දැනුම, ධනය, බලය සමග නව ලොවක් සොයාගිය වයිකිංවරුන්ගේ කතාව

වයිකිංවරු කිව්වම, මිලේච්ජ, මං පහරන්නන්, දේශ ගවේෂකයින්, කොල්ලකරුවන්, අභීත සටන්කාමින්…. ආදී වශයෙන් ඔවුන් ගැන හඳුන්වන්න පුළුවන්. ඒත් ඇත්තටම ඔවුන් කවුද? මම ඉහතදී ඔවුන්ව හැඳින්නුවේ ලෝකයා එක පාර්ශවයකින් ඔවුන් දෙස බලපු ආකාරයට. නමුත් ඔවුන්ගේ පාර්ශවයේ ඉඳල බලනකොට අපිට දැකගන්න ලැබන්නේ, මනා දේශපාලනික සහ සමාජීය පද්ධතියකින් හෙබි, දේව වන්දනාවේ යෙදුන, ඉතාම දියුණු නාවික තාක්ෂණයක් සහිත, පොරවට, කඩුවට වගේම උදැල්ල, නගුලටත් දෑත හුරු, නව ලොවක් සොයා ගිය ලොවෙහි අනාගතය වෙනස් කරපු දැවැන්ත ජාතියක් විදියට. මොවුන් මේ විදියට ලෝකය භීතියෙන් හෙල්ලුවේ අටවෙනි ශතවර්ෂයේ අවසාන භාගයේ ඉඳලා එකොළොස්වෙනි ශතවර්ෂය වෙනකම් කියන කාලසීමාව ඇතුලත. ඔවුන් පැතිරිලා හිටියේ ස්කැන්ඩිනේවියානු රටවල් ආශ්‍රිතව, එනම් වත්මන් නොර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් ආදී රටවල් ආශ්‍රිත ප්‍රදේශ වල. මොවුන්ගේ බලකොටුවක් ඩෙන්මාර්කයේ පිහිටලා තියෙනව. ඒක හරියට තිතටම කවාකාරයි කියල හොයාගෙන තියෙනවා පසු ගවේෂණ වලදී. නමුත් මොවුන් ග්‍රීක, රෝම ශිෂ්ඨාචාරයන් වගේ නෙමේ. මහා ගුප්ත ශිෂ්ඨාචාරයක්. ඉතිං මද වශයෙන් තමා මොවුන්ගේ ලේඛන සහ ශිලා ලේඛන ආදිය දකින්න ලැබෙන්නේ. එනමුත් මොවුන්ගේ සමාජය ඒ කාලය හැටියට බලනකොට ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම සමීප බවක් දක්වලා තියෙනව.

Viking Fortress in denmark.

මොවුන් තමන්ගේ පාලනය ගෙනගියේ වැඩවසම් සමාජ ක්‍රමයක් තුල මධ්‍යගත බලය බෙදාහැරීමක් මගින්. කුඩා ප්‍රාදේශීය පාලකයින් අර්ල් වරුන් විදියට හැඳින්වෙනකොට එවැනි අර්ල් බල ප්‍රදේශ කිහිපයක් පාලනය කරන කෙනා අදාළ ප්‍රදේශයේ, එහෙමත් නැත්නම් රටේ රජු විදියට තමා හැඳින් වෙන්නේ. ඉතිං මේ විදියට තිබුන කුඩා කුඩා බල ප්‍රදේශ රැසක් තනි පාලනයකට ගත්ත ප්‍රසිද්ධම වයිකිංවරයෙක් තමා රැග්නා ලොත්බ්‍රොක් කියන්නේ. වැඩවසම් සමාජ ස්ථරයේ ගොවියෙක් විදියට ඉඳලා අර්ල් පදවියට පත්වෙලා අර්ල් ප්‍රදේශ කිහිපයක් පාලනය කරපු මොහු අන්තිමේදී සියලුම අර්ල් බල ප්‍රදේශ පාලනය කරන රජුන්ගේත් රජු බවට පත්වෙනවා. වයිකිංවරුන්ගේ ලෙජන්ඩ් කෙනෙක් වෙන මේ රැග්නා ලොත්බ්‍රොක්ගේ කතාව ඇමරිකාවෙ History නාලිකාව විසින් ඔවුන්ගේ නවතම රුපවාහිනි කතා මාලාවක් ලෙසින් 2013 මාර්තු මස 03 වැනිදා විකාශණය ආරම්භ කරනවා. එතැන් පටන් ලේ, කඳුළු, මිනි කඳු මතින් ගොඩ නැගුන වයිකිං ජන කොට්ටාශයේ කතාව කතා සමයන් 5 ක් දක්වා වර්තමානය දක්වාම සාර්ථකව History නාලිකාවේ විකාශනය වෙනවා.

Scandinavian country
Ragnar

කතා මාලාවේ පළමු කතා සමය ඇරඹෙනකොට රැග්නා කියන්නේ තමන්ගේ අධිපතියා වෙනුවෙන් සටනට යන ප්‍රභල රණ ශුරයෙක් විතරයි. කිසිම වෙලාවක අලුත් නාවුක මාර්ගයක නොයන මේ අධිපතියව රැග්නට එපා වෙන්න ගන්නවා. තමන්ගේ හිතු මනාපෙට රණශුරයින් පිරිසක් එකතු කරගන්න රැග්නා පළමු වතාවට එංගලන්තයට පිවිසෙනවා. කිසිම දිනෙක මෙවැනි පිරිසකගේ ප්‍රහාරයක් බලාපොරොත්තු නොවුන එංගලන්ත වැසියන් මේ ප්‍රහාරයෙන් භීතියට පත්වෙනවා. තමන් ගොඩ බහින වෙරළ අසල ගම්මාන කොල්ලකාගෙන ධනය රැගෙන නැවත තමන්ගේ ගම්-රට බලා පිටත්වෙන රැග්නා අධිපතිවරයාගේ උදහසටත් වයිකිං ජනතාවගේ ප්‍රභල කැමත්තටත් ලක්වෙනවා. අන්තිමේදී ඒ කැමැත්ත අවසන් වෙන්නේ රැග්නා ඔවුන්ගේ නායකයා බවට පත්වීමෙන්. ඇත්තටම ඒ විදියට පටන් ගන්න වයිකිං ආක්‍රමණ නිසාවෙන් පසුකාලීනව එංගලන්තය තමන්ගේ යුධ හැකියාවන්, නාවුක හැකියාවන්, හමුදා ශක්තිය වර්ධනය කරගන්නවා. ඒ අනුව බලනකොට 18වැනි සියවස වෙනකොට හිරු නොබසින අධිරාජ්‍ය බවට පත්වෙන්න එංගන්ලන්තයට හැකියාව ජවය ශක්තිය සපයන්න වක්‍රාකාරයෙන් මුලික වුණේ මෙන්න මේ කියන ප්‍රහාරයන්.

දෙවැනි කතා සමය, එහෙම නැත්නම් සීසන් 2. මේ කතා සමයේදීත් සිද්දවෙන්නේ රැග්නා නැවත නැවතත් එංගලන්තයට පහරදීමයි. නමුත් මෙතැනදී History නාලිකාව අපිට පෙන්වා දෙනවා එතකම් වෙසෙක්ස්, නොතම්බ්‍රියා, මර්සියා, වේල්ස් ආදී කුඩා රාජධානිවලට බෙදී තිබුන එංගලන්තය මේ වයිකින් ආක්‍රමණ නිසාවෙන් එක්සත් වෙන ආකාරය. අන්න එතැනින් පටන් ගන්න ශක්තිමත් වීම පසුකාලීනව වයිකිංවරුන් සමුල ඝාතණය කිරීමක් දක්වා දුරදිග ගොස් පෙර කී ලෙසින් එංගලන්තය ප්‍රභල අධිරාජයක් දක්වා වර්ධනය වීම ඇරඹෙන්නේ. දෙවැනි කතා සමයේදී එංගලන්තයේ දේශපාලනික බල පොරයට පවා මැදිහත්වෙන වයිකිංවරුන් තමන්ගේ ජනාවාසයක් පවා එංගලන්තයේ පිහිටුවන්න උත්සහ කරන ආකාරය දැකගන්න ලැබෙනවා අපිට.ඒ වගේම රැග්නා තේරුම් ගන්නවා තවදුරටත් තමන්ට ධනය බලය ඕන නම් තව තවත් නව ලොව කරා පිය නගන්න ඕන කියලා. ඒ සිතිවිල්ල මත රැග්නා ලොත්බ්‍රොක් ප්‍රංශය කරා තමන්ගේ දිගු යාත්‍රාවන් දියත් කරවනවා. ඒ තෙවැනි කතා සමයේදී.

                                         Countries That Were Raided Or Settled By The Vikings Based On Modern Borders

සත්‍ය වශයෙන්ම වයිකිංවරු තමයි ඒ කාලය වෙනකොට පුළුල් විදියට දේශ ගවේෂණය කරපු ජාතිය වෙන්නේ. වයිකිංවරු ලෝකයේ භාගයක් දුරට තමාගේ දිගු යාත්‍රා යොදාගෙන ගමන් කළා. රුසියන් ගංගා ඔස්සේ කැස්පියන් මුහුදටත්, කළු මුහුදටත් ගමන් කළා. බටහිරට වෙන්නට ඔවුන් යුරෝපයේ වෙරළබඩ කලාපයටත්, ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය හරහා මධ්‍යධරණී මුහුද තෙක් ඔවුන් ගමන් කළා කියල සාධක හමුවෙලා තියෙනව.ඒ විතරක් නෙමේ ඔවුන් එතනින් එහාට කිසිම දෙයක් නොදන්නා අත්ලාන්තික් සාගරයට පැමිණිලා හිතුමතේ හැම තැනකම වගේ යාත්‍රා කරපු සාධක හමුවෙලා තියෙනව. උදාහරණයකට 1960දී පමණ කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්ඩ් වලින් වයිකිංවරුන්ගේ පුරාවිද්‍යා සාධක හොයාගෙන තිබ්බා පුරාවිද්‍යාඥන් විසින්. ඒ කියන්නේ කොලම්බස් ඇමරිකාව හොයාගන්න අවුරුදු 500කට විතර කලින් උතුරු ඇමරිකානු භූමියට පය ගහපු පළමු යුරෝපිය ජාතිය උනේ මේ කතා කරන වයිකිංවරු.

                           viking ship

ඔවුන්ට මෙවැනි විප්ලවයක් කරන්න හැකියාව ලැබුනේ ඔවුන් සතුව තිබුන දියුණු නාවුක තාක්ෂනය නිසාවෙන්. වයිකිං කියනකොටත් අපේ හිතේ මැවෙන්නේ අං තට්ටුවක් වගේ හිස් වැස්මක් හිසේ පළඳගෙන ඉන්න, දිගට රැවුල වවාගත්ත හැඩි දැඩි පිරිමි ටිකක් දිග ලී බෝට්ටුවක් හබල් ගාගෙන යන ආකාරය නෙමේද? ඔව් ඒක තමා එයාලගේ අනන්‍යතාවය බවට පත්වුනේ. පසුකාලීනව ගවේෂණ මගින් සොයාගත්තා වයිකිං නෞකාවන්ගේ හැඩය, සැකිල්ල ආදිය වත්මන් ඉංජිනේරුවන් විසින් වත්මන් තාක්ෂනය යොදාගෙන ප්‍රති නිර්මාණය කරනවා. එතැනදී ඔවුන්ට දකින්න ලැබෙනවා වයිකිංවරු යොදාගත්ත නාවුක තාක්ෂණ දීර්ඝ මුහුදු ගමන් සඳහා මනාව ගැලපෙන බව. ඉතිං වයිකිං කතා මාලාවේ නම් මේ යාත්‍රා තනන්නා වෙන්නේ ෆ්ලොකි කියන වඩු කාර්මිකයා. රැග්නා ලොත්බ්‍රොක්ගේ සමීපතම හිතවතෙක් වෙන ඔහු විසින් තමා වයිකිංවරුන්ට තමන්ගේ දේශ ගවේෂණයේ දීමට අවශ්‍ය යාත්‍රාවන් සෑදෙන්නේ. සැබෑ වශයෙන්ම ඔවුන් තමන්ගේ යාත්‍රාවන් සවිගන්වන්න උණුකරගත් ලෝහ වර්ග පවා භාවිතා කරලා තියෙනව. ඒ යුගය වෙනකොට ඒක හිතාගන්න බැරි මට්ටමක දියුණුවක්. ඉතිං තෙවැනි කතා සමයෙදී History නාලිකාව අපිට පෙන්වනවා රැග්නා කතෝලික ආගම වැළඳ ගන්නා ආකාරය ගැනත්. ප්‍රංශය යටත් කරගැනීමේ සටනින් වයිකිංවරු පරාජයට පත්වන ආකාරයත්. නමුත් උපක්‍රමශීලිව නැවත නැගී සිටින වයිකිංවරු පැරිසිය යටත් කරගන්නවා විතරක් නෙමේ තමන්ගේ පාලනයක් එහි පිහිටුවලා යන ආකාරත් පෙන්නුම් කරනවා.

                  Alfred the Great

නමුත් ඔවුන් පරාජය කොට නැවැත්විය හැකි ජාතියක් නොවේ. ඔවුන්ව නවත්වන්න නම් සහමුලින්ම වනසා දැමිය යුතුයි. පසුකාලීනව එංගලන්තයේ රජවෙනවා මහා ඇල්ෆ්‍රඩ් එහෙමත් නැත්නම් Alfred the Great. ඒ අටවෙනි සියවසේදී. ඔහු තමයි පසුකාලීනව වයිකිංවරුන්ට සිදුකරන දැවැන්තම හානිය කරන්නේ. ඒ වගේම ඔහු තමයි පෙර කී ආකාරයට එංගලන්තය සවිමත් කරන්න මුලපුරන්නේ. සිව්වැනි කතා සමයේ සිට මුලිකවම දිවෙන්නේ රැග්නා ලොත්බ්‍රොක්ගේ දරුවන්ගේ කතාව. එනම් බියෝන්, අයිවර් ද බෝන්ලස්, හිට්සර්ක්, ඌබෙ, සිගර්ඩ් ආදීන්. මේ කතා මාලාවේ එන චරිත වලින් 99%කම පාහේ සැබෑවටම ජිවත් වෙච්ච, පුරාවිද්‍යා සාක්ෂි සහිත පිරිස්.

   ivar the boneless

ඉහත කී පිරිසෙන් බියෝන් අයන්සයිඩ් යනු කතාවේ හැටියට රැග්නාගේ පළමු විවාහය වෙන ලගතාගේ පුතා. ඉතිරි අය දෙවැනි විවාහයේ දරුවන්. නමුත් ඉතිහාසයේ සඳහන් වෙන්නේ අස්ලග්, එහෙම නැත්නම් දෙවැනි විවාහයේ බිරිඳ රැග්නගේ තුන්වෙනි බිරිඳ හැටියටයි. කොහොම නමුත් රැග්නා-අස්ලග් එකතුවෙන් බිහිවුණ අයිවර් ද බෝන්ලස් වයිකිංවරුන්ගේ අවසානය ඉක්මන් කරවීමේ මුලිකයෙක් වෙනවා. ඒ මහා මිලේජ්ච හමුදාවක් සාදා සහෝදරයින් හා කා කොටාගනිමින්, සහෝදරයින්ව මරා දමමින් ලොවම භීතියෙන් සෙලවිමේ උමතුවක් නිසාවෙන්. ඔවුන් එසේ සිදුකරන අතරවාරයේ බියෝන් අයන්සයිඩ් මධ්‍යධරණී මුහුද හරහා ස්පාඥ්ඥයටත් එතනින් අප්‍රිකාවටත් පිවිසිලා නව ලොව ගවේෂණයන් සිදු කරනවා.

Odin

ඒ වගේම මේ කතා මාලාවේදී මොවුන්ගේ දෙවිවරු ගැන සඳහන් වෙනවා, ප්‍රධාන වශයෙන්ම සඳහන් වෙන්නේ ඔඩින් සහ තෝර් ගැන. මාවල් කොමික් කතා නරඹනවා නම් මේ දෙන්න ගැන අහල නැතිවෙන්න බැහැ. ඔව් ස්ටෑන් ලී ඒ කොමික් චරිත මවන්නේ වයිකිං මිත්‍යා කතාවල එන දේව චරිත ඇසුරෙන්. ඒ වගේම ෆ්‍රේ දෙවියනුත් ඔවුන්ගේ ප්‍රධාන දෙවි කෙනෙක්. ඉතිං වයිකිංවරුන්ගේ ලිඛිත සාක්ෂි අඩුයි නම් කොහොමද මේවා දැනගත්තේ? වයිකිං යුගයක් වෙන එඩාස් යුගයෙන් අවුරුදු 100කට විතර පසුව ලියවුන අයිස්ලන්ත පොත් යුගලක් ඇසුරෙන් තමයි මේ දේවල් ගවේෂණය කරගෙන තියෙන්නේ. වයිකිංවරු විශ්වය හඳුන්වලා තියෙන්නේ ඉග්ඩ්‍රෙසිල් කියන නාමයෙන් ඒකෙ තේරුම තමා ට්‍රී ඔෆ් ලයිෆ් එහෙමත් නැත්නම් ජීවයේ වෘක්ෂය. ඒකෙන් අදහස් වෙන්නේ මේ විශ්වය හරිය ගහක් වගේ. ඒ ගහට එකිනෙකට වෙනස් ලෝක නමයක් සම්බන්ධයි ඒ ලෝක නමයෙන් එකක් තමා අපි ඉන්න මේ ලෝකය. ඇස්ගාඩ් කියන්නේ තමන්ගේ ප්‍රධාන දෙවියා වෙන ඔඩින්ගේ ලෝකය, මාවල් කොමික් කතාවල තෝර් සහ ඔඩින් සම්බන්ධ සියල්ලම මේ වයිකිංවරුන්ගේ දේවල්. ඒ කතාවල පෘථිවිය හඳුන්වන්නේ මධ්‍ය පෘථිවිය එහෙමත් නැත්නම් මිඩ්ගාඩ් කියල. ඒ වගේම යොටුන්හයිම් තවත් විදියකින් කියනවා නම් යෝධයින්ගේ ලෝකය, ඒ වගේම සදාකාලිකව ගිනිගෙන දැවෙන මුස්පෙල් ලෝකය, නිෆ්ල්හයිම්, හිමරූපියන් ජිවත් වෙන ලොකීගේ ලෝකය තමා මේක. ඇල්ෆයිම් ලෝකය, එල්ෆ්ලා ජිවත් වෙන්නේ මේ ලෝකේ. ඔය කියන ලෝක සියල්ලම සම්බන්ධ කරන රේන්බෝ බ්‍රිජ් එකක් එහෙමත් නැත්නම් දේදුණු පාලමක් තියෙනව ඒ පාලමෙන් මේ හැම ලෝකයකටම පිවිසෙන්න හැකියාව පවතිනවා. ඒ අනුව යම්තාක් දුරකට මොවුන් විශ්වය ගැනත් නොසෑහෙන කුතුහලයකින් ඉඳපු ඒ දේවල් ඉගෙනගන්න උත්සහ දරපු ජාතියක් හැටියටත් දක්වන්න පුළුවන්.

Thor

කොහොම උනත් ඔය හැම දේම වයිකිං කතාවේ නැති උනත් අඩු වැඩි ලෙස සමස්තයක් වශයෙන් වයිකිංවරුන්ගේ නැගී සිටීම සහ පරිහානිය බොහොම අපුරුවට History නාලිකාව අපිට අරගෙන එනවා. කතාවේ ප්‍රධාන චරිතය වන රැග්නා ලොත්බ්‍රොක් ලෙසින් සිත් ඇදගන්නා සුළු රංගන පෞර්ෂයකින් හෙබි Travis Fimmel ද, රග්නාගේ පළමු බිරිඳ ලගතා ලෙසින් Katheryn Winnick ද, රග්නාගේ සහෝදරයා වන රෝලෝ ලෙසින් Clive Standen ද, රග්නාගේ පළමු පුතා වන බියෝන් ලෙසින් Alexander Ludwig ද, රග්නාගේ මිත්‍ර යාත්‍රා තනන්නා ෆ්ලොකි ලෙසින් Gustaf Skarsgård ද, රැග්නාගේ දෙවන විවාහයේ වියරු පුත් අයිවර් ද බෝන්ලස් ලෙසින් Alexander Ludwig ද ප්‍රධාන වශයෙන් කතාවට එකතු වෙලා ඉන්නව. කතාව රචනයෙ සිදුවෙන්නේ Michael Hirst අතින්. ඔහු ඉතාම මනරම් ආකාරයට තමාගේ කර්තව්‍ය මේ වෙනකම් සිදුකරගෙන ඇවිත් තියෙනව කියල ඔයාලට බලාගන්න පුළුවන් මේ කතාව නැරඹුවොත්. මේ වෙනකොට කතාව ගලාගෙන යන්නේ මහා වයිකිං හමුදාව එංගලන්තය භීතියෙන් සොලවන ආකාරය. ඉතිං ඒ දේවල් වගේම මං කියපු වයිකිංවරුන්ගේ බොහොමයක් වික්‍රමාන්විත ක්‍රියාවන් දැකගන්නත් අවස්තාව ලැබෙනවා History නාලිකාව ඔබවෙත ගෙන එන වයිකිං කතා මාලාව තුලින්. ඒ වගේම අනිවාර්යෙන්ම සඳහන් කරන්න ඕනා කලින් කිව්ව වගේ වයිකිංවරුන්ගේ ඉතිහාසට ගැන ප්‍රභල ලිඛිත ඓතිහාසික සාක්ෂි හොයාගෙන නැති නිසා මේ ගෙතෙන කතාව ඉතිහාසයේ සිදුවුණා යැයි සැලකෙන සිදුවීම් ඇසුරින් සිදුකරන ප්‍රබන්ධයක් කියලත් හිතේ රඳවාගෙනම Viking රුපවාහිනි කතා මාලාව බලන්න කියල.

Rollo
                                           ragnar and lagertha

Black ඔන්ලයින් සඟරාවේ දෙවැනි කලාපය වෙනුවෙන් ලියූවකි

ශාන් විමුක්ති (56 Posts)


4 thoughts on “දැනුම, ධනය, බලය සමග නව ලොවක් සොයාගිය වයිකිංවරුන්ගේ කතාව

  • October 27, 2018 at 9:55 PM
    Permalink

    Amoo hrna wistharayakne.okkoma kiyewwa. Tnx bro.iditmriyatath me wage thawath lipi denna

  • October 18, 2018 at 4:21 PM
    Permalink

    ස්තූතියි සහෝ

  • October 18, 2018 at 3:14 PM
    Permalink

    අම්මෝ………. ඔය තියෙන්නෙ. Map… Thanks bro

  • October 18, 2018 at 11:08 AM
    Permalink

    Lipiyata sthuthiyi ayiya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *