Peter Jackson’ගේ HOBBIT දිනපොත… (පිටුව 10)

ඉතින් ඔන්න මුල්ම වතාවට ලෝකයා හොබිට් හමුවන්නටයි සූදානම. ඒ කියන්නේ THE HOBBIT සමාරම්භක දර්ශනය ළංවෙලා. කාටත් හරි හරියට වැඩ. එහෙන් තිරගත වන ශාලාව සූදානම් කෙරෙනවා. පූර්ව ප්‍රචාරක කටයුතු ජයටම කෙරෙනවා. මාධ්‍ය සාකච්ඡා කෙළවරක් නැහැ. දැන් චිත්‍රපටිය හදලා ඉවරයි. තව තියෙන්නේ සල්ලි හොයන්ඩ පටන් ගන්ඩ විතරයි. මේ චිත්‍රපටියේ මංගල දර්ශනය වෙනුවෙන් මහ විශාල ප්‍රචාරනයක් දියත් කෙරුණු හැටි මෙමගින් දැකගත හැකිවෙනවා ඇති. අර කලින් කිව්වා වගේ සියල්ලම තිතට තිබෙනවාදැයි කියා කරන අවසාන සනාථ කිරීම් සිදු කෙරෙනවා. එකක්වත් වරදින්නට බැහැ. ගත් වෙහෙසේ නියම ප්‍රතිපළ ලබන්නටනම් පරිපූර්ණ ලෙස සැමදේම සිදු විය යුතුයි.

නගරය දැනුවත් කරන්නට ඔවුන් කටයුතු කරන්නෙත් ඒ අතරෙමයි. විවිධ අනුරූ ඉදිකරමින්, සිනමාශාලාව ඉදිරිපිට හොබිට් ගමේ ආකෘතියක් පවා හදමින්, හොබිට් සල්පිළකුත් තියන්නට ලෑස්ති වෙනවා. රතු පළස මතින් මේ සිනමා වීරයන් කැන්දන් එන්නටත් බොහෝම සුපරික්ෂාකාරීව සැලසුම් සහගතව සූදානම් විය යුතුයි. මෙහි රතු පළසත් එසේ මෙසේ එකක් නොවෙයි. LOTR 2 මගින් තැබූ ගිනස් වාර්තාවක් බිද හෙළන්නටම සැලසුම් කළ එකක්. නළු-නිළියන් හදුන්වාදීමට ඔවුන් කටයුතු කරන හැටි, ප්‍රේක්ෂක මනස චිත්‍රපටය නැරඹීමට සූදානම් කරන හැටිත් දැකගන්නට ලැබෙයි.

ඊටත් වඩා පුදුමය තමයි සීතල එළිමහනේ මහ මග පවා රැය ගෙවමින් මේ අවස්ථාවට සහභාගී වන්නට සිනමා රසිකයන් පොර කන අන්දම. පොකුරු පිටින් ඇවිදින්; ඊටත් පිටරටවල ඉදන් ඇවිදින්; කූඩාරමක් ගහගෙන, ඇතැම් විට එහෙමත් නැතුව, එළිමහනෙ රැය පහන් කරමින් මේ මංගල දර්ශනය මොහොතට ඔවුන් එක්වන්නේ ඉමහත් ප්‍රබෝධයෙන් සහ අමන්දානන්දයෙන්. ඒ අය තමා මේ වගේ මහා දැවැන්ත නිර්මාණ නොකඩවා සිදු කරන්නට PJ වැනි පුංචි මනුස්සයෙකුට හයියක් වෙන්නේ… Peter Jackson සිනමා ලෝකයේ කොච්චර කරණම් සෙල්ලම් දාන මහා වැඩකාරයෙක් වුණත්; ඔහු සිරුරින් බොහොම කුඩා මිනිසෙක්නෙ, ඒකයි එහෙම කිව්වෙ… 😛

එහෙනම් 2012 දිනපොත හමාරයි. 2013ට නියමිත එකම එක පිටුවක් තියෙනවා… ඒකත් ඉදිරි දවසක ගෙනෙන්නම්. එහෙනම් දැනට සමුගන්නවා!

උදා (217 Posts)


One thought on “Peter Jackson’ගේ HOBBIT දිනපොත… (පිටුව 10)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *