ගේම් කාරයෝ, මොළ කාරයෝ , අභාග්‍යවන්තයෝ වාසනාවන්තයෝ සහ මනුෂ්‍යයෝ!

I’m still growing strong!! -කර්ම

අකමැත්තෙන් නොකියවන්න.. එහෙත් ලිපියේ සන්දර්භය නොකියවා කඩු අමෝරා නොඑන්න.


මේ කතාව පටන් ගන්නෙ, හරියටම කොතැනින්ද? මේ හැමදේම එකක් පස්සෙ එකක් දුවන රෝදයක් වගේ කියලා ඔබට හිතෙන්නෙ නැද්ද? හැම ක්‍රියාවක් සඳහාම ප්‍රතිඵලයක් තියෙනවා. එච්චරයි. Got කතා පෙළ පහසුවෙන්ම විවරණය කරන්න පුළුවන් අන්න එතැනදියි.

අපි ලෝර්ඩ් බේලිශ් ගෙන් මේ ගේම් එක පටන් ගනිමු. හැබැයි, බේලිශ් ද මේ ගේම් එකේ ඇරඹුම? නැත්තම් වේරිස් ද? නැත්තම් කොහෙවත් නැති ටිරියෙන් ද? වෙනස්ම කෙනෙක්ද? මේ ගේම් එක, එක එක්කෙනා, බලය පතා, ආරක්ෂාව පතා වගේම හදිසි කෝපය පතා කළ දේවල් වලින් එක එක පැති වලට හැරුණා කියන එක තමයි වඩාම නිවැරදි.

ඒ නිසාම මං වෙනස්ම තැනකින් පටන් ගන්නම්.

clean man වෙලා හිටපු එඩාර්ඩ් ස්ටාර්ක් ළඟට අපි ටිකක් යමු. මිනිහා ගෙ දීප්තිය පළවෙනි සීසන් එක හිරිවට්ටද්දි, ඒ මනුස්සයාට survive වෙන්න බැරි විත්තිය දෙවැනි තුන්වෙනි එපි වෙනකොට පොත නොකියවූ කෙනෙක්ට වුණත් තේරුම් යනවා. යහපත් කම සාධාරණත්වය කවදා හරි ජය ගන්න ඉඩ තිබ්බාට, හැම වෙලේම ජය ගන්නෙ නෑ.

ඒත් ඒ නෙඩ් ගෙ මරණෙ වේදනාව ටිකක් විතර දුරට ආතර් ඩේන් ගෙ මරණය දැකපු කෙනෙක්ගෙන් අකා මකා යනවා. ද්වන්ධ සටනකදි , යුද්ධ ධර්මයේ නොකරන දෙයක් තමයි හොලන් රීඩ් සහ නෙඩ් දෙන්නා ටවර් ඔෆ් ජෝයී හී දී කරන්නෙ.

පොඩ්ඩක් හෝව්ව්!! මේ කතාව ඉදිරියට යන්න, ආතර් ඩේන් මිය යාම අත්‍යාවශ්‍යයි. මොකද ඔහු නොමැරී සිටියා නම්, ලියානා ස්ටාර්ක් ගාවට යන්න තබා ඈ දකින්නවත් ඉඩක් නෙඩ් ට අනිවාර්යයෙන්ම ලැබෙන්නෙ නෑ.

නමුත් ඒ ආතර් – නෙඩ් සටන, සටනක් ලෙස දකිද්දි ඉතාම අසාධාරණයි. කොටින්ම ඉතිහාසය ලියවෙන්නෙ ජයග්‍රහණය කළ අයගෙ ඇසින් නිසා, ඒක තවත් ශෝචනීයයි කියලා මට හිතෙනවා .

නෙඩ් ආතර් ඩේන් ව මරපු හැටි ගැන බොහෝ ජය ගීතත් තියෙනවා කියලා three eye raven ට බ්‍රැන් කියනවා ඔබ දකින්න ඇති. ඒ සටන ඇසින් දකින බ්‍රැන් පවා තම පියාගෙ සටන් පාරිශුද්ධභාවය ගැන කුකුසක් ඇති කරගත්තා කීවොත් තමයි වඩාත් නිවැරදි. අපකීර්තිමත් සටනකින්, කීර්තියක් උපයාගත් නෙඩ් ට එය රඳවා ගන්න හැකි වෙන්නෙ දශක දෙකකටත් අඩු කාලයක්. නෙඩ්ගේ මිය යාම අපකීර්තිමත් එකක්.

අපි තවත් ඉසව්වක් දිහා බලමු. නෙඩ් සහ ජේමි අතර වෙන ද්වන්ධ සටනෙදි, ලැනිස්ටර් සෙබලෙක් පසු පසින් පැමිණ නෙඩ් ට හෙල්ලයෙන් ඇනීම ජේමි දකින්නෙ නරකක් හැටියට.

තමන්ගෙ ලැනිස්ටර් පිළට අයත් එකෙක් වුණත් ඔහුව මරාදමලා, නෙඩ් හා පැවති සටන ඔහු නවත්තනවා. සටන ගෞරවණීය නැත්තම් කරලා ඒ සටන කරලා වැඩක් නැති බව ජේමි ලැනිස්ටර් විශ්වාස කරනවා. එහෙම බැලුවොත් සිද්ධි දෙකේ වඩා උතුම් ජේමි ද? නෙඩ් ද?

නෙඩ් පසුපසින් කෙරෙන කුමන්ත්‍රණයක් නිසාම මිය යන්න හේතු වුණේ, ඔහු ගේ ම ක්‍රියාවන්.

හැබැයි ඒ කර්මය නිර්මාණය වෙන්නෙ, බේලිෂ් ගෙ game එකේ එක්තරා ප්‍රතිඵලයක් විදිහට.. අන්න ඒකයි මේ කතාව ව්‍යාකූල වගේම රසවත් වෙන තැන.

(අපි දැනට දන්න විදිහට ) බ්‍රැන් ව දෙවැනි වර අවසන් කිරීම සඳහා වැලේරියන් ආයුධය එව්වෙ, තනිකරම බේලිශ් ගෙ ඕනෙ කමටමද? ඒක වෙන්න පුළුවන්. ලැනිස්ටර් ස්ටාර්ක් ගැටුමක් ආරම්භ කිරීම ඔහුගෙ පරමාර්ථය වුණා වෙන්න පුළුවන්. ඒකට ඔහු ජොන් ඇරන් ව මරන්න ලයිසා ඇරන් වත් පාවිච්චි කළා.

ටිරියන් ව මේ සටනට පැටළවීමෙන්, ලැනිස්ටර් ස්ටාර්ක් පවුල් අතර මෙන්ම සර්සි විවාහ වී සිටි රොබට් බ්‍රැතියන් ද මේ ප්‍රශ්නෙට මැදි වෙනවා. කොහොම වුණත්, සර්සි ගෙ වුවමනාවත් ඵල දරලා රොබට් බ්‍රැතියන් ගෙන් සිහසුන හිස් වෙනවා. බ්‍රැතියන් නමින් ජේමි හා සර්සි ගෙ දෙටු පුතා වූ ජොෆ්‍රි රජ වෙනවා.

ස්ටැනිස් ට නියම උරුමය ගන්න එන්න කියලා ලියූ ලිපිය හෙවත් උරුමක්කාරයන් පිළිබඳ ලිපිය නිසා අවසානෙ නෙඩ් කුමන්ත්‍රණ අස්සෙන් දංගෙඩියට යනවා. මේ හැම එකක්ම බේලිශ්ගෙ මූලික සැලසුම්, බව පේන්න තියෙනවා..

නමුත් බේලිශ් කොච්චර මොළයෙන් ගේම ගැහුවත්, ලැනිස්ටර් බල පරාක්‍රමය එක්ක ඔහු ඉන්නෙ, සෑහෙන අඩු තැනක. Power is the power කියලා..සර්සි ඔහුට පැහැදිළි කළේ අන්න ඒකයි.

ජොෆ්‍රිගෙ මරණය සැලසුම් කරන්න, ටයිරෙල් නෝනාට බේලිශ් විසින් සන්සාව පාවිච්චි කරලා උදව් සපයන්නෙ, නැවත සන්සාව තමන් ළඟට ගැනීමේ අටියෙන්. කොටින්ම බේලිශ් ට සන්සාව පේන්නෙ, ඕනෙම නැවක් තමන්ට නතු කරන්න පුළුවන් නැංගුරමක් වගේ. මුලින් ඈව ටයිරෙල් ලාට දීලා, ජෝෆ්‍රීව මැරවීම (විස මාලය උත්සවය ට රැගෙන ගියේ සන්සා) පස්සෙ ලයිසාට ඈ පෙන්වා කුපිත කර, ලයිසාව මැරවීම හා එමගින් වේල් වල ආරක්ෂක තනතුර, වේල් ප්‍රධානීන් විසින්ම ප්‍රදානය කරන තැනට සන්සා ලවා සාක්ෂිය හැරවීම, බෝල්ටන් වරුන්ට සන්සාව ලබා දීම හරහා, වින්ටර්ෆෙල් වල මිත්‍රත්වය තහවුරු කර ගැනීම ඔහු සිද්ධ කළා.

ඒත් බේලිශ් ට පුංචි දෙයක් මඟ හැරුණා. මේ Win or Die ගේම් එකේ, එකම සෙල්ලම දෙතුන් පාරක් සෙල්ලම් කළොත් වරදිනවා කියන දේ. සන්සා ගේ පැත්ත ගැනීම බෝල්ටන් වරුන්ගේ පැත්ත ගැනීමට වඩා වාසි දායක නිසා, බාස්ටර්ඩ් සටනේ දී ස්ටාර්ක් වරුන්ට උදව් කළත්, ඔහු ඉන්පසුව බල කාමය නිසා නොහිතා නොබලා මෝඩ වැඩක් කළා.

කැටලින්, ලයිසා වගේ house wife ප්‍රවර්ගයේ කාන්තාවන් එක්ක ගහන ගැටයක් , අධි පීඩාවන්, දූෂනයන්, අතවරයන් ට ලක් වෙච්චි, සටන් හා තීක්ෂණ බුද්ධියෙන් යම් දුරක් පැමිණි, කාන්තාවන් දෙදෙනෙකු ට උපයෝගී කරද්දි වරදක් වෙන්න පුළුවන් බව, ඔහු අමතක කළා.

එයයි ඔහුගේ අවසානය තීන්දු කළේ. ආත්මාර්ථය උදෙසා ඔහු ගිය ගමන නිමා වෙන්නෙ අන්න ඒ විදිහට..

අපි බේලිශ් ගැන ටිකක් කතා කළා. වේරිස් ගැන කතා කරන්නත් ඕනෙ. ඒත් සරලවම දෙන්නව සංසංදනය කරන තැනකින් කතාව පටන් ගත්තොත් ඒක පහසුයි.

බේලිශ් ට තිබ්බෙ එක අරමුණයි. කවදාවත් තමන්ට සම්ප්‍රදායෙන් අයිති නොවෙයි කියලා හිතන, මේ අයන් ත්‍රෝන් එකේ කොහොම හරි ඉඳ ගැනීම. ඒ ආත්මාර්ථය නිසාම ඔහු ගහපු ගේම් හැම එකක් ම අවසානය වෙන තුරු එකකට එකක් ගැළපෙන සියුම් කලාවකින් යුක්ත වුණා. හැබැයි වේරිස් ට කිසිම දවසක මේ පුටුව ගැන ආශාවක් තිබ්බෙ නෑ.. ඒක ඔහු පැහැදිළිව කියනවා.

“මං සේවය කරන්නෙ රාජධානිය ට” ඒක ඔහුගෙ අරමුණ ගැන ඕනෑම කෙනෙක් ප්‍රශ්න කරද්දි ඔහු දෙන සරලම උත්තරේ . ඒක නිවැරදි ද? වැරදිද?

තාමත් අපිට, ඔහු කිව්ව පිළිතුර කපටි එකක් කියන්න තරම්, සාක්ෂි ලැබිලත් නෑ. වේරිස් ටිරියන් ට නිරන්තරයෙන් උදව් කරන කෙනෙක්. ඔහු ඩැනී ගෙ බුද්ධි සේවයට එන්නෙත්, ඒ මොහොතේ ලැනිස්ටර් වරුන්ට වඩා වෙස්ටරෝස් වලට හොඳම කෙනා ඩැනී නිසයි. තාමත් ඔහු ඉතිරි වෙලා ඉන්නෙත් ඔහු එහෙන් මෙහෙන් පැටලි පැටලි කරපු පොඩි පොඩි ගේම් හැම එකක්ම පාහේ, ඔහුව විශ්වාස කරන ලෝර්ඩ් වරුන් ගෙ හිත් දිනා ගත් නිසයි. බේලිශ් තරම් වේරිස් අවිස්වාස කටයුතු කෙනෙක් නෙවෙයි. ඔහු ගෙ යම් ගෞරවණීය බවක් හැම විටම තිබෙනවා.

වේරිස් නෙඩ් ට යම් පහසුවක් සලසන්නත්, ඉන්පසු ජොෆ්‍රි සමඟින් රැකෙන්නටත් වගේම, ජොෆ්‍රිගේ මරණයෙන් අසුවෙන ටිරියන්ට උදව් කරන්නටත් පටන් ගන්නවා. ටිරියන් සමඟින් ඩැනීට උදව් කරන ඔහු, ඩැනී වෙනුවෙන් ටයිරෙල් වරු සහ සෑන්ඩ් ස්නේක් වරු සමඟ සම්බන්ධකම් නිර්මාණය කරන්න තෝල්ක කම් කරනවා. මේ සියල්ල බුද්ධි සැලසුම් . මේවාට ගේම් කියන එක වැරදියි. ඔහු බේලිශ් ට වඩා හොඳ අයිඩියොලොජිස්ට් කෙනෙක් කියන්න මං කැමතියි.

ඒත් මට අනුව මේ කතාවෙ, හොඳම වාසනාවන්තයා ටිරියන් ලැනිස්ටර්. බේලිශ් ලාගෙ ගේම්ස්, වේරිස් ලාගෙ අයිඩියාස්, ටයිවින්ලා ගෙ ප්ලෑන් දහසක් මැද්දෙ, මොන අවුලක් අස්සෙත් survive වෙච්චි කෙනා වගේම, කතාව වෙනම පැත්තකට හරෝපු කෙනා, ටිරියන්. මේ කතාව පවතින තැනින් කාට කාටත් අමාරු කළේ ඔහු. ඒක එක්තරා අහම්බයක් කිව්වත් හරි. ඒත් ඒක මරු අහම්බයක් ..

ඒ කොහොමද?

ටිරියන් ගෙ අහම්බයන් මුලින් ගොඩක් තිබ්බත්, හොඳම ටික පටන් ගන්නෙ, ටයිවින් ඔහුව මාලිගාවට එවන තැන ඉඳන්. ජොෆ්‍රිට විරුද්ධව කතා කරන්න, කට පණ තිබ්බ එකම කෙනා ඔහු. ඔහු නොවෙන්න, අඩුතරමින් බේලිෂ් ට ගේම් ගහන්න පාවිච්චි වෙන්නවත් සන්සා ජීවතුන් අතර නෑ.

ලැනිස්ටර් වරුන් වෙනුවෙන් බ්ලැක් වෝටර් බේ සටන ඔහු තම පියා හා ටයිරෙල් වරු එනතුරු මැඩ පවත්වා නොගන්න, අනිවාර්යයෙන්ම ජොෆ්‍රි බ්‍රැතියන් පරදලා, ස්ටැනිස් කින්ග්ස් ලෑන්ඩිං අල්ලනවා..සර්සි එහෙනම් අයන් ත්‍රොන් එක උඩ, පොඩි දරුවා එක්ක වස බීලා මිය ගිහින්. ඔහුගෙ පියා ඔහුව අපකීර්තිමත් කළා. ඒක ඇත්ත. ඒත් අපි දන්නවා සටන තියාගත්තේ කවුද කියලා. ඔහුව සන්සාට බන්දා දුන්නෙත්, සන්සාට අවමන් කරන්න වගේම, ලැනිස්ටර් දරුවෙක් බිහි කරන්න වෙන්න පුළුවන් … ඒත් ටිරියන් ට එය කරන්න කල් මදිවුණා. ජොෆ්‍රි ගේ මරණය නිසා.

ජොෆ්‍රිගෙ මරණයට ටිරියන් ව මේ තරම් අල්ලන්න ටයිවින්ට තිබ්බ ඕනෙකම හරි පුදුමයි. සර්සි ගෙ බලපෑමට වඩා ටයිවින්ට ටිරියන් එක්ක පුදුම අහිතවත් කමක් හැම මොහොතෙම තිබ්බා.

කොහොම හරි, නඩුව අවසානෙ ද්වන්ධ සටනක් ටිරියන් ඉල්ලනවා. ටයිවින් පවා පුදුම වෙනවා. ඒ අහම්බය විසින් තමයි ඔබ්‍රින් සහ මවුන්ට් මුණ ගස්සන්නෙ. එය එලියා මාටෙල් ගෙ මරණය වූ අවස්ථාවෙහි සිට පැවති වෛරයක්.

කොහොම වුණත් ඔබ්‍රින් ගෙ මරණය සර්සි ට ලොකු බලපෑමක් කරනවා. සර්සි ගෙ දුව මැරෙන්නෙ, ඔබ්‍රින් ව මවුන්ට් මරාදාපු නිසයි. ඩ්‍රෝන් කලාපය ස්නේක් වරු අයත් කරගන්නේ. මාටෙල් යුගය ඉවර වෙන්නෙ, ඔවුන් ඩැනීට පසුව එක් වෙන්නෙ. සර්සි අතින් ඔවුන් මිය ගියත්, ඩැනී වෙස්ටරෝස් පැමිණීම ඉක්මන් කරන්නෙ මේ ටිරියන්ගෙ ද්වන්ධ සටන් අහම්බයයි. මේ සම්බන්ධකම් තවත් පළල් කරලා ටයිරෙල් ලා ඩැනී ට එක් වෙන්නෙ සෑන්ඩ් ලා නිසයි. ඩැනී වෙස්ටරෝස් පැමිණීමෙන් ටාර්ලි වංශය විනාශ වෙනවා. ලැනිස්ටර් හමුදා බර තොගයක් විනාශ වෙනවා. Open feild එකේ දොත්‍රැකි හමුදා සටන් වදින නිසා හා මකරු නිසා මහා සංහාරයක් වෙනවා. ඉතිං ටිරියන්ගෙ පුංචි හිතුවක්කාර ද්වන්ධ සටන ගිය දුර කෝමද?

සටනෙන් ටයිරෙල් වරු හා, ඩ්‍රොන් වල සෑන්ඩ් ලා පරාද වුණාට, ඩැනී ඉතිරි වෙන එකම තමයි සර්සිට අනාගතය පුරාම ප්‍රශ්නය වෙන්නෙත්. මේ අහම්බය හැදෙන්නෙ ටිරියන් නිසා.

අපි තවත් පැත්තක් හිතුවොත්,

ටිරියන් ටයිවින්ව මරා දාපු නිසා තමයි, අද සර්සි රජ පුටුවෙ ඉන්නෙ. නැත්තම් සර්සි අද ටයිරෙල් කෙනෙක්. ජේමි කාස්ටලි රොක් වල ලෝර්ඩ් වෙලා. මේ මුකුත්ම මේ විදිහට නොවී අමුතුම අවසානයක් වෙන්න තිබ්බා. මේ ටිරියන් බීලා නටපු මෝඩ අහම්බයන් නැත්තම් කතාව වෙනස්ම ආරක් ගන්නවා. කොහොම වුණත්, ටයිවින්ගෙ පවුල ප්‍රමුඛත්වය ට ගන්න හැම ප්ලෑනක්ම, වැසිකිළි පෝච්චියක් උඩ ඉවර කළාට, ටිරියන් ලැනිස්ටර් තාම පවුල අතෑරලා නෑ..

තවත් ලිපියකින් හමුවෙමු!

නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 57 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

5 thoughts on “ගේම් කාරයෝ, මොළ කාරයෝ , අභාග්‍යවන්තයෝ වාසනාවන්තයෝ සහ මනුෂ්‍යයෝ!

  • April 2, 2019 at 1:59 PM
    Permalink

    ස්තූතියි

  • March 31, 2019 at 2:12 PM
    Permalink

    oyage article ekak enakam balan hitiye .ela

  • March 30, 2019 at 1:09 PM
    Permalink

    Appa lipiya maru

  • March 26, 2019 at 10:07 AM
    Permalink

    Elm.supiriyata liyala thiyei. Digatama liyamu mewage

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!