ඉදිරි දිගහැරුම… (XXXV) | Monsters 2 කඩාවැටුණු ආක්‍රමණය…

‘Monsters (2010)’ කියන්නේ අඩු බරපැන සිනමාව විදු-පබැඳි ෂෝනරයට ගෙන ආ චිත්‍රපටයක්. ඔබ එය නැරඹුවානම් මතක ඇති එය අපිට හුරු-පුරුදු විද්‍යා සිනමා ආරෙන් පිට පැන ගිය ටිකක් වෙනස් වගේම අමුතු කතාවක් බව. මේ චිත්‍රපටය සඳහා වැය කළ මුළු මුදල $ 500, 000(ලක්ෂ 5ක්) යි. “නමුත් ඇමෙරිකාව තුළ මේ චිත්‍රපටය සහමුලින්ම අසාර්ථකයි. ඊට හේතුව ඇමෙරිකානු සිනමාලෝලීන්ගේ ෂෝනරගත අපේක්ෂාවන් හා මෙය නොපෑහීම. ඔවුන්ට විද්‍යා ප්‍රබන්ධ කියන්නේ එක්තරා පරාසයක් පමණයි. විද්‍යා ප්‍රබන්ධ තුළ අනු-ෂෝනරයක් වන සක්වල ජීවීන් කීවහම එය නිසැකවම පිටසක්වලින් පොළවට එන දරුණු සතෙක් හා ගැටීමම විතරයි. ඒ නිසා මේ චිත්‍රපටය ඇමෙරිකාව තුළ ඉපයුවේ $ 237, 301(ලක්ෂ 2 1/2ක්) පමණයි”.

නමුත් මෙය ලෝකයට ගියවිට මේ තත්ත්වය හාත්පසින්ම වෙනස් වුණා. සෙසු ලෝකයේ මීට හිමිවුණේ ඉහළ ප්‍රසාදයක් ඇමෙරිකාව තුළ හෙවූ මුදල නොමැතිව සැලකූ විට ඒ $ 4, 005, 677ක් වුණා. මුළු එකතුව $ 4.2m. ඉතින් මේ චිත්‍රපටය විසින් නිසැකවම සනාථ කළ එක දෙයක් තමයි, ඇමෙරිකානු සිනමා රසිකයන්ට වඩා ඉතා දියුණු රසවින්දන පරාසයකින් යුතු; එමෙන්ම සීමාවන්ට හිර නොවූ සිනමා රසික ප්‍රජාවක් ලොව පුරා විසිර පැතිර සිටිනා බව.

ඉදින්, මේ කාරණේ නිසා මේ චිත්‍රපටයේ දෙවැන්නක් කෙරෙහි පිවිසෙන්නට මෙහි නිර්මාණකරුවන්ට වුවමනා වුණා. එය නම්කර තිබෙන්නේ Monsters: Dark Continent ලෙසින්. ඒ විතරක් නොවෙයි හේතුව; මේ ස්වාධීන නිෂ්පාදනයක් ලෙසින් එළි දු‍ටු පළමුවැන්න අතිශය ඉහළ විචාරක පැසසුම් හිමිකරගත්තා. ඒ වගේම මේ තුළ පිටතට පෙනෙන කතාවට වඩා ඉතා ගැඹුරින් දිවෙන සමාජ-දේශපාලනික කතාන්තරයක් අන්තර්ගත වීමත් ඒ විචාරක පැසසුම් ලැබීමට මුල් වූ කරුණක් වුණා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂක Gareth Edwards හට හොලිවුඩය වගේම, ලොවම කළඹන Godzilla වැනි සිනමාකරණයක ප්‍රතිනිර්මාණය මෙහෙයවන්නට ඉඩ හසර හෙළි කළේත් මේ නිර්මාණය ඔස්සේ ඔහු පෑ සමත්කම තමයි. මෙය IMDb තුළද 6.4ක අගයකට හිමිකම් කියනවා.

එනිසා දෙවැන්න Gareth Edwards‘ගෙන් නොවෙයි. ඔහු විධායක නිෂ්පාදනයෙන් දායක වනවා පමණයි. ඒ පළමු වැන්නෙහි ප්‍රධාන පිරිමි චරිතය රඟපෑ Scoot McNairy හා එක්ව. ගියවර තිරරචනයත් Edward ගේම වුණත් මේ වර එය Jay Basu නම් අයෙක්. අධ්‍යක්ෂණය Tom Green. මෙය මේ වන විට පසු නිෂ්පාදන අදියරේ පවතින්නක්. මෙහි රූගතකිරීම් ජෝර්දානය සහ ඩීට්‍රොයිට් යන ස්ථානයන්හි 2013 මාර්තු සිට සිදුකෙරුණා. ප්‍රධාන චරිත සඳහා Johnny Harris(Snow White & the Huntsmen)/ Sam Keely(Captain America)/ Joe Dempsie(GOT) යන පිරිසක් තමා එකතු වන්නේ.

මේ දෙවැන්න මුල් එකට කිසිදු සම්බන්ධයක් නෑ. සම්බන්ධයක් ඇතොත් ඒ නමින් සහ තේමාවෙන් පමණයි. මෙවර අවධානය මැදපෙරදිගට:

NASA විසින් අප ක්ෂීරපථය තුළම පවතින වෙනත් ජීවයක් හදුනාගෙන, එහි නියැඳි ලබාගෙන ඒමට යැවූ යානාව යළි පැමිණීමේදී කඩා වැටීමෙන් පසු ඇමෙරිකානු-මෙක්සිකානු සීමාවෙහි ඇති වූ නව ජීවයක වර්ධනය හා මර්දනය’නේ මුල්සිනමාවට පදනම් වූ පුවත වුණේ. ඒ අසාත්මික කලාපයෙන් මිදී පළායන්නට වැරදරන තුරුණු යුවළක් වටා තමයි එහි කතාව කේන්ද්‍රගත වුණේ. මෙවර ඒ ජීවය ඉන් ඔබ්බටත් පැතිර ගිය ලොවක් ගැනයි කියවෙන්නේ. මැදපෙරදිග කාන්තාරයක යුධ සේවයේ නියුතු සෙබළුන් පිරිසක් හා, තවත් නොදු‍ටු අලුත්-වෙනස් ජීවී කොට්ඨාශයක ආගමනය මෙවර කතාවෙන් දිගහැරෙනු ඇති. මුල්වතාවේදී දුටු දැවැන්ත දැල්ලන් වැනි නව ජීවී කොට්ඨාශයටත් තර්ජනයක් වන අලුත් ප්‍රභේදයක් කෙරේයි මේවර අවධානය. තමන් හා එක්ව සේවය කරන හමුදා සගයෙකු සොයා යන හමුදා භටයන් පිරිසක් හා ඔවුන් එහිදී අත්දකින ත්‍රාසයන් තමා මෙවර හෙළිවන්නේ.”

ආරංචිවල හැටියට මෙය මුල් නිර්මාණයට වඩා ක්‍රියාදාමයන්ගෙන් ගහණයි. හේතුව? අමුතුවෙන් කිව යුතු නෑ මයෙ හිතේ! 😀 එහෙනම් මුල් එක රසවිඳි හැමට දෙවැන්නත් රසවිඳින්නට සැරසී සිටින ලෙස ආරාධනය කරනවා අපිත්.

 

තිරයට එන දිනය: 2014 වර්ෂයේ අප්‍රකාශිත දිනයක්

උදා (217 Posts)


One thought on “ඉදිරි දිගහැරුම… (XXXV) | Monsters 2 කඩාවැටුණු ආක්‍රමණය…

  • October 30, 2013 at 7:03 PM
    Permalink

    monsters (2010) චිත්‍රපටිය හොඳ නිර්මාණයක්. අර කිව්වත් වගේ අගට යනකල් කුතුහලය රඳවගන්න පුළුවන් වුණ එකක්. ඇමරිකානුවො පව්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *