Game of Throne හෙවත් song of Ice and Fire කතා මාලාව තුළ සැඟවුණු සංකේත රූප ගැන වැඩි දුර කියවීමක්

(පැරණි ලිපිය නොවේ)

//ඔබේ කුළුදුල් හැඟීම් වලට බාධා වේ නම් නොකියවා සිටින්න..//


මං මේ කතා මාලාවට වැඩියෙන්ම බැඳුණෙ, එහි සිනමාරූපී බවේ තිබුණු උසස් තැන් නිසා. හුඟක් අය මේ වෙද්දි ඒ ගැන යම් විවේචනයන් එල්ල කරනවා. ටෙලි පෙළ සංස්කරණය කරන්න හා ඉක්මනින් ඉවර කරන්න ගිහින් කතාවට් අනිසි වේගයක් හා අති සරල වගේම, කිසි තේරුමක් නැති විදිහට දේවල් ඔබලා වගේ පේනවා කියලා. ඒ කියන්නෙ, සමහර කොටස් හරි නොගැලපෙන සුළුයි කියලා. 6 සහ 7 ටෙලි මාලාවට තමයි මේ විවේචනය බරපතල ව එල්ල වුණේ. මුලින්ම මං ඒ ගැන චුට්ටක් කතා කරලා, මගේ මාතෘකාවට එන්නම්. ( ඒ වගේ පෝස්ට් ගොඩක් දැක්කා. ඒකයි මෙහෙම ලියන්නෙ.)

සාමාන්‍යයෙන් පොතක් කියවන පිරිසට වඩා වර්තමානෙ විෂුවල් වලින් ඒ කතාව දැක ගන්න ආශා කරන පිරිස වැඩියි.

ජොන් ලොගී බෙයාර්ඩ් ට තමන් හදපු රූප පෙට්ටිය මෝඩ පෙට්ටියක් වගේ පෙනුණ නිසා, එතුමා ඕකෙ සෙල්ලම අවුරුදු පහකින්, ඉවර වෙයි කියලා ප්‍රසිද්ධියෙ ම කිව්වලු. ඒත් එතුමා මැරෙන්නෙ පුදුමයෙන් පුදුමයට පත් වෙලා. නොහිතූ විරූ ලෙස එතුමා සෙල්ලමට හදපු මෝඩ පෙට්ටිය ලෝකය ආක්‍රමණය කරනවා. අන්තිමේ පොත ට වඩා රූපවාහිනිය ඉඩක් ලබනවා.

මොකද කිව්වොත් රූපවාහිනී නරඹන්න පොතක් කියවන්න තරම් සාක්ෂරතාවයක් ඕනෙ නෑ. ලෝකය කාර්මික විප්ලවය ඉවර වෙද්දි, වැඩියෙන්ම විකිණෙන දේවල් දෙක විදිහට, සෙක්ස් හා ඩ්‍රග්ස් හඳුනා ගන්නවා. ඇත්තටම game of throne කතා මාලාව හරහා විකුණන්නෙ, මේ දෙකෙන් සෙක්ස් කියන කොටස හා මිනිස්සු තුළ පර පීඩකත්වයට ඇති නොතිත් ආශාව.

ඒ සඳහා ඔවුන් ට සන්නමක් තරම් (brand) එකක් තරම් ඉහළ යන පොත් මාලාවක් ලැබෙනවා. ඉතිං අමු අමුවෙ sex විකුණන්නෙ නැතිව, සෑහෙන විදග්ධ විදිහට වැඩේ වෙනවා. හැබැයි.. පොතක් ලියනකොට ලේඛකයො තමන්ගෙ මුළු ශක්තියම තමන් කැමති විදිහට මුදා හැරියට, ඒ දේ මේ වගේ කතා මාලාවකදි කරන්න බෑ. පොතක රසිකයන්ට වඩා, ටීවි බලන රසිකයො වෙනස්.. ටීවී චැනල් දුවන්නෙ ඒ චැනල් වල ඉන්න ස්පොන්සර්ස් ලා මත. රසිකයා රඳා පවත්වාගෙන බ්‍රෑන්ඩ් එක රැක ගැනීම තමයි.. ඔවුන් ගෙ ලොකුම වුවමනාව වගේම කන්ට්‍රැක්ට් එක. එතනදි කලාවට ඔවුන් බලපෑම් කරනවා. රසිකයාගෙ පැත්තෙන්. ඒකයි රසික අපි හිතන දේ වෙනවා වගේ අපිට දැනෙන්නෙ. ඒකයි පොත් දෙක පවා වයසක මනුස්සයා එළියට නොදාන්නෙ. ඒවාට හොඳ කුට්ටියක් දෙන්න ඇති.

ආසියාතික රට වල තරම් දරුණු විදිහට යුරෝපීය අනුග්‍රාහකයන් කතාවට බාධා නොකිරීමත්, කලාව කප්පදු නොකිරීමත් එක්තරා වාසනාවක්.

මට පහුගිය විවේචන වලට දෙන්න තියෙන්නෙ, මේ වගේ කමෙන්ට් එකක්.


දැන් මගේ අද තේමාව –

ඔබට මතක ඇති ස්ටාර්ක් ළමයි සහ ඔවුන්ගෙ ඩයර් වුල්ෆ් ලා.. මං හදන්නෙ ඒ හැම ඩයර් වුල්ෆ් ම අදාළ ළමයා ගැන දරා ඉන්න පුංචිරහසක්, පුංචි සංකේතයක් ගැන කියන්න. ඒ කියන්නෙ, ඒ තුළින් යම් අවසානෙක ලකුණුත් පේන්වා..

රොබ් ස්ටාර්ක්- එයාගෙ ඩරයර් වුල්ෆ් gray wind ඒ කියන්නෙ අළු පැහැ හුළඟ. අළු පැහැ හුළඟක් එන්නෙ කොහොම තැනකින්ද? චිතකයකින්. ඒ කියන්නෙ මරණය. රොබ් අවසානයේ හුළඟක් වගේ සියල්ල ව්‍යර්ථ කර ගනිමින් තමන්ගෙ මව, බිරිඳ , නූපන් බිළිඳා හා පිරිස සමඟ මිය යනවා. රොබ්ගෙ අවසානය මුල සිටම තමන්ගෙ වෘකයා ගෙ නමේ තිබ්බා.

සන්සා ස්ටාර්ක්- බෙල්ලට පටියක් දාගෙන කරකවන හැම අතටම වැනිච්ච ලේඩි, බොහොම අහිංසක වෘක ධේනුවක්. අන්තිමේ සන්සා ගෙ පියා එඩාර්ඩ් අතින් අතර මගදි ඈ මිය යනවා. සර්සි ගෙ ඕනැකමට, බැරැතියන් අණින් මැරුම් කනවා. ඉන් සන්සා ගෙ ජීවිතය ට වීමට නියමිතව තිබු සංකූලතා ටිකත් ඉව කරනවා. හැබැයි සන්සා අවසානයේ පත් වෙන තැන, ලේඩි. මොන ප්‍රශ්නෙ ට වත් ඇගේ ලේඩි හීනය බොඳ කරන්න ඉඩ ලැබුණේ නෑ. දුක් ලැබුණා වුණත්, ඈට ඒ තැන ලැබෙන බව, ඇගේ වෘක ධේනුවගෙ නම හෙළි කරනවා.

බ්‍රැන්ඩන් ස්ටාර්ක්- ඔහුගෙ වෘකයා සමර්. ඒ කියන්නෙ ගිම්හානය. ගිම්හානය වයිට් වෝකර් වරු අතින් මියයනවා. ඒත් යම් දවසක බ්‍රැන් මේ වෙස්ටරෝස් වල ශීතය හා ශීතය සමඟ එන නපුර නිමා කරලා, ගිම්හානය ගෙනෙයි කියන බලාපොරොත්තුව තාම අපිට තියා ගන්න පුළුවන්.

රිකොන් ස්ටාර්ක් – ශැගී ඩෝග් කියන නම ම වෘකයෙකුට ගැලපෙන්නෙ නෑ. ඒ නම තුළින් කියවෙනවා..යටහත් පහත් බව සහ පක්ෂපාතිත්වය..එහෙත් ඔහු බල්ලෙක් වගේ ප්‍රාණ ඇපේට තියා ඉඳලා, බල්ලෙක් වගේ මර දැම්මා. ඉතින් ඒ නමේ විදිහටම වුණා.

ආර්‍යා ස්ටාර්ක් – නිමේරියා ලේසි පාසු නැහැ. ඒ නම වීරවරියක් නියෝජනය කරනවා. ඈ කළ සියල්ල කෙටියෙන්ම අහා දැනගන්න Tharindu Vishwanath ගෙ ඉතිහාස වීඩියෝව බලන්න. කොහොම හරි නිමේරියා කියන්නෙ තමන්ගෙ සනුහරේ රැකගන්න ඔවුන් එක්ක නැව් නැග්ග, අප්‍රමාණ දුක් විඳි වීරවරියක්. ආර්‍යා ස්ටාර්ක් තමන්ගෙ රැළ බේරගන්න.. මොන වගේ දෙයක් කරයිද? නිමේරියා තාම ජීවතුන් අතර. ඈට වෙනම රැළකුත් ඉන්නවා. ඈ නැවත දකින්නට ලැබේවි කියලා ට්‍රේලර් එක බලද්දි නිකම් හිතෙනවා. බලමු නේද? කොහොම වුණත් ආර්‍යා ඈ තම වෘක ධේනුවට දාපු නමට ගෞරවයක් කරයි. ආර්‍යා දැනටත් වීරවරියක්.

ජොන් ස්නොව් – ඇල්බිනෝ වෘකයා හම්බෙන ජොන්, ඒ ගැන් හිටියෙ සතුටින්. ඌ කුණු කකා හිටියෙ. එත් ගෝෂ්ට් වැඩි කාලයක් ජීවත් වුණා. අනෙක් අයට වඩා. නිමේරියා වුණත් හැංගිලා රැකුණ කෙනෙක්. ඒත් මේ ඇල්බිනෝ වෘකයා ජෝන් ව දාලා ගියෙ එහෙමත් මොහොතක විතරයි. ඔහු සැබෑ ජීවිතේ මිය ගියත්, වෙනත් රූපයක් දම්මලා හරි, මෙවර ඔහු අනිවා‍ර්යෙන් පෙන්නනවා කියලා හිතෙනවා. යෝධයාට වඩා, ලොකු වියදමක් යන නිසා බෝල්ටන් ස්ටාර්ක් යුද්ධයට ගෝෂ්ට් හිටියෙ නෑ. ගෝෂ්ට් කියාපාන්නෙ ජොන් ගෙ උරුමය. එක් පැත්තකින් බාස්ටර්ඩ් බව . ඇල්බිනෝ බවෙන් ඒක පේන්වා. ඒ වගේම ස්ටාර්ක් බාස්ටඩ් කෙනෙක්ගෙ කොඩිය නම් සුදු වෘකයා. ඒකයි අභිෂේකයේදි ජොන් ට හැමෝම වයිට් වුල්ෆ් කියන්නෙ. ඒත් මෙතනදි මේ කතාව මේ සිම්බල් එක හරිම සංකීර්ණයි.
ගෝෂ්ට් කියන්නෙ භුතයෙක් , හොල්මනක් වගේ දෙයක්. හරියට ම කල්පනා කරලා බැලුවොත් ස්ටාර්ක් පවුල් සංකීර්ණය ම බල පැවැත්විලා තියෙන්නෙ කෑම මේසෙටවත් නොගත්ත ජොන් වටේ. නෙඩ් තමන්ගෙ කීර්තිය පාවා දීලා රැක්කෙ ජෝන් ව. බ්‍රැන්ඩන්, රිකාර්ඩ් ස්ටාර්ක් වරු මලේ ලියානා ස්ටාර්ක් බේරන්න ගිහින්. මහා වෙස්ටරෝස් මුල් බල පෙරළියේ හේතුව ලියානා. ලියානා මිය ගියත්, රේගර් මිය ගියත්, යුද්ධයෙන් පසුව කාලයක් රජකම් කරලා බැරතියන් මිය ගියත්, අලුයට ගිනි පුපුරක් වගේ තාමත් ජොන් ගෙ අයිතිය ත්‍රොන් එක වටේ හොල්මන් කරනවා. ඉතිං මේ භූතයාට ත්‍රොන් එකට අරක් ගන්න හැකි වේවිද?

අපි බලමු.. තම ගොඩක් දේවල් තියෙනවා. ඉඩ තියෙන විදියට ලියන්නම්. අදට ඇති.

ස්තූතියි. තිසර නියෝ. මේවා පරිස්සම් කරලා..මංසලට දානවාට. ගිහින් එන්නම්.

ප්‍රතිචාර වලට ස්තූතියි.

නෙරංජි සුලක්ඛනා (49 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 49 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

5 thoughts on “Game of Throne හෙවත් song of Ice and Fire කතා මාලාව තුළ සැඟවුණු සංකේත රූප ගැන වැඩි දුර කියවීමක්

  • March 22, 2019 at 2:28 PM
    Permalink

    Thanx niyamaay…

  • March 21, 2019 at 7:50 PM
    Permalink

    ela ela ena kan agili gana gana inne..

  • March 20, 2019 at 5:40 PM
    Permalink

    ස්තූතියි

  • March 20, 2019 at 11:15 AM
    Permalink

    Tnx. Mewage digatama liyamu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!