The Man With the Golden Gun (1974) රන්-තුවක්කුවේ මිනිහා…

The Man With the Golden Gun (1974) FI

Roger Moore‘ගේ දෙවැනි 007 රංගනය ඇතුළත් මේ චිත්‍රපටිය 007 මාලාවේ 9 වැන්න. Guy Hamilton‘ගේ අධ්‍යක්ෂණයෙන් යුතු Bond චිත්‍රපට හතරක අවසානය සටහන් කරමින් තවත් Bond අධ්‍යක්ෂක යුගයක නිමාව සටහන් කළේ මේ චිත්‍රපටයෙන්. මෙය Ian Fleming‘ගේ මෙනමින්ම යුතු නවකතාවකින් යන්තම් පදනම හදාගෙන නිර්මාණය කෙරුණක්. තිරරචනය Richard Maibaum සහ Tom Mankiewicz විසින්. චිත්‍රපටයේ මුඛ්‍ය තේමාව ලෙස යොදාගෙන තිබෙන්නේ 1973 වසරේ ඉස්මතු වූ ‘බ්‍රිතාන්‍ය බලශක්ති අර්බුදය’. ගියවර චිත්‍රපටයට එකල දැඩිව මතුව ආ වර්ණභේදවාදී ගැ‍ටුම් කියන තේමාව යොදාගත්තා වගේ, මේ වර බ්‍රිතාන්‍යය එම වසරේ, මුහුණ දුන් බලශක්ති අර්බුදය තමා යොදාගැනුණේ. ඒ වගේම මේ චිත්‍රපටයේදී එකල දැඩි උන්මාදයක් බවට පත්ව තිබූ, සටන් කලා චිත්‍රපටයන්හි ආභාෂයත් දැකගන්නට පුළුවන්.

The Man With the Golden Gun (1974) 2

සියලුම Bond චිත්‍රපට අතරින් ඉතාමත්ම මැනවින්ම ප්‍රතිවාදියාගේ චරිතය ඉදිරිපත් කරන චිත්‍රපටය ලෙස මෙය සැලකෙනවා. Francisco Scaramanga කියන මෙවර දුෂ්ඨයා ලෙස රඟපෑමෙන් එකවන්නේ, Christopher Lee නමැති නළුවෙකුයි. ඔහු Bond නිර්මාතෘ Ian Flemming‘ගේ සුළු-සොහොයුරෙක්. මුල්වරට Bond චිත්‍රපට නිර්මාණයට පිවිසෙන විට Dr. No චරිතයටත් Flemming විසින් මොහුව යෝජනා කර තිබෙනවා. නමුත් Flemming නිතර අමතක වන ජාතියේ නිසා, Lee මේ ගැන නිෂ්පාදක දෙපළගෙන් විමසන විටත් ඒ සඳහා වෙනත් අයෙකු බඳවා ගෙන අවසන්.

මෙතෙක් කලක් එක්ව Bond චිත්‍රපට නිපැයූ Brocolli සහ Saltzman දෙපළගේ අවසන්, හවුල් නිෂ්පාදනය තමා මේ. හේතුව Saltzman සිය 50% අයිතිය EON මව්-සමාගමෙන් United Artists වෙත විකුණා දැමීම. ඒ ඔහු මුහුණ දී සිට මූල්‍ය අර්බුදයෙන් මිදීමට. මේ අනුව Bond‘ගේ අයිතිය ගැන මේ චිත්‍රපටයෙන් පසුව මතභේද පැනනැගුණා. එනිසා තමයි මෙතෙක් වසර 2ක් ලෙස තබා ගෙන ආ චිත්‍රපට දෙකක් අතර පරතරය, මේ චිත්‍රපටයෙන් පසු වසර 3ක පරතරයක් බවට පත්වුණේ.

The Man With the Golden Gun (1974)  1

පොතේ හැටියටනම් මේ කතාවත් අයිති Jamaica‘වට. නමුත් මේ වෙනකොට Dr. No සහ Live and Let Die දෙකම Jamaica භූමියේ රූගතකොට තිබූ නිසා, මෙවර දෙවේනි වතාවටත්, ඈත පෙරදිගට යන්නට කාලය හරි බව නිෂ්පාදකවරුන් විශ්වාස කළා. ඔවුනගේ මුල්ම සැලකිල්ල වුණේ, ඉරානයේ බේරූට් නගරය සහ වියට්නාමයේ ‘හා ලෝන්ග් බොක්ක’. නමුත් වැඩකටයුතු අරඹන්නට පෙරම ඉරානයේ යුද්ධයක් ඇරඹීම නිසා, ඒ අදහස අත්හැර දමන්නට ඔවුනට සිදුවුණා. ඉන් පසුව ඔවුන් යොමුවුණේ, තායිලන්තය සහ හොංකොං දෙසට. චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම්කරු ලෙස කටයුතු කළ, Peter Murton හට Phuket බොක්කේ පින්තූරයක් දක්නට ලැබීමෙන් පසුවයි ඒ සම්බන්ධව යෝජනා වුණේ. ඒ අනුව Thailand සහ Hong Kong යන දෙරට රූගත කිරීම්වලට ‍තෝරාගනු ලැබුවා. ස්ථාන පිරික්සීමකට ගිය Brocolli‘ට Hong Kong‘වල Victoria වරායේ, ගිළී ගිය බ්‍රිතාන්‍ය නැවක් වන, RMS Queen Elizabeth නැව අඩක් වතුරෙන් යටව තිබෙනු දක්නට ලැබුණා. ඒක දු‍ටුවහම ඈත පෙරදිග බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නියාමන කටයුතු සිදුකරන මූලස්ථානය බවට මෙය පත් කිරීමේ අදහසක් ඔහුට පහළ වෙලා තියෙනවා.

The Man With the Golden Gun (1974) 4

මේක ඉස්සෙල්ලාම හදන්න හිතල තියෙන්නේ, 1973. ඒ කාලෙ Mankiewicz ක‍ටු-පිටපතක් ලියල තියෙනවා. නමුත් එකල මේක නොකෙරුණ නිසා, මෙවර තනන්නට සූදානම් වෙද්දී ඔහුගේ අදහස් හිඟ වීම නිසා, තමයි Richard Maibaum පිටපත රචනයට එක්කරගෙන තියෙන්නේ. ඒ වගේම Scaramanga චරිතය මුලින්ම දීල තියෙන්නේ, Lee‘ට නෙමෙයි. Jack Palance නම් නළුවෙකුටයි. ඔහුගේ ප්‍රතික්ෂේපයෙන් පසුව වෙනතක යොමුවෙන විටයි Lee සැලකිල්ලට ලක් වුණේ. මේ පාර Bond කෙල්ලෝ එන්නේ Sweden වලින්. Britt Ekland සහ Maud Adams තමයි ඒ කෙල්ලෝ දෙන්නා.

The Man With the Golden Gun (1974) 5

චිත්‍රපටය සඳහා තායි’වල දූපත් දෙකක් යොදාගැනුණා. Ko Khao Phing Kan දූපත Scaramanga’ගේ සැඟවුම් ස්ථානය ලෙස යොදා ගැනුණා. Ko Tapu දූපත අදටත් හැඳින්වෙන්නේ Bond දූපත යන නමින්. සංචාරක අත්පොත්වල පවා මෙය එනමින් හඳුන්වා දෙනවා අදටත්. මෙහිදී මුයි තායි සටන් ජවනිකාද දැකගන්නට අපට ඉඩ ලැබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ අඩංගු වන, නිෂ්පාදකයන් පවා ආඩම්බර වූ ප්‍රයෝග දර්ශනයක් දක්නට ලැබෙනවා. ඒ AMC Hornet කාරයකින් අහස් පිම්මක් පනින අතරතුරේ, රවුමක් කරකැවීමේ දර්ශනය. මේ දර්ශනය පසු කාලීනව 2008 වසරේදී Top Gear නම් බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනේදී යළි නිර්මාණය කිරීමේ උත්සාහයක් දැරුවත් එම තැත ව්‍යර්ථ වී ගියා. ඒ වගේම මෙහි දුෂ්ඨයා සතු පියාඹන කාරයකුත් දැකගන්නට ලැබෙයි. එය සැබෑම පියාඹන කාර් මොඩලයක් ඇසුරින් තැනූවක් බවයි සඳහන. මෙහි එන තවත් අමුතු යෙදවුමක් තමා Scaramanga සතු Fun House එක. එය Fun House එකකින් නොනැවත, ඉන් ඔබ්බට යන Horror House එකක් බවටත් පත් කරන්නට හැකිව තිබෙන බව චිත්‍රපටය බලද්දී පෙනෙයි. මේ ගොඩනැගිල්ලේ විනාශය පෙන්වන අවස්ථාව සැබෑ ලෙසින්ම Pinewood චිත්‍රාගරයේ තැනූ දර්ශනතලයන් සහ Miniature එකක දර්ශන සමග මුසුකර සංස්කරණය කොට ගෙන තිබෙන්නක්.

The Man With the Golden Gun (1974) 6

“මෙහි එන සුවිශේෂතම අංගය තමයි රන්-තුවක්කුව. මෙවන් තුවක්කු 3ක් මේ වෙනුවෙන් සකසා තිබෙනවා. එකක් තනි තුවක්කුවක්, අනික කොටස් ගැළවිය හැකි එකක්, අනික සැබැවින්ම ක්‍රියාත්මක තුවක්කුවක්. මේක හදල තියෙන්නේ; කොටස් දෙකකට ගැළවිය හැකි උල්පත් පෑන් බඳක් (තුවක්කු බැරලය) + සිගරට් ලයිටරයක් (උණ්ඩ කුටීරය) + කමිස ක‍ටුවක් (කොකා) ලෙස භාවිතා කරගෙනයි. උණ්ඩ Scaramanga’ගේ බඳපටියේ ගාංචුවට අමුණා තිබෙන අයුරින් තමයි මෙහි සැලසුම නිමවුණේ. මේ තුවක්කුව සැබෑවටම වරකට කැරට් 23 එක් උණ්ඩයක් රඳවා ගත හැකි ලෙස සකසා තිබුණා. කැරට් 23 උණ්ඩ සැබැවින්ම මේ සඳහා යොදාගත් බව සඳහන්. 2008 වසරේ 20th Century Fox සමාගම පැවත්වූ මනාප විමසීමකදී චිත්‍රපටවල දු‍ටු හොඳම ආයුධ අතරින් 6 වැනි තැන හිමිකරගෙන තිබෙනවා. නමුත් පෙර කී රන්-තුවක්කු 03න් එකක් Elstree Props නම් සමාගමේ තිබී සොරාගෙන අති වග 2008 ඔක්තෝබර් 10 වැනිදා හෙළිකර ගැනුණා. එහි වටිනාකම පවුම් 80, 000ක්.”

The Man With the Golden Gun (1974) 3

මෙවර තේමා ගීත ගායනය ස්කොට් ජාතික ගායිකා Lulu තමයි කළේ. ඇය තමයි To Sir, With Love මුල් චිත්‍රපටයේ එකී ගීතය ගායනා කරන්නේත්. මේ චිත්‍රපටයට සංගීතය මුසුකරන්නට Barry‘ට ලැබිලා තියෙන්නේ සති තුනයි. එනිසා ඔහුත් පිළිගන්නා පරිදි Bond මාලාවට ඔහු මුහු කළ දුර්වලම සංගීත සංයෝජනය ඇත්තේ මේ චිත්‍රපටයේයි. ඒත් එක්කම මේ චිත්‍රපටයටත් Bond මාලාව තුළ හිමිවන්නේ බොහොම පහත් ස්ථානයක්. Bond මාලාවේ අසාර්ථකම සහ දුර්වලම චිත්‍රපට අතරින් අංක 01 මෙය ලෙස හැඳින්වෙන්නේත් එනිසාම වන්නට ඇති. IMDb හිදී 6.7ක අගයක් ලබා තිබුණත්, ආදායම් අතින් මෙය පෙන්නුවේ බොහොම පසුබෑමක්. US තුළ $ 20.1m සහ ලෝ-පුරා $ 97.6m ලෙස මිලියන 100කටත් අඩු සමස්ථ ආදායමක් තමයි මේ චිත්‍රපටයෙන් හිමිවුණේ. ඒ වුණත් $ 7m වියදමකට ඒ තරම නරක නෑ නෙහ්?

උදා (217 Posts)


One thought on “The Man With the Golden Gun (1974) රන්-තුවක්කුවේ මිනිහා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *