ස්පයිඩර්මෑන්ලගේ විශ්වය – හැදින්වීම

අද කතා කරන්න හදන්නේ ඉස්සරහට වැදගත් වෙන මාතෘකාවක් ගැන. මේක MCU එකට වැදගත් වෙන්නත් පුලුවන් මොකද දැන් ඉන්න වැඩිහිටි ඇවෙන්ජර්ස්ලාගෙන් පස්සෙ ඊලග පරපුරකට තරුණ පරම්පරාව රිදී තිරයට ගෙනාවොත් එහෙම. කියන්න බෑනේ ඉතින්.  එච්චර හිතන්න එපා මේක ඇත්තටම ගිය අවුරුද්දේ නිකුත් වුනු චිත්‍රපටයක තිබුණු දෙයක් නිසයි කතා කරන්න හිතුවේ. එහෙනම් හැරෙමු ඒ පැත්තට.

ස්පයිඩර්-මෑන්. නම ඇහු පමණින් සෑහෙන දෙනෙක් මේ සුපිරි වීරයා ගැන දන්නවා ඇති. හැමෝටම තේරෙන වහරින් කියනවනම් මේ වෙද්දී රිදී තිරය හරහා ස්පයිඩර් මෑන්ලා දෙන්නෙක්ව දැකලා ඇති. එක් කෙනෙක් රතු පාට සූට් එක ඇදගත්ත පීටර් පාකර්. අනික් කෙනා වෙනම්. ඒත් වෙනම්ව ස්පයිඩර්-මෑන් කෙනෙක් විදිහට ගනන් ගන්න බැහැ එයාලගේ ජීව කොට්ටාශය එක්ක බැලුවොත්. ඒ ඇයි කියලා හිතෙයි පහුගිය වසරේ නිකුත් වෙච්ච Spider-Man: Into the Spider-Verse චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් හෝ බලලා තියෙනවනම්. ඒකේදී ඔයාලා දකින්න ඇති ස්පයිඩර්-මෑන්ලා ගොඩ දෙනෙක් හිටියා. රතු පාට සූට් ඇදගත්ත කිහිප දෙනෙක්, කළු පාට සූට් එකක් ඇදගත්ත කළු ජාතික පොඩි එකෙක් එහෙම. අන්න ඒ කට්ටිය ගැන තමයි අද කතා කරන්න ලෑස්ති වෙන්නෙ.

මාවල් මල්ටිවර්ස් එක ඇතුලේ විකල්ප ලෝක මිලියනයක් විතර දැනට තියෙනවා. මේ අතරේ සමහර චරිත, ලෝක අපිට දකින්න ලැබිලා නැති ඒවත් තියෙනවා. ඔන්න ඔය ලෝක අතරේ ස්පයිඩර්-මෑන් කියන්නෙත් ඒකට හොද උදාහරණයක්. හරියට නිකන් ඩිසි යුනිවර්ස් එක ඇතුලේ ෆ්ලෑෂ්, කිඩ් ෆ්ලෑෂ්, ඉම්පල්ස්, ජේ ගැරික් වගේ ෆ්ලෑෂ් චරිතේ සංස්කරණ තියෙනවා වගේ. ස්පයිඩර්-මෑන් චරිතෙත් ඔය ටිකම තමයි. ඔයාලා මෙතෙක් සුපුරුදු කතාව දන්න පීටර් පාකර් ස්පයිඩර්-මෑන් වීම දක්වා හැරුනම, තවත් අය ඉන්නවා ඔය හැබෑ කතාවෙන් හාත්පසින්ම වගේ වෙනස් කතාවකට උරුමකම් කියපු. කසාද බැදලා ළමයි හදාගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න පීටර් පාකර් කෙනෙක් ඉන්නවා. එහෙම නැත්තම් තුවක්කු අරගෙන රැකවලන වැඩේ කරන් යන කෙනෙක් වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්තම් තවත් සමහර අය ඉන්නවා පීටර් පාකර් නොවන ඒත් විකිරණශීලි මකුළුවෙක් හපා කාලා ස්පයිඩර්-මෑන් කෙනෙක් බවට පත්වෙච්ච.

ස්පයිඩර්-මෑන් විශ්වයක් ගොඩ නගන්න හේතුව මොකක්ද?

මේ විදිහට ස්පයිඩර්-මෑන්ලාගෙන් පිරිච්ච ලෝක බිහි කරන්න, චරිත නිර්මාණය කරන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ හදිසි අවස්ථාවක අනික් ස්පයිඩර්-මෑන් චරිත වලට උදව් කරන්නයි. ඒ කිව්වේ හිතන්නකෝ එක ලෝකයක ඉන්න ස්පයිඩර්-මෑන් කෙනෙක්ට මොකක් හරි නගරෙක හතුරෙක්ගෙන් හරි, මොකක්ම හරි දෙයක් නිසා ඇතිවෙන්න යන අනතුරක් වලක්වාගන්න බැහැ කියලා. එතකොට අනික් ලෝකවල ඉන්න ස්පයිඩර්-මෑන්ලට හැකියාවක් තියෙනවානෙ අන්තර්මාන හරහා ද්වාරයක් විවෘත කරලා තනියෙන් අදාළ අවස්ථාව හසුරවගන්න බැරි කෙනාට උදව් කරන්න. හරියට නිකන් තැනොස්ට පහර දෙන්න මුළු ඇවෙන්ජර්ස් කණ්ඩායමම එකට එකතු කලා වගේ අවස්ථාවක්.

ඔය ලෝකවල ඉන්න ස්පයිඩර්-මෑන් චරිත ගැන පොඩ්ඩක් විපරම් කරලා බලමු එහෙනම්. ඉන්න හැමෝම ගැන නම් කියන්න යන්නේ නැහැ. මොකද මේ වෙද්දී ස්පයිඩර්-වර්ස් එක හරහා එලියට ආව කිහිප දෙනා ගැන විතරයි කතා කරන්න වෙන්නේ.

🕷 මයිල්ස් මොරාලිස්

ස්පයිඩර්-මෑන්ගේ විශ්වයක් වන Earth-1610 වලදී මුණගැහෙන චරිතයක් තමයි මයිල්ස් මොරාලිස් කියන්නේ. තවමත් උසස් පාසලට යන තරුණයෙක්. කලින් සදහන් කරපු විදිහට විකිරණශීලි මකුළුවෙක් කාලා තමයි ස්පයිඩර්-මෑන් කෙනෙක්ට ලැබෙන්න ඕන දේවල් එයාට ලැබෙන්නේ. මෙයාගේ ලෝකෙත් ස්පයිඩර්-මෑන් කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ කෙනා ග්‍රීන් ගොබ්ලින් එක්ක ඇතිවෙච්ච සටනකින් මිය යනවා. කාලයත් එක්ක තමන්ගේ හැකියාවන් අදුර ගනිමින් තමයි මයිල්ස් මොරාලිස් ස්පයිඩර්-මෑන් බවට පත්වෙන්නෙ. කොමික් වලදී මයිල්ස් මාවල් කොමික් විශ්වයන්වල තියෙන සාමාන්‍ය, හුරු පුරුදු විශ්වයට ඇතුළු වෙලා එහෙ ඉන්න පීටර් පාකර්ගෙන් උපදෙස් එහෙමත් අරගෙන තියෙනවා.

ළමා වයසේ පසුවෙන ස්පයිඩර්-මෑන්ගෙ චරිතයක් ගොඩනගන්න ස්ටෑන් ලීගෙන් ලැබුණු අනුමැතිය එක්ක Brian Michael Bendis හා Sara Pichelli දෙදෙනාගේ අතින් තමයි මේ චරිතය නිර්මාණය වෙන්නේ. 2011 වසරේ නිකුත් වෙන Ultimate Fallout 04’වැනි කලාපය හරහා තමයි මයිල්ස් මොරාලිස් මුලින්ම කොමික් චිත්‍රකතා අතරට එන්නේ. සාමාන්‍යයෙන් ස්පයිඩර්-මෑන් කෙනෙක්ගෙන් දකින්න ලැබෙන හැකියාවන් වලට අමතරව,

  • වෙස්මාරුවක්, එහෙමත් නැත්තම් අදෘශ්‍යමාන වෙලා නොපෙනී යන්න  හැකියාව මයිල්ස් තියෙනවා.
  • වෙන්න තියෙන දෙයක් කලින්ම එයාගෙ ඔළුවට කෙරෙන අනතුරු ඇගවීමක් වගේ සංඥාවක් නිකුත් කෙරෙනවා. මේ නිසාම මේ දේවල් සිද්දවෙන්න පටන් ගත්තම එයාට ලේසියෙන් ඒවට ක්‍රියා කරන්න පුලුවන්.
  • බයෝ-ඉලෙක්ට්‍රික් එහෙමත් නැත්තම් ජෛව විද්‍යුත් ශක්ති පදාර්ථයන් එයාගෙ ඇගිලි හරහා ලේසියෙන්ම පිට කරන්න පුලුවන්. ඔය විදිහට මේ හැකියාව පාවිච්චි කරලා කම්පනයක්, තල්ලු කිරීමක් හෝ පහර දීමක් ඒ ශක්තින් හරහා කරන්න හැකියාව එයාට තියෙනවා.

🕷 ස්පයිඩර් ග්වෙන්

මතකනේ ග්වෙන් ස්ටේසි කියන චරිතේ? The Amazing Spider-Man (2014) චිත්‍රපටයෙ අවසානයේදී ඔරලෝසු කුළුනේ උඩ ඉදන් බිමට වැටිලා මැරිලා ගියෙ? අන්න ඔය කියන ග්වෙන් ස්ටේසිගෙ චරිතෙම Earth-65 වල විකිරිණශීලි මකුළුවෙක් එයාව හපා කාලා හැකියාවන් ලැබෙන්නේ. මේ ලෝකෙදිත් එයා පීටර් පාකර්ව හොදින් අදුරනවා. ග්වෙන් මෙහෙදී වැඩියෙන්ම ආසාවක් දැක්වුවේ සංගීතයට. මිඩ්ටවුන් උසස් පාසලේ ගැහණු ළමයි එක්ක සංගීත කණ්ඩායමක ඩ්‍රම් වාදකයෙක් විදිහට වැඩ කරලත් තියෙනවා. ග්වෙන්ට හැකියාවන් ලැබුනට පස්සෙ පීටර් පාකර් ග්වෙන් ගැන ඉරිසියා හිතිලා උසස් පාසලේදී අඩම් තේට්ටම් වලට ලක් වේවි හිටිය පීටර් තනියම තමන්වම අත්හදාබැලීමක් කරලා කටුස්සෙක් බවට පත්වෙලා තියෙනවා. ඒ කිව්වේ The Amazing Spider-Man (2012) චිත්‍රපටයේ ප්‍රතිකාරයක් හොයන්න ගිහින් බිහිවෙච්ච සත්වයා වගේ. 

65’වැනි පෘතුවියෙ ඉන්න මීට කලින් අපරාධ වෙනුවෙන් සටන් කරලා පසුකාලිකවම විශ්‍රාමික සුවයෙන් කාලය ගත කරන ජැනට් වෑන් නොහොත් එහෙ “වාස්ප්” විදිහට කටයුතු කරපු කෙනා තමයි ග්වෙන්ට සූට් එකක් වගේම මකුළු දැල් විදින උපකරණයක් ලබා දෙන්නේ. Jason Latour හා Robbi Rodriguez දෙදෙනාගේ අතින් තමයි මේ චරිතේ බිහිවෙන්නේ. 2014 වසරේ නිකුත් වෙච්ච Edge of Spider-Verse චිත්‍රකතා මාලාවේ දෙවැනි කලාපය හරහා තමයි ස්පයිඩර් ග්වෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. මෙයාටත් සාමාන්‍ය ස්පයිඩර් මෑන් කෙනෙක්ට තියෙන හැකියාවන් වලට අමතරව,

  • යම් දෙයක් ගැන හොදට විශ්ලේෂණය කරන හැකියාව ග්වෙන්ට ලැබිලා තියෙනවා. මේ නිසාම දක්ෂ පරීක්ෂකවරියක් විදිහටත් මෙයාව සලකනවා. ඒ හරුනම මෙයාගේ තාත්තා පොලිස් නිලධාරියෙක් නිසා පොලිසියේ සිද්දවෙන මුලපත්‍ර හා ක්‍රමවේද ගැනත් හොද අවබෝධයක් එයාට තියෙනවා.
  • ග්වෙන් කියන්නේ තනියම සටන් කරන්න ඉගෙන ගත්ත තමන්ගේම කියලා ආවේනික සටන් ක්‍රම තමන් සතු කරගත්ත කෙනෙක්. විශේෂයෙන්ම කියනවනම් කුංෆු සටන් ක්‍රම පවා එයා ඉගෙනගෙන තියෙන්නේ චිත්‍රපට බලලා ඒවායෙන් ලබාගත්ත අධ්‍යනයන් වලින්.

🕷 සුපීරියර් ස්පයිඩර් මෑන්

දැකපු පමණින් හරියට අයන් ස්පයිඩි වගේ නේද? මතකද 2004 Spider-Man 2 චිත්‍රපටයේ හිටිය ඩොක්ටර් ඔට්ටෝ ඔක්ටේවීයස්ව? Earth 616 වැනි එකේදී ඩොක්ටර් ඔට්ටෝ ඔක්ටේවීයස් මිය යමින් හිටිය කාලේ පීටර් තමන්ගෙ මනස ඔට්ටෝ එක්ක බෙදාගෙන පීටර් ඇග ඇතුලේ ජීවත්ව ඉන්න අවසරය දීලා තියෙනවා. ඒත් පස්සෙ කාලෙක පීටර් මැරිලා යන්න කලින් ඔට්ටෝට දැනගන්න ලැබිලා තියෙනවා පීටර්ගෙ ඛේදජනක මතකයන් ගැන. ඉතින් එයාට පීටර්ගෙන් ලැබුණු උරුමයත් එක්ක එයා තීරණය කරලා තියෙනවා පීටර්ට වඩා හොද ස්පයිඩර් මෑන් කෙනෙක් බවට පත්වෙන්න. ඒ බව නමේම සදහන් වෙනවා. “Superior.” කොච්චර හිතුවත් වැඩක් නැහැ බලය ලැබුනට පස්සෙ පාලනයක් නැතුව යනවනේ. ඒ ටිකම ඔට්ටෝට කිසි අඩුවක් නැතුව වෙලා තියෙනවා. කොටින්ම අපරාධකාරයින්ට මුල් කාලේ දරුණු විදිහට සලකලා තියෙන්නේ.

Dan Slott විසින් කතාව ලියද්දි Ryan Stegman, Humberto Ramos, Giuseppe Camuncoli  කියන තුන්දෙනාගෙ අතින් තමයි සිතුවමට නැගිලා තියෙන්නේ. ඒවගේම Dan Slott වගේම Ryan Stegman දෙදෙනා විසින් තමයි චරිතය ගොඩනගලා තියෙන්නේ. 2013-2014 කාලය පුරාවටම කලාපයන් 33 ක් පුරාවටම සුපීරියර් ස්පයිඩර් මෑන්ගෙ චිත්‍රකතා දැකගන්න ලැබිලා තියෙනවා. බිත්ති දිගේ බඩ ගාගෙන යන්න, සුපිරි මිනිස් ශක්තිය, සුපිරි මිනිස් වේගය, සුපිරි මිනිස් සවි බලය, දරා ගැනීමේ හැකියාව, ඉබේ සුව වීම වගේ හුගක් බලයන් වලින් සමන්විත කෙනෙක් තමයි සුපීරියර් ස්පයිඩර් මෑන් කියන්නේ. මීට අමතරව ඩොක්ටර් ඔට්ටෝ ඔක්ටේවීයස්ගෙ තිබුණු විශේෂ බව ඒ කිව්වේ, බහු පුහුණුවක් ලත් විද්‍යාඥයෙක් වගේම ක්ෂේත්‍රයෙ විවිධ පැතිකඩ තුලින් ලැබුණු අත්දැකීම් නිසාම, 

  • ලෝකෙන්ම ඉන්න ප්‍රමුඛ න්‍යෂ්ටික සම්බන්ධව දැනුම් ඇති බලධාරීන් අතරින් හොද දැනුමක් වගේම සත්ව මනෝවිද්‍යාවට ඒක බලන විදිහ ගැන පවා හොද දැනුමක් තිබුණු කෙනෙක් නිසා විකිරිණ සම්බන්ධයෙන් විශේෂඥයෙකු වෙලා තියෙනවා. 
  • දක්ෂ ඉංජිනේරු තාක්ෂණවේදියෙක් වගේම අලුත් දෑ බිහි කරන නිමැවුම්කරුවෙක් විදිහටද සලකලා තියෙනවා.
  • වතාවක් කාල තරණයක් කරලා 2099 ට යන සුපීරියර් ස්පයිඩර් මෑන් ඒ ලෝකේ තියෙන අලුත් ගැජට් එකතු කරගෙන තියෙනවා වගේම කාල තරණය කරන්න පුලුවන් උපකරණයක් පවා අරගෙන තියෙනවා. මොකද 2099 කියන්නේ හිතාගන්නවත් බැරි අවුරුදු ගානක අනාගතයක්. 

🕷 ස්පයිඩර් මෑන් 2099

Earth 616 වල ඉන්න පුරවැසියෙක් තමයි මිගෙල් ඕ’හෑරා කියන්නේ. එයා ඇල්කිමැක්ස් සමාගමේ සේවය කරපු ඉංජිනේරුවෙක්. එයා අයර්ල්ත-ඇමරිකානු පුරවැසියෙක්. ඇල්කිමැක්ස් සමාගමේ නිෂ්පාදනය කරන රැප්චර් කියන මත්ද්‍රව්‍යයට වැරදීමකින් ඇබ්බැහි වෙන මිගෙල් තීරණය කරනවා ජානමය කාවද්දන පරීක්ෂණයක් කරන්න. මේ පරීක්ෂණය ගැන කියනවනම් ඇල්කිමැක්ස් සමාගමේ ටයිලර් ස්ටෝන් වතාවක් මිගෙල්ට බල කරලා තියෙනවා ඔය කියන මිනිස් ශරීරයකට ජානමය කාවද්දන කේතනයක් කරන්න කියලා. මුලදී වැඩේට අදිමදි වුනත් අන්තිමේදී පරීක්ෂණය කරලා පරීක්ෂණයට ලක් වෙච්ච සිම්ස් කියන මනුස්සයා මැරිලා ගිහින් තියෙනවා. මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීමෙන් පස්සෙ මිගෙල් තමන්වම පරීක්ෂණයට ලක් කරගන්නෙත් ඔය කියන පරීක්ෂණයටමයි. මේක සිද්දවෙන වෙලාවේ මිගෙල්ගේ අධ්‍යක්ෂක වැඩේ කඩාකප්පල් කරන්න කියලා හිතාගෙන පරීක්ෂණය අතරතුරේ සිද්දවෙච්ච අත්වැරැද්දක් විදිහට පෙන්නන්න, ඒත් මිගෙල්ව මරණ අරමුණින් එයාගේ අධ්‍යක්ෂක ඒ වේලාවේදී කටයුතු කරලා තියෙනවා. ඒත් අවසානයේදී පරීක්ෂණයෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව මිගෙල් බේරෙනවා. නිකන්ම නෙවේ ඒ පරීක්ෂණයේ සාර්ථක ප්‍රතිඵල එක්කම. ඒ කිව්වේ එයාගේ DNA එක්ක මකුළුවන්ගේ ජාන එක්ක සම්ශ්‍රිත වෙලා එයාට හැකියාවන් කිහිපයක් ලබාගන්න පුලුවන් වෙනවා වගේම එයා ඇබ්බැහි වෙලා හිටිය රැප්චර් කියන මත්ද්‍රව්‍යට තිබුණු ඇබ්බැහියත් නැතිවෙලා යනවා.

Peter David හා Rick Leonardi දෙදෙනාගේ අතින් නිර්මාණය වෙන මේ චරිතේ මුලින්ම මුහුණුවරක් විදිහට 1992 අගෝස්තු මාසයේදී නිකුත් වුනු The Amazing Spider-Man චිත්‍රකතා මාලාවේ 365’වැනි කලාපය තුලින් දැකගන්න ලැබෙනවා. ඊටපස්සේ ඒ අවුරුද්ද තුලම මාර්තු මාසයේදී නිකුත් වෙච්ච මිගෙල් ඕ’හෑරා වෙනුවෙන් නිර්මාණය කරපු Spider-Man 2099 මුල්ම කලාපය තුලින් මේ ස්පයිඩර් මෑන්ගේ සම්පුර්ණ මුහුණුවරක් දකින්න ලැබෙන්නේ. සුපිරි මිනිස් ශක්තිය, වේගය, කඩිසර බව, සංවේදක, දරා ගැනීමේ හැකියාව, ඉබේ සුව වීමෙ හැකියාව වගේ සාමාන්‍ය හැකියාවන් වලට අමතරව,

  • වැඩි දියුණු මට්ටමෙන් දුර තියෙන දෙයක් හුගාක් බලන්න පුලුවන් වෙන්න වගේම කළුවරක වුනත් හොදින් පේන තත්වයට ඇස් දෙක හැඩ ගැහිලා තියෙනවා.
  • කලින් ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරපු මිගෙල්ට සුපිරි බුද්ධිමත් මට්ටමක දැනුමක් තියෙන කෙනෙක් වෙලා තියෙනවා.
  • ඇගිලිවල තියෙන නියපොතු පක්ෂියෙක්ගේ වගේ හැඩ ගැහිලා තියෙනවා වගේම බිත්ති දිගේ බඩ ගාන්න, ආයුධයක් විදිහට තවත් කෙනෙකුට එරෙහිව පාවිච්චි කරන්න කකුල් දෙක හොදට හැඩ ගැහිලා තියෙනවා. 
  • මකුළු දැල් විදිනයක් නැතුව, යටි බාහු වලින් මකුළු දැල් කාබනික විදිහට පිට කරන්න හැකියාව ලැබිලා තියෙනවා. 
  • කට දෙපැත්තේ පිහිටලා තියෙන විෂ දලවල් දෙකෙන් තාවකාලික අඩපන කරන්න පුලුවන් විදිහේ විෂ පිට කරන්න පුලුවන්.
  • විශේෂයෙන්ම එයාගේ සූට් එක නිර්මාණය කරලා තියෙන්නේ විනාශ කරන්න බැරි ෆැබ්රික් අණුක වලින්. සූට් එකේ තියෙන විශේෂම කාරණේ තමයි සුලග තුල නිදහසේ පාවෙලා යන්න පුලුවන් විදිහට කොටස් දෙකක් අත් දෙකට යටින් නිර්මාණය කරලා තියෙනවා. (ඔය කියන ගති ලක්ෂණයම Spider-Man: Far From Home (2019) චිත්‍රපටයෙන් දැකගන්න ලැබෙන බව එහි පූර්ව ප්‍රචාරක පටයෙන් තහවුරු කලා.)

🕷 ස්පයිඩර් ගර්ල් | මේඩේ පාකර්

පීටර් පාකර්ගෙ වගේම මේරි ජේන්ගෙ අනාගතේදී ලැබුණු මුල්ම දරුවා තමයි මේ පාකර් එහෙමත් නැත්තම් මේඩේ පාකර් කියන්නේ. මෙයාව අපිට හමුවෙන්නේ Earth-982 වලින්. විරසක වෙලා හිටිය පීටර් වගේම මේරි දෙන්නා එකතු වෙන්නෙත් මේ දරුවා නිසයි. ග්‍රීන් ගොබ්ලින්ගෙ උපදෙස් අනුව මේ දරුවාව පැහැරගෙන ගිහින් ඇලිසන් මොන්ග්‍රෙයින් කියලා ගෑණු කෙනෙක් ලග ඉන්න වෙලාවක කේන් පාකර් විසින් තමයි මේ දරුවාව බේරගෙන තියෙන්නේ. මේ අය එකතු වුනත් පීටර් ග්‍රීන් ගොබ්ලින් එක්ක ඇති වෙච්ච සටනකින් එයාගේ එක කකුලක් එයාට නැති වෙනවා. මේකට හරියන්න මිස්ටර් ෆැන්ටෑස්ටික්ගෙන් යාන්ත්‍රික කකුලක් පීටර්ට දෙන්න හදලත් තියෙනවා. ඒත් ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා පීටර් ස්පයිඩර් මෑන් කියන ජීවීතේට සමුදීලා හොද තාත්තෙක් වගේම ස්වාමි පුරුෂයෙක් වෙන එකට අවධානයක් දීලා කටයුතු කරලා තියෙනවා. ඔය දේවල් වෙද්දී මේඩේ පාකර් පුංචි බබෙක්. වෙච්ච කිසි දෙයක් මේඩේට නොකියා ඉන්න තීරණය කරනවා මේඩේටත් එයාගෙ තාත්තගේ වගේ හැකියාවන් මතුවෙන්න ගනීවි කියලා තියෙන බයටම. 

ඒත් ඉතින් කොච්චර හැඟුවත් මේඩේට වයස අවු 15 ක් වෙද්දී එයාට ස්පයිඩිගෙ බලයන් මතුවෙන්න පටන් ගන්නවා. මේ කාලෙදිම තමයි ග්‍රීන් ගොබ්ලින්ගෙ පුතා නෝමි ඔස්බෝන් කරලියට එන්නේ පවුලේ නම ඉස්සරහට ගෙනියන්න. නෝමිව නතර කරන්න කියලා හිතාගෙන මේඩේ පාකර් බෙන් රෙයිලිගෙ (ස්කාලට් සප්යිඩර්මෑන්) සූට් එක දාගෙන එයා එක්ක සටනට යන්න ලැස්ති වෙද්දී මේරි ජේන් ඒ සූට් එක අරන් ගිනි තියලා තියෙනවා මේඩේ සටන් කරන්න යන එක නතර කරන්න. ඔය විදිහට මේ අයගේ පවුලට ඇතිවෙච්ච ප්‍රශ්න වලට මේඩේ පාකර් මැදිහත් වෙලා උදව් කරලා තියෙනවා. කාලයත් එක්ක මේඩේ තමන් විසින්ම එයාගෙ සූට් එක හදාගන්නවා. පස්සෙ ඉතින් මෙයාගේ අම්මයි තාත්තත් තීරණය කරලා තියෙනවා මේඩේ පාකර්ට අපරාධ සම්බන්ධ සිද්දීන් වලට උදව් කරන්න.

Mark Bagley විසින් තමයි මේ චරිතෙට අදාළ සූට් එක නිර්මාණය වෙන්නෙ. ඒවගේම Tom DeFalco, Ron Frenz දෙදෙනාගෙ අතින් තමයි මේ චරිතේ නිර්මාණය වෙලා තියෙන්නේ.  1998 පෙබරාවාරි නිකුත් වූ What If? දෙවැනි කලාපය හරහා ස්පයිඩර් ගර්ල් විදිහටත්, 2015 අප්‍රේල් නිකුත් වූ Amazing Spider-Man Vol 3 15’වැනි කලාපයේ ස්පයිඩර් වුමන් විදිහටත් මේ චරිතේ දැකගන්න ලැබිලා තියෙනවා. හැකියාවන් ගැන කතා කරනවානම් තමන්ගේ තාත්තාගෙන් උරුමකම් කියපු බලයන් එක්ක එක්ක කතා කරනවානම් පීටර්ට වඩා අඩු සුපිරි මිනිස් ශක්තියක් තමයි මේඩේට ලැබෙන්නෙ. හැබැයි පීටර්ට වඩා වැඩි දියුණු වුනු සප්යිඩර් දැනීමේ ශක්තින් හොදට ලැබිලා තියෙනවා. සුපුරුදු පරිදි බිත්ති දිගේ බඩ ගාගෙන යන්න, කඩිසර බව, සවි බලය, දරාගැනීමේ හැකියාව වගේම කායිකව ඇතිවෙන තුවාල වලින් සුව වෙන්න පුලුවන් හැකියාව ලැබිලා තියෙනවා.

