Infinity War Trailer Breakdown දන්න සිංහලෙන්…

අද මේ කියන්න යන්නේ 2018 අවුරුද්දේ මැද බාගයේ සිද්ධ වෙන්න යන ලොකු යුද්ධයක පෙර සළකුණු ටිකක් ගැන. දවසකට කලින් මේ ගැන අපිට ලොකු හෝඩුවාවක් ලැබුනා නේ. ඒ වෙන මොකුත් නෙමේ මාවල් සිනමා විශ්වයේ මෙතුවක් කලකට සිද්ධ වෙන යන දැවැන්තම සහ දැනට දකින්න ලැබෙන වැඩිම සුපිරි වීරයන්ගෙන් සමන්විත චිත්‍රපටය වන Infinity War චිත්‍රපටයයි. හරියටම තිරගතවන දවස කිව්වොත් 2018 මැයි 04 වෙනිදා. විශාල වියදමක් දරල කරන මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිසා ලොවපුර සිටින කොමික් රසිකයෝ දැනටමත් පිස්සු වැටිලා හමාරයි. අපි වෙන වෙනම දැකපු සමහර සුපිරි වීරයන් මෙහිදී එකට මුණ ගැසෙනවා. සියළු එදිරිවාදිකම් ඇත හැරලා පෘතුවිය වෙනුවෙන් සටන් කරන්න අත්වැල් බැඳගන්න හදන මේ අපූරු චිත්‍රපටය ඔබට මට සහ ලොව වටා ඉන්න කොමික් පිස්සන්ට ජිවිතයේ සිහිනයක් සැබෑ උනා හා සමාන සිදුවීමක් වෙනවා නොඅනුමානයි.

විනාඩි තුනකටත් අඩු පූර්ව ප්‍රචාරක පටය තුල අන්තර්ගතය මම මෙහෙම සිදුවීමෙන් සිදුවීම වෙන් කරලා පොඩි විස්තරයක් කරන්නම් අනුමානත් සමඟින්ම. මොකද සමහර Ester Eggs අපිට අනුමානයකින් පැහැදිලි කරනවා ඇරෙන්න හරිම තොරතුරක් සමග විතර කරන්න නම් මැයි 4 වෙනිදා වෙනකන්ම ඉන්න වෙනවා. මොකුත්ම නැති එකේ අනුමනයකින් හරි හිත සනසගන්න එකේ සනීපේ කොමික් රසිකයන්ට අලුත් හැඟීමක් නෙමේ. DC හෝ මාවල් වේවා කොමික් රසිකයෙකුට පොතේ දැකපු දේ යථාර්තයක් ලෙසින් චිත්‍රපටයකින් දකින්න ලැබෙනවා තරම් සතුටක් වෙන කොහෙවත් නැහැ. මොකද මේ හැම චරිතයක්ම ලස්සන චිත්‍රකතා පොත් වල පින්තුර වලට සීමා වෙලා අපේ මනසේ ඇඳුන චරිත. එව්වා මෙහම හැබැහින් සජීවී ලෙසින් එකිනෙකා සමඟින් සටන් වදිනවා දකින්න ලැබීම හැමෝගෙම සිහින සැබෑවීමක් කියන එක අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වගේම තව දෙයක් කියන්න වෙනවා අලුත්ම තෝර් චිත්‍රපටය නොබලපු කෙනෙක් නම් මේ ලිපිය කියවගෙන යනකොට එකේ තියෙන සිදුවීම් කියවන්න ලැබේවි. ඉතින් ස්වයංක්‍රීයව ස්පොයිල් වෙන්න වීම ගැන කනගාටු වෙනවා. එහෙම නොවෙන්න නම් දැම්ම මේක කියවන එක නතර කරලා ඒක බලල ඉන්න.

එහෙනම් මම මුලින්ම බෘස් බැනර් හෙවත් හල්ක්ගේ සිදුවීමෙන් පටන් ගන්නම්.

1. ට්‍රේලර් එක ආරම්බයේදීම දකිනවා ලොකු කොළ පාට ග්‍රහලෝකයක් සහ ඊට ඈතින් පෘතුවියට සමාන ග්‍රහලෝකයක්. මේ කොළපාට ග්‍රහලෝකය කොහේ කියලද ඔයාල හිතන්නේ? ඒ තමයි ටයිටෑන්. කුනාටු සහිත මේ ග්‍රහලෝකය තමයි තානොස්ගේ නිවහන. එත් එක්කම ටෝනි කෙනෙක්ගේ අතක් අල්ලාගෙන ඉන්නවා දකින්න ලැබෙනවා. ඔව් අනිවාර්යෙන්ම කෙනෙක් මැරිලා. ඒ කවුද? පෙපර් හෝ ඔහුට වඩා සමීප කෙනෙක් විය හැකියි.

2. බෘස් බැනර් හෙවත් හල්ක් පළමු ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ සිට අපිත් එක්ක එකතු වෙන දැවැන්ත චරිතයක්. ඇවෙන්ජර්ස් කණ්ඩායමේ නැතුවම බැරි කෙනෙක් වෙන බෘස් බැනර් මේ පුර්ව ප්‍රචාරක පටයේ දකින්නේ වහලයක් කඩාගෙන බිම වැටිලා ඉන්න දර්ශනයකින්. කොමික් කියවපු කෙනෙක් නම් මේ දර්ශණය හා සමාන සිදුවීමක් ඔබේ මතකයට නැගෙන්න ඕනේ. Infinity Gauntlet comic පළමු වෙළුමේ ඔබට දකින්න ලැබෙනවා සිල්වර් සර්ෆර් මේ අකාරයටම ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ශුද්ධ වූ නිවහනට වහලයත් කඩාගෙන එනවා තානොස් පෘථිවිය දෙසට එනබව අනතුරු අඟවන්න. ඉතින් ඔන්න ආරම්භයේම ස්පොයිල් කිරීමක් කරලා පටන් ගන්නේ, තෝර් තෙවන චිත්‍රපටයේ අවසානයේ අපි දකිනවා ඇස්ගාඩ් වැසියන් සමඟින් තෝර්, බෘස් සහ ලොකි පෘතුවිය බලා පැමිණෙනවා. ඒ සමඟින් අන්තිමට ඔවුන්ට විශාල යානාවක් දකින්න ලැබෙනවා. එහෙම තමයි චිත්‍රපටය අවසන් උනේ. එතැනදී අපිට ඒ දකින්න ලැබුනේ තානොස්ගේ යානාවක් කියන එක අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. ඉතින් මේ ආරංචිය ලබාදෙන්න ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සිටි ස්ථානයට තෝර් විසින් බෘස් බැනර්ව එවන්න ඇති කියල අපිට හිතන්න වෙනවා. මොකද බෘස් බිම ඉන්නවට පසුව අපි දකිනවා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ දර්ශනයකුත්. එහෙමත් නැතිනම් තානොස් පහර දුන්නට පස්සේ බැනර් කෙලින්ම කඩාගෙන මෙතන පතිත උනා වෙන්නත් පුළුවන්.

3. ඒ දර්ශනය සමඟින් ඔයාලට දකින්න ලැබෙනවා ටෝනි ස්ටාක්, බෘස් සහ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සිටින දර්ශනයක්. එතැනදී ඔයාලට පෙනෙනවා ඇති ටෝනිගේ අතේ කුඩා දුරකතනයක් තියෙනවා. එහෙනම් දැන් අපි ටිකක් ආපස්සට යමු. සිවිල් වෝර් චිත්‍රපටයේ අවසානය මතකයිද? ඔයාලට මතක ඇති ඒක අවසානයේ ටෝනිට පාර්සලයක් එනවා. FedEx පෙට්ටියක දාල ස්ටැන් ලී ගෙනත් දෙන්නේ. ඔව් අන්න එකේ තිබ්බ දේ මතකනම් ඒක තමයි දැන් මේ ටෝනි අතේ තියාගෙන ඉන්නේ. මේ දුරකථනය එව්වේ කැප්ටන් ඇමෙරිකා. බෘස්ගේ ආරංචියෙන් පසුව මේ සූදානම් වෙන්නේ ඔහු සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.

4. පසුව ඔයාලට දකින්න ලැබෙනවා බෘස් බැනර් හල්ක් ආමර් එකේ අතක් ළඟ හිටගෙන ඉන්නවා. බෘස්ට වම් පසින් තියෙන්නේ ඒ ආමර් එකේ අතක්. ඒ වගේම ඔයාලට ට්‍රේලර් එකේ පස්සේ දකින්න ලැබේවි අර හල්ක්බස්ටර් යුධ ඇඳුම ඇඳගත් කෙනෙක් වකන්ඩා වල දුවගෙන එනවා. ඒ එන විදිහට නම් ඒක ඇතුලේ ඉන්නේ හල්ක් වගේ කියල අනුමාන කරන්නත් පුළුවන්. මොකද හල්ක් පනින විදිහටම තමා ඒ ඇඳුම ඇඳන් ඉන්න කෙනා පැනලා එන්නෙත්. එහෙම උනොත් ටෝනි ස්පයිඩර් මෑන්ට වගේම හල්ක්ටත් ඇඳුමක් හදලා. හැබැයි ට්‍රේලර් එකේ අවසානය දෙසට ගියොත් වකන්ඩා වල සිද්ධ වෙන සටනේදී ඇවෙන්ජර්ස් කණ්ඩායම දුවගෙන එන අවස්ථාවේදී හල්ක් මේ ආමර් එක ඇඳගෙන නම් නෙමේ ඉන්නේ. සමහරවිට බ්ලැක් විඩෝ සර්ප්‍රයිස් කරන්න වකන්ඩා වලට හල්ක්බස්ටර් ආමර් එක දාගෙන ආවද කියන්න බැහැ. මේවා අනුමාන විතරයි හොඳේ. අනිත් කාරණය චිත්‍රපටය අනුමාන කරන්න තියෙන අවස්ථා අහුරවන්න ට්‍රේලර් එකේ දකින්න ලැබෙන්නේ මුල සහ අග කොටස් වල මිශ්‍රණයක්. ඒ ඒ කොටස් වල ගැලපීමක් තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ.

5.ඒ වගේම තවත් කාරණයක් මතු කරන්න පුළුවන්. ඔයාල තාම වැඩිපුර නොදන්නා අලුත් චරිතයක් තමයි බ්ලැක්පැන්තර් කියන්නේ. එයාගේ ගැන දැනගන්න පුළුවන් එන අවුරුද්දේ පෙබරවාරි වල. එයාගේ ගැන කිව්වොත් එයාගේ සහෝදරිය තමයි මේ අමුතු අමුතු වයිබ්‍රේනියම් ඇඳුම් වලට වගකිව යුත්තා. T’Challa හෙවත් බ්ලැක් පැන්තර්ගේ සහෝදරිය නමින් Shuri එයාව ඔයාලට බ්ලැක් පැන්තර් පුර්ව ප්‍රචාරක පටන් දකින්න ලැබුනා. කොමික් වලට අනූව එයාගේ විශේෂත්වය ගැන කියනවා නම් රොබෝ තාක්ෂනය සම්බන්ධව ටෝනි ස්ටාක් සමඟින් කරට කර ඉන්න පුළුවන් ප්‍රවීණයෙක්. ඉතින් මේ ඇඳුම ඇතුලේ එයා ඉන්නත් පුළුවන් මොකද සිදුවීම වෙන්නේ වකන්ඩා වල නිසා. වකන්ඩා සටනේදී ශුරිව දකින්න ලැබෙන්නේ නැහැ එහෙත් හල්ක් නම් දුවගෙන එනවා දකින්න ලැබෙනවා. ඉතින් අනුමානය අනික් අතට හැරවෙන්නත් පුළුවන්.

6. කොමික් පොතපතේ දැක්වෙන තවත් කාරණයක් තමයි වකන්ඩා බ්ලැක් පැන්තර් ගනයේ හල්ක්බස්ටර් ඇඳුමක් ඔවුනුත් නිර්මාණය කරලා තියෙනවා. මෙතැනදී නම් එහෙම දෙයක් දකින්න ලැබුනේ නැහැ එත් කැප්ටන්ගේ ඇඳුම සහමුලින්ම වෙනස් වෙලා තියෙනවා කියල අපිට පේනවා. අවසානයේ පිරිස සමඟ දිව එන දර්ශනයේ ඔහුගේ වැලමිටෙන් පහල කොටසට ඇකිලෙන ආකාරයේ පලිහක් වකන්ඩා වලින් ලැබිලා කියල අනුමානයකට එළඹෙන්න පුළුවන්. මොකද සිවිල් වෝර් චිත්‍රපටය අවසානයේ කැප්ටන් ඔහුට ටෝනි ලබාදුන් පලිහ අත්හැර දාලා බකි සමඟ වකන්ඩා වලට පිටත් වෙන්නේ. ඉතින් කැප්ටන්ගේ අලුත් කළු පාට ඇඳුමේ වකන්ඩා තාක්‍ෂණය දැකගන්න ලැබේවි. ඔයාල දකින්න ඇතිනේ මේ ප්‍රචාරක පටයේ තිබ්බ හොඳම දෙබස ” මේ මනුස්සයට පලිහක් දෙන්න” එතැනින්ම දැනගන්න පුළුවන් කැප්ටන් ඇමෙරිකාට වකන්ඩා තාක්ෂනය ලැබෙන බව. ඒ වගේම ඔහුගේ තරු සළකුණත් ඇඳුමෙන් ගිලිහි තිබෙනවා. ඔහු දැන් නීතියෙන් පලා යන අයෙක් නිසා ඇමෙරිකාවට අදාළ මේ ලකුණ ඔහුගේ ඇඳුමෙන් ඉවත් වෙන්න ඉඩකඩ තියෙනවා.

7. ඒ වගේම ඔයාලට දකින්න ලැබෙනවා කැප්ටන් අඳුරේ ඉඳන් වේගයෙන් එන හෙල්ලයක් අතින් අල්ලගන්නවා. ඔයාලට මතක ඇති මම කලින් ලිපියක් ගෙනාව තානොස් එක්ක පෘතුවියට එන පිරිස ගැන විස්තර කරලා. කට්ටියට මතක ඇතිනේ බ්ලැක් ඕඩර් එක ගැන. එතන හිටියා කාන්තා චරිතයක් නමින් ප්‍රොක්සිමා මිඩ්නයිට්. එයා තමයි මේ හෙල්ලයෙන් දමා ගසන්නේ. මේ බ්ලැක් ඕඩර් එක පෘතුවියේ විවිධ ස්ථාන වල විසිරිලා තියෙන ඉන්ෆිනිටි ස්ටෝන්ස් එකතු කරගන්න තානොස් පිටත් කර හරිනවා. ඉතින් කැප්ටන් ඉන්නේ වකන්ඩා වල. වකන්ඩා වල අපි නොදන්නා තවත් ඉන්ෆිනිටි ස්ටෝන් එකක් තියෙනවා වෙන්න පුළුවන්.

8. දැන් මේ කියන්න යන්නේ තානොස් ළඟ තියෙන ස්ටෝන්ස් ගැන. ඔයාල දකිනවා මේ ට්‍රේලර් එකේදී ඉන්ෆිනිටි ස්ටෝන්ස් තුනක්. දෙකක් දැනටමත් තානොස්ගේ අත්වැස්මේ තියෙනවා. ඒ මොනවද? කොහොමද එව්වා ගන්න ඇත්තේ? අපි දැකලා නැහැනේ තානොස් එව්වා ගන්නවා. මෙන්න එහෙනම් පැහැදිලි කිරීම. ඔයාල පාටවල් දිහා හොඳට බැලුවොත් අත්වැස්මේ තියෙන්නේ නිල්පාට ස්ටෝන් එකක් සහ දම් පාට ස්ටෝන් එකක්. ඉතින් මේ පාටවල් දෙකෙන් කියවෙන්නේ මොන මොන ස්ටෝන්ද එව්වා තියෙන්නේ කොහෙද කවුරු ගාවද කියල නම් ඔයාල දන්නවා. එහෙනම් කියන්නම් නිල් පාට ස්ටෝන් එක තියෙන්නේ ලොකි ළඟ. ඒක දැක්කනේ තෝර් පළමු චිත්‍රපටයෙන්ම. තුන්වන චිත්‍රපටයේදී ලොකි විසින් ඔඩින්ගේ ලඟ තියෙන මේ ස්ටෝන් එක හොරෙන් අරගන්නවා අපිට දකින්න නොලැබුනත් මේ ප්‍රචාරක පටයේදී ඔහු ස්පේස් ස්ටෝන් එක කාටහරි දෙන දර්ශනයක් ඇතුලත් වෙනවා. ඉතින් ඒක ලොකි ළඟට එන්න හේතුව අපිට අනුමාන කරගන්න වෙනවා.මොකද ඔඩින්ගේ වස්තුව තියෙන කුටියට අවසානයේ යන්නේ ලොකි. එතන තියෙන ස්පේස් ස්ටෝන් එක ඔයාලට දැකගන්න පුළුවන් තෝර් තුන් වෙනි චිත්‍රපටයේදී. ඒ වගේම ඔයාලට දකින්න ලැබෙනවා මිනිසුන් මැරිලා වැටිලා ඉන්න දර්ශන. ඒ ඉන්නේ ඇස්ගාඩ් වැසියන්. එතන ඉන්න එක කෙනෙක්ගේ උරහිසේ තියෙන කළුපැහැති ඉරි ඔයාලට තෝර් 3 වෙනි චිත්‍රපටයේ ඇස්ගාඩ් සෙබළුන්ගේ දකින්න ලැබෙනවා. ඒ කියන්නේ තානොස් ඇස්ගාඩ් වැසියන් සමඟ තෝර් හල්ක් සහ ලොකි ඉන්න යානයට පහර දීල ස්පේස් ස්ටෝන් එක අරගෙන තියෙනවා.

9. හැබැයි උඩ ඔය කියපු සිදුවීමට කලින් තමයි දම් පැහැති පවර් ස්ටෝන් එක තානොස් අත්පත් කරගන්නේ. ඔයාලට ප්‍රචාරක පටයේ මුලින් දකින්න ලැබෙනවා තෝර් ඔහුගේ යානයේ සිට විනාශ වී යන ලෝකයක් දෙස බලා සිටිනවා. දැන් මතක් කරගන්න වෙනවා ගාඩියන් ඔෆ් ගැලැක්සි පළමු චිත්‍රපටයේ අවසානය. මතකද අවසානයේ ස්ටාලෝඩ් සහ අනික් පිරිස පවර් ස්ටෝන් එක සැන්ඩර් කියල ග්‍රහලෝකයක ඉන්න නෝවා කෝප්ස්ලට භාර දුන්නා. මතක නම් දැන් මේ තෝර් බලන් ඉන්නේ අන්න ඒ ග්‍රහලෝකේ විනාශ වෙලා යනවා තමයි. ඒක විනාශ කරලා පවර් ස්ටෝන් එකත් අරගෙන තානොස් දැන් එන්නේ තෝර් සහ ඇස්ගාඩ් වැසියන් ඉන්න යානයට ස්පේස් ස්ටෝන් එක අරගන්න. ඊට පස්සේ තමා එකේ ඉන්න අය මරලා ස්පේස් ස්ටෝන් එක අරගන්නවා ඇත්තේ. හැබැයි ලොකි කියන්නේ මහා අමුතු මනුස්සයෙක්. දන්නවනේ තමන් ගැන විතරක් හිතන කනෙක් කියල. සමහරවිට තානොස් එක්ක එකතු වෙන්න ස්පේස් ස්ටෝන් ඒක දෙනවා වෙන්නත් පුළුවන්. සමහරවිට ඉතිරිවෙලා ඉන්න පිරිස බේරගන්න ස්ටෝන් එක තානොස්ට බාරදෙනවා වෙන්නත් පුළුවන්. මේකත් තව අනුමානයක් පමණයි.

10. මේ සිදුවීම අවසානයේ අපි දකිනවා තානොස් යම් ද්වාරයකින් පිටතට පැමිණෙනවා. ඒ සැන්ඩර් ලෝකය හෝ එහෙමත් නැතිනම් වකන්ඩා විය හැකියි. මොකද අවට දර්ශන වලින් අපිට එන්න පුළුවන් නිගමනය මේ ලෝක දෙක තමයි. ඒවගේම තානොස් අයන් මෑන් බිම පතිත වෙන්න පහරක් එල්ල කරනවත් දකිනවා. මේ දකින්නේ මාවල් විශ්වයේ ඉන්න බලවත්ම සතුරා. ඉතින් එයා එක්ක බලනකොට ඇවෙන්ජර් කෙනෙක් කියන්නේ සැලකිය යුතු දෙයක් නොවේ කියන එක මේ පහර වගේම ස්පයිඩර්මෑන්ව බෙල්ලෙන් අල්ලාගෙන ඉන්න හැටි දැක්කම පැහැදිලි වෙනවා.

11. ඔයාලට පළමු වතාවට විෂන්ව දකින්න ලැබෙනවා මිනිස් ස්වරූපයකින්. මීට කලින් එහෙම දකින්න ලැබිලා නැහැ. මේ ස්වරූපය එහෙම වෙන්න ඒක හේතුවක් අනුමාන කරන්න පුළුවන්. එත් එක්කම ඔයාලට දකින්න ලැබෙනවා තව දර්ශනයක් විෂන්ගේ නළලේ තිබෙන මයින්ඩ් ස්ටෝන් එක ගලවගන්නවා. ඒ ගලවන්නේ වෙන කවුරුත් නෙමේ බ්ලැක් ඕඩර් තවත් සාමාජිකයෙක් වෙන Corvus Glaive. ඔහුත් සමග එතන ප්‍රොක්සිමා මිඩ්නයිට්ද සිටිනවා. කෙසේ හෝ මයින්ඩ් ස්ටෝන් එක එතැනදී ඔහුගෙන් ලබා ගන්න පෙර විෂන් මිනිස් ස්වරූපයට ආවද එසේ නැතිනම් මයින්ඩ් ස්ටෝන් එක ඔහුගෙන් ලබා නොගෙන මයින්ඩ් ස්ටෝන් එක හරහා අනික් ස්ටෝන්ස් ඇති ස්ථාන ගැන දැනගන්න ඔහුව ඉත්තෙක් කරගැනීමක් එතැනදී කරනවාද යන්න තවත් අනුමානයක්. ඒ සමගම කොමික් පොත පතේ ආකාරයට වොන්ඩා හෙවත් ස්කාලට් විච් සහ විෂන් අතර පවතින සම්බන්ධතාවය මෙතන තරමක් වැඩිපුර ඉස්මතු කර දකවනවා. කොමික් වලට අනුව නම් නම් ඔවුන් පෙම්වතුන් සහ පසුව විවාහ වී දරුවන් පවා ලැබෙනවා. මේ මිනිස් ස්වරුපය වොන්ඩා හෝ විෂන් දකින සිහිනයක් වන්නත් පුළුවන්.

12. මේ සිදුවීමත් සමග අපට දකින්න ලැබෙනවා තානොස්ගේ අත්වැස්මේ ස්ටෝන් හයෙන් තුනක්ම සම්පුර්ණ වී ඇති බව. මම මේ ස්ටෝන් ගැන විසතර කරන්න නොගියේ මාවල් රසිකයෝ උනාම මේ ස්ටෝන් ගැන දැනගන්න ඕනේ. විශ්වය තුල පවතින බලවත්ම මැණික් හය තමයි මේ තානොස් එකතු කරන්නේ. මේ හයම තියෙන කෙනෙක්ට විශ්වයම පාලනය කිරීම ඉතාමත් පහසු දෙයක්. කොටින්ම කියනවා නම් විශ්වයේම බලවතා ඔහුවෙනවා. දැනට නිල් පාට ස්පේස් ස්ටෝන් එකත්, දම් පාට පවර් ස්ටෝන් එකත් ගැන දන්නවා. එතකොට විෂන්ගේ නළලට සවිවෙලා තියෙන කහ පැහැති ස්ටෝන් එක තමයි මයින්ඩ් ස්ටෝන් එක. එතකොට අනික් ස්ටෝන් තුන ගැන අපි තවම දන්නේ නැහැ. කොළ පාට ටයිම් ස්ටෝන් එක තියෙන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සන්තකයේ. රතු පැහැති රියැලිටි ස්ටෝන් එක. Taneleer Tivan තමයි වර්තමාන අයිතිකරුවා. මෙයාව මතක ඇති ගාඩියන් ඔෆ් ද ගැලැක්සි දෙවැන්නේ කලෙක්ටර් නමින් හැඳින්වුයේ ඔහුවයි. අවසාන ස්ටෝන් එක තමයි සෝල් ස්ටෝන් එක. කොමික් පොතපතේ හැටියට නම් සෝල් ස්ටෝන් එක කොල පාටයි නමුත් චිත්‍රපටය තුල එහි පාට කුමක් වේද කියලා තවම රහසක්.. මෙහි වර්තමාන අයිතිය ගැන අපිනම් කිසි දෙයක් දන්නේ නැහැ.

13. කැප්ටන් වගේම බ්ලැක් විඩෝගේත් අපි වෙනස්කම් දුටුවා.ඇයගේ කොණ්ඩයේ වර්ණය වෙනස් වෙලා සහ තවත් කෙටි වෙලා.ඒකට හේතුව කැප්ටන් වගේම විඩෝත් නීතියේ වරද කරුවන් වීම. එහෙම වෙන්න හේතුව සිවිල් වෝ අවසානයේ නතාෂා කැප්ටන්ට උදවු කරනවා එතනින් පලා යන්න. මතකනේ සිවිල් වෝ එක අවසානයේ ටෝනි කියනවා වැරදි කරුවන්ට උදවු සැපයීම නිසා ආණ්ඩුවට වග උත්තර වෙනවා කියලා. ඒක නිසා නතාෂා කොන්ඩේ සුදු කරලා කොට කරලා වෙනස් ස්වරූපයක් අරගත්තා වෙන්න පුළුවන්.

14. ට්‍රේලර් එක පුරාවටම දකින්න ලැබුන දර්ශනයක් තමයි වකන්ඩා නගරය. එහෙම නැතිනම් බ්ලැක් පැන්තර් රාජධානිය. මේ ගැන අපිට වැඩිදුර දේවල් එන පෙබරවාරි වලින් පස්සේ දැනගන්න පුළුවන් වේවි. ඇයි වකන්ඩා නගරයම? නිකමට ඔයාලට හිතෙන්නේ නැද්ද එහෙ මේවගේ ලොකු සටනක් ඇති වෙන්න නම් තානොස්ට වටින යමක් එහෙ තියෙන්න ඕන කියල. ඉතිරි ස්ටෝන් දෙකෙන් එකක් බ්ලැක් පැන්තර් සතු වෙන්නත් බැරි නැහැ. මගේ සැකය නම් සෝල් ස්ටෝන් එක. අපි බලමු ඒක එහෙම වේවිද කියල.

15. ඔයාල දකින්න ඇති බ්ලැක් පැන්තර් සටන් කරනවා අමුතු විදිහේ සතෙක් එක්ක. අත් හතරක අමුතු ජීවියෙක්. ඒ කවුද කියල නොදන්නවා නම් උන් හඳුන්වන නම තමයි “අවුට්රයිඩර්ස්” (Outriders). මේ තමයි බ්ලැක් ඕඩර් එකේ සාමාජිකයෙක් වෙන කෝවස් ග්ලෙයිව්ගේ හමුදාව. මේ සත්ව විශේෂය නිර්මාණය කලේ ඔහු සහ තානොස් එක්වෙලා. මේ සත්වයන් තානොස් හෙවත් පිස්සු ටයිටෑන්වරයා විසින් විවිධ ලෝක වලට ගමන් කරන කොට රැගෙන යනවා තම හමුදාව ලෙසට. මේ සතුන් තනිකරම යොදාගන්නේ තමන්ගේ ස්වාමියාගේ සටන් වල සටන් කරන්න.

16. ට්‍රේලර් එකේ ඔයාල දකිනවා තව දෙයක්.කවාකාර විශාල යානාවක් හෝ පෝටල් එකක් වගේ යමක් බෘක්ලින් අහසේ පාවෙමින් තිබෙනවා. එත් එක්කම ඔයාල දකිනවා පීටර් පාකර් පාසල් බස් රථයේ ගමන් කරනවා. අපිට පෙනෙනවා ස්පයිඩර්මෑන්ගේ ස්පයිඩර් සෙන්ස් එකට දැනෙනවා යම් දෙයක් සිද්ධ වෙනවා කියල. මේ තමයි අලුත් ස්පයිඩර්මෑන්ගේ ස්පයිඩර් සෙන්ස් එක මුල්ම වතාවට අපි දකින මොහොත. එත් එක්කම ඔයාලට දකින්න ලැබෙනවා අයන් ස්පයිඩර්මෑන්ව. මතකනේ ස්පයිඩර් මෑන් හෝම්කමින් එකේ අන්තිමට ටෝනි එයාට දුන්න අලුත් ඇඳුම. ඒක එපා කියල ගියාට ආයෙත් ඒක ටෝනිගෙන් අරගෙන වගේ අපිට පේන විදිහට. ඒත් එක්කම ඒක නතර කරන්න ගිහින් සප්යිඩර් කොල්ලා තානොස්ගෙන් හොඳ පාරක් කනවත් දකින්න ලැබෙනවා. එත් එක්කම විදුලියට අදිපති දෙවියා හෙවත් තෝර් ඒ කවාකාර යානාවේ පාලක ස්ථානය වගේ තැනක එය නතර කරන්න උත්සහ දරනවා හෝ එය පාලනය කරනවා වගේ යමක් අපිට දකින්න ලැබෙනවා.

17. මේ ට්‍රේලර් එක ආරම්භයේ ඔයාල ඇහුම්කන් දුන්නද ඒ කියන දෙබසට? මතක් වෙන්නේ නැද්ද ඒක ඊට කලින් ඇහුනා වගේ දෙයක්. ඔව් මේක මීට කලින් ඇවේන්ජර්ස් පළමු චිත්‍රපටයේදී ටෝනි, කැප්ටන් දෙදෙනාට නික් ෆියුරි කියන දෙබසක්. මේක කියන්නේ කොල්සන් මැරුණට පස්සේ. මේ දෙබස ට්‍රේලර් එකේදී මුලින් බ්ලැක් ෆියුරිගේ කට හඬින් ආරම්භ වෙලා පසුව ටෝනිත් ඊට පසුව විෂන්ගේ කට හඬත් පසුව තෝර් ගේ කට හඬිනුත් අහන්න ලැබෙනවා. මේ දෙබස් කාණ්ඩය පළමු ඇවෙන්ජර්ස් චිත්‍රපටයෙන් උපුටා ගත් එකක්. ඒක අවසන් කරන්නේ බ්ලැක් විඩෝ විසින්. ඒ වගේම මේකේ තියෙන අනික් විශේෂත්වය තමයි මේ දෙබස් කණ්ඩය ඔයාලට මාවල් ඉන්ට්‍රෝ එකේදී දකින්න ලැබෙනවා. ඔයාලට බ්ලැක් විඩෝ දර්ශනයෙන් පසුව දකින ඉන්ට්‍රෝ එකේ මේ දෙබස ලියලා තියෙනවා පැහැදිලිව දකින්න ලැබෙනවා. පහල තියෙන්නේ ඒ දෙබස් ඛණ්ඩය ඉංග්‍රීසියෙන්.

“There was an idea, Stark knows this…”
“The idea was to bring together a group of remarkable people to see if they could become something more.To see if they could work together when we needed them to, to fight the battles that we never could.”

මේ තමයි ඇවෙන්ජර්ස් පළමු චිත්‍රපටයේ නික් ෆියුරි කියපු දෙබස.පහතින් දකින්නේ මේ ට්‍රේලර් එක තුල විවිධ චරිත විසින් වෙන වෙනම කියන දෙබස් ටික.

“There was an idea…” නික් ෆියුරි
“To bring together a group of remarkable people…” ටෝනි ස්ටාක්
“To see if we could become something more…” – විෂන්
“So when they needed us…” “We could fight the battles…” තෝර්
“That they never could.” – බ්ලැක් විඩෝ

18. අන්තිමට දකින්නේ තෝර් ගාඩියන්ස් ලගේ ශිප් එකේ ඉන්නවා. ඒ කියන්නේ තෝර්ට තමන්ගේ වැසියෝ එක්ක පෘතුවියට එන්න ලැබිලා නැහැ. තොර් චිත්‍රපටයේ අවසානයේ ඇස්ගාඩ් වැසියන් සමඟ ආපු ගමන මගදී තානොස් විසින් වළක්වලා තියෙනවා. වඩා සිත්ගන්නා සුළු දේ තමයි තව දුරටත් අපිට බේබි ගෘට් කෙනෙක් දකින්න ලැබෙන්නේ නැහැ. එයා දැන් ලොකු ළමයෙක්. අපිට දකින්න ලැබෙනවා ලොකු වෙලා ඉන්න ගෘට් සහ අනික් පිරිසත්.


ඔන්න ඔහොමයි මම මේ ට්‍රේලර් එක කොටසින් කොටස දැක්කේ. මීට වඩා දේවල් මේ තුල අන්තර්ගත කරලා ඇති. එත් සිද්ධ වූ දේවල් සහ විය හැකි දේවල් එකිනෙක සම්බන්ධ කරලා මේ ට්‍රේලර් එක දර්ශනයෙන් දර්ශනය ඔයාලට විස්තර කලේ මේ චිත්‍රපටය ගැන මුළු ලෝකයක්ම බලා සිටින නිසා. අවිවාදයෙන් කියන්න ඕන දැනට නිකුත් උන හොඳම ට්‍රේලර් එක තමයි මේ. ඒක මේ ට්‍රේලර් එක නරඹපු පිරිසෙන්ම තහවුරු කරගන්න පුළුවන්. ආයෙත් මේ වගේ කොමික් විස්තරයකින් මුණ ගැසෙන තෙක් එහෙනම් ගිහින් එන්නම් . ජය!!!

හසන්ත වික්‍රමරත්න (70 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න has 70 posts and counting. See all posts by හසන්ත වික්‍රමරත්න

12 thoughts on “Infinity War Trailer Breakdown දන්න සිංහලෙන්…

  • December 7, 2017 at 1:03 PM
    Permalink

    පට්ට පෝස්ට් එක.. තෑන්ක්ස්.. ගොඩක් දේ දැන ගත්ත.

  • December 5, 2017 at 11:24 AM
    Permalink

    නියම ලිපියක්..

  • December 4, 2017 at 3:31 PM
    Permalink

    trailer eka danakam man balagena hitiye. eka dala danata dawas 4k wenawa koti 8k views karala thiyenawa. ithin kahomada janapriyathwaya. pattama trailer eka. post ekata tanx. godak dewal dana gaththa. thawa danna dewal post karanna. mata iwasillak na.

  • December 4, 2017 at 7:30 AM
    Permalink

    mn hithanne wakanda walata enna hethuwa vibranium..vibranium kiyanne kadan watichcha ulkapathayak kiyala thamai mn danne ehema tyenne marvel avengers kiyana animation movie eke..eke widiyata nam alienslata unath weapon hadanna vibranium kiyana eka gdak ona wena patai…wakanda walata attcak krane a nisa kiyalai mn hithanne…thanks mchan post ekata gdak dewal dana ganna labuna..

  • December 3, 2017 at 4:01 AM
    Permalink

    thanks aiye.. jaya wewa!!

  • December 2, 2017 at 11:40 AM
    Permalink

    බොහොම ස්තුතියි අයියේ ලිපියට. බොරු ඕනී නෑනේ. මේ ෆිල්ම් එක තමයි DC,Marvel සියලු රසිකයෝ බලන් ඉන්න ෆිල්ම් එක. ඒ වගේම ට්‍රේලර් එක. අනුමානයක් නෑ තව අවුරුදු ගානක් යනකම් මේ වගේ ෆිලුමක් බලන්න වෙන්නේ නෑ. මටනම් තියෙන ලොකුම දුක තමයි මේ ෆිල්ම් ඒකේදී ගොඩක් කට්ටිය මැරෙනවා කියලා යන ආරන්චිය. අන්තර්ජාලයේ ගොඩක් තැන්වල තිබ්බා මේ ෆිල්ම් එක අවසානය අඩන්න වෙන එකක් කියලා. විශේෂයෙන්ම සෝලෝ ෆිල්ම්ස් තුනම ඉවර උන හීරොස්ලා.. එහෙම දෙයක් නොවී ඕනි එකක්. තවත් ලිපියක් අරන් එන්න අයියේ ඊලග ට්‍රේලර් එකෙන්. බුදුසරණයි..ජය වේවා!

  • December 2, 2017 at 8:42 AM
    Permalink

    Watinawa

  • December 2, 2017 at 7:47 AM
    Permalink

    ස්පොයිල් වෙන්න බැරි නිසා තෝර් බලනකල් මේක කියවන්න ඉවසනවා
    ඒ වගේම ට්‍රේලර් එකේ ටෝනි අත අල්ලගෙන ඉන්නේ කැපාගේ වෙන්නත් බැරි නැහැ!

  • December 1, 2017 at 9:38 PM
    Permalink

    ලිපිය නියමෙට තියෙනවා සහෝ මේ ෆිල්ම් එක මාවල්ලාගේ සුපිරිම එක වගේ . 2018 මැයි 04
    වෙනකම් කොහොම ඉවසන්නද කියලා හිතාගන්න බැහැ .

  • December 1, 2017 at 9:06 PM
    Permalink

    නියම ලිපියක් සහෝ.මන් හිතන්නෙ trailer එක පැය ගානක් බලන්න ඇති.ෆිල්ම් එක එන්න කලින් බැලුව වගෙ.සුපිරියටම තියනව.මෙ වගෙ ලිපි තවත් ලිපි ලියන්න පුලුවන් වෙන්න කියල wish කරනවා…

  • December 1, 2017 at 9:01 PM
    Permalink

    Review ekak denakan blan hitiye.. thanx sahodaraya..

  • December 1, 2017 at 8:33 PM
    Permalink

    පට්ට්‍ට…රේලර් එක ගැන පැහැදිලි අංගසම්පූර්ණ විස්තරයක් තියෙනව.(ඒකත් DC ෆෑන් කෙනෙක්ගෙන් ) මෙච්චර විස්තර තියෙනව රිවීව් එකක් දැක්කේ නෑ…ටෝනි අත අල්ලගෙන ඉන්නේ ස්පයිඩිගෙ වෙන්න ඕන.මොකද ලීක් වෙච්ච ට්‍රේලර් එකේ ඕකට ගැලපෙන සීන් එකක් තිබ්බා ස්පයිඩියි ටෝනියි ඉන්න.
    තව ට්‍රේලර්ස් දෙකක් රිලීස් කරනවද?නැත්තන් එකයිද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!