ඉදිරි දිගහැරුම… (XXV) | Sinister 2 බිල්ල ඉවර නෑ…

Blumhouse Productions කියන්නෙ, Jason Blumhouse විසින් PA සිනෙ පෙළහර නිපදවමින් ආරම්භ කරන්නට යෙදුණු සිනමා නිෂ්පාදන සමාගම. ආරම්භයේදී PA වලට විතරක් සීමා වුණත්, දැන් වෙනකොට හොලිවුඩයේ සාර්ථකම චිත්‍රපට ‍රැසක් නිපදවීමට මේ සමාගම සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නොවෙයි ඉදිරියේදීත් ඒ කටයුත්ත එලෙසින්ම කරගෙන යන්නටත් ඔවුන් දත-කට මැද ගෙන බලා ඉන්නවා. එහෙම වෙන්නට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි $ මිලියන 2-3ක් වියදම් කරලා හදන ඔවුන්ගේ චිත්‍රපටි ආදායම උපයන්නේ $ මිලියන 40-50 අවම පරාසයක වීම.

මේ චිත්‍රපටවලින් වැඩි හරිය කොහේවත් නොයන කතා. ඒ කියන්නෙ එම කතාවට පදනම් වන සිද්ධියට අදාල තැනින් පිටතට කිසිම විටෙක යන්නෙ නෑ. ඉතින් මුළු චිත්‍රපටියටම ඕනි කරන්නෙ එක පසුතලයක් විතරයි. උදාහරණයක් විදිහට නිවසක් සැලකුවොත් මේ නිවසේ ඇතුළෙ සිද්ධ වෙන දේවල් හැර බාහිර යමක් අඩංගු වෙන්නේ අතීශය සුළු වශයෙනුයි. ඒ විදිහෙ කතා කිහිපයක්ම අපි දු‍ටුවා මෑත භාගයේ මේ නිෂ්පාදකයන් වෙතින්. ‘Insidious (2011)’/ ‘Sinister (2012)’/ The Purge (2013) ඉන් ප්‍රධානයි. කොහොමත් PA මාලාව ගැනනම් අමුතුවෙන් කිවයුතු නෑනෙ! 😉

ඉතින් අර කිවූ පරිදිම සුළු-පරිමාණ වියදමකින් මහ-පරිමාණ ආදායමක් ලබන්නට හැකිනම් ඒක බොහොම සාර්ථක ව්‍යාපාර අවස්ථාවක් බව නිසැකයිනෙ. ඊටත් මෙහෙම හදන එකක් වැඩ වැරදිලා කොට උඩ ගියත් Disney‘ලාට වගේ පාඩුවක් වෙන්නෙ නෑනෙ. නිකාම්ම අමතක කරල දැම්මහැකි. ඇඟට පතට දැනෙන්නෙ නෑ. හිතට බරකුත් නෑ.

ඒ නිසාමදෝ මන්දා ඔන්න ‘Sinister (2012)’ ඉන් ඉදිරියට ගෙන යන්නට තීරණය වෙලා. පළමුවැන්න නැරඹුවානම් මතක ඇති ඒකේ තිබුණු කතාව. “ලේඛකයෙක්(Ethan Hawke) හොල්මන් ගෙවල් ගැන කෙරෙන තම පර්යේෂණයට අලුත් කරුණු ටිකක් ඈඳා ගන්ඩ සිය පවුලත් එක්කම ඒ වගේ ගෙදරකට පදිංචියට ගොහින් අන්තිමේ වුණේ මහා නස්පැත්තියක්.” මේ චිත්‍රපටියත් $ 3m වියදම් කරල ඒ වගේ 30 ගුණයකට කිට්‍ටුවෙන ගාණක් හොයල දුන්නා. හරියටම කිව්වොත් $ 80m. ඉතින් මෙහෙම සල්ලි ගළන උල්පත් නිකම්ම හි‍ඳෙන්ඩ අරින්නෙ කවුද හැබෑටම නේද? හැකිතරම් දිය එක්කාසු කරගන්නවාමිසක්! 😛

මෙහෙමයි විස්තරේ… නිෂ්පාදනය Blum. තිරරචනය පෙර පරිදිම C. Robert Cargill, Scott Derrickson දෙපළ. ගියවර චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළෙත් Derricksonමයි. නමුත් මෙවර ඔහු ඒ වෙනුවෙන් එක්වේවිද යන්න සැක සහිතයි, මොකද Deus Ex: Human Revolution චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඔහුට පැවරිලා තිබෙන නිසා. ඒ හැරෙන්නට තවමත් නළු-නිළි සම්බන්ධයක් හෝ කතාව ගැන ඉඟියක් හෙළි කර නැහැ ඔවුන්. මේ කට්ටියගේ හුරු පුරුදු ආරට අනුව යමින්, මේකෙදිත් පැරණි තැනින් ඉදිරියට හෝ පසුපසට යන කතාවක් ඇසුරින් එම සිදුවීම් තවදුරටත් හාරාවුස්සන විදිහේ එකක් අඩංගු වෙනු ඇති බවට බලාපොරොත්තු ‍රැ‍ඳෙවුවහැකි. 😀

 

තිරයට එන දිනය: ප්‍රකාශ කර නොමැත.

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *