ඉදිරි දිගහැරුම… (XXXII) | The Conjuring – නොනවතින ශාපය නොනැවතී ඉදිරියට…

යක්ෂාත්මයක් ඔබේ පවුල කෙමෙන් කෙමෙන් ග්‍රහණයට නතුකර ගන්නට වුණොත්? එකින් එක ඔබේ හිතැති’යන්, ඔබේ ළබැඳි’යන් ගොදුරට ගන්නට වුණොත්? ඊටත්; මායමින් ඔබේ අනුමැතියත් ලැබගෙනම, ඔබටත් රහසින් ඔබව බිළිගන්නට සැරසුණොත්? ඔබේ සුරතලා! ඔබේ සොයුරා! ඔබේ බිරිඳ! ඔබේ දරුවා! ඔබ!

මෙතනිනුත් නතර නොවෙන මේ දුෂ්ඨ බලයේ කුරිරු ශාපය හා සටන් වැදීමට ඔබ සතු වූ එකම අවස්ථාවත් ඔබ අහිමි කරගෙනනම්! ඔබේ අවසරය නොලබා, ඔබේ නිවසට පිවිසෙන්නට නොහැකිව සිටින දුෂ්ඨාත්මයකට ඔබ හා එක්ව වෙසෙන්නට ආරාධනා කළ පසුව, මින් ගැළවීගැනීම හිතනතරම් ලෙහෙසි නෑ. කට්ටඩි වැඩ කොතෙක් කර පළපුරුදු අයෙකුට වුවත් මේ හා හැප්පෙන එක ලෙහෙසි නොවුණොත්? මරණය පෙනි පෙනී, මරණයේ එළිපත්ත අභියසටම සියල්ලන්ගේම ජීවිත ‍රැගෙන යන්නට සමත් එවන් වූ ආත්මයක් හා සටන් වැදුණු සත්‍ය කතාවක් නරඹන්න අපටත් මෑතක අවස්ථාවක් ලැබුණා. ඒ යුශාන් සහෝගේ සිංහලගැන්වීමක් සමගින් ඔබ අත’පත් උපසි‍රැසි ගොනුව සහිතව ගෙන ආ ‘Conjuring (2013)’ භීම/ සංත්‍රාස චිත්‍රපටයෙන්.

සත්‍ය වොරන් යුවළ

එය හැදෙන හැටි ත් ඔබ දකින්නට ඇති! හරි එහෙනම් දැන් ඔබ දන්නවා මේ එඩ් සහ ලොරේන් යුවළ ගැන! අපේ ලිපි කිහිපයෙන්ම ඔවුන් සත්‍ය වශයෙන්ම ජීවත් වූ සහ මෙවන් ආවේශයන්ට එරෙහිව භූත ලෝකය හා සටන් වැදුණු අයවළුන් බව සඳහන් වනු ඔබ දකින්නට ඇති! මෙවන් ක්‍රියාවන්හි නිරත වුණු, වෙනත් කිසිවෙකු හා සම නොවන අද්දැකීම් සිය ගණනක් අතුරින් අපි දු‍ටුවේ එකක් පමණයි. නමුත් Amytiville Horror යනුවෙන් හඳුන්වන සිදුවීම සම්බන්ධවත් මොවුන්ගේ භූමිකාව ප්‍රබල එකක් වුණා.

මෙතරම් අද්දැකීම් තිබියදීත්, ඒවා මෙතරම් ජයකෙහෙළි නංවද්දීත්, ඒවා මගහැර යන්නට මෑත කාලයේ Horror චිත්‍රපට නිර්මාණකරණයේ රජු බවට පත් James Wan තීරණය කොට හමාරයි. වසර 10ක් Horror පසුපස ගිය ඔහු දැන් ඉන් හෙම්බත් වෙලා වෙන්නට ඇති. ඒ වුණත් ඔහුගේ නික්මයාම මේ චිත්‍රපටයේ දෙවැන්නට බාධාවක් කරගන්නට නිෂ්පාදන සමාගම සූදානම් නැති පාටයි.

මේ වනවිටත් මෙහි දෙවැන්න සඳහා මුල්කටයුතු කෙරීගෙන යන බවයි කියැවෙන්නේ. New Line Cinema නිෂ්පාදනායතනයේ සභාපති Toby Emmerich මේ අනුබැඳි නිර්මාණකරණය සඳහා පිඹුරුපත් සැකසෙන බව හෙළි කළේ දැනට මාස කිහිපයකටත් ඉහතදී. කොටිම්ම මේ බව හෙළිකරනකොට මෙහි පළමුවැන්න තිරගතවීම ඇරඹිලාවත් නෑ. කොහොමද වැඩේ… 😉

පළමුවැන්නට දායක වූ තිරරචක දෙපළ; Chad සහ Carey Hayes නම් නිවුන් සොයුරන්, දෙවැන්නටත් ගිවිසුම්ගතවෙලා. සභාපතිවරයා කියන විදිහටනම් ඉදිරියේදී Warren යුවළ කේන්ද්‍ර කොටගත් චිත්‍රපට මාලාවක් නිපදවීම කෙරෙහිත් අවධානය යොමුවෙලායි තිබෙන්නේ. එනිසා Vera Farmiga(Lorraine Warren) සහ Patrick Wilson(Ed Warren) යළි තිරයට පිවිසේවි සැබෑ Warren‘වරුන්ගේ භයංකාර අද්දැකීම් සමගින් ඔවුනගේ අනුමැතිය සහ අනුදැනුමත් ලබමින්ම.

     

               Vera Farmiga                         Patrick Wilson

කොහොමවුණත් Horror සිනමා නිර්මාණකරණයේ මෑතකාලීන විශිෂ්ටයා, නැතිව මේ දෙවැන්නෙහි සාර්ථකත්වය ගැන කල්තියා කිව නොහැකියි. නමුත් නිසැකවම; Wan මේ වෙනුවෙන් පමණක් හෝ යළි එක්වන්නට තීරණය කළහොත්, දෙවැන්න පළමුවැන්න අභිබවා යනු ඇතැයි සිතීම අතිශයෝක්තියක් නොවෙයි. තවමත් මෙහි කතාව ගැන නිල වශයෙන් හෙළිකොට නැහැ. නමුත් Warren දෙපළගේ තවත් එක් ඇඟ හිරිවට්ටන මැදිහත්වීමක් බවනම් සහතිකයි. ඒකෙ මේ වගේ දේවල් තිබුණොත් කොහොමද?

“1970 වසරේ එංගලන්තයේ, එන්ෆීල්ඩ් ග්‍රාමයේ ඇති වූ යක්ෂ බන්ධනයක්. එක්වර නිවුන් සොයුරියන් දෙදෙනෙකුම යක්ෂ බලවේගයකට හසුවීමක්. ආවේශයෙන් ඔවුන් ගුරුත්වයද අභිබවා ගොසින් අවකාශයේ පාවුණොත්?! Lorraine’ගේ ඇස් ඉදිරිපිටදීම එක් සොයුරියක් විකෘති ලෙස ඇඹරී ගියොත්?! කුඩා පෙට්ටියක අසාමාන්‍ය ඉරියව්වකින් යුතුව, ඉබේම ඇහිරී තිබී, ඒ සිරුර පසුව හමුවුණොත්?! Ed යක්ෂ බලවේගය හා මුහුණට මුහුණලා කතාකළොත්?! භීතියත් භීෂණයත් කැටිකළ ඇඟ ලොමුදැගැගන්වන සත්‍ය අද්දැකීමක් මත පදනම්ව, දෙවැන්න සිනමා රසිකයන්ට ආවේශ වීමට, දැන් ටික ටික ඉදිරියට ඇදෙනවා…”

යුශාන් සහෝ… බලාගෙනයි!! පරිස්සමෙන්!!! 😛

 

තිරයට එන දිනය: නිශ්චය කර නොමැත

උදා (217 Posts)


2 thoughts on “ඉදිරි දිගහැරුම… (XXXII) | The Conjuring – නොනවතින ශාපය නොනැවතී ඉදිරියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *