ඉදිරි දිගහැරුම… (XXXIII) | Purge – 2’වැනි සංශෝධනය… [Update]

මේ අවුරුද්දේ ත්‍රාස චිත්‍රපටිවලට හොඳ පැවැත්මක් තහවුරු වෙලා. ඒ බව සනාථ කරන තවත් එකක් තමයි The Purge (2013) චිත්‍රපටිය. මේක $ 3m වියදම් කරල හැදුව එකක් වුණාට ලෝකෙ වටේ එක්කාසු කළ ආදායම සුළු ප‍ටු නෑ වියදමත් එක්ක සන්සන්දනය කරල බලනකොට! $ 73m ඉක්මවූ ගණනක් තමයි වාර්තා සටහනේ ලියා තියල තියෙන්නේ…

මේ හේතුව නිසා ප්‍රධාන වශයෙන් හොරර්/ ත්‍රිලර් ඒවටම නැඹුරුවක් දක්වන Blumhouse Productions ආයතනයත් Universal Pictures සමාගමත් අති මහත් ලාභ ප්‍රතිශතයක් හිමි කරගන්නට සමත් වුණා. ඒ හේතුව නිසා ඉමහත් සතුටකට පත් වුණ ඒ අයගේ තීරණය වුණේ දෙවැන්නක් කරා යන්නයි.

පෙනෙන විදිහට මේ Blumhouse සමාගම සුළු-වැය හොරර් ‍ෆිල්ම් කප්පිත්තෝ වගයක් එක්කාසු වුණ තැනක්. මොකද කිව්වොතින් Paranomal Activity මාලාවම මේ අයගේ. චිත්‍රපට 4 ක්ම ඉවර කරලා 5 වැන්න ළඟ ළඟම එමින් තියෙන්නේ මේ වෙද්දී. ඒ හැරුණහම ගිය වසරේ සුපිරි-පහරක් බවට පත් වුණු ‘Sinister (2012)’  සහ මේ වසරේ සුපිරිතම සටහනක් එකතු කරමින් ඉන්නා The Conjuring (2013) විතරක් නොවෙයි; Insidious (2011) සහ මේ හෙට අනිද්දාම තිරගත වෙන Insidious: Chapter II (2013) ත් මේ අයගේ නිර්මාණ. තනි ඉලක්කමින් සටහන් වන මිලියන ගණනක පිරිවැයක් පමණක් දරලා කරන මේ අයගේ චිත්‍රපටිවල ඉපැයුම් සාමාන්‍යය: 40-50ක් අතර මිලියන ගණනක් බවයි සටහන් වෙන්නේ.

මේ ගැන තවමත් වෙනත් විස්තර කිසිවක් හෙළිකොට නැහැ. නමුත්; “පළමු කතාව නැවතුණු තැනින් ඉදිරියට යාවි”/ “මේ සංශෝධනයේ තවත් භයානක අතුරු පැත්තක් දිගහරිමින් දෙමාපියන් හා දරුවන් අතර ඇතිවන සටනක් කරා යොමු වේවි”/ “නිවාස සංකීර්ණයක සිදුවන සිදූවීමක් කරා යොමු වේවි”/ “මහමග දිගට සිදුවන ලුහුබැඳීමක් අවධානයට ලක්වේවි”/ “මේ වැඩ පිළිවෙළ නවතාලන්නට දරන වෑයමක් දිග හැරේවි” වගේ විවිධ අදහස් මේ සම්බන්ධයෙන් පළවෙළා තියෙනවා. ඒ කොහොම වුණත් අවම වැයකින් හැදෙන හොඳ කතාවක් වෙනු ඇතැයි කියලා බලාපොරොත්තු වෙමු!

           

James DeMonaco තිරපිටපත ලියා අධ්‍යක්ෂණය කළ පළමුවැන්නට බොහොම දක්ෂ නළු-නිළි පිරිසක් එක් වුණා. ඒ අය යළි එක් වෙනු ඇත්දැයි කියන එක ගැන දැනගන්ඩ තව කලක් ඉන්ඩනම් සිද්ධ වෙයි. මුල් එක බලපු අය තම තමන්ගේ අදහස් කියමුකෝ බලන්ඩ! නේද?

 

තිරයට එන දිනය: ප්‍රකාශ කර නොමැත.

නවමුව: (ඔන්න දිනය හෙළිදරව් කරලා තියෙනවා Blumhouse සමාගමෙන්. ඒ දිනය සටහන් වෙන්නේ 2014 ජුනි 20 ලෙසයි.)

මේ දෙවැන්නෙහි නිල නාමය විදිහට “The Zone” යන්න යොදාගන්නා බව සහ එක් නිවසකට කේන්ද්‍ර වනු වෙනුවට, කලාපීය තත්ත්වයක් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු වනු ඇති බවත් සඳහන් වෙනවා.

උදා (217 Posts)


2 thoughts on “ඉදිරි දිගහැරුම… (XXXIII) | Purge – 2’වැනි සංශෝධනය… [Update]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *