ඉදිරි දිගහැරුම (LII) | Horrible Bosses 2 – ලොක්කං නැත්තං

Horrible-Bosses
මේකත් සුපිරි හිට් එකක් බවට පත්වෙච්ච කොමඩියක දෙවැන්න ගැනයි. 2011 වසරේ ආපු මේ චිත්‍රපටයත් බලාපොරොත්තු නොවූ තරම් ජනප්‍රිය බවක් ලබා ගන්නට සමත් වුණා. Seth Gordon ගේ අධ්‍යක්ෂණයක් වූ මේ චිත්‍රපටයේ තිබුණේ, තමන්ට මහා හිරිහාරයක් බවට පත්වෙච්ච වදකාර බොස්ලා තුන් දෙනෙකුගෙන් ගැළවෙන්න හිතන යාළුවෝ තුන්දෙනෙක් සැලසුම් කරලා තම තමන්ගේ බොස්ලාව මරන්න ගිහින් සිද්ධ වෙන වැඩ වගයක් තමයි. කොහොමින් කොහොම හරි අන්තිමේ සැලසුම් කරපු හැටියටම නොවුණත් වුවමනා කාරණේ ඉටු කරගන්න මේ අයට හැකි වුණා.
 
දැන් මේ යාළුවෝ තුන්දෙනාටම බොස්ලා කොච්චරට එපා වෙලාද කිව්වොත් එයාලා කාගෙවත් යටතේ වැඩ කරන්න කැමතිම නැහැ. ඒ වෙනුවට තමන්ලා තුන්දෙනා එක්කහු වෙලා තමන්ම තමන්ට බොස් වෙන්න හිතාගෙන මෙයාලා අළුත් වැඩක් පටන් ගන්නවා. ඒ වුණත් මේ හදිස්සියෙ කෝ ඕවා ඇති තරම් සල්ලි? ඔන්න ඔතෙන්දි තමයි  මෙයාලගේ පිහිටට අනුග්‍රාහකයෙක් එන්නේ. එයා මෙයාලගේ සමාගම වෙනුවෙන් සල්ලි දෙනවා. හැබැයි යටි අදහසකුත් හිතේ තියාගෙන…
 
ඉතින් මොකකින් මොකක් එයිද කියලා බලන්න නම් මේ දෙවැන්න තිරයට එනතාක් ඉන්න වෙනවා. හැබැයි ඒක එනකල් බලා ඉන්න එක හොඳයි ද? නැද්ද? කියලා තීරණය කරන්න ඔන්න අපි පුංචි උදව්වක් දුන්නා. එහෙනම් හරිනෙ? දැන් ඉතින් තියෙන්නේ මේ අලුත් ඈඳුතුව එන්න කලින් “ලොක්කං නැත්තං” පළමු වැන්නත් බලලා කාරිය ලෑස්ති පිට ඉන්න එකයි. 
 
පළමුවැන්නට එකතු වූ තුන් යහළුවන් ලෙසින් මෙවරත් Jason Bateman, Jason Sudeikis සහ Charlie Day රංගනයෙහි නිරත වනවා.හැබැයි ගියවර බොස්ලා තුන්දෙනා වෙනුවට මේ පාර ඉන්නේ බොස් කෙනෙකුයි, බොස් පුතෙකුයි. ඒ වුණත් පරණ බොස්ලාට සම්බන්ධ යම් යම් කාරණා තියෙන නිසා ඒ අයත් ඇතැම් තැන්වල දැකගන්නට ලැබෙනවා. ඒ නිසා පරණ බොස්ලා තුන්දෙනාගෙන් Jennifer Aniston සහ Kevin Spacey මෙවරත් දැකගන්නට හැකිවෙනවා. හැබැයි ගියපාර යාළුවන්ගේ වැරදුණ උපායක් හරිගිහිල්ලා මියගිය Colin Farrell නම් මේ පාර නැහැ.
 
හැබැයි ඉතින් පරණ බොස්ලා තුන්දෙනාටම හරියන බොස් කෙනෙකුයි, බොස් පුතෙකුයි ලැබෙනවා කියලා මම කලින් කිව්වන්නේ… ඉතින් අර කියපු අලුත් අනුග්‍රාහකයා හෙවත් බොස් මෙයාලාව රවට්ටලා, මෙයාලගේ නව ව්‍යාපාරය තමන් සතු කරගන්නවා. ඉතින් මේ පාරත් ඒකේ පළිය ගන්න යාළුවෝ තුන්දෙනා බොස් පුතාව උස්සනවා. උස්සලා කප්පම් විදියට තමන්ගේ ව්‍යාපාරය යළි අයත් කරගන්නා එක තමයි ඔවුන්ගේ උත්සාහය. 
 
මේ අලුත් බොස් විදියට දෙවරක් ඔස්කා ලාභී Christoph Waltz එක්කහු වෙනකොට බොස් පුතා විදියට Chris Pine එකතු වෙනවා. ඒත් එක්කම පහුගිය වතාවේ මේ යාළුවන්ට බොස්ලා මරන්න උපදෙස් දුන්න; හිටපු ඔත්තු කාරයෙක් වන, කාවවත් මරලා නැති දරුණු ගණයේ ඝාතකයෙක් වන Jamie Foxx සුපුරුදු චරිතයෙන්ම එකතු වනවා. Sean Anders අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයත් New Line Cinema සහ Rat Entertainment නිෂ්පාදනයක් ලෙසින් නිකුත් වනවා. පෙර පරිදිම බෙදාහැරීමේ කටයුතු Warner Bros. Pictures ඉටු කරනවා. 
 
2011 වසරේදී මෙහි පළමුවැන්න $ මිලියන 35ත් 37ත් අතර පිරිවැයකින් ඇමරිකාවේ මිලියන 117කුත්, විදේශයන්හි මිලියන 92කුත් උපයමින් ලොවපුරාම එකතු කළ මුදල මිලියන 210කට ආසන්න වූ නිසා මෙවරත් ඒ වගේම ජනප්‍රියත්වයක් එක්ක ලොකු මුදලකුත් උපයා දෙයි කියලා චිත්‍රපටයට සම්බන්ධ උදවිය බලාගෙන ඉන්නා බවත් කියැවෙනවා. ඉතින් “ලොක්කං නැත්තං” එක බලපු අයට දෙක බලන්න තව වැඩි කලක් ඉන්න වෙන එකක් නැහැ.
 
 
තිරයට එන දිනය: 2014 නොවැම්බර් 26
උදා (217 Posts)


One thought on “ඉදිරි දිගහැරුම (LII) | Horrible Bosses 2 – ලොක්කං නැත්තං

  • June 24, 2014 at 1:56 PM
    Permalink

    වාව්.. පලවෙනි එකනම් නියමයි. මේකත් එනකල් මග බලන් ඉන්නේ…
    ස්තූතියි සහෝ දැනුවත් කිරීමට වගේම ලිපියටත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *