බයිස්කෝප් සිංහලෙන් 14 – Game of Thrones [S5E08 – Hardhome] (18+) | කොට ආදිපාද හා ධවල ඇවිදින්නන්….

GoT5New2හොඳයි අපි කලින් කොටසෙදි ටාගේරියන් ආක්‍රමණයට එනකම් කතා කළානේ. ඊට පස්සෙ වෙස්ටරොස් වල ස්වාධීන රාජධානි හතෙන් හයක් එක රජෙක් යටතේ තියෙන රාජධානි බවට පත්වුණා මතක ඇතිනේ. ඊට පස්සෙ ඇතිවෙන යුද්දෙ ගැන අපි දැන් බලමු. මේක තමා වෙස්ටරොස් ඉතිහාසයේ විනාශකාරීම සිවිල් යුද්ධය විදියට සැලකෙන්නේ.

Dance of the Dragons

100-WarsOfChildrenAndFirstMen

ටාගේරියන් ආක්‍රමණයෙන් අවුරුදු 129 කට විතර පස්සෙ හා රූපවාහිනී කතා මාලාවේ පටන්ගැන්මට අවුරුදු 170 කට විතර කලින් තමා මේ යුද්ධය සිදුවෙලා තියෙන්නේ. මේක විනාශකාරී වෙන්න එක හේතුවක් තමා සටන් කළ දෙපැත්තටම මකරුන් ඉඳීම. අපි විස්තර ටිකක් බලමු.

මේ යුද්ධය පටන් ගත්තේ පළමු විසේරිස් රජුගේ මරණයත් එක්කයි. ඔහුට පළමු බිරියට දාව උන්නෙ එකම එක දියණියක් විතරයි. ඒ තමා රුනෙයිරා කුමරිය. ඔහුගේ දෙවෙනි විවාහයෙන් ඔහුට ළමුන් කීපදෙනෙක් උන්න වගේම එයින් වැඩිමලා තමා දෙවෙනි ඒගොන් කියන්නේ. ඇඩ්ඩාල් නීතිය අනුව කාන්තාවකට වඩා ළාබාල පිරිමි දරුවෙක්ට වැඩි උරුමයක් තිබුණත්, දැන් මේ වෙද්දි ටාගේරියන් පාලන සමයේ අවුරුදු 130 ක් විතර ගෙවිලා තිබ්බත්, උරුමය පිළිබඳ නීති හරියටම ලියවිලා තිබිලා නෑ. ඉතින් රැජිනක් පාලනය කරනවා කියන එක ඔවුන්ට ටිකක් අමුතු දෙයක් වුණා.

ඉතින් පිය රජු මැරුණ දාම දෙවෙනි ඒගොන් කුමන්ත්‍රණයක් කරලා කිංග්ස් ලෑන්ඩින් වල ඔටුනු පළඳිනවා. ඒ වෙනකොට ඊළඟට ඔටුන්න හිමි උරුම්මක්කාරයට නියමිත තැන වෙච්ච ඩ්‍රැගන්ස්ටෝන් වල උන්න රුනෙයිරා කුමරියත් ඒකට පිළිතුරු විදියට ඔටුනු පළඳලා ඒගොන් ද්‍රෝහියෙක් විදියට නම් කරනවා.

ඉතින් එකම පවුලේ සහෝදර සහෝදරියන් එකිනෙකාත්, ඔවුන්ගේ මකරුන් අනික් පැත්තෙ මකරුන් එක්කත් සටන් කරනවා. ඒ අතර ඇතිවෙන විවිධ කැරලි වලිනුත් බොහොම විනාශයක් සිදුවෙනවා. ඒ වගේම දෙපැත්තෙම මකරු විශාල සංඛ්‍යාවකුත් මිය යනවා. කොහොමහරි අවසානයේ දෙවෙනි ඒගොන් විසින් තම මකරාට, රුනෙයිරා කුමරියව ඇයගේ පුත්‍රයා බලාසිටියදීම, කන්න දෙනවා. ඒ වගේම දෙවෙනි ඒගොන් රජත් තම තුවාල හින්දා මාස කීපයකින් මිය පරලොව යනවා. ඊට පස්සෙ වෙන පිරිමි උරුමකරුවන් නැති හින්දා රුනෙයිරා කුමරියගේ පුත්‍රයා තෙවෙනි ඒගොන් නමින් රජ වෙනවා. ඔහුගේ රාජ සමයේ පසු කාලෙදී ඉතිරි ටාගේරියන් මකරුන් ස්වල්ප දෙනත් වඳවී යනවා. එතනින් පස්සෙ ආපහු මකරුන් ඉන්නෙ දැන් මකර මව වෙන ඩැනේරිස්ටයි.

ආරම්භය – 129 AL
අවසානය – 131 AL
ස්ථානය – වෙස්ටරොස්.
ප්‍රතිඵලය – කැරැල්ල ආරම්භ කළ දෙවෙනි ඒගොන් හා රුනෙයිරා යන දෙදෙනාම මිය යෑම.
– රුනෙයිරා ගේ පුත්‍රයා ඔටුනු පැළදීම.
– යළි යථා තත්වයට පත් වීමට පරම්පරාවක් ගත වූ විනාශයක් සත් රාජධානියට සිදුවීම.
– ටාගේරියන් මකරුන් අභාවයට යෑම.

————-

Conquest of Dorne

100-WarsOfChildrenAndFirstMen

මේ වෙනකම් ටාගේරියන් වරුන්ට ඩෝන් යටත් කරගන්න බැරි වෙච්ච බව අපි දැනගත්තනේ. මේ තමා සුළු කාලයකට හරි ඩෝන් සත් රාජධානියට යටත් කරගත්ත යුද්ධය. අපි විස්තර බලමු එහෙනම්.

කලින් සටනෙන් පස්සෙ මම කිව්වනෙ තෙවෙනි ඒගොන් රජගේ පාලන සමයේදී අවසන් මකරත් මියගිහින් මකරුන් වඳවෙලා ගිය බව. හැබැයි මේ සටනේ කතා නායකවා වෙච්ච එම රජුගේ පුත් කුමාරයට “තරුණ මකරා” නමින් නමක් පට බැඳෙනවා. ඊට හේතුව තමා ටාගේරියන් පළවෙනි රජතුමාටත් බැරි වෙච්ච ඩෝන් රාජ්‍යය එක මකරෙක්වත් නැතුව පළමු ඩේරොන් ටාගේරියන් යටත් කරගැනීම. ඒ වෙද්දි ඔහුගේ වයස යන්තම් අවුරුදු 14 ක් විතරයි. කලින් පාර වෙච්ච වැරදි මඟ ඇරවාගෙන ඔහු ප්‍රධාන බලකොටු මඟ හැරලා එළුවන් ගෙනියන මාර්ගයක් ඔස්සෙ එක පැත්තකින් එනකොට, ඔහුගේ සෙනවියෙක් අනෙක් පැත්තෙන් මූදෙන් ගිහින් ගොඩ බැහලා ඩෝන් වල බලකොටුව අල්ලාගන්න සමත් වෙනවා.

මින් පස්සෙ ඔහු එහි පාලනයට ටයිරෙල් වංශයේ ලයොනෙල් ටයිරෙල් නම් පාලකයා පත් කරනවා. හැබැයි මුල ඉඳන්ම ඩෝන් වැසියෝ ගරිල්ලා සටන් උපක්‍රම භාවිතා කරමින් ටාගේරියන් ලේ හලන්න සමත් වෙනවා. අවුරුදු 4 ක් විතර මෙහෙම සටන් කරන ගමන්ම විෂ නයි ලව්වා දෂ්ට කරවල පාලකයව මරා දැම්මට පස්සෙ ආපහු තරුණ මකරම යනවා ඒක ආපහු අල්ල ගන්න. මේ වෙලාවෙදිනම් ඩෝන් වැසියෝ යන්තම් අවුරුදු 18 ක් වෙච්ච ඒගොන් ටාගේරියන්ව මරල දානවා. එහෙම කරන්නේ සාමය වෙනුවෙන් එන විදියට සාකච්ඡාවකට ආපු වෙලාවක කියවෙනවා. මේ තරුණ මකරා එක්ක ඒ වෙලාවේදි Alester හා Ser Olyvar the Green Oak කියන කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයෝ දෙන්නත් එතෙනදි මිය යනවා. ඒ වගේම මකර නයිට් හෙවත් ඒමොන් නම් ආරක්ෂකයාව තුවාල ලබා අත් අඩංගුවට ගන්නවා.

ඒ විදියට මාටේල්වරු විසින් අවුරුදු 4 කින් පස්සෙ ආපහු ඩෝන් රාජ්‍ය සත් රාජධානියෙන් වෙන් කරගන්න සමත් වෙනවා. විස්තර වලට අනුව ඩෝන් අල්ල ගන්න ටාගේරියන් වරුන්ට මිනිස්සු 10,000 ක් අහිමි වෙද්දි ඒක රැකගන්න මිනිස්සු 50,000 ක් අහිමි කරගන්න වෙච්ච බව කියවෙනවා.

ඩේරෝන් ගේ මරණයෙන් පස්සෙ, අලුතෙන් රජකමට පත්වෙච්ච පළමු බේලෝර් ටාගේරියන් රජු ඩෝන් හා සමඟ සමාදාන වෙන්න තීරණය කරනවා. තම ඥාති සොහොයුරෙක් වූ මකර නයිට් හෙවත් ඒමොන් නම් තුවාල ලබා අල්ලා ගත් කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයාව බේරාගැනීමට සර්ප වලක හිස් පතුලෙන් ගමන් කළ බවත්, ඔහුට සර්පයන් දෂ්ට කළත්, ඔහුගේ ශුද්ධවූ කෙනෙක් නිසා ඔහුට කිසි හානියක් නොවූ බවත් පැවසෙනවා. හැබැයි ඉතින් ඕක උපමාවක් බවත්, සර්ප වල යනු ඩෝන් දේශය හා සර්පයන් යනු ඩෝන් වැසියන් බවත් කියවෙනවා.

කොහොමහරි ඔහු ආපහු කිංග්ස් ලෑන්ඩින් වලට ආවේ ද්විත්ව විවාහ ක්‍රමයක් යටතේ ස්ථිරසාර සාමයක් සඳහා අඩිතාලම දමිනුයි. ඒ තම ඥාති සොහොයුරෙක් වූ හා, බේලොර් රජුගෙන් පසුව රජකමට පත්වූ දෙවෙනි ඩේරෝන් ටාගේරියන් හා එවකට ඩෝන් පාලකයාගේ සොහොයුරිය වූ මීරියා මාටෙල් සමඟත්, පසුව තම සහෝදරිය වූ ඩැනේරිස් නම් කුමරියව ඩෝන් හී කුමාරයෙක් වූ මාරොන් මාටෙල් හට විවාහ කරදෙනවා. මෙසේ ඩෝන් අවසානයේ 197 AL හිදී නිල වශයෙන් සත් රාජධානියට එකතු වෙනවා.

ආරම්භය – 157 AL
අවසානය – 161 AL
ස්ථානය – ඩෝන්, වෙස්ටරොස්.
ප්‍රතිඵලය – පළමු ඩේරොන් ටාගේරියන් ඩෝන් යටත් කර ගැනීම.
– පසුව ඇතිවූ කැරලි වලින් පළමු ඩේරොන් ටාගේරියන් මියගොස්, ඩෝන් නැවතත් ස්වාධීන වීම.

————-

Blackfyre Rebellion

100-WarsOfChildrenAndFirstMen

ටාගේරියන් රාජ වංශයේ 11 වෙනි රජු වෙච්ච IV වෙනි ඒගොන් හෙවත් නොවටිනා ඒගොන් නම් රජුගේ කල් ක්‍රියාව හින්දා වෙච්ච කැරැලි මාලාවක් තමා මේ බ්ලැක්ෆයර් කැරැල්ල කියන්නෙ. ඇත්තටම ඔක්කොම කැරලි 05 ක් සිදුවෙනවා. අවසාන එක ගැන අපි ඊළඟ එකෙන් බලමු. මුලින්ම කැරැල්ලට හේතුව බලමු.

IV වෙනි ඒගොන් හෙවත් නොවටිනා ඒගොන් හට ස්වජාතක හා අවජාතක දරුවන් බර ගාණක් උන්න බව කියවෙනවා. රජුගේ මරණ මංචකයේදී ඔහු තම අවජාතක ළමයින් හැම දෙනාවට ස්වජාතක තත්වය උසස් කරනවා. ඉතින් එයින් උසස්ම කෙනා වෙච්ච ඩේමොන් බ්ලැක්ෆයර් තමා සිංහාසනයට නියම උරුමක්කාරයා බව පවසමින් ඔවුන් එසොස් හී සිට කැරලිගහන්න ගන්නවා ස්වජාතක උරුමක්කාරයා වෙච්ච දෙවැනි ඩේරොන් ටාගේරියන්ට විරුද්ධව. මේ කැරලි 05, අවුරුදු 60 ක් තිස්සෙම විටෙන් විට ඇතිවූ ඒවායි.

ඉන් මුල්ම එක විශාලම එක වුණා වගේම සාර්ථක වෙන්න ඔන්න මෙන්න ළඟටම ආව එකත් වුණා. නමුත්Battle of the Redgrass Field නම් අවසාන සටනෙන් ඩේමොන් බ්ලැක්ෆයර් මිය යනවා. එයින් පළමු කැරැල්ල අසාර්ථක වෙනවා. ඩේමොන් සමඟම ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා වූ ඒගොන් හා ඒමොන් මිය යනවා.

දෙවෙනි කැරැල්ල (212 AL) සැලසුමෙන් එහාට යන්න ලැබුන් නෑ. එහි මූලිකයා වූ ඩේමොන් ගේ තෙවෙනි පුතාව පණපිටින් අල්ලාගත්ත හින්ද තමා එහෙම වුණේ.

තෙවෙනි කැරැල්ලට (219 AL) නායකත්වය ගත්තේ ඩේමොන් බ්ලැක්ෆයර්ගේ හතරවෙනි පුත්‍රයා වූ හේගොන් ගේ නායකත්වයෙන්. එවකට වෙස්ටරොස් වල පාලකයා වුණේ පළමු ඒරිස් ටාගේරියන් විසින්. මේ කැරැල්ල අවසාන වුණේ යටත් වෙච්ච හේගොන්ව මරා දැමීම මඟින්.

හතරවෙනි බ්ලැක්ෆයර් කැරැල්ල ඇතිවුණේ 236 AL අවුරුද්දෙයි. පළමු හේගොන් ගේ පුතා වෙච්ච තෙවෙනි ඩේමොන්ගේ නායකත්වයෙන්. එසොස් වල නිදහස් නගර වලින් සාදාගත් හමුදාවත් සමඟ වෙස්ටරොස් වලට ගොඩ බහිනවා. ඔහු බලාපොරොත්තු වෙනවා පළමු ජයග්‍රහණ කීපයකින් සමඟ වෙස්ටරොස් වල වංශ වලින් තම පැත්තට සහය ලැබෙයිද කියලා. හැබැයි මේ වෙද්දි බ්ලැක්ෆයර් මුල් කැරැල්ල වෙලා අවුරුදු 40 ක් ගෙවී ඇති නිසා, මේ වෙද්දි ඉන්න වංශවතුන්ට මේ හමුදාව පෙනුණේ අහුලගත්ත කුලි හමුදාවක් විදියටයි. Wendwater Bridge නම් සටනෙදි උසැති ඩන්කන් නම් නයිට්වරයා විසින් තෙවෙනි ඩේමොන් ව මරා දමා මේ කැරැල්ල නිම කරනවා.

පස්වෙනි හා අවසාන එකට වෙනම නමක් කියනවා. ඒ ගැන තමා මේ පහළ කියවෙන්නේ.

ස්ථානය – සත් රාජධානිය, වෙස්ටරොස්.
ප්‍රතිඵලය – සිංහාසනය කැරැල්ල පරදා ජය ගැනීම.

————-

War of the Ninepenny Kings

100-WarsOfChildrenAndFirstMen

මේ තමා අවසාන බ්ලැක්ෆයර් කැරැල්ල. මේ කැරැල්ල වෙන කාලේ වෙද්දි අපි රූපවාහිනි කතා මාලාවේ දකින සමහර චරිත අපිට හමුවෙන්න පටන් ගන්නවා. මේ කැරැල්ලට නායකත්වය දෙන්නෙ බ්ලැක්ෆයර් පරම්පරාවේ අන්තිමයා හා කැරැල්ල ආරම්භ කරපු ඩේමොන් බ්ලැක්ෆයර්ගේ මුනුබුරා විසිනුයි. ඔහුගේ නම මේලිස් බ්ලැක්ෆයර් නොහොත් යක්ෂ මේලිස් බව කියවෙනවා. ඒ වගේම වෙස්ටරොස් වෙත යන්න කලින් හරිහමන් හමුදාවක් නඩත්තු කරන්න ඕනා හින්දා ඔහු නිදහස් නගර වලදී කුලී හමුදාවක් පටන් ගන්නවා. ඒකේ නම රන් කණ්ඩායමයි.

එහි නායකත්වය දරපු මේලිස් විසින් තවත් මුහුදු කොල්ලකාරයෝ, ජාවාරම්කාරයෝ හා එකිනොකි සියලු දෙනා එක්ක හදාගත් හමුදාවෙට වෙස්ටරොස් වල උසුළු විසිලු නම් පට බඳිනවා. ඒ අනුව තමා බොහොම අපිළිවෙළ සුළු හමුදාවක් කියල ඇඟවෙන්න Ninepenny කියන නාමය යෙදෙන්නේ.

මේ හමුදාවෙන් මුලින්ම කරන්නේ ලිස් හා මිර් අතර තියෙන හැමදා කාටද අයිති කියන තර්කයට පදනම් වෙච්ච භූමිය අල්ලාගන්නවා.

100-WarsOfChildrenAndFirstMen

එතන ඉඳන් අර මම කලින්ම පළමු මිනිසුන් වෙස්ටරොස් වලට ආව හා පසුව Children of the Forest වරුන් විසින් දූපත් පෙළක් කළ Stepstones නම් දූපත් පෙළ හරහා වෙස්ටරොස් වෙත ආක්‍රමණය දියත් කිරීම තමා ඔවුන්ගේ අරමුණ වුණේ.100-WarsOfChildrenAndFirstMen

හැබැයි වෙස්ටරොස් වලට පය තියන්න කලින් ටාගේරියන් වරුන් විසින් අර Stepstones හිදී ආක්‍රමණික හමුදාවට මුහුණ දෙනවා. විශේෂයෙන් බ්‍රෙන්ඩන් ටලී (නෙඩ් ස්ටාක් විවාහ කරගත් කැට්ලින් ටලීගේ මාමා) හා සර් බැරිස්ටන් සෙල්මි (කවුද කියලා කියන්න ඕනා නෑනේ. පහුගිය කොටසක ඩැනේරිස් ගාව ඉන්නකොට හාපිගේ පුතුන් අතින් මිය ගිය කෙනා) දක්ෂ ලෙස සටන් කළ බව කියවෙනවා. විශේෂයෙන් බැරිස්ටන් සෙල්මි තමා ද්වන්ධ සටනකින් බ්ලැක්ෆයර් පරම්පරාවේ අන්තිමයා වෙච්ච මේලිස් බ්ලැක්ෆයර්ව මරා දාල මේ කැරලි මාලාව සදහටම අවසාන කරල දාන්නේ.

අපි මීට කලින් දැකපු අය ගැන සදහන් කරනවා නම්, මේ සටනට කලින් දා තමා ටයිවින් ලැනිස්ටර් (සර්සිගේ තාත්තා) නයිට් පදවියෙන් පුද ලබන්නේ. ඒ වගේම ඔහු හා සමඟ සටන් කළ බාල සොහොයුරා වූ කේවන් ලැනිස්ටර් සටන අවසානයේ නයිට් පදවියෙන් පිදුම් ලැබෙනවා. ඔවුන් දෙදෙනා සටන් කළේ ඒරිස් කුමරුගේ හමුදාවේ. මේ කියන ඒරිස් කුමරු තමා පසු කාලෙක පිස්සු රජා වෙන්නේ. ඔහු තමා අපි දන්න ඩැනේරිස් ටාගේරියන්ගේ තාත්තා. ඒ වගේම සර් බැරිස්ටන් සෙල්මිව පසුකාලෙක මේ දක්ෂකම් හින්දා කිංග්ස්ගාර්ඩ් සේවයට උසස් කරනවා. ඒ වගේම, ලිට්ල්ෆින්ගර් හෙවත් පීටර් බේලිෂ් ගේ පියා, ටලී වරුන් සමඟ හිතවත් වීම නිසා කුඩා පීටර් බේලිෂ්ව ටලි වරුන් සෙවණේ ඇති දැඩි වෙන්න ඉඩ දෙනවා. ඕකට ගිහින් තමා ඔහුකැට්ලින් ස්ටාක් එක්ක පෙමින් වෙළෙන්නේ. (හැබැයි ඇයට බඳින්න වෙන්නෙ නෙඩ් ස්ටාක් ව. ඔය ආදර කතාව හින්දා තමා පීටර් තාමත් ස්ටාක් වරුන්ට කැමති)

ආරම්භය – ~259 AL
අවසානය – ~259 AL
ස්ථානය – වෙස්ටරොස් හා එසොස් අතර ඇති ස්ටෙප්ස්ටෝන් නම් දූපත් පෙළේ.
ප්‍රතිඵලය – සිංහාසනය කැරැල්ල පරදා ජය ගැනීම.
– බ්ලැක්ෆයර් පරම්පරාවේ අවසානය.

——————-

Reyne Rebellion

100-WarsOfChildrenAndFirstMen

මේ තමා සර්සිගේ පියා වූ ටයිවින් ලැනිස්ටර්ගේ බලපරාක්‍රමය දසත විහිඳුවන්න හේතු වෙච්ච කැරැල්ල. ටයිවින් හා කේවන් War of the Ninepenny Kings යුද්ධයෙන් පස්සෙ නයිට්වරුන් වෙලා ආපහු වෙස්ටලෑන්ඩ් වල කාස්ට්ලිරොක් බලා යන්නේ තම පියාණන් වූ ටයිටස් ලැනිස්ටර් විසින් පවුලේ ධනය වැඩකට නැති ආයෝජන වල යොදෝලා විනාශ කළා වගේම අපකීර්තියට පත්කරපු තම පවුලේ නම්බුව රැකගැනීමේ අභිප්‍රායෙන්. මේ කාලේ සර්සි කියන්නෙ කුඩා ළමයෙක් බව කියවෙනවා. කොහොමහරි ටයිටස්ගේ දුර්වල පාලනයට එරෙහිව ඔවුන්ගේ උපවශයක් වගේම වෙස්ටර්ලෑන්ඩ් වල දෙවෙනියට ධනවත්ම පවුල වෙච්ච කස්ටමියර් වල රෙයින් වංශය විසින් ලැනිස්ටර් වරුන්ට විරුද්ධව කැරැල්ලක් ඇති කරනවා. මුලින්ම ඔවුන් ටයිටස්ව විනිශ්චයකාරයන් ඉදිරියේදී අපකීර්තියට පත් කළාට පස්සෙ තමා කැරැල්ල ගහන්න පටන් ගන්නේ.

රෙයින් වංශයේ සලකුණ වුණේ රතු සිංහයායි. ලැනිස්ටර් වරුන්ගේ සලකුණ රන් සිංහයායි. ඒ හින්ද තමා මේක සිංහයන් අතර සටනක් බවට සලකුණු වෙන්නේ. කොහොමහරි ඒ කැරැල්ල බොහොම දරුණු විදියට මර්දනය කරන්නෙ බොහොම කපටි, තරුණ ටයිවින් විසින්. ඒකෙන් තම පවුලේ ගෞරවය ආපහු ඇතිකරගන්න ටයිවින් සමත් වෙනවා. එම පරපුරේ කුඩා ළමයා වෙනකම් සියලුම දෙනාව මරා දාල ඒ වංශය සදහටම ඉවත් කරලා දානවා. ඒ දරුණු මර්දනයෙන් පස්සෙ පස්සෙ “ලැනිස්ටර් වරු කවදත් තම ණය ගෙවනවා” කියන ඔවුන්ගේ ප්‍රසිද්ධ පවුලේ ආදර්ශ පාඨයට නරක පැත්තට තේරුමක් එකතු වුණා කියලා කියවෙනවා. හැබැයි එම වංශයේ නිල ආදර්ශ පාඨය වෙන්නෙ Hear Me Roar! කියන එකයි. ඒ වගේම අර මර්දනයෙන් පස්සෙ තමා The Rains of Castamere කියන ප්‍රසිද්ධ සිංදුව ගෙතෙන්නෙ.

ආරම්භය – ~260 AL
අවසානය – ~260 AL
ස්ථානය – වෙස්ටලෑන්ඩ් හී කස්ටමියර්.
ප්‍රතිඵලය – රෙයින් වංශයේ අවසානය.
– වෙස්‍ටලෑන්ඩ් හී බලය ආපහු ලැනිස්ටර් වරු සම්පූර්ණයෙන් සතු කර ගැනීම.

———

Defiance of Duskendale

මෙනමින් හැඳින්වෙන්න සටන සිදුවුණේ 276 AL සමයෙදීයි. මේ කාලේ රජකම් කළේ අපි නිතරම කතා කරන දෙවෙනි ඒරිස් ටාගේරියන් නම් රජතුමායි. එහෙම කිව්වට වැඩියෙ මත්කෙට ආවෙ නැතුවට පිස්සු රජා කිව්වොත් නම් නිකන්ම මතක් වෙයි නේද? හැබැයි මේ දෙවෙනි ඒරිස් ටාගේරියන් රජතුමා 259 AL වල්දී රජකමට පත්වෙන කොට එහෙම ස්වභාවයක් තිබිල නෑ. ඇත්තෙන්ම ඔහු රාජ්‍ය පාලනය පටන් ගන්නේ බොහොම සුභවාදි විදියටයි. ඔහුගේ පියාගේ හා සීයාගේ කාලේ ඉඳන්ම රාජ සභාවේ උන්න මහලු අයව අයින් කරලා තරුණ ශක්තිමත් අයව ඒ වෙනුවට ආදේශ කරපු බව කියවෙනවා. ඉතින් ඔහුගේ රාජ්‍ය සමය මුලින් හොඳ විදියට ආරම්භ වුණත් පසුව තමා ඔහුට පිස්සු වැටෙන්නේ. එහෙම පිස්සු වැටෙන්න හේතුවුණේ මේ සටන කියල කියවෙනවා.

සටන ගැන කතා කරන්න කලින් කියන්න ඕනා, මේ රජුගේ පුරෝහිත හෙවත් හෑන්ඩ් ඔෆ් ද කිංග් විදියට උන්නේ ටයිවින් ලැනිස්ටයි. ඔහුව ඒ තනතුරට බඳව ගත්තේ අපි කලින් කතා කරපු රෙයින් වංශය විසින් ඇති කරපු කැරැල්ල මර්ධනය කරපු ආකාරය ගැන පැහැදිලා කියල කියවෙනවා. ඉතින් මේ අතරතුරේදී ටයිවින්ට ඕනා වෙනවා තමාගේ දියණිය වෙච්ච අපි හැමෝම දන්න සර්සිව පිස්සු රජාගේ පුතා හා ඊලඟ උරුමක්කාරයා වෙච්ච රේගාර් ටාගේරියන්ට බන්දලා දෙන්න. හැබැයි පිස්සු රජා කරන්නෙ ඒක ප්‍රතික්ෂේප කරල ඩෝන් වලින් කුමාරිකාවක්ව රේගාර්ට බන්දල දෙනවා.

ඩන්කන්ඩේල් වල ඩෙනිස් ඩාක්ලින් නම් සාමිවරයා රජුට බදු ගෙවීම ප්‍රතික්ෂේප කරලා නව නගරයක් හා තම වැසියන්ට අයිතිවාසිකම් වගයක් ඉල්ලා සිටිනවා. මේ වෙලාවෙදි රජු තීරණය කරනවා, තමන් සමඟ අමනාපයෙන් ඉන්න ටයිවින් ව පැත්තකින් තියලා, තමුන්ම ගිහින් මේ ප්‍රශ්නය විසඳන්න. ඉතින් රජු කුඩා සේනාවක් එක්ක යනවා ඩෙනිස් ඩාක්ලින්ව මරල දාන්න. හැබැයි වෙන්නෙ ඩාක්ලින් රජුව තම බලකොටුවෙ හිර කර ගන්න එකයි.

ඊට පස්සෙ ටයිවින් විසින් විශාල සේනාවක් අරගෙන බලකොටුව වටකළත්, ඔහුට මුකුත් කරගන්න ලැබෙන් නෑ මොකද ඔහු එක අඩියක් හෝ තිබ්බොත් රජුව මරන බව කියන නිසා. මෙන්න මේ වෙලාවේ බැරිස්ටන් සෙල්මි හොරෙන්ම බලකොටුවට රිංගල රජුව බේරගන්න සමත් වෙනවා. ඊට පස්සෙ ප්‍රාණ ඇපකාරයෙක් නැති ඩාක්ලින් සාමිවරයා ගේට්ටු ඇරල ජීවිත දානය ඉල්ලුවත් ඔහුව හා ඔහුගේ පවුලේ සියලු දෙනාව ඝාතනය කරනවා. ඒ වගේම ඔහුට උදව් කරපු ඔහුගේම උප වංශයක් වෙච්ච හොලාර්ඩ් වංශයටත් අත්වෙන්නෙ ඒ ඉරණමමයි. හැබැයි බැරිස්ටන් සෙල්මිගේ ඉල්ලීම හින්දා කුඩා ළමයෙක් වෙච්ච ඩොන්ටොස් හොලාර්ඩ්ව බේරනවා. ඒ තමා ජොෆ්‍රි රජුගේ කවටයෙක් වෙලා ඉඳලා, බේලිෂ්ගේ උපදෙස් පිට සන්සව මඟුල් ගෙදර දා පිටමන් කරන කෙනා. මතකයි නේද බේලිෂ් අන්තිමේ ඔහුවත් මරල දානවා.

කොහොමහරි මේ සිදුවීමේන් පස්සෙ රජුගේ මානසික ස්වභාවය වෙනස් වෙන්න ගත්තා කියල කියවෙනවා. මේ අතර තමා පිස්සු රජා ටයිවින්ගේ පුතා වෙච්ච ජේමිගෙ දස්කම් දැකලා ඔහුව කිංග්ස්ගාර්ඩ් ආරක්ෂක සේවයට බඳවගන්නවා. ඕකට ටයිවින් බොහොම අවුල් යනවා. මොකද ඔහුට එතකොට ඉතුරු වෙන්නෙ පවුල ගෙනියන්න කොට ආදිපාදව විතරයි. මෙන්න මේ හිත් අවුලත් එක්කම තිබ්බ නොහොඳ නෝක්කාඩුව තවත් උග්‍ර වෙලා ටයිවින් තම තනතුරෙන් අස් වෙලා කාස්ට්ලි රොක් වෙතට ආපහු යනවා.

ආරම්භය – 276 AL
අවසානය – 276 AL
ස්ථානය – ක්‍රවුන්ලෑන්ඩ් හී ඩන්කන්ඩේල්.
ප්‍රතිඵලය – ඩාක්ලින් හා හොලාර්ඩ් වංශ වල අවසානය.

———-

ඊළඟට අපිට තියෙන්නෙ බොහොම රසවත් හා විස්තර වලින් පිරුණු රොබට් බැරැතියන්ගේ කැරැල්ලයි. මේක වෙස්ටරොස් වල ඉතිහාසයේ ප්‍රමුඛතම සිදුවීමක් මෙන්ම අපි නිතර නිතර කතා කරපු හා වෙනත් කාරණා වලදී නිතරම ඇදිල ආව සටනක්. මේ සිද්ධිය වෙන්නේ රූපවාහිනී කතා මාලාවේ පළමු කොටස පටන් ගන්න හරියටම අවුරුදු 17 කට විතර කලිනුයි. ඉතින් ඔන්න මේ සටනේ වෙච්ච සිදුවීම් ටික එකින් එක බලන එක ලබන සතියට කල් දාමු. එදායින් මේ ලිපි පෙළ අවසාන වෙනවා.

ඔයාල අහපු ප්‍රශ්න වල පිළිතුරු මම ඉදිරියේදී ලබාදෙන්නම් මේ ලිපි මාලාව ඉවරයක් කරලම. සමහර විට ඒ වෙද්දි ඒ සමහර ප්‍රශ්න වලටත් පිළිතුරු ලැබෙයි. බලමු ඉස්සරහට.

පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

[divide style=”2″]

ලිපියරොයිලි ප්‍රනාන්දු

මව් අඩවියේ ලිපිය හා මෙතනින් සම්බන්ධ වන්න.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ (398 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 398 posts and counting.See all posts by tisaran

Leave a Reply

Your email address will not be published. Required fields are marked *