Jurassic Park සිව්වන සවාරිය ඇරඹේ.

ජුරාසික උයනට මින් පෙර තෙවරක්ම(කලින්වා ඕනෙද?) අපව කැඳවා ගෙන යන්නට මග හෙළි කළ Steven Spielberg, යළිත් සිව්වන චාරිකාව මෙහෙයවනු ඇතැයි කියල අදහසක් පළ වෙලා තිබුණත් ඒක එහෙම නෙවෙන වග දැන් හෙළි වෙලා. මේ සිව්වන චාරිකාවේ මෙහෙයුම්කරු -අධ්‍යක්ෂක- කවුරුන්ද යන වග පසුගිය මාස කිහිපයක් තිස්සෙම රහසක්ව පැවතීමයි, එහෙම මතයක් ඇති වන්නට මූලික වූ කරුණ වුණේ. නමුත් පසුගිය දොහක Universal Pictures මාධ්‍ය අංශය හෙළි කරල තිබෙන්නෙ ගිය වසරේ නිකුත් වූ සාර්ථක සිනමා කෘතියක් වන Safety Not Guaranteed හි අධ්‍යක්ෂකවරයා මේ සඳහා ‍තෝරා ගෙන ඇති බව. අති සාර්ථක සහ නැගී එන තරු ගුණය පෙන්නුම් කරන මේ අධ්‍යක්ෂකවරයා ඊට හොඳම සුදුස්සා බව දැනටමත් ඔවුන් තීරණය කර ඇති බවකුයි පේන්නට තිබෙන්නේ.

ඔහුගේ නම Collin Trevorrow. මේ තරම් භාරදූරයකට ඔහුගේ නම යෝජනා වුණු ප්‍රථම වතාව නෙමෙයිලු මේ. Star Wars: Episode VII වෙනුවෙනු සලකා බැලුණු අයවළුන් අතරින් ඔහුත් එක් අයෙක්. ඒ එක්කම Flight of the Navigator යළි තැනීමටත් ඔහුගේ අධ්‍යක්ෂණ දායකත්වය ලැබෙනු ඇතැයි රාවයක් තිබුණා. එහෙත් දැන් ඒ සියල්ලම වෙනස් වෙලා ගිහින් ඔහු අධි වැය විදුපබැඳි සිනමාවන්ට එළඹෙන චිත්‍රපටය බවට පත්ව ඇත්තේ JP4.

කියැවෙන විදිහට Trevorrow මෙහි නවතම සිනමා පටය රූගත කරන්ඩ යන්නේ ත්‍රිමාන තාක්ෂණයෙනුයි. Univerasal සහ Amblin සමාගම් වලින් බර පැන හොබවන චිත්‍රපට පෙළහරේ ත්‍රිමාන තාක්ෂණය භාවිත වන පළමුවැන්න මෙයයි. මේ සිනමා පෙළහරේ පළමුවැන්නෙහි ත්‍රිමාන යළි-නිකුතුව මීළඟ මාසයේදී සිනමාහල් කරා එන්නට නියමිතයි. එනිසා ඒ ත්‍රිමාන අද්දැකීමත් යළි මතකය අවධි කරවීමත් මෙම නව චිත්‍රපටයට ලොකු වාසියක් වෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා.

පිටපත ලියැවෙන්නේ සැමියා-බිරිඳ දෙපළක් අතින්. Rick Jaffa සහ Amanda Silver යන දෙදෙනා තමයි ඒ. ඔබට මතකනම්; ‘Rise of the Planet of the Apes (2011)’. එය ලිවූ දෙදෙනා තමා මේ. (මේකෙත් අලුත් එක හැදෙනවලු ඕං…) කතාව සහ සංකල්පය Spielberg සහ, ‘Thor(2009)’ තිරරචක Mark Protosevich යන දෙදෙනා විසින් ඉදිරිපත් කෙරුණක්. ඒ මත පදනම්ව තිරපිටපත ලියැවෙන බවයි පැවසෙන්නේ. Spielberg මෙහි විධායක නිෂ්පාදන කටයුතු සිදු කරන්වා. ඒ නිෂ්පාදක Patrick Crowley (‘The Bourne’ චිත්‍රපට හැදූ කෙනා) හා Frank Marshall යන අය සමගින්.

අවසානයේ, මේ කල් පහුවුණු JP ස්ථාපනය බොහොම අගේට පිළිවෙළ වෙන බවයි දැනමුත්තන්ගේ අදහස. විශ්වසනීය අධ්‍යක්ෂකවරයෙකු යටතේ, මෙතෙක් ගවේෂණයට හසු නොවුණු ඉසව්වක් කරා කැඳවා යන්නට සමත් තිරරචනා දායකත්වයක් ලබමින්, සහ කතාවේ දිගහැරීම නිසි මාර්ගයේ සහ වපසරිය තුළ සිදු වන බවට ඇප විය හැකි පුද්ගලයන්ගේ අනුදැනුම සහිතව! එනිසා නවතම ආගමනය වසර දහයකට අධික පොරොත්තු වීමකට හිමි වියයුතු නිවැරදිම ගුණත්වයත් ආකර්ෂණයත් හොබවනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකියි යන්නයි අදහස.

තවමත් තිරයට එන නමක් තීරණය කර නොමැති මේ සිව්වැනි ජුරාසික චාරිකාව 2014 ජූනි 13 වනදා ලොවපුරා සිනමාහල්වලදී ආරම්භ කිරීමට දින නියම කර හමාරයි. ත්‍රිමාන හා ද්විමාන ලෙසින්( ඇතැම්විට IMAX 3D ලෙසිනුත්) මේ චාරිකාවට එක්විමට ඉඩ ලැබෙනු ඇති බව තමයි දැනට තියෙන ආරංචිය. එහෙනම් ඉක්මනින්ම හතර වැනි වරටත් සද්දන්තයින්ගේ යුගය කරා චාරිකා කරන්නට අපිත් දැන් තියාම ලෑස්ති පිට ඉමු.

උදා (217 Posts)


3 thoughts on “Jurassic Park සිව්වන සවාරිය ඇරඹේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!