Jurassic World: Fallen Kingdom [Trailer Breakdown]

මට “Jurassic World: Fallen Kingdom” චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය නැරඹීමෙන් පසු ඒ ගැන යමක් ලිවීමට උවමනාවක් ඇති උනා. හොදයි එහෙනම් පහල තියෙන විස්තරේ පොඩ්ඩක් කියවලම බලන්නකෝ….

1990 වසරේදී “Michael Crichton” කියන ඇමරිකානු ලේඛකයා අතින් ලියවුනු “ජුරාසික් පාර්ක්” නම් වූ ග්‍රන්ථය පදනම් කරගනිමින් 1993 වසේරේදී “ස්ටීවන් ස්පිල්බර්ග්”නම් වූ අද්විතීය සිනමා වේදියා විසින් නිර්මාණය කරන ලද ප්‍රථම Jurassic Park චිත්‍රපටය තුලින් ඇරඹෙන මෙම සිනමා විශ්වය 2018 වසරේදී එම සිනමා එකතුවෙහි නවතම පුරුක වන “Jurassic World: Fallen Kingdom” නමින් තම පස්වන වෙළුම එළිදැක්වීමට තීරණය කර තිබෙනවා.

2015 වසරේ දී තිරගත වූ “Jurassic World” චිත්‍රපටයේ සේම මෙහිද විධායක නිෂ්පාදන කටයුතු සිදු කරන්නේද “ස්ටීවන් ස්පිල්බර්ග්”මහතා විසින්මයි. ඔහු මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂණ කටයුතු සදහ “ජේ. ඒ. බයෝනා” නම් ස්පාඤ්ඤ ජාතික නවක චිත්‍රපට අධ්‍යක්ෂක වරයකු තෝරාගෙන තිබෙනවා. මෙය එතරම් පුදුම වීමට කරුණක් නොවේ මන්ද, 2015 වසරේ දී “Jurassic World” චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා ලෙස “කොලින් ට්‍රේවරෝව්”මහතා තෝරාගැනීමේදී පවා, චිත්‍රපට විචාරකයන් විශාල ප්‍රමාණයක් ඒ සදහා චෝදනා එල්ල කර තිබුණා. ඔවුන් නැගු තර්කය වූයේ 2001 වසරට පසු ජුරාසික් පාර්ක් සිනමා විශ්වයට එකතුවන මෙම සලරුව සදහා නවක අඩු පළපුරුදුකම් සහිත අධ්‍යක්ෂක වරයකු තෝරාගැනීම එම සිනමා විශ්වයට සිදුකරන මහත් අසාධාරණයක් බවයි. නමුත් එම තර්ක සියල්ලම බිද හෙලමින් එම චිත්‍රපටය එවකට ඇමරිකානු ඩොලර් 652,177,271 ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් වර්තාවක් වාර්තාවක් තැබීමට සමත් වුණා.

කෙසේවෙතත් මෙම චිත්‍රපටයේ තිරපිටපත රචනා කරන්නේ “Jurassic World” චිත්‍රපටය අධ්‍යක්ෂණය කල “කොලින් ට්‍රේවරෝව්”මහතා විසින්මයි. ඒ වගේම මෙම චිත්‍රපටය තුලින් අපට Chris Pratt, Bryce Dallas Howard ,B. D. Wong වගේම Jeff Goldblum (Jurassic Park සහ Jurassic Park: the Lost World යන චිත්‍රපට තුලදී “මහාචාර්ය ඊයන් මැල්කම්” ලෙස අප හදුනා ගත චරිතය) ද දැකගත හැකිවනවා. දැනට පවතින තොරතුරු අනුව 2018 වසරේ ජුනි මස 22 මෙම සළරුව තිරගත වීමට නියමිතව තිබෙනවා. රූගත කිරීම් එංගලන්තයෙන් ආරම්භ කර ඇති බවක් තමයි අන්තර්ජාල තොරතුරු හරහා වාර්තා වන්නේ. මීට අමතරව හවායි අසල ද රූගත කිරීම් කීපයක්ම සිදු කර ඇති බවක්ද වාර්තා වනවා.

හොදයි මම විශ්වාස කරනවා අපේ යාලුවෝ දැනටමත්  Jurassic World: Fallen Kingdom චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය නරඹා ඇතියි කියලා. බලපු නැති යාලුවෝ දැන්ම ගිහින් ඒක බලන්න මොකද මම දැන් කථා කරන්න යන්නේ ඒ පුර්ව ප්‍රචාරක පටය ගැන නිසා. ඒ වගේම කියන්න ඕනි ඉසුරු සම්පත් සහෝ මෙම පුර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සහිතව නිකුත් කරලා තිබෙනවා.

  1. ඕවන් සහ ක්ලෙයාර්ගේ හමුව

පුර්ව ප්‍රචාරක පටය ආරම්භයේදීම අපට දක්නට ලැබෙන්නේ පෙර සලරුවේදී (Jurassic World) අප හදුනා ගත් ඕවන් සහ ක්ලෙයාර්ගේ යම් හමුවීමක්, කොහොම උනත් මේ හමුවීම එකිනෙකා අතර ආදරය බෙදා ගැනීමට දරන වෑයමක් ලෙස නම් පෙනීයන්නේ නැහැ. මොකද ඔව්න් අතර වන දෙබස් වලින් පෙනී යන්නේ ඔව්න් යම් ක්‍රියාන්විතයකට මුලපිරීමක් ලෙසයි. ඕවන් ගේ චාටු වදන් කිහිපයක් අවසානයේ ක්ලෙයාර් විසින් සදහන් කරන්නේ; “මේකට නෙවෙයි අපි මෙතනට අවේ” කියලා (මෙය පෙම්වතුන්ගේ හමුවක් නොවන වග)

  1. සක්‍රීය වූ ගිණිකන්ද

ක්ලෙයාර් – “මේකට නෙවෙයි අපි මෙතනට අවේ”
ඕවන්  – “මම දන්නවා ඇයි අපි මෙහෙ ආවේ කියලා”

ඕවන් – “මුදවා ගැනීමේ මෙහෙයුමක්!”

ඕවන් – “පිපිරෙන්න ඉතා ආසන්න දූපතකින් ඩයිනෝසෝරයන් බේරාගැනීමට”

 

හොදයි; මොකක් ගැනද මේ දෙන්න මේ කථා වෙන්නේ? හරි අපි බලමු, ජෝන් හැමඩ් මහතා විසින් නිර්මාණය කල ජුරාසික් පාර්ක් ඩයිනෝසෝර උද්‍යානයට පසුව “ජුරාසික් වර්ල්ඩ්” නමින් බිහිවූ නවතම උද්‍යානයද විනාශ වී සිව් වසරකට පසු සිදුවීමක් තමයි මේ සදහන් වන්නේ. තවමත් කොස්ටරිකාව ආසන්නයේ “ඉස්ලා නුබ්ලාර්” දිවයිනේ ජුරාසික් වර්ල්ඩ් උද්‍යානයේ සුන්බුන් අතරේ ඩයිනෝසෝරයන් විශාල ප්‍රමාණයක් ජිවත් වන අතර එහි කාලයක් පුරා අක්‍රීයව පැවති ගිණිකන්දක් සක්‍රීය වී ඇති බවක් ක්ලේයර් හට දැනගැනීමට ලැබී තිබෙනවා. ඉතිං ඇය ඕවන්ව  හමුවීමට පැමිණෙනවා ඔහුට මේ බව දැනුම් දීමට; ඇත්තටම අයගේ උවමනාව වන්නේ නැවත ඉස්ලා නුබ්ලාර් වෙත ගොස් සතුන්ව මෙම ව්‍යසනයෙන් බේරාගැනීමයි.

ඕවන්ගේ දෙබස් අනුව නම් පෙනී යන්නේ ඔහු මුලින් ඒ සදහා අකමැති වූයේද යන්නයි. මන්ද ක්ලේයර් ඔහුව මේ සදහා නම්ම ගැනීමට යම් උත්සහයක් දරන ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ.

ක්ලෙයාර් –  “බ්ලු තවමත් ජිවතුන් අතර”

                “ඔයා ඇයව ඇතිදැඩි කළා”

ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය තුල දක්නට ලැබුණු වැදගත්ම දර්ශනයක් තමයි ඕවන් විසින් රැප්ටරයින් තම සුරතල් සතුන් කර ගැනීම; ඩෙල්ටා, චාර්ලි, බ්ලු ලෙස ඕවන් විසින් රැප්ටරයින් තිදෙනකු තම අණසකට නතු කරගැන්මට සමත් වී තිබුණා. මේ අතරින් බ්ලු ලෙස හැදින්වෙන රැප්ටරයා තරමක් හීලෑ කරගැනීමට අපහසු මට්ටමේ රැප්ටරයකු වුවද ඕවන් ඔහුව පවා හීලෑ කර ගැනීමට සමත් බවක් අප දක්නට ලැබුවා. විශේෂයෙන්ම ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ අවසන් ජවනිකාව තුල ඕවන් ඇතුළු පිරිස වෙනුවෙන් රැප්ටරයින් තම වර්ගයා හා සටන් කිරීම වැන්නන් තුලින් කිසිදා හීලෑ කර ගැනීමට නොහැකි අතිශය භයානක සත්වයකු හා ඔහුගේ ස්වාමියා අතර වන බැදීම කදිම නිදසුන් ඔස්සේ එම චිත්‍රපටය තුලින් ගෙනහැර දැක්වුවා.

