ඉදිරි දිගහැරුම (LVI) | Dolphin Tale 2 – සෙනෙහස් මිතුදම…

Dolphin-Tale-UK-Poster

හොඳයි එහෙනම්, මේ කියන්න සූදානම් වෙන්නේ 2011 වසරේ නිකුත් වූ පවුලේ සැමට එකට ඉඳගෙන නරඹන්න පුළුවන් චිත්‍රපටයක දෙවැන්න ගැනයි. නමින්ම තේරෙන විදියට මේක ඩොල්ෆින් කෙනෙකු වටා ගෙතෙන අන්දරයක්. ඉතින් මම හිතනවා බොහෝ විට බොහෝ දෙනෙක් මේ ගැන අහලාවත් නැතිව ඇති කියලා. මොකද අපේ මව් විබපළින් සිංහල දීලා නැති නිසා වැඩි පිරිසකට මගහැරුණු එකක් වීමේ සම්භාවිතාව වැඩියි.  ඒ නිසා මේක ගැන ටිකක් විස්තරාත්මක දැනුවත් කිරීමක් කරන්නයි හදන්නේ අපත් එක්ක ගැවසෙන අයට සත්‍ය කතාවක් ඇසුරින් බිහිවුණ මේ ලස්සන නිර්මාණය ගැන අවබෝධයක් ලබා ගන්න ඉඩ සලස්වන්න. මුලින්ම මුල් නිර්මාණය ගැන විස්තර ටිකක් කියන්නම්…

Dolpin Tale 1

“පළමුවැනි චිත්‍රපටයේ කතා නායිකාව තමයි ‘Winter’.  ගැහැණු ඩොල්ෆින් කෙනෙක්. මෙයාගේ වරළ එයාට අහිමි වෙලා. ඒ වෙනුවට විශේෂයෙන් හදපු කෘත්‍රීම වරළක් තමයි එයාට පීනන්න උදව් වෙන්නේ. ඇමෙරිකාවේ ClearWater ජල-ජීවී සංරක්ෂණ මධ්‍යස්ථානයේ ඉන්න Winter එහාට ආවේ එයාගේ වරළ අහිමි වුණ අනතුරින් පස්සෙයි. ඒ මෙහෙමයි. දවසක් දා මේ ඩොල්ෆින්, ධීවරයෙකු අටවාපු උගුලකට පැටළිලා හිර වෙලා කරකියාගන්න දෙයක් නැතිව ඉන්නකොට එයාව දැකපු හොඳ මිනිස්සු කට්ටියක් එයාව බේරාගන අර කිව්ව සංරක්ෂණ මධ්‍යස්ථානයට භාර දුන්නා. හැබැයි ඒ වෙද්දිත් එයාගෙ වරළ ආපහු හදන්න බැරි තරම් හානි වෙලා. ඉතිං මෙයාගේ හොඳම යාළුවා වෙච්ච Sawyer‘ගේ අදහසකට අනුව බොහොම අමාරුවෙන් එයා වෙනුවෙන්ම සකසන කෘත්‍රීම වරළක් එයාට ලබා දෙනවා. තාත්තා හැර ගිය Sawyer සහ අම්මා අහිමි Hazel දෙන්නා තමයි මෙයා ගැන බලා ගන්නේ. Hazel‘ගේ තාත්තා Dr. Clay Haskett තමා මෙතන පවත්වාගන යන්නේ.

Dolphin Tale

ඔය අතරේ කුණාටුවකින් මේ ආයතනය විනාශ වෙනවා. ආයතනය වසා දමන්න ඔන්න මෙන්න තියෙද්දී ආයෙමත් Sawyer‘ගේ අදහසකින් පිළියමක් ලැබෙනවා. ඒ Sawyer‘ගේ පාදයක් අහිමි; පිහිනුම් ශූර නෑදෑ සොහොයුරා Kyle සහ වත්මන් පිහිනුම් ශූරයා අතරේ පැවැත්වෙන තරගයක් හරහා මේ වෙනුවෙන් මුදල් රැස්කිරීම. මේ ආබාධිතයන් දෙන්නාටම කෘත්‍රීම අංග සැපයුව Dr. McCarthy‘ගේ උපකරණ වල සවියෙන් මේ දෙන්නා එක්ව දක්වන හපන්කම් හින්දා අන්තිමේ ඒ කටයුත්තත් සාර්ථක වෙනවා.”

ඉතිං මම හිතනවා මම තීරණයක් ගන්න ඇති තරම් විස්තරයක් දුන්නා කියලා. ඒත් එක්කම අපේ උපසිරැසි සහෘදයන් වෙත, මේ වෙනුවෙන් උපසිරැසියක් එක් කරන්න කියලා ආරාධනයකුත් කරනවා කාගේත් රසවින්දනය උදෙසා. එහෙනම් දැන් බලමු දෙවැන්නේ කතාව ගැන. 

 

Dolphin-Tale-2-e

“ඇමෙරිකාවේ නීති රීති අනුව, සහජයෙන්ම සමාජශීලී සත්ත්වයෙක් වන ඩොල්ෆින්ලාව තනි කරන්න ඉඩක් නැහැ. ඒ කියන්නේ, ඩොල්ෆින් කෙනෙකු තනිව තබාගන්න අවසර නැහැ. ඉතින් කලින් සැරේ අලුතින් ආපු Winter‘ට අම්මා වුණ Panama; හදිසියේම මිය යනවා. ඒත් එක්කම තනි වුණ Winter‘ව වෙනත් නවාතැනකට රැගෙන යන්න වෙන එක වළක්වාගන්න, ඇගේ මිත්‍රයන් උත්සාහ ගන්නා අන්දම තමයි මේ වතාවේ චිත්‍රපටයට පදනම් වෙන්නේ. මේකත් ඇත්තටම ClearWater වල වෙච්ච සිද්ධියක් මත පදනම්ව ගොඩනැගෙන චිත්‍රපටයක් බවත් නිර්මාණකරුවන් සඳහන් කරනවා. 

1396904201000-DOLPHIN-TALE-2

ඉතිං මේ පාර Winter‘ගේ තනියට එන, Hope කියන ඩොල්ෆින් සිඟිත්තාට Winter අම්මා කෙනෙක් වෙනවා. අම්මා අහිමි වෙලා තනි වුණ Hope සහ Winter අතර ඇතිවන ළෙංගතු සෙනෙහසත්; ඒ අය වෙනුවෙන් කැපවන, මව්පිය සෙනෙහසේ අඩුව ගැන දන්නා අපේ Sawyer සහ Hazel දෙන්නාගේ දායකත්වයත් අතර ගොඩනැගෙන හෘදයාංගම ළබැඳි සිනමා නිර්මාණයක් දැකගන්නට අපට ඉක්මනින්ම අවස්ථාව සැලසෙනවා.”

Dolpin Tale 3

කලින් වතාවේ එකතු වුණ නළු-නිළියන් සියලුම දෙනා සහ තවත් අලුත් කිහිප දෙනෙකුත් මේ වතාවේ දැකගන්නට ඉඩ සැලසෙනවා. Morgan Freeman කියන නළුවාට කැමති අයට, මේ දෙකම මගහැර ගන්න හොඳ නිර්මාණ නම් නොවෙයි. ඔහුට අමතරව Nathan Gamble, Harry Connick, Jr., Ashley Judd, Kris Kristofferson කියන කට්ටියම යළිත් එකතු වනවා. ‘Dolphin Tale’ කියන පොත ඇසුරෙන් පළවෙනි එක තිරරචනා කළ, Karen Janszen සහ Noam Dromi මෙවරත් තිරරචනාව කරනවා. මුල් එක වගේම මේකත් අධ්‍යක්ෂණය Charles Martin Smith විසින්ම සිදුකොට තිබෙනවා. ඒ මුල් නිර්මාණය $ මිලියන 37ක වියදමකින් පසු ඇමරිකාවේදී $ මිලියන 72කුත් සහ අනෙකුත් රටවල $ මිලියන 23කුත් විදියට ලෝකෙන්ම $ මිලියන 95ක් උපයන්න සමත් වුණ බවත් නොකියාම බැහැ. ඒ වගේම මේ චිත්‍රපටය ඉහළ විචාරක ප්‍රසාදයක් දිනා ගන්නටත් සමත් වුණා 2011 වර්ෂයේදී. එනිසාම වන්නට ඇති බෙදාහරින Warner Bros. සහ නිපදවන Alcon Entertainment මෙලෙස දෙවැන්නක් ගැනත් හිතන්න ඇත්තේ. එහෙමනම්, දැනටමත් සියලු වැඩ කටයුතු අවසන් කර ඇති මේ චිත්‍රපටයත් ඉක්මනින්ම නරඹන්නට, අපේ මව් විබපළ හරහා අවස්ථාව සලසා දෙනකම් අපිත් මග බලාගෙන ඉන්නවා.

 

තිරයට එන දිනය: 2014 සැප්තැම්බර් 12

උදා (217 Posts)


One thought on “ඉදිරි දිගහැරුම (LVI) | Dolphin Tale 2 – සෙනෙහස් මිතුදම…

  • July 16, 2014 at 8:22 AM
    Permalink

    පලවෙනි එකනම් ටීවී එකෙන් බලල තියෙනවා..
    අනිවා දෙවෙනි ෆිල්ම් එකත් බලනවා………
    ස්තූතියි සහෝ දැනුවත් කිරීමට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *