ලිපිය#1 : ලෝක සිනමාවේ ආදරණීයම සුනඛ පුරාවෘත්තය

ලෝක සිනමාව පුරාවෘත්තයන්ගෙන් පිරුණු තැනක්. හැරිසන් ෆෝඩ්ගේ ඉඳන් මාලන් බ්‍රැන්ඩෝ වෙනකන්ම, ජැක් රෝස් වෙනකන්ම සිනමා පුරාවෘත්ත අපේ මතකයන් අස්සේ හොල්මන් කරනවා.

මේ පුරාවෘත්ත අස්සේ බල්ලෙකුත් අපේ මතකයන්ට පාට ගෙනාවොත්?

ඔව්. ඒ තමා හචී!

සම්පූර්ණ නමෙන්ම කිවුවොත් Hachiko: A Dog’s Story

Lasse  Hollstrom අධ්‍යක්ෂකවරයාගේ වෙහෙසෙන්,

Stephen P. LIndsey ගේ තිරපිටපතකට අනුව 2009 වසරේදී සිනමාවට ආදරයේ පාට ගෙනාපු සුනඛ සෙනෙහස.

Richard Gere, Joan Allen හා Sarah Roemer වැනි ප්‍රවීණ රංගධරයන් එක්කාසු වුණු අපූර්වත්වයක ප්‍රතිඵලය! ඇයි එතකොට අපේ කතානායකයා? හුරතල් හචී? ඔව්, හචීගේ අපූරු රංගනයත් අමතක කරන්න බැහැ.

 

මාහාචාර්ය හිඩෙසයිබුරෝ යුනෝ කියන්නේ හචීගේ අයිතිකාරයා. හරියටම කිවුවොත්, අහම්බෙන් මුණගැහුණු හචීගේ ලෝකයේ සමීපතමයා. යුනෝට හචීව මුණගැහෙන්නේ හීතල,අඳුරු රාත්‍රයකදී. අවුරුද්දක්වත් වයස නොපිරුණු පුංචි හජීට පාර වැරදිලා නොදන්නා පළාතක අතරමං වෙලා ඉන්නකොට යුනෝ එයාව ගෙදර අරගෙන යනවා. එදා ඉඳන් හචී සහ යුනෝ කියන්නේ දෙන්නෙක් නෙමෙයි, එක්කෙනෙක්. මේ පුංචි කරදරකාරයා තමන්ගේ ගෙදර තියාගන්න යුනෝ නෝනා මුලදී කැමති නැතිවුණත් කල් ගතවෙද්දී හචී එයාලගේ අපූරුතම සගයෙක් බවට පත් වුණා. ඇයි යුනෝගේ දුව? ඔව්, මුලු පවුලෙම ආදරය හචීට එකතු වුණා.

සාමාන්‍යයෙන් යුනෝ තමන්ගේ සරසවියට ගියේ කෝච්චියෙන්. ගෙදර ඉඳන් දුම්රිය නැවතුම්පොළට තිබුණේ බොහොම පොඩි දුරක් නිසා එයා හැමදාම දුම්රියපළට ගියේ පයින්. හවසට සරසවියේ ඉඳන් එද්දිත් එහෙමයි. දවසක් දීප්තිමත් උදේක වැඩට යන්න කියලා හිතාන දුම්රියපළට යන අපේ මහාචාර්යවරයා බොහොම සැපපහසුවට  කෝච්චියට වෙලා ඉද්දී එකපාරටම දකිනවා, සෙනඟ අස්සේ පොරබඳන හචීව. එයාට හිතාගන්නවත් බෑ! හචී කොහොමද දුම්රියපළට ආවේ?

එදා ඉඳන් හැමදාම උදේට යුනෝ වැඩට යන වෙලාවටයි හවසට වැඩ ඇරිලා ගෙදර එන වෙලාවටයි කෝච්චි සද්දේ ඇහෙනකොටම හචී දුම්රිය නැවතුම්පළට දුවලා යන්න පුරුදු වුණා. උදේ පාන්දර වගේම වෙහෙසබර සැඳෑවේත් මේ සෙනෙහසේ කාර්යය කරන්න හචී මඟ බලාගෙන හිටියා. මේ සුන්දර මතකයන් කෙළවර වුණේ 1925 මැයි මාසේ දවසක. හදිසි හෘදයාබාධයක් නිසා මහාචාර්යතුමා එකපාරටම මිය ගියා. රෝහලට අරගෙන යන විටත් ප්‍රමාද වැඩියි. එයා නොඑන ගමන් ගිහින් තිබ්බා. මේ කිසි දෙයක් නොදන්න හචී උදේ ගිය තමන්ගේ ස්වාමියා හවස දුම්රියෙන් බැහැලා ඇවිත් තමන්ගේ ඔළුව අතගානකම් බලාගෙන හිටියා.

ඒත් එයා ආවේ නෑ! තව කෝච්චියක් එනකම් බලාගෙන හිටියා. ඒත් එයා ආවේ නෑ! තවත් කෝච්චියක්…ඊළඟට තවත් කෝච්චියක්…මෙහෙම කෝච්චි සිය ගාණක් පහු කරන් යනකම් හචී බලන් ඉන්න ඇති. ඒත් තමන්ගේ සදාතනික මිත්‍රයා ආපහු එනකම් හචී බලාගෙන හිටියා. බලාපොරොත්තුවේ සිහින පොඳි බැඳගත්තු හචී අවුරුදු නමයක් එකදිගට මේ ආදරබර බලා හිඳීම සිදුකළා. දවසක් නෑර දුම්රියපළට ආපු හචී මඟ බලාගෙන හිටියේ තමන්ගේහාම්පුතා ඇවිත් ඔළුව අතගානකම්. හිම වැටෙන සීත කාලයේ වගේම අනෝර වැස්ස මැද්දෙත් හචී හිටියේ තමන්ගේ පුරුදු තැනමයි! දුම්රියපළ ඉස්සරහා පඩියකට නැඟගෙන අවුරුදු නමයක් පුරාවට බලාපොරොත්තුවේ සිහින පොඳි බැඳගත්තු හචී දවසක් පාලු මූසල රැයක ආයේ නොඑන්නම දෑස් පියාගත්තා.

එදා ඉඳන් අද වෙනකම් හචී කියන්නේ ජපානයේ ආදරයේ සංකේතයක්. තිරිසන් මිනිසුන් පිරි අද වගේ සමාජයක පාඩම් කියාදෙන මනුෂ්‍ය සත්වයෙක්. හචී වෙනුවෙන් දෝරේ ගලන ආදර උල්පත තවමත් හිදිලා නැහැ. ලෝකය පුරා මිනිස්සු ෂිබුයා දුම්රියපළ ඉස්සරහට ඇවිත් හචීව මෙනෙහි කරනවා. හචීගේ ආදරය ගැන තමන්ගේ ළමයින්ට කියලා දෙනවා. මේ තමයි ආදරය!

හචීගේ මතකය වෙනුවෙන් නිපදවූ චිත්‍රපට ගොන්න අතරේ වැදගත්ම ස්ථානයක වැජඹෙන Hachiko: A Dog’s Story සලරුව බලපු කොයිකාටත් ඇහෙන් කදුළක් ගලන එක නවත්තන්න නම් වෙන්නේ නැහැ. අපිටත් නොදැනිම හචීගේ මතකය තුළ අපිව ජීවත් කරවන මෙය ලෝක සිනමාවේ එක් පැතිකඩක අනුපමේය සිහිවටනයක්.

 

 

ආරාධනා කරනවා බයිස්කෝප් රසික රසිකාවියන් හැමදෙනාටම,

විඳින්න ආදරණීය මතකයක්!

මේ ලෝක සිනමාවේ ආදරණීයම සුනඛ පුරාවෘත්තයයි….

Kavinu Weerakkody (8 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!