🕷 ස්පයිඩර් මෑන් නොයිර්

මේ ස්පයිඩර් මෑන්ව අපිට මුණගැහෙන්නෙ Earth-90214 වලින්. හැබැයි පොඩි විශේෂයක් තියෙනවා. ඒ තමයි මාවල් කොමික්වල තියෙන මාවල් නොයිර් විශ්වයෙන් තමයි මේ කෙනා ඉන්නේ. මේ සපයීඩි ගැන කතා කරන්න කලින් නොයිර් විශ්වය ගැන කතා කරලා ඉමු. නොයිර් විශ්වය කියන්නේ Earth-616 වල කොපියක් කිව්වොත් නිවැරදියි. හැබැයි 1920-1930 කාලය අතරතුර සුපර්හියුමන්ලා බිහි වෙච්ච කාලයක්. අපරාධ නිසාම හුගක් පරිහානියට ලක් වෙච්ච අතිශය අදුරු විශ්වයක් තමයි මේ නොයිර් විශ්වය කියන්නේ. 

මේ විශ්වයේ ජීවත් වෙන පීටර් පාකර්ව බලාගන්නෙත් මේ වගේම බෙන් පාකර් කියන පීටර්ගෙ නැන්දයි මාමයි. වතාවක් පීටර්ට හොයාගන්න ලැබෙනවා එයාගෙ මාමා, බෙන්ව නිව් යෝ(ර්)ක්වල වැඩපලක අධික විදිහට වැඩ ගන්න නිසා තවත් කට්ටියක් එක්ක වැඩ වර්ජන කලා කියලා ඒකට පලිගැනීමක් විදිහට බෙන්ව මරලා දාලා කියලා. පස්සෙ පීටර්ට හොයාගන්න ලැබෙනවා මේ මරණේ පිටිපස්සේ ඉන්නේ ග්‍රීන් ගොබ්ලින් කියලා. බෙන්ව මරපු එකට සාධාරණය ඉෂ්ට කරන්න පීටර් හිතාගන්නවා. වතාවක් එයාට දැනගන්න ලැබෙනවා ගොබ්ලින්ගෙ මිනිස්සු වගයක් නැව්බඩු තොග වලින් හොරකම් කරපු පුරා වස්තු වගයක් හොරකම් කරපු සිද්දියක් ගැන. මේ ගැන ලැබුණු ඔත්තුව පස්සෙන් පීටරුත් යනවා ගොබ්ලින්ගෙ මිනිස්සු හොරකම් කරපු පුරා වස්තු එලියට අරගන්න බඩු ගබඩාවට. එතන තිබුණු පුරා වස්තු අතරේ සුවිශේෂී සප්යිඩර් කෙනෙක්ගෙ හැඩය ගත්ත පිළිමයක් කඩාගෙන එලියට එන මකුළුවන් ගොඩකින් එකෙක් පීටර්වත් හපා කනවා. මේ හපා කෑම නිසාම පීටර්ට සිහිය නැතුව යනවා. සිහිය නැති වෙන අතරේ පීටර්ට මකුළු අධිපතිව හීනෙන් පේනවා. 

බඩු ගබඩාව ඇතුලෙදි ඇතිවෙන සිදුවීම් පෙළ. මෙතැනදී මකුළුවන්ට අධිපතිව දැකගන්න ලැබෙනවා. (Spider-Man Noir Vol 1 කලාපය තුලින්)

පස්සෙ සිහිය එන පීටර්ට තේරුම් යනවා එයාට මකුළුවන්ට සම්බන්ධ හැකියාවන් ලැබිලා තියෙනවා කියලා. පස්සෙ කාලෙක පීටර් එයාගෙ බෙන් මාමා පලුමු ලෝක යුද්ධයෙදී ගුවන් නැවියෙක් විදිහට කටයුතු කරන්න ඇදපු නිල ඇදුම පදනම් කරගෙන පීටර් තමන්ගේ සූට් එක නිර්මාණය කරගන්නවා. තමන්ට ලැබිලා තියෙන බලයන් වලට අමතරව පීටර් පිස්තෝල දෙකකුත් අරගෙන තමයි රැකවලන වැඩේට යන්නෙ. මතකනේ නොයිර් විශ්වය ගැන කියද්දී මං කිව්වා එහෙ හුගක් අදුරු විශ්වයක් කියලා. ඉතින් අදුරු විශ්වය තුල බිහි වුනු සුපිරි වීරයන් පවා අදුරු මුහුණුවරක් ගත්ත අය. පීටර් පාකර් පවා එහෙමයි. මං කියන්නේ මොකක්ද කියලා තේරුම් යයි ඔයාලා Batman: Gotham by Gaslight (2018) බලලා තියෙනවනම්. මොකද ඔයාලා ඒකෙ දැක්කේ වෙනදා දකින සුපුරුදු බැට්මෑන්ව නෙවෙයි. අදුරු පසුබිමක් තියෙන කෙනෙක්ව. 

David Hine, Fabrice Sapolsky, Carmine Di Giandomenico තිදෙනාගෙ එකතුවෙන් නිර්මාණය වෙන නොයිර් ස්පයිඩර් මෑන්ව මුලින්ම දකින්න ලැබෙන්නේ 2009 පෙබරාවාරි මාසයෙ නිකුත් වුනු Spider-Man: Noir මුල්ම කලාපය තුලින්. කියන්න තරම් ලොකු විශේෂතා නම් මේ චරිතේ නැහැ. හැබැයි යාන්ත්‍රිකව මකුළු දැල් විදින උපකරණයක් නැතුවම මකුළු දැල් පිට කරන්න පුලුවන්. හොද ශක්තියක්, දරා ගැනීමේ හැකියාවක්, වේගයක් වගේම ස්පයිඩර් මෑන් කෙනෙකුගේ සංවේදී හැකියාවන් පවා ලැබිලා තියෙනවා. ලැබිලා තියෙන හැකියාවන් වලට අමතරව හොද සටන්කරුවෙක් වගේම දක්ෂ කුරුමානම් කරුවෙක් විදිහටත් ස්පයිඩර් මෑන් නොයිර්ව හදුන්වනවා. 

🕷ස්පයිඩර් හැම්

මේ කියන්න හදන චරිතේ නම් ඔයාලට හුරු ඇති. මං කිව්වේ මේ කෙනාගේ කාටුන් චරිතේ ගැන. මේ ස්පයිඩර් මෑන් සංස්කරණය ගැන කියන්න කලින් විශේෂයෙන්ම කියන්න ඕන පීටර් පෝකර් කියන්නේ ස්පයිඩර්-මෑන්ගෙ හැකියාවන් තියෙන ඌරෙක් වගේම හාස්‍යට වැඩි බරක් යොදවලා නිර්මාණය කරපු චරිතයක් වගේම සත්ව මුහුණුවරල් වලින් සමන්විත ජීව කොට්ටාශ පවතින අයගේ විශ්වයකින් තමයි පැවත එන්නේ.

පීටර් කියන්නේ උපතින්ම මකුළුවෙක්. මේ පෝකර්ගෙ පහල මහලක තියෙන පරීක්ෂණාගාරයක් ඇතුලේ තමයි මේ පීටර් කියන මකුළුවා ජීවත් වෙන්නෙ. වැරදීමක් වෙලා මේ පෝකර් එතනදී විකිරණ වලට ආවරණය වෙලා පීටර් නොහොත් එතන බිත්තියෙ හිටිය මකුළුවාව එයා හපනවා. මේගෙ හපා කෑම නිසා ඒ මකුළුවා තවත් ඌරෙක් බවට ඌරෙක් වෙනවා. ඌරෙක් විදිහට වුනත් එයාට තාමත් සුපුරුදු පරිදි මකුළුවෙක්ගෙ හැකියාවන් ඉතිරි වෙනවා. ඒ කියන්නේ දැන් එයා එතකොට මකුළුවෙක්ගෙ හැකියාවන් තියෙන ඌරෙක්. ඉන් පස්සෙ එයා ජීවත් වෙන්නේ මේ පෝකර් එක්කයි. සුපුරුදු පරිදි යාන්ත්‍රිකව මකුළු දැල් විදින උපකරණයක් නැතුවම මකුළු දැල් පිට කරන්න පුලුවන්. හොද ශක්තියක්, දරා ගැනීමේ හැකියාවක්, වේගයක් වගේම ස්පයිඩර් මෑන් කෙනෙකුගේ සංවේදී හැකියාවන් පවා ලැබිලා තියෙනවා.

Tom DeFalco, Mark Armstrong දෙදෙනාගේ අතින් නිර්මාණය වෙලා 1983 නොවැමබර් මාසෙ එළිදක්වන Marvel Tails Starring Peter Porker, the Spectacular Spider-Ham චිත්‍රකතාව තුලින් තමයි එලියට එන්නෙ. 

🕷ස්පයිඩර් යූකේ

මේ කියන්න යන්නේ Earth-833 වල ඉන්න බ්‍රිතාන්‍ය ජාතික ස්පයිඩි කෙනෙක් ගැන. නම විලියම් බිලි බ්‍රැඩොක්. විලියම් කියන්නේ කැප්ටන් බ්‍රිටේන් බලකායේ ස්පයිඩර් යූකේ විදිහට සේවය ආධුනික සෙබෙලෙක්. ස්පයිඩර් වර්ස් කතාපෙලේදී විලියම්ගෙ පරික්ෂාවකදී එයාට දැනගන්න ලැබෙනවා මෝර්ලන් කියන මාවල් කොමික් විශ්වයේ ඉන්න සුපිරි දුෂ්ටයා 1963 ලෝකයෙ ඉන්න ස්පයිඩර් මෑන් මරලා දාලා කියලා වගේම තවත් ස්පයිඩර් මෑන්ලා දෙන්නෙක්ව මරලා දානවා විලියම් දැකලා වෙනත් ලෝකයන් වලට ගිහින් ඒ ලෝකවල ඉන්න ස්පයිඩර් මෑන්ලවත් එකතු කරගෙන ඉන්හෙරිටර්ලව පරාජය කරලා තියෙනවා. (ඉන්හෙරිටර්ලා කියන්නේ 001 ලෝකයේ ඉන්න සුපරි දුෂ්ටයින්ගෙන් සමන්විත කණ්ඩායමක්. මෝර්ලන් කියන්නෙත් මේ අයගේ සාමාජිකයෙක්) ඉන්හෙරිටර්ලාව පරාජය කරන්න යන ගමනේ ස්පයිඩර් වුමන්, ඕල්ඩ් මෑන් ස්පයිඩර් මෑන්, ස්පයිඩර් ගර්ල් එහෙමත් ඉදලා තියෙනවා. කලින් උඩ පැහැදිලි කලා වගේ හසුරවන්න බැරි වෙලාවක වෙනත් ලෝකයන් වලට ගිහින් අනික් ස්පයිඩර් මෑන්ලව එකතු කරගෙන අදාළ අවස්ථාවට මුහුණ දෙන එක හුගාක් හොද දෙයක්. මීට අමතරව තවත් අවස්ථා කිහිපයකදීම විලියම් නායකත්වය අරගෙන කටයුතු කරලා තියෙනවා.

2014 සැප්තැම්බර් මාසයෙ නිකුත් වෙන Edge of Spider-Verse දෙවැනි කලාපය තුලින් මුල්ම වතාවට විලියම් බිලි බ්‍රැඩොක්ව බිහි වෙන්නේ Jason Latour, Robbi Rodriguez දෙදෙනාගේ එකතුවෙන්. නමුත් පසුගිය වසරේ (2018) දෙසැම්බර් මාසයේදී නිකුත් වූ Spider-Geddon මුල් කලාපයෙන් ඔහුගේ මරණයත් සිද්දවෙලා තියෙනවා. සුපිරි මිනිස් ශක්තිය, වේගය, සවිබලය, දරා ගැනීමේ හැකියාව, සුව වීමේ හැකියාව, හුගක් මතුපිට තුල එල්ලී ඉන්න පුලුවන් හැකියාව වගේ සාමාන්‍ය ස්පයිඩර් මෑන් කෙනෙක්ට තියෙන හැකියාවන්ම මෙයාටත් පිහිටලා තියෙනවා. මීට අමතරව අන්තර්මාන ලෝකයන් හරහා ගමන් කරන්න පුලුවන් සුවිශේෂී උපකරණයක් විලියම් ලග තියෙනවා. 

🕷ස්පයිඩර් මෑන් ඉන්දියා

මාවල් සමාගම ඉන්දියාවටත් ස්පයිඩර් මෑන් කෙනෙක් ලබාදෙන්න අමතක කරලා නැහැ වගෙ. මේ කෙනා ඉන්දියාවේ පොඩි ළමයෙක්. නමින් පවීට්‍රි ප්‍රබාකර්. Earth-50101 වලදී තමයි පවීට්‍රිව මුණගැහෙන්නෙ. පවීට්‍රි කියන්නේ ගමක ජීවීත් වෙන කොල්ලෙක්. එයාගෙ අම්මයි තාත්තයිත් අවුරුදු ගානකට කලින් මිය යනවා. ගමේදී ලැබෙන අර්ධ ශිෂ්‍යත්වයත් අරන් මෙයා මුම්බායිවල ඉන්න මෙයාගේ මාමා බිම් වගේම මායා නැන්දා ඉන්න තැන ඉදන් කොලේජ් යන්න කියලා හිතාගෙන. ඉගෙන ගන්න කියලා කොලේජ් ගියාට පවීට්‍රි ඒකේ ඉන්න ළමයින්ගෙ සෑහෙන අඩම්තේට්ටම් වලට ලක් වෙනවා. කොලේජ් එකේ හිටිය මේරා ජේන් විතරයි පවීට්‍රි එක්ක යාලුවෙක් විදිහට ආශ්‍රය කරපු එකම කෙනා. වතාවක් පවීට්‍රිගෙ පස්සෙන් කොල්ලො වගයක් පන්නන් එද්දී මෙයා නොදැනුවත්වම ඇතුළු වෙන තැන හිටිය ඉපැරණි යෝගක්‍රම එහෙම පිළිපදින කෙනෙක් මකුළුවෙකුට තියෙන බලයන් සියල්ල පවීට්‍රිට ලබාදෙනවා. බලයන් ලැබුනත් වතාවක් ගෑණු කෙනෙක්ට මිනිස්සු වගයක් ගිහින් වදදෙන අතරේ ඒ ගෑණු කෙනා උදව් ඉල්ලලා කෑ ගැහුවත් පවීට්‍රි උදව් නොකර ගිහින් තියෙනවා. පස්සෙ අංකල් බිම් අඩනවා ඇහෙනවා ගිහින් බලද්දී තමයි එයාට දකින්න වෙලා තියෙන්නේ අර ගෑණු කෙනාට උදව් කරන්න ගියපු අංකල් බිම්ට අර මිනිස්සු කට්ටිය පිහියෙන් ඇනලා ගිහින් කියලා. 

ඩොක්ටර් ඔක්ටෝපස්

මේ අතරේ නේයිලන් ඕබේරෝයි කියන අපරාධ නායකයෙක් මන්තරයක් මතුරලා යක්ෂයෙක්ව තමන්ට ආවේශ කරගෙන එයාලගේ ලෝකයට තවත් යක්ෂයින් ගෙන්නන්න වෙනම ද්වාරයක් ඇරලා තියෙනවා. ඊටපස්සේ නැවත වතාවක් මනුස්යෙක් බවට පත්වෙන නේයිලන් තමන්ගේ වෛද්‍යවරයාව ඩොක්ටර් ඔක්ටෝපස් බවට පත් කරලා තියෙනවා. හැබැයි අර අපිට හුරු පුරුදු යාන්ත්‍රික අත් තියෙන කෙනා විදිහට නම් නෙවෙයි. මේ ඔක්ටෝපස්ගෙ සංස්කරණය නම් වෙනස්. මේ කෙනාට පිහිටලා තියෙන්නේ යක්ෂයෙක්ගෙ වත් ගොඩාක්. මෙතනින් පස්සෙ කතාව හුගක් දුරට Spider-Man 2 (2004) චිත්‍රපටයට සමානයි. ඕබේරෝයි විසින් ඩොක්ටර් ඔක්ටෝපස්ව අයින් කරලා එයාව ආයෙ මනුස්සයෙක් බවට පත් කරලා තියෙනවා. නේයිලන් ඕබේරෝයි ආයෙ වතාවක් මනුස්සයෙක් වෙලත් තියෙනවා. ඔයාලා වඩාත් හොදින් හදුනන 616 ලෝකයේ ඉන්න පීටර් පාකර්ට තියෙන හැකියාවන්, දුර්වලතාවයන්ම තමයි පවීට්‍රි ප්‍රබාකර්ට පිහිටලා තියෙන්නේ. වෙනසකට තියෙන්නේ නමයි, ඇදුමයි විතරයි. 

2005 ජනවාරි මාසයෙ Spider-Man: India මුල්ම කලාපයෙන් තමයි මේ සංස්කරණය මුලින්ම දැකගන්න ලැබෙන්නේ. Jeevan Kang විසින් සිතුවමට නගද්දී Dave Sharpe තමයි මෙම කලාපයේ අකුරු සම්බන්ධව කටුයුතු කරලා තියෙන්නේ. Sharad Devarajan, Jeevan Kang, Suresh Seetharaman මේ තුන්දෙනාගේ අතින් තමයි කතාව ලියවිලා තියෙන්නේ. එතකොට මෙහි වර්ණ යෙදීම සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙන්නේ Gotham Studios Asia සමාගමයි. අවසාන වශයෙන් සංස්කාරකවරුන් වශයෙන් John Barber, Nick Lowe, Ralph Macchio යන අයවලුන් කටයුතු කරලා තියෙනවා. 

🕷ස්පයිඩර් ගර්ල් | ආන්‍යා කොරසෝන්

ආන්‍යා කොරසෝන්ව මුණගැහෙන්නෙ Earth-616 වලින්. ජිම්නාස්ටික් පැත්ත එහෙම හොදට පුලුවන් කෙනෙක්. ඒත් එයාගෙ අම්මව මරලා දැම්මට පස්සෙ එයයි එයාගෙ තාත්තයි මෙක්සිකෝ ඉදලා එක්සත් ජනපදයට එනවා. ආන්‍යාගෙ යාලුවා ලින්ව ඉස්කෝලේ හිටිය වැඩිමහල් කොල්ලෙක් අඩම්තේට්ටම් කරපු නිසා ආන්‍යා මේකට මැදිහත් වෙලා තියෙනවා. පස්සෙ මේ දෙන්නා අතරේ සටනක් ඇතිවෙලා තියෙනවා. මේ රණ්ඩුව මේ අයගේ ගුරුවරයා නතර කලත් මේ දෙන්නා සටන ඉවරයක් කරලා බේරුමක් කරගන්න එළියෙදි මුණගැහෙන්න ගිහින් තියෙනවා. ආන්‍යා එතනට ගියාම එයා දැකලා හරිම අමුතු කණ්ඩායමක් එකතු වෙලා තනි පුද්ගලයෙක්ව මරන්න හදනවා මෙයා දැකලා එතනට ගිහින් ඒ වැඩේ නතර කලා. එතන හිටිය අමුතු කණ්ඩායම තමයි “Sisterhood of the Wasp” කියන්නේ. එතකොට හිටිය මනුස්සයා ඒ කිව්වේ මිගෙල් තමයි අවුරුදු සිය ගානක් විතර පැරණි “Spider Society” කියන කණ්ඩායමේ මායාකරුවා. මේ කණ්ඩායම් දෙක එකිනෙකාව පේන්න බැරි හතුරො විදිහට සලකපු කණ්ඩායම් දෙකක්. මිගෙල්ගෙ කණ්ඩායමේ තවත් දඩයක්කරුවෙක් වෙන්න පුලුවන් කියලා තීරණය කරපු මිගෙල් තමන්ට තියෙන බලයෙන් වලින් ටිකක් එයා ආන්‍යාට දෙනවා, ආන්‍යාගෙ ඇගේ මකුළුවෙක්ගෙ හැඩය තිබුණු ටැටු එකක් ගහලා තිබුණු නිසා. සුපිරි ශක්තියක් වගේම කඩිසර බවක් ලැබුනත් ආන්‍යාගෙ හැකියාවන් එලියට මතුවෙන්න ගන්නේ එයා කාන්තාරයෙදී පුහුණු වෙමින් ඉන්න වෙලාවක දරුණු රාක්ෂයො වගයක් පරාද කරන්න ගිය වෙලාවක. ආන්‍යා “Spider Society” එකටත් එකතුවෙලා තියෙනවා. 

සුපිරි මිනිස් ශක්තිය, වේගය, කඩිසර බව, සංවේදක, දරා ගැනීමේ හැකියාව, ඉබේ සුව වීමෙ හැකියාව වගේ සාමාන්‍ය හැකියාවන් වලට අමතරව,

  • සාමන්‍ය මනුස්සයෙක්ට වඩා වැඩි කලක් ජීවත් වෙන්න පුලුවන් හැකියාව ලැබිලා තියෙන්නේ වගේම හුගාක් හෙමින් මහලු භාවයට පත් වෙන්නේ.
  • යාන්ත්‍රික විදිහට වගේම යාන්ත්‍රික නොවන විදිහටත් මෙයාට මකුළු දැල් විදින්න හැකියාව තියෙනවා. 
  • අනික් අයට නොපෙන විදිහට සෙවණැලි අතරේ සැගවිලා ගමන් කරන්න පුලුවන් හැකියාවත් ලැබිලා තියෙනවා. 
  • S.H.I.E.L.D. යටතේ සටන් කරන්න වගේම හැකින් සම්බන්ධ දේවල් අධ්‍යනය කරලා තියෙනවා.

Mark Brooks විසින් සිතුවමට නගද්දී Fiona Avery තමයි කතාවට ගොඩනගලා 2004 වසරේ අගෝස්තු මාසයේදී නිකුත් වුනු Amazing Fantasy VOL 2 චිත්‍රකතාවෙ මුල්ම කලාපය තුලින් තමයි පළමු වතාවට ආන්‍යා කොරසෝන්ව ස්පයිඩර් ගර්ල් විදිහට දැකගන්න ලැබෙන්නේ. 

🕷මැඩම් වෙබ්

මැඩම් වෙබ් නොහොත් කැසැන්ඩ්‍රාා වෙබ්ව මුණගැහෙන්නෙ Earth-616 වලදී. උපතින්ම අන්ධ භාවයේ පසුවෙන කැසැන්ඩ්‍රාා හැදුනේ වැඩුනේ සේලම් හා ඔරිගොන්වල. අන්ධ භාවයේ විතරක් නෙවෙයි මොලයේ, කොදුඇට පෙලේ, නහරවල් එකිනෙකට සම්බන්ධ වීමෙහි ගැටලුවක් තිබුනා. මේ රෝගවල අතුරු ප්‍රතිඵලයක් විදිහට කැසැන්ඩ්‍රාාට මානසික හැකියාවන් ලැබෙන්න ගත්තා. ඉතින් තමන්ට ලැබුණු බලයන් එයා හුගාක් හොදට හදුනාගෙන ඒවා වැඩි දියුණු කලා. මැඩම් වෙබ් කිහිප වතාවක්ම ස්පයිඩර්-මෑන් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. හැබැයි මැඩම් වෙබ්ව මුලින්ම හදුනාගන්නේ පීටර් පාකර් විදිහට. ඒත් පීටර් හිතුවේ මැඩම් වෙබ් කියන්නේ බොරු වංචනිකයෙක් කියලා. හැබැයි ඩේලි ග්ලෝබ් එකේ සිද්දවෙන එක්තරා සිද්දියකදී ස්පයිඩර්-මෑන් මැඩම් වෙබ්ගෙන් උදව් අරන් අපරාධකාරයො වගයක් අල්ලලා තියෙනවා.ඔය වගේ මේ දෙන්නා එකිනෙකාට උදව් කරගෙන තියෙනවා. 

මැඩම් වෙබ් ගැන කතා කරද්දී විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මෙයාට තියෙන හොදම හැකියාව තමයි බහුවිධ මානය අහුලතා සිද්දවෙන්න යන තර්ජන, අනතුරු වගේ දැනීමේ හැකියාව මැඩම් වෙබ්ට තියෙනවා. ඒ විතරක් නෙවෙයි, 

  • මෙයාට තියෙන මානසික හැකියාව පාවිච්චි කරලා අනික් අයටගේ හිත් වලට ඇතුල්වෙලා ඒවා ලේසියෙන්ම කියන්න, දේවල් මවන්න වගේ හැකියාවන් පිහිටලා තියෙනවා.
  • එයාට එයාගේ විඥානයට අවධානය දීලා කායික ශරීරයෙන් බැහැරව තමන් කැමති තැන්වල සංචාරය කරන්න පුලුවන් හැකියාවත් තියෙනවා. 
  • තමන්ගේ අවට ඉන්නේ අයගේ මනසට සම්බන්ධ වෙලා ඒවට බලපෑමක් කරන්න, මානසිකව ප්‍රතිකාර කරන්න පුලුවන් ශක්තිය මේ කෙනාට තියෙනවා.
  • අවසාන වශයෙන් මේ කෙනාට අමරණීය බාවයත් පිහිටලා තියෙනවා. 

1980 නොවැමබර් මාසයේ නිකුත් වුනු Amazing Spider-Man 210 වැනි කලාපය තුලින් කැසැන්ඩ්‍රාා වෙබ්ව මුලින්ම මාවල් චිත්‍රකතා තුලින් දැකගන්න ලැබෙන්නෙ. John Romita Jr විසින් මේ චරිතය සිතුවමට නගද්දී, Denny O’Neil තමයි කතාව ගොඩ නගන්නෙ. ඒවගේම 2017 මාර්තු කාලයේදී නිකුත් වුනු Prowler Vol 2 චිත්‍රකතාවේ 4’වැනි කලාපය තුලින් කැසැන්ඩ්‍රාා වෙබ්ගේ මරණය සිද්දවෙලා තියෙනවා.

ප:ලි: මෙතන ප්‍රධානව කතා කලේ මැඩම් වෙබ් ගැන වුනත් සැබෑවටම මුල්ම මැඩම් වෙබ් වුනේ කැසැන්ඩ්‍රාාම තමයි. නමුත් ඇය දුර්වලව සිටි කාලෙදි එයාගේ ඒ පදවිය ඇය විසින්ම මින් පෙර ස්පයිඩර්-වුමන් චරිතයෙන් ලෝකයා අතරට ආව ජූලියා කා(ර්)පෙන්ටර්ට මේ පදවිය ලැබිලා තියෙනවා. ඒ කියන්නේ එතකොට මෑත කාලින මැඩම් වෙබ් වෙන්නේ ජූලියා කා(ර්)පෙන්ටර්.ඉතින් ඔය විදිහට මාවල් මෙච්චර කාලයක් පුරාවටම නොයෙකුත් ස්පයිඩර්-මෑන් චරිත නිර්මාණය කරලා එකිනෙකට ක්‍රොස්ඕවර් සිද්දීන් කරලා තියෙනවා. ස්පයිඩර්-වර්ස් කොමික් චිත්‍රකතා තුලින් ඉහලින් සදහන් කරපු චරිත වලට හොද පසුබිමක් එක්ක හැදින්වීමක් කරලා තියෙනවා වගේම මේ අය මූලිකවම කොහොමද ස්පයිඩර් ටෝටම් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා පැහැදිලි කරලා තියෙනවා. ස්පයිඩර් ටෝටම් වගේම මේවායේ තියෙන බලය ගැන මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔයාලටම වුනත් පේනවා ඇතිනේ මාවල්ලගේ ඉන්න ස්පයිඩර්-මෑන්ලා ටික ගැන කතා කරන්න ගිහින් ලිපිය දික් ගැස්සිලා තියෙන හැටි.

ප:ලි: මේ ලිපියට මීට වඩා චරිත ගණනාවක් එකතු කරන්න හිටියත් හිටි හැටියේම Spider-Man: Into the Spider-Verse චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් වෙච්ච නිසා ඒ චරිත ටික ඇතුලත් කරන්න කාලය නැතුව ගියා. ඒත් ඉදිරියේදී අනෙකුත් චරිත ටිකත් ඇතුලත් කරලා ඒ ගැන මංසල ෆේස්බුක් පේජ් එක හරහා දැනුවත් කිරීමක් කරන්නම්.

චාමර සම්පත් (86 Posts)


4 thoughts on “ස්පයිඩර්මෑන්ලගේ විශ්වය – හැදින්වීම

  • February 24, 2019 at 9:08 PM
    Permalink

    ela

  • February 23, 2019 at 3:06 PM
    Permalink

    ftta

  • February 22, 2019 at 4:23 PM
    Permalink

    Apo pissu wage.spiders man la roththayine

  • February 22, 2019 at 2:55 PM
    Permalink

    Spiderman in to the spider-Verse එකට සබ් හදන්ට කෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!