සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (I) | Trans4mers: Age of Extinction වෙස්පෙරළන්නෝ… [Update]

Transformers 4

Transformers කිව්වහම නොදන්නෙ කවුද? නේද? පිස්සු හැදෙන චිත්‍රපටියක්. එකක් නෙමෙයි තුනක්ම තියෙනවා. ඒ තුන පිළිවෙළින් කියනවානම්; ‘Transformers (2007)’/ ‘Transformers: Revenge of the Fallen (2009)’/ ‘Transformers: Dark of the Moon (2011)’ තමයි ඒ…

Michael Bay තමා මේ තුනම නිර්මාණය කළේ. අපි කලිනුත් වතාවක් කිව්වා මතක ඇති මේකේ 4 වැන්නක් ගැන. තවමත් නමක් තියල නැති මේ චිත්‍රපටිය දැන් හැදීගෙන යනවා. මේක කලින් චිත්‍රපටි තුනට වඩා ටිකක් වෙනස් වෙන්ඩ යන බවක් තමයි දැනගන්ඩ ලැබෙන්නේ. ඒ කියන්නෙ තුන්වැන්නෙන් අපි දැකපු, සඳ මත වැඩවලට මුල පිරුණ හැටි, ඒ හා සම්බන්ධ සැඟවුණු තතු වගේම ස‍ඳෙන් එහා වෙනත් ලෝකයන් මතටත් පය තියන්ඩ යන බවකුයි ආරංචිය. ඒ වගේම මේකෙදි කලින් නොදැකපු අමුතු තාලෙ රොබෝ චරිත වගයකුත් එක්කාසු වෙන්ඩ යනවලු. ඒ විතරක් නෙමෙයි; මීට ප්‍රධාන පිරිමි චරිතයෙන් එක්වන්නට යන්නේ දෙවරක්ම ඔස්කා නිර්දේශ ලද සුපිරි නළු, Mark Wahlberg. ඔහුගේ දුව විදිහට Nicola Peltz කියන සුරූපී යොවුන් නිළියත්(ඇය ‘The Last Airbender (2010)’ චිත්‍රපටියේ කටාරා ලෙසින් දු‍ටුවා මතක ඇති. ඒ වගේම මේ දිනවල සමීර සහෝ උපසි‍රැසි ගෙනෙන ‘Bates Motel’ ටෙලියේත් ඇය ඔබ දකිනවා නෝමන් බේට්ස් ගේ හිත ගිය කෙනා ලෙසින්) ඇයගේ විසේකාර පෙම්වතා ලෙසින් Jack Reynor’ත් එකතු වන්නටයි යන්නේ(ඔහු අයිරිශ් සම්භවයක් සහිත ඇමෙරිකානු යොවුන් නළුවෙක් Dollhouse, What Richard Did ඔහු රඟපාන චිත්‍රපටි)

T4-I

ඒ විතරද මේ චිත්‍රපටය තැනෙන්නෙ චීනයේදී. චීනයේ නළු නිළි පිරිසකටත් මෙහි ඉඩ කඩ වෙන්වන්නට යන බවක් තමයි කියැවෙන්නේ. දැනටමත් සුදුස්සන් තේරීමට රියැලිටි ෂෝ එකකුත් පැවැත්වෙනවාලු. ඒ ඇරුණහම මෙවර IMAX 3D කැමරා භාවිතයෙන් රූගත කිරීම් කරන්නට අධ්‍යක්ෂක Michael Bay කටයුතු කරමින් යනවා. දැනටමත් මෙය රූගත කෙරෙමිනුයි පවතින්නේ. ඒ වගේම මේක නවතම නිර්මාණයක් මිස පැරණි චිත්‍රපට ප්‍රති-නිර්මාණයක් නොවන බව ඔහු අවධාරණයෙන් පවසා තිබෙනවා.

තිරයට එන දිනය: 2014 ජූනි 27

නවමුව:

ඔන්න තවත් පරණ ආරංචියක, අලුත් හෙළිදරව්වක් අරගෙන ආවා… දන්නවනෙ ඉතින්! අපේ හසන්ත සහෝ මේ ඊයෙ-පෙරේදා දවසක මුල සිටන් මේ ඔක්කොම සබ් කරන්න පටන් ගත්තු බව. ඒ උණුසුමත් එක්කම, මංසලේ අපේ “ඉදිරි දිගහැරුම…” ලිපි පෙළේ පළමුවැන්න ලෙස සටහන් තැබූ අනාගත චිත්‍රපටිය ගැන අලුතෙන් කියන්නයි මේ සූදානම…

Transformers: Age of Extinction

චිත්‍රපටයේ නිල-නාමය වෙන්නේ Transformers: Age of Extinction (2014). මුල් චිත්‍රපට තුන ගැන අධ්‍යක්ෂක Michael Bay‘ට චෝදනා සහ ගැරහුම් රාශියක් එල්ල වුණා විචාරකයින්ගෙන්. විචාරකයො කියන ඒවා ගණන් ගන්නෙ කවුද කියලා; ‘මයිකල් බේ’ ඒ තුනම තමන්ට හදන්න වුවමනා කළ නිසා හැදූ, ඒ එකක්වත් ගැන පසු-නොතැවෙන සහ සමාව නොඉල්ලන නිර්මාණ බව කියනවා. අනික මොන මොන අදහස් පළ වුණත්, මේ කිව් චිත්‍රපට ත්‍රිත්ත්වයම අම්බ සල්ලි හෙවිල්ලක් හෙව්වා. ඒ නිසා විචාරකයන්ට බම්බු ගහගන්ඩ කියලා බේ’ගේ ලෑස්තිය 4 ඉඳං ආයෙමත් ඉදිරියට යන්නයි.

Michael Bay
Michael Bay

මම එහෙම කිව්වට, ඒක තීරණය වෙන්නේනම්; එකම එක කාරණාවක් මතයි. ඒ තමයි සාර්ථකත්වය. විචාරකයන්ට සහ විචාරයන්ට බයේ, වැඩ නවත්තලා දාන කෙනෙක් නොවෙන නිසා, කලින් ඒවා වාගෙම මේකත් හොඳ දිවිල්ලක් දිව්වොත්, 5/ 6 කුත් එක්ක අලුත් ත්‍රිත්ත්වයක් බවට මේකත් පෙරළාවි, මේ හාදයා. තමන් 4 වැන්නට කැමරාව හසුරුවන හැටි සහ වර්ණ දක්වනහැටි මෙවර ටිකක් වෙනස් කළා මිසක්, කලින්වා නරකයි-මේක ඊට හොඳයි කිව්වෙ නෑ කියලා Bay දිගටම කියා සිටිනවා.

චිත්‍රපටයේ පිරිස...
චිත්‍රපටයේ පිරිස…

මෙන්න මෙහෙමයි අලුත් කතාවෙ විස්තරේ… ඕං අහගන්ට…
Cade Yeager(Mark Wahlberg) -කලින් දැනගන්න ලැබුණේ, මෙයාගෙ නම Flynn Vincent කියලයි-, කමක් නෑ යමුකෝ ඉස්සරහට 😀 – හරි මේ උන්නැහා, නවනිපැයුම්කරුවෙක්. දවසක් දා, මොකද්දෝ ක්‍රමේකින්, මිනිහට හම්බවෙනවා… මොකක්ද? පොළවට වැළලිලා ගියා ට්‍රාන්ස්ෆෝමරයක්. ට්‍රාන්ස්ෆෝමරයක් නෙමෙයි ට්‍රාන්ස්ෆෝමරයෙක්! 😛 මේකා අර අඳුරු සඳේ යුද්ධය අතරතුරදි තමයි මෙහෙම වැළලිලා ගොහිල්ල තියෙන්නේ. චිකාගෝ’වල ඇති වුණ මහා ගැ‍ටුම වෙලේ, ඒ විනාශයට හසුවෙලා මිහිදන් වෙලා. මෙයාට ආයෙත් පණ දෙන්නට Yeager උත්සාහ දරන බව ඉතින් හිතාගතැකිනේ?”

T4-V

එහෙම පණ දෙන්ට තනන අව්වස්සෙ, මෙච්චරකල් කොහේටදෝ වෙලා හිටපු Optimus Prime ආපහු එනවා. ඒත් එක්කලම මෙතෙක් නොදු‍ටු Dinobots කියන අලුත් කට්ටියකුත් මෙවර එකතු වෙනවා. අලුත් කිව්වට මේ අය බොහොම පරණයි. හැබැයි අපි අඳුනන්නෙ නෑ වැඩිය. මෙයාලා අතීතයේ ජීවත්වෙලා මොකක්දෝ නොදන්නා හේතුවකින් වඳවෙලා ගිය කට්ටියක්. ඒ අය යළි ඉපැද්දීමක් හරි නින්දෙන් ඇහැරවීමක් හරි මේ පාර සිද්ධ වෙන බවයි කියැවෙන්නේ.

Kelsey Grammer
Kelsey Grammer

කලින් කියාපු විදිහටම; Mark Wahlberg ප්‍රධාන චරිතයෙන් සහ ඔහුගේ දුව විදිහට Nicola Peltz(Bates Motel) සහ ඇගේ විසේකාර-රේස්කාර පෙම්වතා විදිහට Jack Reynor(Delivery Man) එක්වෙනවා. ඒ හැරුණුකොට, දුෂ්ට මිනිස් චරිතයෙන් Kelsey Grammar(The Expendables 3) ත්, භූ-විද්‍යාඥයෙකුගේ චරිතයෙන් Stanley Tucci(The Hunger Games Catching Fire) ත්,ඔහුගේ සහායිකාව ලෙස Sophia Myles(M:I-5) ත්, ට්‍රාන්ස්ෆෝමරයන්ගේ චීන CEO විදිහට Li Bingbing ත් එකතු වෙනවා මේ පාර. හැබැයි කවුරුවත් තවම ඒකේ තේරුමනම් දන්නෙ නෑ 😛

රූගත කිරීම් සිදුකරමින්...
රූගත කිරීම් සිදුකරමින්…

මාස පහාමාරක රූගතවීම් මේ වනවිට අවසානයි. චීනයේ හොංකොං වලදීත් රටේ සෙසු ස්ථානවලදීත් කළ මාසයක රූගතකිරීම් ද අවසන්. මේ වෙනකොට කපන-කොටන වැඩ කෙරීගෙන යනවා. Bay කියන විදිහට මේ පාර නළු-නිළි කැළ අතිවිශිෂ්ටයි. උපරිමයි. මරේ මරු! චිත්‍රපටයේ මුල්ම “පෙරාතු යොමුව”(Teaser Trailer) ළඟ ළඟම එනවා. මේ මාසෙ ඉවර වෙන්නට කලින් අපට දැකගන්නට ලැබේවි ඇතැම්විට. මුල්ම “පෙරාතුව”ත් (Trailer)– මේ අවුරුද්දෙම දකින්නට ලැබෙයි. තව මහා කාලයකුත් නෑනෙ ඉතිං… 😉 දිනයෙ වෙනසකුත් නැති හින්දා, 2014 ජුනි 27 කියන උඩින් සඳහන් කළ දිනය කපාහැරලාත් නෑ හොඳේ… තව ටිකයි… 😀

6 thoughts on “සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (I) | Trans4mers: Age of Extinction වෙස්පෙරළන්නෝ… [Update]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!