ඉතිං මේ ක්ලෙයාර් සැරසෙන්නේ කුමකටදැයි අපට හොදින්ම පැහැදිලි වන්නට මෙම කුඩා දෙබස් ඛණ්ඩය ප්‍රමාණවත් වනවා.

  1. පියාසැරිය

පුර්ව ප්‍රචාරක පටය තුල දක්නට ලැබෙන තවත් දසුනක් තමයි ගුවන් යානයක් ඉස්ලා නුබ්ලාර් වෙත ලගාවීම හා ඕවන් ඒ දෙස බලා සිටීම. මෙම සිදුවීම තුලින් අපට හොදටම පැහැදිලි වනවා ඔව්න් ඉස්ලා නුබ්ලාර් වලට පිටත් වන බවත් අනාගතයේදී මෙම සතුන්ට අත්වන ඉරණම ගැන ඕවන් යම් කණස්සල්ලකින් සිටින බවත් ඔහුගේ මුහුණේ ඉරියව් අනුව පෙනී යනවා. මීලග දර්ශන කිහිපය තුල පෙන්වනුයේ විනාශ වී ගිය උද්‍යානයේ සුන්බුන් කිහිපයක් සහ ඩයිනෝසෝරයන්

  1. බ්ලු සහ ඕවන්

එක් දර්ශනයක අපට දැක ගත හැකි වනවා කුඩා රැප්ටර් පැටියකු සහ ඕවන් ගේ දර්ශනයක් මෙය පිළිබද අපට නිශ්චිත නිගමනයකට එළබිමට අපහසුයි, මොකද බ්ලු කියන්නේ  ඕවන් විසින් කුඩා කල සිටම හදා වඩා ගත් රැප්ටරයෙක්. ඉතිං මේ පෙන්වන කුඩා රැප්ටර පැටවා ගේ පෙනුම බ්ලු හා බෙහෙවින් සමාන වන අතර; මේ ඕවන් විසින් බ්ලු හා ඔහු අතර අතීතය ආවර්ජනය කිරීමක්ද? එසේත් නැති නම් බ්ලු විසින් බිහිකළ පැටවෙක්ද යන්න තවමත් අපට තීරණය කිරීමට අපහසුයි. පසුව ඕවන් හා බ්ලු ගේ පැහැදිලි දසුනක් අපට දැක ගැනීමට ලැබෙනවා එතැනදී යම් දරුණු භාවයක් පෙන්නුම් කලද ඕවන් විසින් පවසනුයේ

ඕවන්- “ඔයා මාව දන්නවා”

ලෙසයි.  මෙය ඔව්නොවුන් අතර අහිමි වී ගිය බැදීම් නැවත ඇතිකරන්නක්ද නැතිද යන්න තවමත් අපට නිශ්චිතවම නිගමනය කල නොහැකියි.

  1. මහාචාර්ය ඊයන් මැල්කම්ගේ දේශනය

“අනෙක් සත්ව විශේෂ වලට ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් මෙම සත්වයින්ට ලබා දිය යුතුද?”

“නැතිනම් ඔව්න්ට මිය යෑමට ඉඩහැරිය යුතුද?”

මෙම සාකච්චාව පියාසැරියට පෙර සිදු වූවක් බවයි පෙනී යන්නේ. ඇතැම් විට මෙය “InJen” ආයතනය තුල වන කථා බහක් වන්නටද පුළුවන් නමුත් ඉතාමත් කෙටි දෙබස් කිහිපයක් අපට මේ තුල දක්නට ලබෙනවා ඒ අතරින් වැදගත්ම දෙබස් ඛණ්ඩ ලෙස

මහාචාර්ය ඊයන් මැල්කම්ගේ – “මෙම සතුන් අතීතයේ පටන් මෙහි ජිවත් වුණා”

මෙහිදී මහාචාර්ය ඊයන් මැල්කම්ගේ විසින් සදහන් කරන්නේ ජුරාසික් වර්ල්ඩ් උයන තැනීමට ප්‍රථම ජෝන් හැමඩ් මහතා විසින් නිර්මාණය කල ජුරාසික් පාර්ක් උයන තුලින් බිහිවූ සතුන් ද “ඉස්ලා නුබ්ලාර්” හා “ඉස්ලා සෝනාර්” දුපත්වල ජීවත් වන බවයි.  ඉන් පසු;

මහාචාර්ය ඊයන් මැල්කම් – “ඒ වගේම අප ඔවුන් ගැන සැළකිලිමත් වුවහොත් මින් මත්තටද ඔව්න් එහි ජිවත් වේවි”

මෙම දෙබස යම් මතභේදාත්මක ස්වරුපයක් ගත්තද ඒ තුල ගැබ් වන්නේ කුමක්ද යන්න නිශ්චිතවම පැහැදිලි වන්නේ නැහැ, මොකද පුර්ව ප්‍රචාරක පටයේ පසු දර්ශවලදී අපට පෙනී යනවා පිපිරිමක දර්ශන සහ යම් ඩයිනෝසෝරයන් ප්‍රමාණයක් කූඩු ගත කර තිබෙන ආකාරයක්. කෙසේ වෙතත් අපට මෙහි දෙපැත්තක් කෙරේ අවධානය යොමු කිරීමට සිදුවී තිබෙනවා ඒ මොවුන් මුලින්ම උත්සහ කලේ අදාල ගිණිකන්ද නිෂ්ක්‍රිය කිරීමටද?? නැති නම් ඩයිනෝසෝරයන් ආරක්ෂාකාරී පෙදෙසකට රැගෙන යාමටද??

  1. ගිණිකන්ද සක්‍රීය වීම හා අවසානය

පුර්ව ප්‍රචාරක පටයේ අවසන් ජවනිකාව තුල අපට දක්නට ලැබෙන්නේ ගිණිකන්ද සක්‍රීය වීම හා ඒ තුලින් පීඩාවට පත්වන ඩයිනෝසෝරයන් හා ඔව්න් වෙනුවෙන් ඉස්ලා නුබ්ලාර් වෙත ගිය පිරිස මුහුණ දෙන ත්‍රාසය ජනක ජවනිකා කිහිපයක් පිළිබදවයි. මෙම දර්ශන තුලින් පෙනී යන්නේ එතරම් හොද අවසානයක් චිත්‍රපටය තුලින් බලාපොරොත්තු විය නොහැකි බවයි. කෙසේ වෙතත් මේ චිත්‍රපටයේ අවසානයමද යන්න තවමත් අපට නිශ්චිතවම කිව නොහැකියි,

“ජීවිතය සිමා කල නොහැකියි’

“ජීවිතය නිදහස් විය යුතුය”

“ජීවිතය”

“ක්‍රමයක් සොයායයි”

මෙම දෙබස් කිහිපය ඉදිරිපත් කරන්නේ කව්රුන්ද කියා නොපෙන්වුවද එය මහාචාර්ය ඊයන් මැල්කම් විසින් ඉදිරිපත් කරන්නක් බව පැහැදිලිවම කිව හැකියි. ඇතැම් විට මෙය ඔවුන් ඉස්ලා නුබ්ලාර් වෙත යෑමට ප්‍රථම දේශනයේදී ඉදිරිපත් කරන්නක්ද එසේත් නොමැති නම් චිත්‍රපටය අවසානයේ සිදුකරන ලද්දක්ද බව තවමත් නිශ්චිතවම කිව නොහැකියි. නමුත් මෙමගින් පෙනී යන්නේ සාමාන්‍ය සත්ව වර්ගයාට පොදු ජිවන චක්‍රය ඩයිනෝසෝරයන්ටද පොදු බව ඔහු විසින් අර්ථ දැක්වීමක් බවයි.

  1. ඕවන්ගේ අවසානයද?

පුර්ව ප්‍රචාරක පටයේ අවසන් තත්පර කිහිපය තුල දක්නට ලැබෙන ගිණිකන්ද පිපිරීමෙන් පසු ක්ලෙයාර් හා ඇයගේ සහයකයා “ජයිරෝස්ෆියර්” යන්ත්‍රයකට ඇතුළු කර ඒ පිටුපසින් ඕවන් දිව එන දර්ශනයක්. මෙහිදී ක්ලෙයාර් හා ඇයගේ සහයකයා සිටින “ජයිරෝස්ෆියර්” යන්ත්‍රය මුහුදට වැටීමත්, ඕවන් පිළිබද ඉන් පසුව නොපෙන්වීමත් නිසා ඕවන් නැවත නොපැමිණේ දැයි අපට සැකයක් ඉතුරු කරනවා. කොහොම නමුත් මම කලින් කිව්වා වගේම පුර්ව ප්‍රචාරක පටයේ අවසනය චිත්‍රපටයේ අවසානයම දැයි අප තවමත් දන්නේ නැහැ.

Isuru Upendra (1 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *