කෝරා’ගේ තුන්වැනි වික්‍රමය ළඟදීම… [Update – බලන දිනය දැනගනිමු]

Avatar: The Last Airbender වලින් පසුව Nickelodeon නාලිකාවේ ඒ තැනට උරුමකම් කීවේ අපි කවුරුත් හොඳින් හඳුනන අවතාර් ඈන්ග්’ගේ යළි ඉපදීමේ කතාව රැගෙන ආ Avatar: The Legend of Korra දිසිරූ මාලාවයි. 
 
Book One(Air) හෙවත් පළමු කෘතියෙන්(වායූ) ඉදිරිපත් කෙරුණේ අවතාර් කෝරා තමන්ගේ අලුත් වගකීම භාරගන්නවාත් සමගම මුහුණදෙන්නට වූ ජනරජ නගරය කේන්ද්‍ර කරගත් බන්ධකයන් සහ සාමාන්‍ය වැසියන් අතර ඇති වූ ගැටුමත් සමග හටගත් සිදුවීම් වලටයි.
 
Book Two(Spirits) හෙවත් දෙවැනි කෘතිය(ප්‍රාණාත්ම) වෙන්වුණේ, උතුරු සහ දකුණු දියගෝත්‍රිකයන් අතර පැවති දිගුකාලීන ආරවුලත්, විරසක වූ ප්‍රාණාත්ම වල කලහකාරී බවත් අතරින් දිගහැරුණු කෝරා’ගේ සහ අවතාර් චරිතයේ ආරම්භය හා බැඳුණ අවතාර් වාන්’ගේ කතාව සඳහායි.
 
ඉතින් කෝරා’ගේ පුරාවෘත්තයෙ’හි පළමු කතාවාර දෙකම තරමක සමානකමක් දක්වන බව පැහැදිලියි. මේ මුල්ම කතාවාර දෙකම දිගහැරෙන්නේ සමාජ සහ දේශපාලනමය ඝට්ටන මුල්කරගෙනයි. මුල් කෘතියෙන් මිනිසුන් අතර ඇති බෙදීමක් හරහා ජනරජ නගරයෙහි ඇති වන කැරලි සහගත තත්ත්වයකුත්, පසු කෘතියෙන් ප්‍රාණාත්ම සහ මිනිසුන් අතර ඇති වන ඝට්ටනයක් මගින් ලෝකයට තර්ජනය කරන කුමන්ත්‍රණයකුත්, දැකගන්නට ලැබුණා. 
 
ඉතින් මේ පාර කෝරා මේ සමාජ-දේශපාලන කුමන්ත්‍රණ වලින් ටිකක් ඈත් වෙලා ලෝකය පුරා යන්නට සැරසෙන බව ආරංචි වනවා. ඒ කියන්නේ සුපුරුදු රටාවට වඩා වෙනස් විදියේ කතාවක් මේ පාර දැකගන්න ලැබෙනවා කියන එකයි. අවතාර් ඈන්ග්’ගේ වික්‍රමයන් මතකනම්; අන්න ඒ ආකාරයේ ක්‍රියාදාම සපිරි, අවදානම් ගහන සහ වික්‍රමයන්ගෙන් පිරුණු කතාවක් වේවි කියලා නිර්මාණකරුවන් කියා සිටිනවා.
 
ඔය තිබෙන ඔවුන් විසින් නිකුත් කරපු නිල පූර්වපටය බලලා ඒ ගැනත් අදහසක් ගන්නට පුළුවන් වෙයි. මේ වතාවේත් අවතාර් කෝරා’ගේ නායකත්වය සහිත අවතාර් කණ්ඩායම වන අසාමි, මාකෝ, බෝලීන් වගේම ටෙන්සින් සහ පවුලේ උදවියත් එකතු වනවා. ඒ එක්කම හොඳින්ම හුරුපුරුදු චරිතයක වැඩිහිටි මුහුණුවර රැගත් කෙනෙකුත් ඉන්නවා. 
පිළිස්සුම් කැළලක් සහිත මුහුණේ රාජකීය හිමිකරු වගේම, ආරම්භක අවතාර් කණ්ඩායමේ සාමාජිකයෙකුද වන අග්නි අධිපති “සූකෝ” තමා ඒ. ඔබට ඔහුව මේ පූර්වපටය තුළත් දැකගන්නට පුළුවන්.
 
ඉතින් මම කලින් කියපු විදියටම බොහෝ දෙනා අනුමාන කරන්නේ මේ පාර අග්නි අධිපති සූකෝ’ගේ සහාය නොලබා මුහුණ දිය නොහැකි තරම් දරුණු ලෝක ව්‍යාප්ත නපුරක් එක්ක කරට කර හැප්පෙන්නට අපේ අවතාර් පිරිසට සිදුවනු ඇති බව තමයි. 
 
ඒ වගේම මේ වතාවේ මින් පෙර නුදුටු ආකාරයේ බන්ධන හැකියාවන් රැසක්ම දැකගන්නට ලැබෙන බවත් නිර්මාණශිල්පීන් ඉඟි සපයලා තියෙනවා. ඊට අමතරව ටෙන්සින් සහ පවුලට විතරක්ම සීමා වී ගිය වායු බන්ධන හැකියාව හිටිගමන් තවත් බොහෝ දෙනෙකුට උරුම වී ඇති බවත් පෙනේවි. ඉතින් මේ පාර කුමකින් කුමක් සිද්ධ වන්නට යනවාදැ’යි කියන එක දැනගන්නට ඉවසීමෙන් බලා ඉන්න වෙනවා. හේතුව තවමත් මේ නිර්මාණය තිරගත වන දිනයක් තීරණය කර නැති එකයි.
 
ඒ වුණත් Legend of Korra – Book Three: ‘Change’ යන නමින් නම් කර ඇති මේ තුන්වැනි කතාවාරයේ සියලූම වැඩ කටයුතු අවසන් බව Michael Dante DiMartino සහ Bryan Konietzko කියන නිර්මාණකරුවන් සනාථ කර තියෙනවා. එනිසා හැකි ඉක්මනින් මේ නව කතාවාරය පුංචි තිරයට එන බවනම් සහතිකයි. ඇරත් මේ වසරේ ගිම්හාන ඍතුවේදී මෙය ආරම්භ කිරීමට නියමිත බව Nickelodeon නිල වශයෙන් දක්වන නිසා තව වැඩි කල් නොයවාම අපටත් කෝරා’ගේ නවතම වික්‍රමයේ රසවිඳගන්නට අවස්ථාව හිමි වෙන බවට සැකයක් ඇත්තේ නැහැ.
___________________________________________________________________________________________________________

හහ් හා… ඔන්න කෝරා එනතුරු බලාගෙන ඉන්නා අයට අලුත් ආරංචියක් කියන්න තියෙනවා. ඒ අපි කවුරුත් හිතූ තරම් කලක් කෝරා දැකගන්නට බලා ඉන්න වුවමනා නොවෙන බව. Nickelodeon නාලිකාව කෝරා’ගේ තුන්වැනි වික්‍රමය තිරගත වන දිනය නිල වශයෙන්ම හෙළිදරව් කරන්නට කටයුතු කර තියෙනවා. ඒත් එක්කම මුල්ම කොටස් දෙක ගැනත් පුංචි ඉඟියක් සපයලා තියෙනවා.

TLOK: Season 3 Main Title
TLOK: Season 3 Main Title

ගියවර අවසානයේදී ප්‍රාණාත්ම සහ මිනිසුන් අතර පැවති දුරස්ථ බව නැති කරලා දෙගොල්ලොම එකම ලෝකයක සහයෝගයෙන් එක්ව ඉන්නා එක හොඳ බව නිගමනය කළ කෝරා, ඒ සඳහා ඉඩ කඩ සලසමින් තීරණයක් අර ගත්තා ඔබටත් මතක ඇති. ඒ වුණත් කිසි දෙයක් ප්‍රශ්නයකින් තොරව ඉටු නොවන බව ඇයට වගේම අපටත් පළමු වැනි කොටසේදී පෙනේවි. සිව් මහා ජාතියෙන්ම හිටිගමන් වායු බන්ධකයන් මතුව එද්දී, ජනරජ නගරය ප්‍රාණාත්ම වල බලපෑමට නතුව අත්භූත කැලයකින් වැසී යන්නට පටන් ගන්නවා. මේ මුල්ම කොටසට දී ඇති නම “A Breath of Fresh Air” නැතිනම් “අලුත් හුස්ම පොදක්” යනුවෙන් නම්කර තියෙනවා.

ඉතිං; මේ ඕපපාතික වායු බන්ධකයන් එක තැනකට එකතු කර නැසී ගිය වායු ජාතිය යළිවරක් ප්‍රතිස්ථාපනය කරන්නට කෝරාත් ටෙන්සිනුත් වෙහෙස වන අතරතුරේ දී, කෝරා හෙවත් අවතාර් ගේ ජීවිතයට තර්ජනයක් ඇති වෙමින් තිබෙනවා. මහා භයානක සහ දරුණු අපරාධ සංවිධානයක මෙහෙයවීමෙන් අවතාර් සදහටම තුරන් කිරීමට කටයුතු සකස් වෙමින් තිබීම තමයි මීට හේතුව. දෙවැනි කොටසේදී දිගහැරෙන මේ විස්තර රැගත් කතාව නමින් “Rebirth of a Nation” නැතහොත් “ජාතියක යළි පිබිදුම” ලෙස හැඳින්වෙනවා.

මීට අමතරව තුන් වන කොටස “The Earth Queen”(“භූමි රාජිණිය”) යන නමින් නම්කර තිබුණත් ඒ ගැන විස්තරනම් කිසිවක්ම හෙළිකර නැහැ. ඒ වුණත් ඒ ගැනත් ඉක්මනින්ම දැනගන්නට ඉඩ ලැබෙන බව නම්, කිසිදු සැකයක් ඇත්තේ නැහැ.

Legend-of-Korra-Book-3-Change-Premiere-Date-Korra_q74_w570_h300

ඒ මිනිත්තු 90ක් පුරා මේ කොටස් තුනම එක දිගට විකාශය කරන්නට Nickelodeon නාලිකාව තීරණය කර තිබෙනා නිසයි. එහෙමනම් මෙතෙක් නොකියා සිටි රහස හෙළි කරනවා. ඒ තමා මේ අලුත් කතාවාරය විකාශය ඇරඹෙන දිනය. හරියටම කිව්වොත් ඒ මේ එළඹෙන සිකුරාදා නැතිනම්, ජූනි 27 වැනිදා. විකාශය ආරම්භය මුල්ම කොටස් තුනම එක දිගට බලන්නට ඉඩ සලසලා තියෙන්නේ, බැරිවීමකින් ස්පාඤ්ඤ භාෂාවෙන් කෙරෙන Nickelodeon නාලිකා විකාශය වෙතින් මේ කොටස් තුනම අන්තර්ජාලයට එක්කර තිබීම නිසයි.

ඉතිං, ජූනි 27 වැනිදා ඇරඹෙන නව කතාවාරය මුල් කොටස් තුනෙන් පසු යළි දැකගන්නට ඉඩ ලැබෙන්නේ ජුලි 11 වැනිදා සිට බවත් ඔවුන් සඳහන් කරනවා. අවතාර් ඈන්ග්’ගේ කාලයේදී ගොඩනැගුණු සුවපත් ලෝකය වසර 70කින් පසු යළි වරක් ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට අරගෙන. නිර්මාණකරුවන්ට අනුව අග්නි ජාතිය විසින් ගෙනගිය දරුණු යුද්ධයේ අනිටු විපාකවලට මුහුණ දුන් ලෝකයට උදව් දුන් අවතාර් ඈන්ග්’ගේ නොකිවූ කතාවත්; කෝරා’ගේ නව යුගයේ උදාවෙන් පසු කතාවත් මේ පාර දැකගන්නට ඉඩ ලැබෙනවා.

එහෙමනම් ඔන්න සුපුන් සහෝ? වා.මු. සහෝ? දෙන්නගෙන් කාගෙන්හරි අපට මේකට උපසිරැසි නම් ඕනෙමයි හොඳේ… :

උදා (217 Posts)


6 thoughts on “කෝරා’ගේ තුන්වැනි වික්‍රමය ළඟදීම… [Update – බලන දිනය දැනගනිමු]

  • June 30, 2014 at 12:52 PM
    Permalink

    appata siri meka enakan agili gena gena unne…ela ela

  • June 23, 2014 at 9:17 PM
    Permalink

    ස්තූතියි සහෝ දැනුවත් කිරීමට..

  • June 22, 2014 at 8:56 AM
    Permalink

    නියමයි සහෝ. අපිත් බලන් ඉන්නේ සීසන් 3 එනකම්.

  • June 18, 2014 at 4:39 PM
    Permalink

    ඇවටාර් නම් බැලුවා. තවම මේක බලන්න උනේ නැහැ. S03 එන්න කලින් බලන්න ට්‍රයි එක්ක දෙන්න ඕනි….

    ස්තූතියි සහෝ දැනුවත් කිරීමට..

  • June 18, 2014 at 12:05 PM
    Permalink

    (y)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *