ඉදිරි දිගහැරුම… (XL) | Avatar 2 – පැන්ඩෝරාවේ සාගර ගැඹරට…

Avatar-Movie

ලොව ඉතිහාසගත සිනමාපටයක් වෙමින් වාර්තා රැන්දූ, Avatar (2009) James Cameron‘ගේ සිහින සිනමාව බව පැවසුණා. නමුත් දිගු කලක් පුරා හිත තුළ පාර පාරා කල් අල්ලා සිටි මේ නිර්මාණය පියවි ලොවට වරනැගීම කිසිසේත්ම ලෙහෙසි කටයුත්තක් බවට පත්වුණේ නෑ. ඒ හීනය සැබෑ කරගන්නට, විදුලොව පීරා නවමු තාක්ෂණයන් අත්පත්කරගන්නටත් ඔහු ඇතුළු ඔහුගේ කණ්ඩායමට සිදු වුණා. එසේ දැඩි වෙහෙසක් ගෙන සැබෑ කරගත් මේ හීනය තවමත් අහවර නෑ. ඔහු දු‍ටු මුළු හීනයම තවම අපට පෙන්වා ඉවර නෑ. එයින් 1/4ක් විතරයි ඔහු මේතාක් අප හමුවේ තැබුවේ…

ඇවටාර්'හි මුඛ්‍ය චරිතය
ඇවටාර්’හි මුඛ්‍ය චරිතය

හරියටම හරි! 1/4යි. තව 3/4ක්ම ඉතුරුයි. විහිළු නෙමෙයි; කලින් කියාපු විදිහට කොටස් 3කින් තමන්ගේ හීනය හමාර කරන්නට ඔහු සතු‍ටු නැතිලු. ඒ වෙනුවට ඒ හීනය කොටස් 4කින් සමන්විත හීනයක් බවට පත් කරන්නටයි, ඔහුගේ අභිප්‍රාය. මේ වන විටත් දෙවැන්නෙහි වැඩ ආරම්භ වෙලා. එහෙම කියන්නේ 2014 ඔක්තෝබරයේ සිට මේ රූගතකිරීම් අරඹන්නට සියලු කටයුතු සූදානම් කොට ඇති නිසා. මේ අනුබැඳි ත්‍රිත්ත්වය එකපිට-එකපිට-එකපිට රූගත කරන්නට යන නිසා, සාමාන්‍ය සිනමාපටයකට වඩා දිගුකලක් ගතවෙනවා මෙහි පෙර නිෂ්පාදන කටයුතු සඳහා. 2009න් පසු මේ දක්වාම, කැමරන් මේ කතාව ගොඩනගමින් එනවා, වසර 4ක් තිස්සේ.

Avatar-3

දැන් ඒ කටයුතුවල අවසානයකට ඇවිදිල්ලා ඔහු! දැන් කතාව ගොඩනැගීම බොහෝදුරට අවසන්. ඉතුරුව තිබෙන්නේ තිරයට සරිලන අන්දමින් වැඩිදියුණු කිරීම්(Fine-Tune) කිරීම විතරයි, ඒ සඳහා ඔහු පිටපත් රචකයින් සිව්දෙනෙකු බඳවා ගෙන තිබෙනවා. ඒ Josh Friedman [War of the Worlds (2005)], අඹු-සැමි තිරරචක යුවළක් වන Rick Jaffa සහ Amanda Silver [Rise of the Planet of the Apes], සහ Shane Salerno [Armageddon] යන අයවළුන්. මේ වනවිට Josh Friedman අධ්‍යක්ෂක Cameron‘ගේ මැදිහත්වීමත් අනුදැනුමත් ලබමින් Avatar 2 තිරපිටපත සකසමිනුයි ඉන්නේ. පිළිවෙළින් Rick Jaffa සහ Amanda Silver යුවළ තෙවැන්න ගැනත් Shane Salerno සිව්වැන්න ගැනත් වෙහෙසගන්නා බවයි හෙළිදරව් කොට ඇත්තේ.

Avatar-4

ඒ කියන්නෙ, දැන් Cameron නිදහස්, මේ වෙනුවෙන් අවැසි අනෙකුත් කටයුතු කෙරෙහි හිත යොදවන්නට! කලින් වතාවේ වගෙම, මෙවරත් විප්ලවීය තාක්ෂණික භාවිතයන් රෑසක් සිනමාකරණය වෙනුවෙන් හඳුන්වා දෙන්නටයි ඔහුගේ සූදානම. තවමත් 3 සහ 4 ගැන පිළිවෙළින් 2017 සහ 2018 තිරගත කරන්නට යන බව හැර, වෙනත් කිසිවක් හෙළි කොට නෑ. Cameron ගේ ප්‍රකාශයන්ට අනුව දැනට අපට හිතාගන්නට වෙන්නේ, මේ 4වැන්න පෙරබැදියක් වීමේ ඉඩකඩක් පවතින බවක් තමයි. නමුත් මේ තාක් ඒ බව කිසිදු අයුරකින් ස්ථිර ලෙස ප්‍රකාශ කොට නැහැ. එනිසා 2වැන්න ගැන දැනගන්නට තිබෙන දේ කියන්නම්.

“දෙවැන්න තනිකරම විප්ලවයක්. සිනමාපටය, දියයට ගවේෂණය කරන්නටයි සූදානම. පැන්ඩෝරාවේ සාගර ගැඹරට දිවෙන කිමිදුම් චාරිකාවක අප ‍රැගෙන යන්නටයි මෙවර සූදානම. එනිසාවෙන්, දියයට රූගතකිරීම් පහසුවෙන් සහ නම්‍යශීලීව කළ හැකි අතිශය නවීන තාක්ෂණික ක්‍රමයක් මෙවරත් කැමරන් විසින් හඳුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මේ බව හෙළිවීමත් සමග, දැන් බොහෝ දෙනෙක් මගබලාගෙන ඉන්නේ Avatar 2‘හි කතාව කෙබන්දක්දැයි යන වග දැනගන්නටත් වඩා, දිගු කලක් තිස්සේ අපේක්ෂාවෙන් පසුවෙන Aquaman(ජලමිනිසා) නම් DC වීරයාගේ සිනමාගමනය වෙනුවෙන් මේ තාක්ෂණය කෙසේ බලපාවිදැයි යන්න කෙරෙහියි.”

Sam Worthington & Stephen Lang
Sam Worthington & Stephen Lang

ඒ කොහොමවුණත්, දෙවැන්නෙන් නැවතීමක් නැති නිසා, දැනට හෙළිදරව් වී ඇති පරාසයට වඩා අති මහත් පරාසයකට අයත් නව භාවිතයන් රෑසක් මේ නිර්මාණ ඇසුරින් ලෝකයට බිහිවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා. සිනමාවේ ඉදිරි ගමන් මග හැඩගැස්වීමටත් එමගින් දැඩි බලපෑමක් කරනු ඇතැයි යන්නයි ඔවුනගේ අදහස.

‘මුල් වතාවෙ අප දු‍ටුවේ, නාවී-මිනිස් ගැ‍ටුමකට මැදිවන නාවි-මූර්තියක් වූ මිනිසාගේ කතාවනේ. ඉතින් එවර නාවි-මිනිස් ගැ‍ටුමෙන් ස්වලෝකික නාවීවරුන් ජයගත්තා, ඔවුනගේ ඉ‍ටු දෙවියන් වූ කප්-රුකේ දායකත්වයත් ජේක් සුලී’ගේ මෙහෙයවීමත් නිසා. නමුත් තවමත් මේ ග්‍රහලොව ගැන කිසිවක් අප දන්නේ නෑ. මේ ගැන මෙතෙක් කිසිදු මිනිසෙකු දන්නා වැඩිම විස්තර ප්‍රමාණයක් දන්නේ Cameron‘ම විතරයි. 😛 ඒ නිසා තවමත් අපට මේ ලොවේ ගවේෂණය කළ යුතු තැන් බොහෝමයි. ඉන් එකක් තමයි මේ ලොව සතු අති විශාල සාගර කලාපය! එල්ලෙන දූපත්, වනාන්තර, කඳු-ප්‍රාන්ත, කප්-රුක සහ ඒ ආශ්‍රිත ස්නායු ජාලය තවත් කිහිපයක්. ඒ වගේම තවමත් අපට හෙළි නොවුණු, Cameron විතරක් දන්නා දෑ අනන්තවත් තිබෙන්නටත් හැකියි.’

Avatar-6

“ස්නායු ජාලය ගැන කියනකොට; ගියවර මියගොස් ඒ ස්නායු ජාලයේ මධ්‍යයට පිවිසුණ, විද්‍යාඥවරිය ගැනත් අමතක කරල බෑ. මෙවර ඈ කුමන හෝ ක්‍රමයකින් යළි ජීවය ලබන බව සඳහන්. එසේම ගියවර පපුවටම කා වැදුණු, ඊතල කිහිපයකින් මරු තුරුළට ගිය කර්නල්වරයාත් මෙවර යළි පණ ලබන්නටයි යන්නේ. ඒ කොහොමදැයි කියලානම් තවමත් හෙළිදරව් කොට නැහැ. නිසැකවම මේක විද්‍යා-ප්‍රබන්ධයක් වන නිසා, ඔනා තරම් ක්‍රම ඒ සඳහා තිබෙන බවනම් හරියට නියතියක් වගේ. මේ දලදඬු කර්නල්වරයාගේ චරිතය ඉදිරි මුළු කතාවම (2, 3, 4) ගොඩනැගීම කෙරෙහි අතීශය වැදගත් වන බව පමණයි දැනට කියලා තියෙන්නේ. ඒත් එක්කම කිසිකෙනෙකුන් හෝ කිසිසේත් අපේක්ෂා නොකරන අතකට මේ චරිතයේ ව්‍යාප්තිය සිදු වනු ඇති බවත් ඔවුන් කියනවා. කොහෙත්ම අපේක්ෂා නොකරන දේවල්/ තැන්/ වැඩ කෙරෙහි මේ චරිතය හේතු සාධක වනු ඇතැයි කියැවෙනවා.”

Avatar-7

නළු නිළියන් ගැන කිව්වොතින් Sam Worthington පුරුදු පරිදි යළිත් නාවී-මූර්තියක් වූ මිනිසා ලෙසත්, Zoe Saldana නාවී කුමරිය ලෙසත්, Sigourney Weaver පැන්ඩෝරාවෙහි සදාකාලික දිව්‍යමය නිවැසියෙකු බවට පත් විදුදරිය වන Dr. Grace Augustine ලෙසත්, Stephen Lang දලදඬු, Colonel Miles Quaritch ලෙසත් එක්වෙන බව සනාථ කර අවසන්. සෙසු චරිත සඳහා සුපුරුදු පිරිස යළි එක්වේවි. ඒ වගේම අලුත් චරිතත් බොහෝවක් හිඳීවි. ඒ එක්කම කිව යුතුයි Arnold Schwarzeneger එක්වන්නට යන බවට තිබූ කටකතාව Fox සමාගමෙන් ප්‍රතික්ෂේප කර තිබුණත්, තවමත් ඒ ගැන බලාපොරොත්තු නැත්තේම නැති බවයි විචාරක අදහස. ඇතැම්විට ඔවුන් කියන්නාක් මෙන් එය තවමත් තහවුරු කොට නැතුවා වන්නට ඇති. 😉 එහෙනම්ඉදිරියේ තව තවත් අරුම පුදුම කතාන්තර කිහිපයක් පැන්ඩෝරාවෙන් දැකගන්නට; එතෙක් ඉවසමු.

 

තිරයට එන දිනය: 2016 වර්ෂයේ අනිශ්චිත දිනයක්

උදා (217 Posts)


5 thoughts on “ඉදිරි දිගහැරුම… (XL) | Avatar 2 – පැන්ඩෝරාවේ සාගර ගැඹරට…

  • November 21, 2013 at 7:49 AM
    Permalink

    nice post…

  • November 20, 2013 at 8:14 PM
    Permalink

    පට්ටයි උදෝ…
    ඒත් 2016 වෙනකම් ඉන්නවා කියන එක තමයි කරන්න බැරි..
    බලමුකෝ…
    ජය..

  • November 20, 2013 at 4:09 PM
    Permalink

    ‍සු‍පි‍රි‍ම ‍සු‍පි‍රි ‍ලි‍පි‍යක්‍ ‍උ‍දා ‍අ‍යි‍යේ.

  • November 20, 2013 at 10:43 AM
    Permalink

    menna post eka.patta pata pata…ela ela…..

  • November 20, 2013 at 8:35 AM
    Permalink

    පට්ට පතුරු ලිපිය උදා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *