බයිස්කෝප් සිංහලෙන් 06 – Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E21-22] | ශීල්ඩ් Vs ඉන්හියුමන්ස්…

MAofshield-NEW

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 21 සහ 22 කොටස් දෙකේ එකතුවයි. ඒ වගේම මේ තමයි දෙවන කතා සමයේ අවසානය. කතාංග 22 කින් සමන්විත වුනු මේ දෙවන කතා සමය අවසන් වන්නේ, කතා මාලාවේ තුන්වන කතා සමයක් පැමිණෙන බව තහවුරු කරමින්. එහෙනම් ආරාධනා කරනවා හැමෝටම ටිකක් දිග ලිපියක් කියවන්න එකතු වෙන්න කියලා. හදිස්සිකාරයෝ ටික නම් කතාව නරඹයි. ඒත් කතා සමයේම අවසානය සනිටුහන් වන නිසා ඉල්ලා සිටිනවා, ලිපිය කියවලාම මේ අවසන් කොටස නරඹන්න කියලා.

මුලින්ම හැමෝටම යෝජනාවක් හැටියට කියන්න කැමතියි ඔයාලා පළ කරන අදහස් මීට වඩාසංවාදාත්මක වෙනවා නම් හොඳයි කියලා. විශේෂයෙන්ම මේ ශීල්ඩ් කතා මාලාව කියන්නේ, මාර්වල් සිනමාරූපී විශ්වයේම එක් කොටසක්. ඒ නිසා සංවාදාත්මකව, කතා මාලාව සිනමාරූපී විශ්වය හා සම්බන්ධ වන්නේ කොහොමද, ඒ වගේම නැරඹූ කතාංගය සම්බන්ධව ඔයාලා දරන අදහස්, බයිස්කෝප් අඩවියේ රසිකයින් සමඟ සංවාදයකට ලක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ වගේ එකිනෙකට සම්බන්ධතාවයන් ඇති කතා මාලාවල් නිකන් බලන්නන් වාලේ බලලා වැඩක් නෑ කියලයි මම හිතන්නේ. එහෙම බැලුවා කියලා උපරිමෙන් රසවිඳින්න ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපේ අඩවියෙන් පළ කරන චිත්‍රපට හෝ කතා මාලාවලට ලැබෙන අදහස්, ස්තූතියකට පමණක් සීමා වෙනවා. බොහෝ විට ඒ ලබා දෙන උපසිරැසියට කෙරෙන ස්තූතියක් වෙන්න පුළුවන්. නමුත් බයිස්කෝප් සිංහලෙන් කියන්නේ නිකන්ම සිංහල උපසිරැසි පමණක් ලබා දෙන වෙබ් අඩිවයක්නෙවෙයි. ඒ අදාළ සිනමා නිර්මාණය හෝ රූපවාහිනී කතා මාලාව සම්බන්ධයෙන් විස්තරාත්මක ලිපියක් අපේ බොහෝ උපසිරැසිකරුවන් ලබා දෙන්නේ, ඒ පිළිබඳ දැනුවත් වගේම නොදැනුවත් ප්‍රේක්ෂක පිරිසට අදාළ සිනමා නිර්මාණය හෝ රූපවාහිනී කතාංගය මොන වගේ එකක්ද යන්න පැහැදිලි කරන්නටයි. විශේෂයෙන්ම බයිස්කෝප් මංසලෙන් ඒ කාර්ය සිදු වෙනවා. ඒ නිසාවෙන් හැමෝටම පුළුවන් ඒ අදාළ නිර්මාණය ගැන ඔබේ අදහස් හරහා අපේ අඩවියේ සංවාදයක් ගොඩනඟන්න. ඇත්තටම ශීල්ඩ් කතා මාලාවත් එක්ක ඒ විදියේ සංවාදයක් ගොඩනඟන්න උත්සහ කරපු කීප දෙනෙක්ම එකතු වෙලා හිටියා. හැබැයි දැන් ඒ අයත් කාර්ය බහුල වෙලා වගේ. කොහොම නමුත් හැමෝගෙන්ම ඉල්ලන්නේ කතා මාලාව සම්බන්ධයෙන් හෝ උපසිරැස සම්බන්ධයෙන් ඔබට දැනෙන දේ අඩවියේ පළ කරන්න. ඒ අදහස නිකන්ම උපසිරැසිය වෙනුවෙන් කරන ස්තූතියකට සීමා කරන්න එපා. ඒ රැල්ලෙන් එළියට එන්න කියලයි ඉල්ලන්නේ. සමාවෙන්න ඕනේ අද කතාංගය ගැන විස්තර කරන්න කලින් අදහස් සම්බන්ධයෙන් යමක් කීව එක ගැන. මුලින්ම මේ ගැන කිව්වේ, බොහෝ විට වැඩි දෙනෙක් ලිපියේ මුල විතරක් කියවන නිසයි. කතා මාලාවේ තුන්වෙනි කතා සමයේදීවත් රසිකයින් මේ ගැන සලකල බලයි කියලා හිතෙනවා. හොඳයි හැරෙමු එහෙනම් කතාමාලාව පැත්තට.

දෙවන කතා සමය ආරම්භය හා පළමු අදියර

ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමය ආරම්භ වුනේ බිඳ වැටුනු ශීල්ඩ් සංවිධානයේ සුන් බුන් අතරින් නැඟී සිටිමින් නැවතත් එය ශක්තිමත් කරන්නට සැරසෙන අධ්‍යක්ෂ කොල්සන් ප්‍රමුඛ කණ්ඩායමේ අලුත් වීමත් එක්ක. කණ්ඩායමට අලුතින් සාමාජිකයින් කීප දෙනෙක් එක් වුනා. පරීක්ෂක හාර්ට්ලි, (අවාසනාවන්ත ලෙස මිය ගියා) , පරීක්ෂක හන්ටර්, පරීක්ෂක මැක්, ඒ වගේම පස්සේ මොකින්ග්බර්ඩ් හෙවත් පරීක්ෂක බොබී මෝර්ස් එයත් කණ්ඩායමට එකතු වෙලා හිටියා. ඒ වගේම නිකන්ම පරිගණක හැකර්කාරියක් හැටියට තම දක්ෂතා පෙන් වූ ස්කයි, පරීක්ෂක මේ ගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලබලා තිබුණා. වෝර්ඩ් අමානුෂික විදියට මුහුදුට තල්ලු කරපු නිසාවෙන් ඇති වූ ආබාධය හේතුවෙන් ෆිට්ස් හොඳ සෞඛය තත්වයකින් සිටි බවක් පේන්න තිබුණේ නැහැ. ඒ වගේම සීමන්ස් හයිඩ්‍රාවන් සමඟ ශීල්ඩ්හි ඔත්තුකාරියක් හැටියට සේවය ආරම්භ කරලා තිබුණා.ඔය විදියට පටන් ගත්ත ශීල්ඩ් දෙවන කතා සමයේ ප්‍රධානම කාර්යභාරය වුනේ හයිඩ්‍රාවන්ගේ ප්‍රධානිකයෙකු වුනු වයිට්හෝල්ගේ වැඩ කටයුතු වලට බාධා පැමිණවීමයි. ඒ අතරතුර කතා සමය කොල්සන් ප්‍රමුඛ කරගනිමින් දිග හැරෙන්න ගත්තා. දිවැස් ඇත්තා, එහෙම නැත්නම් පරීක්ෂක ගැරෙට් විසින් ඇඳි පිටසක්වළ සටහන් දැකීම නිසාවෙන්, අධ්‍යක්ෂ කොල්සන්ද තම කණ්ඩායමට රහසින් එවැනි සටහන් අඳින්නට පටන් ගෙන තිබුණා. එය රහසක් නොවුනේ පරීක්ෂක මේට පමණයි. කොහොම නමුත් ඒ පිටසක්වළ සටහන් වල රහසින් අනාවරණය වුනේ, එය ක්‍රී නම් පිටසක්වළ ජීවි කොට්ඨාශය විසින් තැනූ දෙවොලක් ඇති නගරයක් පෙන්වන සිතියමක් බව. කියන්න අමතක වුනු තවත් වැදගත්ම කාරණයත් වුනේ ස්කයිගේ පියා, හෙවත් කැල් සැබෝ, කතාවට අවතීර්ණ වීමයි. GH-325 කියන පිටසක්වළ සංයෝගය ශරීර ගත වීම නිසාවෙන් පරීක්ෂක කොල්සන් ඇතුලු එය ලබා ගත් අනෙක් සියලු දෙනා පිටසක්වළ සටහන් අඳින්නට පටන් ගත්තත්, ස්කයිට එවැනි දෙයක් සිදු වුනේ නැහැ. ඒ නිසාවෙන් වගේම කැල් සැබෝගේ මැදිහත්වීමෙන් ස්කයි දැනගන්නවා, තමන් සැබෑවටම මනුෂ්‍යයෙක් පමණක් නොවන බව. වයිට්හෝල් සතුව තිබුණ ඔබෙලිස්කය යොදා ගනිමින් ස්කයිට ඇයට ලැබෙන්නට තිබුණු බලය ලබා දීමයි කැල්ගේ අරමුණ වුනේ. කොහොම නමුත් දෙවන කතා සමයේ පළමු අදියරය අවසන් වුනේ, කොල්සන් යථා තත්වයට පත් වෙමින් වගේම ස්කයි සහ රෙයිනා යම් කිසි පරිවර්තනයකට ලක් වුනු බව පෙන්වමින්. ඒ වගේම වයිට්හෝල් සහ පරීක්ෂක ට්‍රිප්ලෙට් මිය ගියා මතක ඇති.

දෙවන කතා සමය දෙවන අදියර

දෙවන කතා සමයේ දෙවන අදියරය දිග හැරුණේ තනිකරම ස්කයි මුල් කරගනිමින්. පෝටෝ රීකෝ වල ක්‍රී දෙවොල තුළ දී ඔබෙලිස්කයේ විධාරණයට නිරාවරණය වන රෙයිනා, ස්කයි සහ ට්‍රිප්ලට් තිදෙනා අතරින් රෙයිනාගේ සහ ස්කයිගේ ජිවිතයට හානියක් නොවුනත්, ඔබෙලිස්කයේ ලෝහ කොටසක් වැදීම නිසාවෙන් පරීක්ෂක ට්‍රිප්ලෙට් අඟුරු වී මිය යනවා. ශීල්ඩ් කණ්ඩායම විසින් ස්කයිව නිරෝධායනයට ලක් කරන අතර ඔවුනට රෙයිනාව අල්ලාගන්නට හැකි වන්නේ නැහැ. මීදුමට නිරාවරණය වුනත් ස්කයිට බාහිරව වෙනස්කමක් සිදුව තිබුනේ නැහැ. නමුත් ශරීර අභ්‍යන්තරයේ ඩී.එන්.ඒ වල විශාලා වෙනස්කමක් සිදුවී ඇති බව ෆිට්ස් අනාවරණය කරගත්තත් එය කණ්ඩායමේ අනෙක් අයට කියන්න යන්නේ නැහැ. ඒ ස්කයිගේ ජීවිතයට තර්ජනයක් ඇති වේ යැයි විශ්වාස කරමින්. කොහොම නමුත් අභ්‍යන්තරව පරිවර්තනයකට ලක්ව සිටි ස්කයිට ලැබිලා තිබුන බලය වුනේ, තමන් වටා ඇති වස්තූන් කම්පනය කරවීමේ හැකියාව. නමුත් ඇයට එය පාලනය කිරීමේ හැකියාවක් තිබුනේ නැහැ. කොහොම නමුත් අවසානයේදී කණ්ඩායමේ සෙසු පිරිස එය දැනගන්නවාත් සමඟම කොල්සන් තීරණය කරනවා ඇයව ආරක්ෂිත නිවාසයක් වෙත අරගෙන යන්නට. ඇත්තටම මේ ස්කයි කියන්නේ මාර්වල් කොමික් චරිත වල ප්‍රධාන චරිතයක් වන ඩේසි ජොන්සන් කියන කාරණය මම පළමු අදියරයේ ලිපි වලින් ඔයාලට කිව්වා මතක ඇති. ඒ වගේම ඩේසිගේ පියා තමයි කැල් සැබෝ. රෙයිනා වැඩ කළේ කැල් එක්ක. මීදුමට නිරාවරණය වීම නිසාවෙන් රෙයිනා භෞතිකව බොහෝ සෙයින් වෙනස්වීමකට ලක් වෙලා තිබුණා. හරියට ඉත්තෑවෙක් වගේ. මල් මල් වත හැඳි කත කියලනේ අපි එයාව හැඳින්නුවේ. ඒ වුනත් ඒ ලස්සන නැත්තටම නැති වෙලා තිබුණා. තමන්ට සිදු වූ වෙනස්කම ඇයට දරාගන්නට නොහැකි නිසාවෙන් කැල් සොයා යනවා. නමුත් ඇයට ඔහුගෙන් උදව්වක් ලැබෙන්නේ නැහැ. ජීවිතය ගැන කලකිරෙන ඇය සිය දිවි නසාගන්න උත්සහ කළත්, දෙවන කතා සමයේ පළමු අදියරේ අවසානයේ දකින්න ලැබුනු ඇස් නොමැති පුද්ගලයා පැමිණ ඇයට රැගෙන අතුරුදන් වෙනවා. ඒ ගෝර්ඩන් නම් ඉන්හියුමන්වරයා බව අපි දැන් දන්නවා.

මේ අතර පරීක්ෂක බොබී මෝර්ස් සහ පරීක්ෂක මැක් වෙනත්ම සැලැස්මක් ක්‍රියාත්මක කරන බවක් පෙනුනා. ඒ කොල්සන් ගැන ඔත්තු බලමින්. ඒත් ඔවුන් ඔත්තු බලන්නේ තවත් ශීල්ඩ් සංවිධානයකට බව පසුව එළිදරවු වුනා. පිටසක්වළ සංයෝගයක් ශරීර ගත වීම නිසාවෙන් කොල්සන් තව දුරටත් පෙර සිටි කෙනාම නොවන බවට විශ්වාස කරන ඔවුන් සේවය කරන්නේ, ගොන්සාලේස් නම් අණ දෙන නිළධාරියෙකුගේ ප්‍රධානීත්වයෙන් යුතු සැබෑ ශීල්ඩ් සංවිධානය ලෙස තමන්ව හඳුන්වා ගන්නා කණ්ඩායමකට බව දැකගන්න ලැබුනා. ඒ වගේම ඔවුන් කොල්සන් සතුව තිබුණ මෙවලම් පෙට්ටියත්, කොල්සන් ඇතුලු කණ්ඩායම සිටි කඳවුරත් තමන්ගේ බාරයට පවර ගත්තා. පරීක්ෂක මේ ගේ උදව්වෙන් කොල්සන් පැනගත්තත්, ෆිට්ස්-සීමන්ස්, පරීක්ෂක මේ ඔවුන්ගේ බාරයට පත් වෙනවා.

ගොන්සාලේස් විසින් බොබී මෝර්ස් ප්‍රමුඛ කණ්ඩායමක් යවනවා ස්කයිව අල්ලාගන්නට. නමුත් එම කණ්ඩායමේ තවත් ප්‍රධානියෙක් ස්කයිට වෙඩි තබනවා. ස්කයි විසින් නොදැනුවත්වම තම බලය පාවිච්චි කෙරෙන නිසාවෙන් ඇය වෙඩි ප්‍රහාරයෙන් බේරෙනවා. ඒ සමඟම ගෝර්ඩන් පැමිණ ඇයව රැගෙන යනවා. ස්කයිව රැගෙන යන්නේ, ඉන්හියුමන්වරුන් සිටින Afterlife නමින් හැඳින්වෙන ස්ථානයකට. එහිදී ඇයට තමන් වැනිම පිරිසක් සිටින බව දැකගන්න ලැබෙනවා. ඒ වගේම තමන් වැනි අයට එහි ආරක්ෂාව තිබෙන බවත් ඇය තේරුම් ගන්නවා. පසුව ඇය දැනගන්නවා, තමන්ගේ පියා, ඒ වගේම මව වන ජ්‍යායින්ග් නම් කාන්තාව සහ රෙයිනාත් එහි සිටින බව. හයිඩ්‍රාවන්ගේ මැදිහත්වීම නිසාවෙන් කොල්සන්ට හැකි වෙනවා, වෝර්ඩ්ගේද උදව් ඇතිව හයිඩ්‍රා මූලස්ථානයක රඳවා සිටි මයික් පීටර්සන් සහ ස්කයිගේ මිත්‍ර ඉන්හියුමන් කෙනෙක් වුනු ලින්කන්ව බේරගන්න. ඒ මෙහෙයුම සිදු කරන්නේ, ගොන්සාලේස් ප්‍රමුඛ සැබෑ ශීල්ඩ් සංවිධානයේ සහය ඇතිව. ගොන්සාලේස් එයට උදව් කරන්නේ, ෆියුරිගේ මෙවලම් පෙට්ටිය ඔහුට විවෘත කර දෙන බවට කොල්සන් පොරොන්දු වෙන නිසා. පරීක්ෂක මේ සහ කොල්සන් අතර විශ්වාසය පළුදු වී තිබුනේ කොල්සන් මෙවලම් පෙට්ටිය හා සම්බන්ධ කාරණා ඇයගෙන් සැඟ වූ නිසා. ඒ වගේම තීටා මූලලේඛය කුමක්ද ඇය විමසා සිටියත් කොල්සන් එය කියා සිටින්නේ නැහැ. ඇවෙන්ජර්ස් සිනමා පටය බලපු අය නම් ඒ මොකක්ද කියලා දැනගන්න ඇති. කොහොම නමුත් ගියවර කොටසින් ඒ කුමක්ද යන්න අනාවරණය කළා. මෙතෙක් ඇදී ආ ඉන්හියුමන්-ශීල්ඩ් ගණුදෙනුව ගියවර කොටසේදී තීරණාත්මක අඩියකට වැටුනා.

ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් සහ ඒජ් ඔෆ් අල්ට්‍රෝන් (A.O.S Vs A.O.U tie-in)

ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමය ඉන්හියුමන්වරුන් පාදක කරගනිමින් දිග හැරුණත්, Marvel Age of Ultron සිනමා පටය සමඟ එය සම්බන්ධ කරන්නට ඔවුනට සිදු වූයේ ප්‍රේක්ෂකයින් නොසිතූ මොහොතක. නමුත් ඒ පිළිබඳව ඔවුන් කල් තියාම සිතා තිබුණ බවක් පේන්න තිබුණේ කොල්සන්ගේ ලන්ඩන් සංචාරයන්, ෆියුරිගේ මෙවලම් පෙට්ටිය, සහ රෙයිනාගේ අනාගතය දැකීමේ හැකියාව යන කරුණු සම්බන්ධ කරගනිමින් වගේම හයිඩ්‍රා මූලස්ථානයෙන් කොල්සන් ලබාගත් දත්ත ඇසුරින් පරීක්ෂක මරියා හිල් හරහා, ශීල්ඩ් කතා මාලාව චිත්‍රපටයේ භූමිකාවට සම්බන්ධ කර තිබුණු නිසාවෙන්. විශේෂයෙන්ම තීටා මූලලේඛය කියන්නේ හෙලිකැරියර් එකක් කියන දේ ගිය සතියේ ශීල්ඩ් කතා මාලාව හරහා අපි දැනගත්තා. නමුත් එය ඇවෙන්ජර්ස් සිනමා පටයට සම්බන්ධ වන්නේ කොහොමද කියන කාරණය මම කියන්න යන්නේ නැහැ. මොකද තවමත් අල්ට්‍රෝන් සිනමා පටය බලපු නැති කෙනෙක්ගේ කුතුහලයට ඒක බාධාවක් වෙන්න පුළුවන් නිසා. කොහොම නමුත් ගියවර ශීල්ඩ් කතාංගයෙන් තේරුණු ආකාරයට සොකෝවියා වල සිදුවුනු විනාශය නවත්වන්න කොල්සන් ප්‍රධාන හේතුවක් වුනු බවයි පේන්න තිබුණේ.

ගියවර කොටස…

“Scars” නමින් හැඳින්වුනු ගියවර කොටස තීරණාත්මක කොටසක් බවට පත් වුනේ ශීල්ඩ් සංවිධානය හා ඉන්හියුමන් ප්‍රධානී ජ්‍යායින්ග් අතර පැවති හමුව නිසාවෙන්. ඒ හමුව නොසිතූ විරූ තැනකට පත් වුනේ, නිකන් Game of Thrones කතා මාලාවේ සිදු වන ආකාරයේ හැරවුමක් සිදු වුනු නිසාවෙන්. 😉 කතා මාලාවේ එපා කරපුම චරිතයක් බවට පත් වෙමින් සිටි ගොන්සාලේස් මිය යනවා. ඒ ජ්‍යායින්ග් විසින් ඔවුන් විසින් නිෂ්පාදිත ටෙරිජන් පළිඟුවක විධාරණයට ගොන්සාලේස්ව නිරාවරණය කිරීම නිසාවෙන්. සැබෑවටම ගොන්සාලේස් පැමිණියේ ශීල්ඩ් සංවිධානය හා ඉන්හියුමන්වරුන් අතර සාම සාකච්ඡාවකට බවයි පේන්න තිබුණේ. ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් හිතුවේ ඒ අවස්ථාවේ අවුලක් ඇති කරනවානම් එහෙම කරන්නේ ගොන්සාලේස් කියලයි. නමුත් ඉන්හියුමන්වරුන් සියලු දෙනාවම ලැයිස්තු ගත කරන්නට අවශ්‍ය බව ගොන්සාලේස් ප්‍රකාශ කරද්දී, තමන්ට වුනු දේ තමන්ගේ දුවටත් වෙන්න ඉඩ තියන්නේ නැහැයි කියලා තමයි ඇය ටෙරිජන් පළිඟුව බිඳින්නේ. අවාසනාවන්ත ලෙස ගොන්සාලේස් අඟුරු බවට පත් වෙනවා. ගොන්සාලේස්ගේම තුවක්කුවෙන් තමන්ගේ උරහිසට ජ්‍යායින්ගේ වෙඩි තබාගන්නේ, එතැන ඇති වූ සිද්ධිය සාධාරණය කරන්නයි. ඒ එක්කම ඇය ස්කයිට කියනවා යුද්ධය ආරම්භ වුනු බව.ඒ සිද්ධිය ඒ විදියටම සිදු වෙන බව රෙයිනා ප්‍රකාශ කළත් කිසිවෙකු ඇයව විශ්වාස නොකරන්නේ, ඇයගේ ඉතිහාසය හොඳ නැති නිසා බවයි පේන්න තිබුණේ. ඒත් ගියවර කොටසේ සිදුවීම් ගැලපුණු ආකාරය අනුව හිතාගන්න පුළුවන්කම තියෙන්නේ, රෙයිනා නිවැරදි බවයි. කොහොම නමුත් යුද්ධයක් වෙනුවෙන් තම පිරිස පෙළඹවීමට ජ්‍යායින්ග්ට පෙළඹවීම ලැබුනේ කැල්ගෙන් බවයි මගේ හැඟීම. මොකද කිව්වොත් ඇය හා ස්කයි වෙනුවෙන් පසුබට වීමකින් තොරව සටන් කරන්නට ඔහු එන බවක් තමයි කියවුනේ. කැල් සැබෝව කොමික් වල හඳුන්වන්නේ, Mr. Hyde විදියට. ඒ ඔහුගේ රාක්ෂ ස්වරූපය නිසාවෙන්. ඒ වගේම ගියවර කොටසින් අපිට හයිඩ් සංයෝගය යැයි සැක කළ හැකි සංයෝගයක් දැකගන්න ලැබුණා. කතා මාලාව නිමා වෙන මේ අවස්ථාවේ කැල් තමන්ගේ නියම ස්වරූපය පෙන්වාවිද කියන කාරණයත් අපිට දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

නැවත වරක් පරීක්ෂක මේ ලෙසින් වෙස් වලාගෙන සිටි කාරා, වොර්ඩ් සමඟ එකතු වෙලා බොබී මෝර්ස්ව පැහැරගන්නවා. ඔවුන්ගේ අරමුණ ඇත්තටම මොකක්ද කියන එක නම් අපැහැදිලියි. ඒ වගේම බොබී සහ හන්ටර් අතර ඇතිව තියෙන හිත් නොහොඳකම කුමන අතකට හැරේවිද කියන කාරණා ඔක්කොටම අද අවසන් කොටස් දෙකෙන් පිළිතුරු ලැබෙයිද කියලා හිතන්නත් අමාරුයි. තවත් සිද්ධියක් වුනේ මැක්ගේ ඉල්ලා අස්වීමයි. ඒක කතාවේ මේ අවස්ථාවේ අරගෙන ආපු හේතුව නම් කොහෙත්ම පැහැදිලි නැහැ. ගොන්සාලේස්ගේ මිය යෑමත් සමඟම කොල්සන්ට මොන වගේ තීරණයක් ගන්නට සිදු වෙයිද? ශීල්ඩ් සංවිධානය හා ඉන්හියුමන්වරුන් අතර යුද්ධයක් ඇති වෙනවා නම් අතරමැදියා බවට පත් වන ස්කයි කාගේ පැත්තක් ගනීවිද? පිළිතුරු අද අවසන් කොටසින් බලාපොරොත්තු වෙන්න.

අද කොටසින්…

ඔය උඩින් ලියලා තියෙන ඔක්කොම ලිව්වේ, අද කොටස බලන්නේ නැතිව. දැන් තමයි ඒක බැලුවේ. හිතාගන්න බැරි තරම් පුදුම විදියට මෙයාලා කතාව අවසන් කරලා තියෙනවා. මම උඩින් ඉතිරි කරපු ප්‍රශ්න සියල්ලටම සාධාරණ විසඳුම් ලැබෙනවා. ඒ එකක් ගැනවත් මම කියන්න යන්නේ නැහැ. උපරිම කුතුහලය තියාගෙන අද කොටස නරඹන්න. පැයයි විනාඩි 23 ක කාලයක් නොකඩවා ඇහි පිය ගහන් නැතිව කස්ටිය බලන් ඉඳීවි කියලා නම් විශ්වාසයි. මෙතෙක් ශීල්ඩ් කතා මාලාව තුළ කතා සමයන් දෙකේම විකාශය වුනු සුපිරිම කොටස අද කතාංගය කියලා කියන්න පුළුවන්. ඒ වගේම බොබී-හන්ටර්, මැක්, ෆිට්ස්-සීමන්ස්, කොල්සන්, ස්කයි, මේ, ඒ වගේම මේ කතා සමයේ මගේ ආසම චරිතය වුනු කැල් සැබෝ, මේ සියලු දෙනා අද කතාවේ වීරයන් වෙනවා. ඒ වගේම වෝර්ඩ්…? වෝර්ඩ් මොන වගේ දෙයක් කරයි..? මොන වගේ කෙනෙක් වෙයිද? පළමු කතා සමය අවසානයේ ඉතිරි වුනු ප්‍රශ්නය අලුත්ම මුහුණුවරකින් මෙවරත් අපිට ඉතිරි කරනවා. ඉන්හියුමන්වරුන් සහ ශීල්ඩ් සංවිධානය, ඔවුන්ගේ ඉදිරි පැවැත්ම කුමනාකාරයකින් විසඳේවිද? තුන්වන කතා සමයට එය බාරයි.

 

ලිපියයශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ

මව් අඩවියේ ලිපිය හා මෙතනින් සම්බන්ධ වන්න.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

One thought on “බයිස්කෝප් සිංහලෙන් 06 – Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E21-22] | ශීල්ඩ් Vs ඉන්හියුමන්ස්…

  • May 21, 2015 at 12:00 AM
    Permalink

    ඇත්තටම මන් අසාවෙන් බලපු කතාවක් තමයි මේක. මේ මාසේ ඇරෝ,ෆ්ලෑෂ් වගේම මේ කතාවත් අවසානය වෙන එක ගොඩක් හිතට දුකක්. 🙁 කොහොම උනත් කතාව ගැන කියනවනම් ඇත්තටම ම පර හිතාගන්නවත් බැරි විදියට කතාව වෙනස් වෙනවා. මමත් හිතුවේ නැහැ මෙච්චර කුතුහලයක් අවසාන මොහොත වෙනකන් මේ කතාවේ තියාගෙන අවසාන එපිසෝඩ් දෙක ගලාගෙන යයි කියල.කොහම උනත් සැහෙන්න හොදට වැඩේ කරලා තියෙනවා. දැන් කොල්සනුත් ඊලග කතමලාවේදී අලුත් මුහුණුවරකින් එයි කියල බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්කයිගේ තාත්තටත් අසාදාරනයක් වෙන්න නොදී එයට වෙන දේ ගැනත් සතුටු වෙන්න පුළුවන්. මන් ගොඩක් විස්තර කරන්නේ නැත්තේ වෙන දේවල් බලපු නැති කෙනෙක් ඉන්නවනම් එයාලගේ කුතුහලය එහෙමම තියාගන්න. ඇත්තටම ස්කයිගේ අම්ම අන්තිමට ස්කයිට අර ව්දියට කරන්නේ අයි කියන එකත් රෙයිනාට වෙන දේ ගැනත් තේරුම් අරගන්න අමාරුයි. විශේෂයෙන්ම රෙයිනා මෙච්චර කාලයක් පුරාවට ප්‍රදාන චරිතයක් වගේ ඉදලා අවසාන මොහොතේ ඒ වගේ දෙයක් එයට මර්වේල්ස්ලා කරපු එක ගැන පුදුමයි.. කොහොම උනත් ලිපිට ස්තුති. නැවත හමුවෙමු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *