාශයට. ඒකෙ සැබෑම නම තමයි “Anung Un Rama.” නමේ තේරුම පරිවර්තනය කලාම හැදෙන්නෙ “නළලට ඉහලින් අං දෙකක් පිහිටලා තියෙන හිස මුදුනේ ගිනි ගන්නා සුළු ඔටුන්නක් ඇති නිසා” කියලා. ඒත් ඒකෙන් අදහස් වෙන වෙනින් තේරුමක් තියෙනවා. ඒ තමයි හෙල්බෝයිගෙ දෛවයෙන්ම කැදවලා තියෙන්නෙ මතු අනාගතයට වැනසිල්ලක් ගෙන එන කෙනෙක් විදිහටයි. හෙල්බෝයිට මේ සම්බන්ධයෙන් දැනගන්න ලැබෙනවා වතාවක් රැස්පූටින් එයාගෙ දෛවය ගැන Hellboy: Wake the Devil කොමික් චිත්‍රාකතාපෙල තුලින් කියද්දී. ඕක පදනම් කරගෙන තමයි 2004 දී නිකුත් වෙච්ච හෙල්බෝයි මුල් සිනමාපටයෙ අවසන් හරියෙ පවා නිර්මාණ කටයුතු සිද්දවෙලා තියෙන්නෙ.

වයස අවුරුදු අටේදී එයා B.P.R.D. එකට එකතු වෙනවා පූර්ණ කාලින නියෝජිතයෙක් විදිහට. කාලයත් එක්කලා එයා උස් මහත් වෙනවා දේහයෙන්, මොට්ට වැඩ කරන ගතියෙන්, හිතුවක්කාර වගේම තරුණයෙක්ගෙ තියෙන්න ඕන හැසිරීම් බොහොමයකම හිමිකම් කියමින්. අසම්මත දේවල් අතරේ හෙල්බෝයිට හැකියාවක් ලැබෙනවා ආවේශවීම් සම්බන්ධයෙන්, දඩයමේ යෑම්, යාතුකර්ම පැවැත්වීම් වගේම මන්තර ජප කරන වගේ දේවල් වලින් ප්‍රවීනයෙක් වෙන්න. කාලයත් එක්ක මහාචාර්ය ට්‍රෙවර් යටතේ හෙල්බෝයිට හැකියාවක් ලැබෙනවා B.P.R.D. තුල හොද වර්ධනයක් මතු කරගත්ත කේෂ්ත්‍ර වැඩ වලට බහින්න පුලුවන් මට්ටමේ කෙනෙක් වෙන්න. දෙවැනි යුධ සමය ඉවර වෙලා නාසිලාගෙ රාජ්‍ය කාලයත් අවසන් වුනාට පස්සෙ හෙල්බෝයි ලෝකේ පුරා කරක් ගහලා වෙයර්වුල්ෆ්ලා, වැම්පයර්ලා වගේ අස්වාභාවික ජීවීන් එක්ක හැප්පිලා මිහිපිට ලෝකය ආරක්ෂා කරලා තියෙනවා. මේ අය හැරුනම තවත් බොහොමයක් ජීවින් එක්ක ගැටෙන්න වගේම මුණගැහෙන්න අවස්ථාව හෙල්බෝයිට ලැබිලා තියෙනවා.

  • හෙල්බෝයිගෙ ස්වභාවය ගැන කතා කලොත්, මූලිකවම හෙල්බෝයි කියන්නෙ ඩීමන් කෙනෙක් කියලා මං මේ වෙද්දී සදහන් කලානෙ. ඉතින් මේ නිසාමයි මෙයාට රතු පාටට හුරු හමක් වගේම වල්ගයක් තියෙන්නෙ.

  • එතකොට නළලට ඉහලින් තියෙන රවුම් දෙකෙන් තමයි හරිනම් එයාගෙ අං දෙක පිහිටලා තියෙන්න ඕන. ඒත් එයා වතාවක් තීරණය කරනවා එයාගෙ අං දෙක අතින් කඩලා අයින් කරගන්න. තමන්ගේ දෛවය වැළදගද්දි තමයි එයාගෙ නලලෙන් අං දෙක වගේම ඉහට උඩින් ගිනි දැල්ලක් තියෙන ඔටුන්න මතු වෙන්නෙ.

  • ඒවගේම දකුණු අත ගත්තොත් ඒක හැදිලා තියෙන්නෙම ගලින්. සාමාන්‍ය ජීවීයෙක්ට පහර දුන්නම මැරෙන්නත්, අස්වාභාවික කෙනෙක්ට හානියක් වෙන විදිහට, වෙනින් ශක්තිමත් දේකට හානියක් කරන්නත් සෑහෙන ප්‍රමාණවත් විදිහට තමයි මේ අත නිර්මාණය වෙලා තියෙන්නෙ.

හෙල්බෝයි සතුව පවතින හැකියාවන් ගැන කතා කලොත්,

  • අඩ-ඩීමන් ස්වභාවය – මෙච්චර වෙලා සදහන් කලා වගේ හෙල්බෝයි කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස්, ලොකු දේහ ශක්තියක් පිහිටලා තියෙන කෙනෙක්. ඒ නිසා ඉතින් සුවිශේෂී බවක් අඩ-ඩීමන් කෙනෙක් වෙන එකෙන් හෙල්බෝයිට ලැබිලා තියෙනවා.
  • දරාගැනීමේ හැකියාව – හෙල්බෝයි කියන්නේ නොයෙකුත් බලවේග එක්කලා ගැටිලා තියෙන කෙනෙක්. හයි-කැලිබර් තුවක්කු වලින් වෙඩි වැදිලත් තියෙනවා. තමන්ට ඇතිවෙන තුවාල වලින් අඩු කාලයක් ඇතුලත සුව වෙන්න පුලුවන් හැකියාවත් එයාට තියෙනවා. ඉතින් ඔය කොයි දේකටත් වඩා දරාගැනීමේ හැකියාව අතින් හුගක් සුවිශේෂයි කියන්න පුළුවන්.
  • සුපිරි ශක්තිය – ටොන් රාත්තල් 400-500 අතර බරක ප්‍රමානයක් වුනත් උස්සලා විසි කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා හෙල්බෝයි සතුව තියෙනවා.
  • වයස්ගත වීමේ හීන ස්වභාවය – හෙල්බෝයි හැසිරෙන්නෙ තරුණ කොල්ලෙක් ගානට වුනත්, වැඩියෙන්ම කන්න ආසා පෑන් කේක් වුනත්, එයාට තියෙන්නේ හරිම අසාමාන්‍ය ස්වභාවයක්. වයස අවුරුදු දෙකක් වගේ යද්දී තමයි එයාගෙ මුලින්ම වයසක බවක් පේන්න ගන්නෙ. ඒවගේම වයස අවුරුදු හයක් වෙද්දී එයාගෙ පෙනුම සෑහෙන හොදින් වැඩුණු වැඩිහිටියෙක්ගෙ වගේ පේන්න යන්නෙ. මං හිතනවා ඔයාලට ඒ කීව දේ තේරෙනවා ඇති කියලා. සුපර්නැචුරල් බලන කෙනෙක් නම් මේ වෙද්දී ලූසිෆර්ගෙ පුතා වෙච්චි ජැක්ව දන්නවා ඇති. එයාගේ වයස සම්බන්ධ කාරණාවම තමයි හෙල්බෝයිට තියෙන්නෙත්.
  • බහු භාෂා කතා කල හැකි වීම – හෙල්බෝයිට උපතින්ම ලැබිලා තියෙන දෙයක් තමයි පෞරාණික වගේම මායාමය භාෂා කරන්න පුලුවන් හැකියාව පිහිටලා තියෙන එක.
  • පෙනීමේ ශක්තිය – සාමාන්‍ය මිනිසෙක් සතු පෙනීමේ හැකියාවට වඩා එහා ගිය පෙනීමේ හැකියාවක් හෙල්බෝයි සතුව පවතිනවා. මේ නිසා ඇස්වල පෙනීම අතිනුත් එයා ඉස්සරහින් ඉන්නවා.
  • අධික උණුසුම ඉවසීමේ හැකියාව – එයාට එයාගෙ යක්ෂ පැතිකඩ තුලින් ලැබිලා තියෙන විශේෂ වරප්‍රසාදයක් තමයි ඔනෑම උණුසුම් තත්වයක් වුනත් හරිම ලේසියෙන් දරාගෙන ඉන්න පුලුවන් හැකියාව. හැබැයි මතක විදිහට නම් චිත්‍රපටයෙ ටිකක් වෙනස් විදිහට තමයි මේ ගති ලක්ෂණය පෙන්නුවේ.
  • බිහිසුණු පරාවර්තනය – මං කලින් අං දෙක වගේම ගිනි දල්ලක් තියෙන ඔටුන්න සම්බන්ධ සිද්ධිය කිව්වා මතක ඇතිනේ. ඉතින් හෙල්බෝයිට පුලුවන් කමක් තියෙනවා විශේෂයෙන්ම සුවිශේෂී අවස්ථා වලදී එයාගෙ යක්ෂ ස්වරුපය (ඒ කිව්වේ අං දෙක වගේම ගිනි දල්ලක් තියෙන ඔටුන්න) මතු කරගන්න. ඒ හැරුනම අස්වාභාවික විදිහට වගේම චිත්තවේගී තත්වයන් වලට මුහුණ දෙන්න වුනාමත් එයාට එයාගෙ සම්පුර්ණ යක්ෂ ස්වරුපය මතු කරගන්න පුලුවන්. ඉතින් මේ වගේ තත්වයන් උඩදී හෙල්බෝයි එයාගෙ උරුමයෙන් ගෙනාව අං දෙක මතු කරන්, ගිනි දැල්ල තියෙන ඔටුන්නත් මතු කරගන්නවාට අමතරව පිහාටු දෙකක් මතු කරගන්නත් පුලුවන්. මේ වගේ එයාගෙ හැකියාවන් මතු කරගත්තාම තව තවත් ශක්තිමත් වගේම ගුප්ත මායාවන් වලට හිමිකම් කියන ජීවීයෙක් වෙන්න හෙල්බෝයිට හැකියාවක් තියෙනවා. මේ වගේ තත්වයන් උඩදී එයා අපායෙ ඉන්න බලවත්ම වැසියන් පවා මරලා දාන්න හැකියාව ලැබිලා තියෙනවා.
  • ප්‍රමාණයෙන් වෙනස් වීමේ හැකියාව – ලෙවායතන් වගේම බෙහිමොත් තරමටම තමන්ගේ දේහය විශාල කරගන්න. මේ ගැන “Hellboy in Hell” 10’වැනි කලාපයෙ සදහන් වීමක් වෙනවා.
  • අතිශය ප්‍රබල අපායෙ ගිනිදැල් තම ශරීරයෙන් පිට කිරීමේ හැකියාවත් හෙල්බෝයි සතුව පවතිනවා. 
  • තෝර්ට වගෙ අකුණක් ලේසියෙන්ම පොලව තලයට ඇද ඒමේ හැකියාවත් හෙල්බෝයිට පුලුවන් කමක් තියෙනවා.
  • පියාසර කිරීමේ හැකියාව – කලින් සදහන් කරපු විදිහට එයාට පුලුවන් නම් එයාගෙ පිහාටු දෙක මතු කරගෙන අහසෙ පියාසර කරන්න පුලුවන්.

  • පිස්තෝල හසුරවන්න හොද හැකියාවක් තිබුනත් එයා වැඩියෙන්ම ආස එයාට මුහුණ දෙන්න වෙන කෙනා එක්කලා තමන්ගේ තියෙන ශක්තිය යොදලා සටන් කරන්නයි. සටන් කිරීම අතින් ගත්තමත් හොද සටන් වදින්නෙක් විදිහට සලකන්න පුලුවන්. 
  • අවසාන වශයෙන් ගත්තොත් දශක ගණනාවක් පුරාවටම අසම්මත දෑ හොයාගෙන ඒවා එක්ක මුහුණට මුහුණ ගැටුණු හෙල්බෝයිට පැරණි ඉතිහාස හා ජනප්‍රවාද, මායාමය පූජා කර්ම, මන්තර හා ශාප කිරීම්, අසම්මත අස්වාභාවික ජීවීන් සම්බන්ධයෙන් සෑහෙන ලොකු දැනුමක් වගේම අත්දැකීම් බොහොමයක් පිහිටලා තියෙනවා.

ලැබූ සම්මාන/ජයග්‍රහණ

හෙල්බෝයි චිත්‍රකතා නිසා ඩාක් හෝ(ර්)ස් කොමික්ස්ලට  සම්මාන/ජයග්‍රහණ  පවා ලැබිලා තියෙනවා ඔවුන් පැමිණි ගමන් මගෙහි සාර්ථකත්වයක් පෙන්නුම් කරමින්. ඒවා මොනාද කියනවනම්, 

  • 2002 වසරේදී “හොදම සීමිත කොමික් චිත්‍රකතා මාලාව” යටතෙ “Hellboy: Conqueror Worm” වෙනුවෙන් අයිස්නර් සම්මානය දිනාගත්තා.
  • 2004 වසරේදී නැවත වතාවක් “හොදම චිත්‍රකතා-සම්බන්ධිත පොත” යටතෙ “The Art of Hellboy” වෙනුවෙන් අයිස්නර් සම්මානය දිනාගත්තා.
  • 2000 වසරේදී හෝල්බෝයිහි නිර්මාතෘ වන මයික් මිග්නෝලා “හොදම චිත්‍ර ශිල්පියාට හිමි සම්මානය” යටතෙ “Hellboy: Box Full of Evil” වෙනුවෙන් හාර්වි සම්මානය දිනාගත්තා.
  • 2007 වසරේදී “ප්‍රියතම ඇමරිකානු වර්ණ චිත්‍රකතාව” යටතෙ “Hellboy: Darkness Calls”වෙනුවෙන් ඊගල් සම්මානය දිනාගත්තා. (2004 හා 2005 වසරවල් වලත් ප්‍රියතම කොමික් චරිතය වෙනුවෙන් හෙල්බෝයි නිර්දේශ වෙලා තියෙනවා වගේම “2007 ඇතුලත ප්‍රකාශනය කල චිත්‍රකතා අතරින් “ප්‍රියතම කොමික් කතාව හා ප්‍රියතම කොමික් වීර චරිතය” වෙනුවන්ද “Hellboy: Darkness Calls” ඊගල් සම්මාන උළෙලෙහි නිර්දේශ වෙලා තියෙනවා)
  • Watchmen, V for Vendetta, The Ballad of Halo Jones, Swamp Thing, Batman: The Killing Joke and From Hell වැනි ලෝක ප්‍රසිද්ධ චිත්‍රකතා නිර්මාණයට තම දායකත්වය ලබා දුන්, ඉංග්‍රීසි කොමික් පොත් රචකයකු වශයෙන් කටයුතු කරන ඇලන් මෝර් විසින් ඔහුගේ නිර්දේශ කිරීම් වශයෙන් කල පිටුවක් තුල “Hellboy: Wake the Devil දෙවැනි කලාපය” එම නිර්දේශ යටතට එක් කරලා තියෙනවා.

තවත් මෙවැනිම ලිපියකින් තවත් දවසක මුණගැහෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.

චාමර සම්පත් (92 Posts)


3 thoughts on “Hellboy | මිනිස් සංහතියෙ විනාශයට පැමිණි යක්ෂයා – හෙල්බෝයි

  • June 24, 2019 at 2:10 PM
    Permalink

    ලිපිය මරු

  • June 23, 2019 at 9:32 PM
    Permalink

    ela

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!