Gotham – 01×06 – Spirit of the Goat ***Spoilers***

අද කතාව ගොඩක් විශේෂයි කියලා හිතෙනවා. මොකද අපි නොහිතන ගොඩක් දේවල් මේ පාර කතාවේ තියෙනවා. අපි බලමු අපේ අවධානය ගන්න තරම් වැදගත් දේවල් මොනවාද කියලා.
• පළවෙනිම කාරණය තමයි කතාව ආරම්භයේම අපිට හඳුවන්වා දෙන සතියේ දුෂ්ට චරිතය වෙන එළු ආත්මය එහෙමත් නැතිනම් ස්ප්රිට් ඔෆ් ද ගෝට් කියන චරිතයත් එක්ක හෙළිවෙන හැරවි බුලොක් ගේ සැඟවුණු පැත්ත. මීට අවුරුදු දහයකට කලින් හාර්වි බුලොක් හැසිරිනු විදිහ අපිට මතක් කරලා දෙන්නේ වර්තමානයේ ගෝර්ඩන් ගේ හැසිරීමට සමාන චරිතයක්. බුලොක් කියන්නේ සර්ව සම්පුර්ණ යහපත් පුද්ගලයෙක් නෙවේ කියන්න අපි දැනගෙන හිටියා උණත් අතීතයේ දවසක බුලොක් කියන්නේ යහපත් අරමුණු තිබ්බ රහස් පර්ක්ෂකයෙක්. ඒවගේම තමයි ගෝතම් නගරයේ අඳුරු සෙවනැල්ලට යට වෙලා හිටියා උණත් බුලොක් ගේ හොඳ ගතිගුණ තවම ඉතුරු වෙලා තියනවා කියන කරණය කතාව ඇතුලෙන් අපිට දෙනවා. ඒ වගේම බුලොක් එයාගේ අතීතය ගැන පසු තැවෙනවා. තමන් එක්ක රාජකාරියේ ඉඳලා අබාධිත උණු සඟයා ගැන බුලොක් ගේ හිතේ තියන හැඟීමෙන් ඒක ප්‍රබලව දෙනවා.
මේ සතියේ අපරාදය විසදන්න වැඩිම වැඩක් කෙරුවේ බුලොක්. එයාගේ අතීතයේ ප්‍රශ්නයක් ආයමත් මතුවෙලා ආවටත් වඩා ගෝර්ඩන් ට තමන්ගේම කියලා විසදන්න තිබුණු ගැටළු ප්‍රමාණය මේ සතියේ වැඩියි.
• දෙදරලා ගියපු ගෝර්ඩන් සහ බාර්බරා දෙන්නගේ සම්බන්දය පොඩ්ඩක් යහපතට හැරෙනවා. දෙන්නම තේරුම් ගන්න දෙයක් තමයි අනිත් පුද්ගලයාට තමන් ගේ ඇතුළාන්තයට එන්න ඉඩ දෙන්න ඕනේ කියන එක. මතු පිටින් මොන ගැටළු තිබබත් බර්බාරා ගේ හිතේ ගෝර්ඩන් ගැන තියන ආදරේ අසීමිත එකක්. කතාව අවසානය දක්වාම බාර්බරා ගන්න උත්සාහය අපිට ඒක පෙන්නුම් කරනවා
• මේ සතියේ කතාවේ ලොකු තැනක් හිමි කරගත්ත කෙනෙක් තමයි එඩි නිග්මා. මම ගෝතම් ගැන මුලින්ම කියපු දවසේ කිව්වා මෙයා ගැන වැඩි විස්තර පස්සේ කියන්නම් කියලා. අද ඒ දවස ඇවිල්ලා තියනවා. අපිට මේ වෙනකල් පොඩි පොඩි ඉඟි හම්බුනා නිග්මා සහ එයාගේ තේරිවිලි ගැන. අද කතාව පුරාම අපිට ඒ ගැන දැනගන්න හම්බුනා. මේ වෙන කවුරුවත් නෙවෙයි ගෝතම් නගරයේ ඉන්න බැට් මෑන් ගේ තවත් ලොකුම හතුරෙක් වෙන රිඩ්ලර්. කාට හරි සැකයක් තිබ්බා නම් ඒ ගැන අද ඒකට හොඳම සාක්ෂිය හම්බුනා. ඒ තමයි රිඩ්ලර් ගේ සංකේතය වෙන “?” ලකුණ ගහපු කෝප්පය (#01 පින්තුරය). කතාව ඇතුලේ දීම අපිට මෙයා රිඩ්ලර් වෙන විදිහ බලා ගන්න පුළුවන් වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. දැනට අපි දන්නේ මෙයා වැඩ කාරයෙක් උණාට කව්රුත් මෙයාගේ ප්‍රහේලිකා වලට කැමති නෑ කියලා. ඊට අමතරව එක්තරා විදිහක මානසික අබාධයක් තියනවා වගේ මෙයාට. අර ගැහුණු ළමයා ගාව හැසුරුණු විදිහ අපිට මතක් කරලා දෙන්නේ එහෙම දෙයක්.
• මේ සතියේ පෙන්ගුවින් අපි දැක්කේ පොඩි කොටසක් උණාට ඒ කොටස ඇතුලේ අපිට පෙන්නුම් කරනවා ඔහු සමාජයේ පුද්ගලයන් ගැන දක්වන තරහා. ඒ වගේම තමයි ඔහු ගෝර්ඩන් විශ්වාස කරන්නේ ඇත්තටම. කතාව මුලදී අපිට එහෙම දෙයක් ගැන දැනුනේ නැතුවට දැන් නම් පෙන්ගුවින් සහ ගෝර්ඩන් අතර තියන මේ සම්බන්දය මේ සතියේ ගොඩක් වැදගත් සිද්දියක් උණා.
• ඒකත් එක්කම වගේ අපේ අවධානය ගත්ත අනික් කරණය තමයි මොන්ටයා – ඇලන් දෙන්නා අන්තිමේ දී කොහොම හරි ගෝර්ඩන් ව කොටු කරගන්න සමත් වෙනවා. මෙච්චර දවසක් ඔස්වල්ඩ් ඝාතනය පස්සේ ගියපු මේ අය අවසානයට ඒ සඳහා සාක්ෂි හොයා ගෙන ගෝර්ඩන් අත් අඩංගුවට ගත්තාම වෙන්නේ කවුරුවත් හිතපු නැති දෙයක්. ඒ තමයි පෙන්ගුවින් එතනට එනවා. මේ සිද්දියත් එක්ක ගොඩක් දේවල් වෙනවා. මෙච්චර දවසක් පුරාවට ගොඩ නැගුනු ගෝර්ඩන් – බුලොක් සම්බන්ධතාවයට මොකද වෙන්නේ, එතකොට ගෝර්ඩන් ගේ ජීවිතය දැන් අනතුරේ. එයාගේ විතරක් නෙවෙයි මේ සිද්දියෙන් ඔස්වල්ඩ් ගේ ජීවිතයත් අනතුරේ වැටෙනවා. තවත් වැදගත් සිද්දියක් තමයි ගෝර්ඩන් කියන්නේ යහපත් කෙනෙක් කියලා මොන්ටයා සහ ඇලන් දෙන්නාට තේරුම් යනවා. මේක කතාව පුරා යන තවත් දිග යාළුකමක ආරම්බය වෙන්නත් පුළුවන්. අපි ට මේ සේරම වලට පිළිතුරු ඉදිරි එපිසෝඩ් වලින් හොයා ගන්න පුළුවන් වෙයි.

අපි බලමු මේ සතියේ අපිට කතා කරන්න තියන කොමික් චරිත ගැන
• එඩ්වර්ඩ් නිග්මා / රිඩ්ලර් – මෙයා ගැන ආපහු ටිකක් කතා කරන්න වෙනවා. මතක ඇතිනේ මම කිව්වා මෙයාගේ ඇත්ත නම එඩ්වර්ඩ් නෑෂ්ටන් කියලා. පස්සේ තමයි නිග්මා කියලා හදා ගත්තේ. මෙයා ඉන්නෙත් ගෝතම් වල. වෙන කට්ටිය වගේ ඇඟ පතෙන් හරි බලයක් භාවිතා කරලා හරි නෙවෙයි මෙයා වැඩ පෙන්නන්නේ. මොලය පාවිච්චි කරලා. වැදගත්ම දේ තමයි පොර පොඩි හෝඩුවාවක් ඉතුරු කරනවා ඒ අපරාදේ විසදන්න. බැට් මෑන් ට ලෝක හිසරදයක් වුනු රිඩ්ලර් ගැන මෙහෙම කතා කරලා නම් මදි. අපි දවසක මෙයා ගැන සම්පුර්ණයෙන්ම කතා කරමු.
• ස්ප්රිට් ඔෆ් ද ගෝට් – කොමික් පොත් වල තියන චරිත ගැන වගේම කොමික් පොත් වලින් උපුටා ගත්තේ නැති චරිත ගැනත් මේ යටතේ කතා කරනවානේ. අද සතියේ ප්‍රධාන දුෂ්ට චරිතය වෙන ගෝතම් නගරයේ එළු ආත්මය ගැන නම් සඳහනක් අපිට කොමික් පොත්වල ලොකුවට නෑ.

අපි දැන් බලමු අපි දන්න කියන චරිත කොහොමද කොමික් පොතේ එන චරිත බවට හැරෙන්නේ කියලා.
• බ්රුස් වේන් – අද කතාවේ බ්රුස් පොඩි කොටසක හිටියේ. ඒත් ඔයාලට මතක නම් සෙලීනා වේන් මන්දිරයට හොරෙන් එනකොට බ්රුස් නිදාගෙන හිටියේ සෝපාවේ. අපි දන්නවා අනාගතේ දවසක බ්රුස් වේන් ගේ ඇඳ භාවිතයට ගන්නේම නැති තරම් නේ. ඉතින් දැන්ම ඉදන්ම අපේ පුංචි බ්රුස් ඒකට ලැස්ති වෙනවා.
• සෙලිනා – අද කතාවේ සෙලිනා පෙන්නුවෙත් පොඩි කොටසක. හැබයි ඒ ටික වෙලාවේ එයා වේන් මන්දිරයට රිංගලා බඩු වගයක් හොරකම් කරනවා. මේ අපි දන්න කියන කැට් වුමන් ගේ ගති ලක්ෂණ (#02 පින්තුරය)
• පෙන්ගුවින් – කොමික් ලෝකේ පෙන්ගුවින් කියන චරිතේ බිහිවෙන්නේ සමාජය තලලා පොඩි කරපු අහිංසකයෙක් ගෙන්. එයාට ඕන සමාජයේ තැනක් හදා ගන්න. මේ කතාව අද පෙන්ගුවින් එයාගේ කටින්ම කිව්වා. තවත් දෙයක් තමයි පෙන්ගුවින් කොමික් පොත් වල ඉන්නේ නියම විදිහට ඇදලා කරලා. අද කතාවේ අපිට ඒක ගැනත් පොඩිවට වගේ සඳහනක් දෙනවා.

අවසාන වශයෙන් කතාවේ හැංගිලා තියන පුංචි පුංචි දේවල් මොනවාද බලමු
• කළු වෙස්මුහුණ – කතාව මුලින්ම අපිට කළු පාට වෙස් මුහුණක් පෙන්නුම් කරනවා. ඒකේ එලියට නෙරාගෙන ආපු කන් දෙකත් එක්ක එක පාරටම පේන්නේ අපි දන්න කියන බැට් මෑන් ගේ වෙස් මුහුණ (#03 පින්තුරය)
• අපිට මේ පාර කතාවේ හුරුපුරුදු නම් කිහිපයක් ම ඇහුනා. එකක් තමයි රහස් පරීක්ෂක ඩික්ස්. dc කොමික් වල ඉන්නවා වර්ජිනියා ඩික්ස් කියලා චරිතයක් නම්. එච්චර ලොකු සඳහනක් නම් නෑ මෙයා ගැන හැබයි. මේ වගේම තමයි හේස්ටින් කියන නම. මොකද අපිට හම්බෙනවා මැරෝවුඩර් කියලා සතුරෙක් නම් හේස්ටින් කියන නම තියන.
• රහස් පරීක්ෂක ඩික්ස් බුලොක්ව හදුන්වනවා ලූස් කැනොන් සහ වයිට් නයිට් කියලා. ක්‍රිස් නෝලන් ගේ බැට් මෑන් ෆිල්ම් තුන බලලා තියනවා නේ සේරම. ඒ හින්දා වයිට් නයිට් ගැන කියන්නේ නෑ මම. ඒත් ලූස් කැනොන් කියන්නේ නම් dc ලගේ ඉන්න චරිතයක්. විශේෂත්වය තමයි මෙයත් බුලොක් වගේම රහස් පරීක්ෂකයෙක් (#04 පින්තුරය)
• අවසානයට මම හැමදාම සතියේ ජෝකර් චරිතයට සම්බන්ද ඊස්ටර් එග් එක ගේනවානේ. හැබයි මේ පාර නම් පැහැදිලි ඉඟියක් අපිට දකින්න හම්බුනේ නෑ. එකම ඉඟිය තමයි ඔස්වල්ඩ් කියන “පේන්ටඩ් ලේඩි” කියන සඳහන. ඒත් කලින් සති වල වගේ මේක පැහැදිලි ඉඟියක් නම් නෙවේ.

10906172_1528296030786737_6941220393797146815_n

(https://www.facebook.com/pages/Comic-Script/1519015728381434)

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *