බයිස්කෝප් සිංහලෙන් 32 – Tomb Raider (2018) | අහිමි පිය සෙනෙහස සොයා මාරක රණශූරියකගේ ආගමනය!

ලාරා ක්‍රොෆ්ට්! මෙහෙම කිව්වට ගොඩක් දෙනෙක්ට එක සැරේම මතක් වෙන එකක් නැහැ. ඒ නිසා මං මෙහෙම කියන්නම්කො. Tomb Raider. ඔන්න එතකොට නම් නොදන්න කෙනෙක් ඉන්න බැහැ. ලොකු කුඩා කා අතරත් බොහොම ප්‍රසිද්ධියට පත්වෙච්ච සුප්‍රකට Tomb Raider පරිඝනක ක්‍රීඩා මාලාවේ සුරූපී වීර කාන්තා කොමික් චරිතය තමයි ලාරා ක්‍රොෆ්ට් කියන්නේ. ඇත්තටම කවුද මේ ලාරා ක්‍රොෆ්ට් කියන්නේ? මුලින්ම පොඩ්ඩක් ඒ ගැන විස්තර දැනගමුකො.

  • නම – ලාරා ක්‍රොෆ්ට්
  • පුරවැසිභාවය – බ්‍රිතාන්‍ය
  • උපන් දිනය – 1968 පෙබරවාරි 14 (මෙම චිත්‍රපටය තුල කතාව වර්තමානයට ගෙන ඇත)
  • උපන් ස්ථානය – විම්බ්ල්ඩන්, ලන්ඩනය
  • රුධිර කාණ්ඩය – AB-
  • උස – මීටර් 1.8
  • බර – කිලෝ 59.7
  • හිසකෙස් වර්ණය – තඹ පැහැති
  • ඇස් වර්ණය – දුඹුරු පැහැති
  • ජෛවීය තොරතුරු – 34D-24-35 / 86-60-89
  • ඇඳුමේ ප්‍රමාණය – 8
  • පවුලේ සාමාජිකයන් – ඇබින්ග්ඩන් හි 10 වෙනි අර්ල්වරයා (රිචඩ් ජේම්ස් ක්‍රොෆ්ට් – පියා), ඇබින්ග්ඩන් හි ආදිපාදතුමිය (ඇමෙලියා ක්‍රොෆ්ට් – මව)
  • විවාහක/ අවිවාහක බව – අවිවාහකයි (ෆරින්ග්ඩන් හි අර්ල්වරයා සමගින් විවාහ ගිවිසගෙන සිටි මුත් ඔහු මියගොස් ඇත)
  • ප්‍රියතම ආයුධය – 9-mm Twin Colt 45s
  • ප්‍රියතම චිත්‍රපට – Deliverance, Aguirre, Wrath of God
  • ප්‍රියතම ආහාරය – Beans on toast
  • ප්‍රියතම වාහනය – Norton Streetfighter මෝටර් බයිසිකලය
  • ක්‍රීඩා – නිදහස් කඳු නැගීම, ඔරු පැදීම, ඉලක්කයට වෙඩි තැබීම, දුනු ශිල්පය, බොක්සින්, අශ්වයින් පැදීම, බයිසිකල් පැදීම

මෙන්න මේ විදියට තමයි ලාරා ක්‍රොෆ්ට් කියන චරිතයේ මූලික කරුණු ටික කෙටියෙන් දක්වන්න පුළුවන් වෙන්නේ. සමහර අවස්ථා වලදී ඉහත දක්වලා තියෙන සමහර කරුණු වල සුළු සුළු වෙනස්කම් සිදුකරලා තිබුණා අවස්තාව අනුව. තරුණියක් කිව්වම බොහොම සියුමැලි, සුකොමාල කෙනෙක් විදියට තමයි සළකන්නේ. හැබැයි, මේ ලාරා ක්‍රොෆ්ට් කියන කොමික් කාන්තා චරිතය නම් කිසිසේත්ම සියුමැලි, සුකොමාල චරිතයක් නම් නෙමෙයි. සටන් කළාවේ ප්‍රවීණයෙක්මාරාන්තික ආයුධ හැසිරවීමේ නිපුණයෙක්අතිශය භයානක වික්‍රමාන්විත ක්‍රියා සඳහා අතිශයින් යෝග්‍ය චරිතයක් සහ අනුකම්පා විරහිත ඝාතකයෙක් ලෙසට තමයි කොමික් පොත පතෙහි ලාරා ක්‍රොෆ්ට් ගැන හඳුන්වා දෙන්නේ.

කොහොමද මේ ලාරා ක්‍රොෆ්ට් කියන චරිතය බිහිවෙන්නේ?

Core Design නම් ආයතනයේ Toby Gard නිර්මාණය ශිල්පියාගේ මූලිකත්වය මත 1996 වර්ෂයේඔක්තෝම්බර් මස 25 වන දින තමයි මේ ලාරා ක්‍රොෆ්ට් කියන චරිතය බිහිවෙන්නේ. ඒ, Tomb Raider නම් පරිඝනක ක්‍රීඩා වැඩසටහන වෙනුවෙන්. මේ තමයි පරිඝනක ක්‍රීඩා ලොවෙහි විප්ලවයක් ඇති කරපු,ලොව පළමු Tomb Raider පරිඝනක ක්‍රීඩා වැඩසටහන. මෙම වීඩියෝ ක්‍රීඩා වැඩසහටන සඳහා ප්‍රථමයෙන් පිරිමි චරිතයක් යොදාගැනීමට තීරණය කර තිබුණත්, පසුව කාන්තා චරිතයක් යොදාගැනීමට තීරණය කර තිබෙන අතර, මෙම කාන්තා චරිතයේ නම ලෙස ප්‍රථමයෙන් යෝජනා වී තිබුනේ “ලෝරා කෘස්” යන නමයි. පසුව මේ නම “ලාරා ක්‍රොෆ්ට්” ලෙස වෙනස් කර තිබෙනවා. පහත දක්වා තිබෙන ජායාරූපයෙන් දැකබලා ගන්න පුළුවනි ලොව පළමු Tomb Raider වීඩියෝ ක්‍රීඩා වැඩසටහනෙහි දර්ශණයක්.

Core Design ආයතනයේ මූලිකත්වය මත මේ ආකාරයෙන් ලාරා ක්‍රොෆ්ට් චරිතය ලොවට හඳුන්වා දුන්නත්, පසුකාලීනව Crystal Dynamics (පෙර Core Design ආයතනයමයි), Nixxes Software, Ubisoft යන ආයතන සඳහා මෙම කොමික් චරිතයේ අයිතිය හිමිවී, වර්තමානය වන විට මෙම චරිතයේ අයිතිය නැවතත් හිමිව තිබෙන්නේ Crystal Dynamics ආයතනය හටයි. ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වෙමින් පැමිණි මෙම Tomb Raider ක්‍රීඩා වැඩසටහන වර්තමානය වන විට අතිශය දියුණු ඉහළම මට්ටමේ ග්‍රැෆික් තාක්ෂණයන් භාවිතා කරනු ලබනවා. පහත රූපයෙන් දැකබලා ගැනීමට හැකියාව ලැබෙනවා අවසානයට නිකුත් වූ Rise Of The Tomb Raider වීඩියෝ ක්‍රීඩා වැඩසටහනෙහි දර්ශනයක්.

ඒ වගේම, 1996 වර්ෂයේදී ප්‍රථම වතාවට ලොවට හඳුන්වා දුන් මෙම විශ්මිත වීඩියෝ ක්‍රීඩා වැඩසටහනෙහි වර්තමානය වන විට වීඩියෝ ක්‍රීඩා වැඩසටහන් 18ක් නිකුත්කොට තිබෙන අතර, මේ වන විට මෙම ක්‍රීඩාව එකිනෙකට වෙනස් ප්ලැට්ෆෝර්ම් 25ක් මත ධාවනක කිරීම සඳහා පහසුකම් සපයා තිබෙනවා. ඒ වගේම, මෙම Tomb Raider ක්‍රීඩා වැඩසටහන් වල පිටපත් මිලියන 58ක් මේ වන විට ලොව පුරා අලෙවි වී තිබෙනවා වගේම, ලොව වැඩිම අලෙවි වාර්තාවක් තැබූ වීඩියෝ ක්‍රීඩා වැඩසටහන් අතුරින් එකක් වෙනවා. 

Shadow of the Tomb Raider


මේ කියන්න හදන්නේ, පරිඝනක ක්‍රීඩා කරන Tomb Raider රසිකයන් වෙනුවෙන් සුභ ආරංචියක්. ඔන්න, Crystal Dynamics ආයතනය නිළ වශයෙන්ම දැනුම් දීලා තියෙනවා, Tomb Raider ක්‍රීඩා වැඩසටහන් මාලාවේ නවතම සංස්කරණය, මේ වර්ෂයේ (2018) සැප්තැම්බර් 14 වෙනිදා නිළ වශයෙන් නිකුත් කරනවා කියලා. කාරණා කීපයක් නිසා මේක විශේෂයි. එකක් තමයි, Shadow of the Tomb Raider කියන්නේ 2013 වර්ෂයේ නිකුත් වෙච්ච Tomb Raider ක්‍රීඩා වැඩසටහනේ දෙවැනි sequel එක. මේ චිත්‍රපටයට පදනම් වෙන්නේ 2013 වර්ෂයේ නිකුත් වෙච්ච ඒ ක්‍රීඩා වැඩසටහන. ඉතිං, ඒ නිසා හැමෝටම තේරෙනවා ඇති, හරිනම් මේ චිත්‍රපටයේ ඉදිරි කොටස් වලට මේ ඉදිරියේ නිකුත්වීමට තියෙන Shadow of the Tomb Raider ක්‍රීඩා වැඩසටහන පාදක වෙන්න ඕනේ බව. මේ කාරණාව යම් තරමකට සනාථ කරමින්, චිත්‍රපටය නිකුත් වෙච්ච මාර්තු 16 වෙනිදා, Square Enix ආයතනය විසින් Shadow of the Tomb Raider ක්‍රීඩා වැඩසටහනේ පළමු පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා.

ඔබ දන්නවාද…

  • Tomb Raider වීඩියෝ ක්‍රීඩා වැඩසටහන නිර්මාණය කිරීම සඳහා පදනම් වී තිබෙන්නේ ඉන්ඩියානා ජෝන්ස් සහ ජුරාසික් පාක් යන චිත්‍රපට බව?
  • ලාරා ක්‍රොෆ්ට් යන චරිතය සඳහා ගිනස් ලෝක වාර්තා හයක් තිබෙන බව?
  • චිත්‍රපටයක් සඳහා සාර්ථකව යොදාගත් ලොව ප්‍රථම වීඩියෝ ක්‍රීඩා චරිතය වන්නේ ලාරා ක්‍රොෆ්ට් බව?
  • ලාරා ක්‍රොෆ්ට් යන චරිතය Sex Symbol එකක් ලෙස යොදාගන්න බව?
  • බ්‍රිතාන්‍ය තුල ලාරා ක්‍රොෆ්ට් යන නමින් වීදියක් නම් කර ඇති බව?
  • වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුකතමයන් හට පමණක් ලබාදෙන The Walk of Game තරුවකින්ලාරා ක්‍රොෆ්ට් හට පුද දී ඇති බව?

ඒ වගේම, Tomb Raider කියන වීඩියෝ ක්‍රීඩාව පාදක කරගනිමින් කොමික් පොත් මාලාවක් පවා නිකුත් වෙලා තිබෙනවා.

වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුල ලැබූ අතිමහත් ජනප්‍රියත්වය නිසාවෙන්ම 2001 වර්ෂයේදී ප්‍රථම වතාවටTomb Raider යන නාමය සිනමා ලොව ආක්‍රමණය කිරීමට පෙළඹුණා. චිත්‍රපටයේ නම Lara Croft: Tomb Raiderඇමරිකානු ඩොලර් මිලියන 115 ක ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිෂ්පාදනය වෙමින්, ඇමරිකානු ඩොලර් මිලියන 274.7ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවද්දී, චිත්‍රපටය තුල ලාර ක්‍රොෆ්ට් චරිතය සඳහා පණ පොවන ලද්දේ සුරූපී ඇන්ජලීනා ජොලී විසිනි. චිත්‍රපටයඅධ්‍යක්ෂණය කරනු ලැබුවේ, The Mechanic (2011) සහ The Expendables 2 (2012)අධ්‍යක්ෂණය කරනු ලැබූ Simon West විසිනි. IMDB දර්ශකයේ 5.8ක අගයක් ලබාගැනීමට මෙම සිනමා සිත්තමට හැකියාව ලැබී තිබුණා.

පළමු චිත්‍රපටයෙන් ලද සාර්ථකත්වය නිසාම 2003 වර්ෂයේදී දෙවැනි චිත්‍රපටයකුත් එළිදැක්වීමට නිෂ්පාදකයින් කටයුතු කරනු ලැබුවා. චිත්‍රපටයේ නම Lara Croft Tomb Raider: The Cradle of Lifeඇමරිකානු ඩොලර් මිලියන 95ක  ධනස්කන්ධයකින් නිෂ්පාදනය කරන ලද මෙම සිනමා නිර්මාණය ඇමරිකානු ඩොලර් මිලියන 156.5ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබද්දී, ලාරා ක්‍රොෆ්ට් චරිතය සඳහා සුපුරුදු පරිදි පණ පොවන ලද්දේ සුරූපී ඇන්ජලීනා ජොලී විසිනි. IMDBදර්ශකයේ 5.5 ක අගයක් ලබාගැනීමට මෙම සිනමා සිත්තමට හැකියාව ලැබී තිබුණා.

දීර්ඝ නිහැඬියාවකට පස්සේ, ඒ කියන්නේ ආසන්නව වසර 15කට පස්සේ තමයි ප්‍රධාන Tomb Raider චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන් හමුවට මේ ආකාරයට පැමිණෙන්නේ. 2007 වර්ෂයේදී තමයි මුලින්ම දූසමාන ආරංචියක් පැතිරිලා ගියේ, මේ තුන්වෙනි Tomb Raider චිත්‍රපටයක් නිකුත් වෙන්න තියෙනවා කියලා. හැබැයි, මේ කාරණාව නිළ වශයෙන් තහවුරු කරනු ලැබුවේ 2009 වර්ෂයේදී. ඒ වගේම, මේක රීබූට්චිත්‍රපටයක්. 2013 වර්ෂයේදී නිකුත් වෙච්ච Tomb Raider වීඩියෝ ක්‍රීඩා වැඩසටහන පාදක කරගනිමින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය වෙලා තියෙන්නේ. චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වුනේ 2018 මාර්තු මස 16 වෙනිදා. ලාරා ක්‍රොෆ්ට් චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්නේ Tulip Fever (2017)The Light Between Oceans (2016)Jason Bourne (2016)The Man from U.N.C.L.E. (2015)Ex Machina (2015) වැනි විශිෂ්ඨ සිනමා නිර්මාණ රැසක් සඳහා රංගනයෙන් දායක වූ, 29 හැවිරිදි සුරූපී Alicia Vikander විසිනි.

සියුමැලි තරුණියක් රළු චරිතයක් දක්වා පරිවර්තනය කිරීම.

කාන්තාවක් කිව්වම අපිට නම් එක සැරේටම සිහිවෙන්නේ බොහොම සියුමැලි චරිතයක් විදියටයි. ඒත්, ඉහත විස්තර ටික කියවගෙන ආවා නම් දැනටම දැනුවත් ඇති මේ ලාරා ක්‍රොෆ්ට් කියන්නේ මොනවගේ රළු චරිතයක්ද කියලා. ඉතිං, Alicia Vikander වගේ බොහොම කෙට්ටු, සියුමැලි තරුණියක් එක සැරේම කොහොමද මේ ලාරා ක්‍රොෆ්ට් වගේ රළු චරිතයක් සඳහා පණ පොවන්නේ? ලෝ ප්‍රකට Vogue සඟරාවේ මාර්තු මස කලාපයේ මුල් පිටුව සිය රූපයෙන් සරසවමින් Alicia Vikander මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා තිබුණා.

ලාරා ක්‍රොෆ්ට් බවට පත්වෙන්න කෙටි ක්‍රම නැහැ!

මෙම Tomb Raider චිත්‍රපටය වෙනුවෙන් ලාරා ක්‍රොෆ්ට් චරිතය සඳහා අනුගත වීම සඳහා ඇය සිය පුහුණුවීම් ආරම්භ කරන ලද්දේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ වීමට මාස හතකට පෙර සිටයි. ඇයගේ පෞද්ගලික පුහුණුකරුවා වන්නේ, Magnus Lygdback. විශේෂත්වය තමයි, මේ Magnus Lygdback තමයි වොන්ඩර් වුමන් චරිතය තුලින් ඉමහත් ප්‍රසිද්ධියට පත් Gal Gadot සහ සුප්‍රකට ගායිකාවක වන Katy Perry ගේ පෞද්ගලික කායවර්ධන පුහුණුකරුවා වන්නේ.

චිත්‍රපටය වෙනුවෙන් ජීවිතයේ ප්‍රථම වතාවට ඇයට සිදුවුණා අවි ආයුධ හැසිරවීම, සටන් කලාව (මික්ස් මාර්ෂල් ආට්ස්)ධාවනය සහ කඳු තරණය යන ක්ෂේත්‍රයන්හි පුහුණුවීම් වල යෙදීමට. ඒ වගේම, ශරීරයේ හැඩය පවත්වාගෙන යෑම සඳහා බැලේ නර්තන ශිල්පය හැදෑරීමට සිදුවී තිබෙනවා. එමෙන්ම, ශරීර ශක්තිය වර්ධනය කරගැනීමටද සිදුවුණා. ඒ වගේම, ඇයගේ ආහාර රටාවේ විශාල වෙනසක් සිදුකරමින් ඇයට සිදුවුණා දිනකට ආහාර වේල් 5ක් ලබාගැනීමට. (ප්‍රෝටීන් ආහාර ලෙස වැඩි වශයෙන් බිත්තර, මාළු සහ මුහුදු ආහාර, MCT ඔයිල්, අලිගැටපේර, මේදය ලබාගැනීම සඳහා පොල් තෙල් සහිත ආහාර, වැඩි වශයෙන් එළවලු වර්ග) චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමත් සමගම දෛනිකව ඇය පාන්දර 4ටඅවදි වී, වෙරල තීරය තුල පූර්ණ ශරීර ව්‍යයාම සැසියන් සහ කේප්ටවුන් හි සාරවත් වනාන්තර තුල පුහුණු සැසියන් සඳහා සහභාගී වී තිබුණා. මීට අමතරව ජිම් එකේ ඇය වෙනමම සිය ශරීරය නඩත්තු කිරීමේ අභ්‍යාස කරගෙන ගොස් තිබෙනවා. මෙම අතිශය දුෂ්කර කැපවීම් සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය කුමක් කියලද හිතන්නේ?

හිතුවොත් මේ ලෝකේ කරන්න බැහැ කියලා දෙයක් නැහැ කියන කියමන සනාථ කරමින්, මාස හතක අතිශය දුෂ්කර කැපකිරීමකින් පසුව Alicia විසින් සිය මාංශ පේශි රාත්තල් 12කින් වැඩි කරගනු ලැබුවා. ඒ වගේම ඇයගේ පෙනුම නිසැකවම ඔබට පුදුමයට පත් කරාවි. ශරීර අභ්‍යාස කරන කෙනෙක් නම් දන්නවා ඇති සික්ස් පැක් එකක් හදාගන්න කොච්චර නම් අමාරුද කියලා. විශ්වාස කරන්න, මේ සියුමැලි තරුණිය මාස හතක් ඇතුලත ස්භාවික ආකාරයට “එයිට් පැක්” එකක් හදාගත්තා. ඒ වගේම, මාර්ෂල් ආට්ස්, ධාවනය, කඳු තරණය, අවි ආයුධ හැසිරවීම යනාදී බොහෝ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වය ලබාගැනීමටද සමත් වුණා. වෙනත් වචන වලින් කියනවා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලාරා ක්‍රොෆ්ට් බවට පරිවර්තනය වුණා.

ඒ වගේම, විශේෂයෙන් කියන්න ඕනේ, ලොව සුපතල ක්‍රියාදාම, ඇඩ්වෙන්චර් නළු නිළියන් විසින් එම දර්ශන වලට වෙනත් ආදේශක ශිල්පීන් යොදාගනිද්දී, මේ පොඩි කෙල්ල සම්පූණ චිත්‍රපටය තුලම ක්‍රියාදාම, ඇඩ්වෙන්චර් දර්ශන සඳහා නොබියව ඇය විසින්ම රංගනයෙන් දායක වුනේ, ලාරා ක්‍රොෆ්ට් චරිතය සඳහා සුදුසුම චරිතය ඇය බවට මුළු ලොවටම පසක් කර දෙමිනි. ලාරා ක්‍රොෆ්ට් චරිතය සඳහා සුදුසු වන්නේ ඇන්ජලිනා ජොලී මිස ඇලීෂියා නොවන බවටත්, පෙර චිත්‍රපට ද්විත්වය තුල ඇන්ජලිනා දක්වන ලද රංගන කුසලතාවය අසලකට හෝ ඒමට ඇලීෂියා හට නොහැකි බවටත්, චිත්‍රපටය නිකුත්වීමට පෙරාතුව පුරසාරම් දෙඩු සිනමා විචාරකයින් හට ඇලීෂියා විසින් හොඳවයින් කනේ පාරක් ගසන්නේ, චිත්‍රපටය තුල ලාරා ක්‍රොෆ්ට් චරිතය සඳහා අති විශිෂ්ඨ මට්ටමේ සාධාරණයක් ඉෂ්ඨ කරමින්.



මුල් ලිපිය සහ සිංහල උපසිරැසි සඳහා මෙතැනින් පගේ මව් අඩවිය හා සම්බන්ද වන්න

Sisila Prasad (7 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *