වේල්සයේ කුමරිය යළි පණ ලබයි!

උඩ මාතෘකාව දු‍ටු හැටියෙ ඔබ දන්නවා මේ කියන්නෙ කවුරු ගැනද කියලා… “වේල්සයේ කුමරිය” , “දුප්පතුන්ගේ කුමරිය” වැනි අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වුණු; ලොවක් වසඟ කළ; මානව දයාවේ, මව් ගුණයේ, නිහතමානීත්වයේ, කරුණාවේ සහ රූමත් බවේ ප්‍රතිමූර්තිය! ඇය ඩයනා!

බ්‍රිතාන්‍ය රජ පවුලේ ඉතිහාසය පීරා බැලුවහොත් අපට හමුවෙන අති මහත් ජනාදරයකට හිමිකම් කී, ජනතාවට වඩාත්ම සමීප වූ පුද්ගලයා ලෙස ඇයගේ නම ඉහළින්ම ‍රැ‍ඳෙනු නොඅනුමානයි. රජපවුලේ ඔ‍ටුන්න හිමි කුමරු වන චාල්ස්’ගේ බිරිඳ බවට පත්ව වේල්සයේ ආර්යාව යන නිල නමින් හැඳිනුම් ලද ඇගේ ජීවිතයේ අවසන් වසර කිහිපය දැන් සිනමාවට ගෙන ඇවිදින්.

වේල්සයේ කුමරිය ලෙස මෙහි රංගනයෙන් දායකවන්නේ සුප්‍රකට ඕස්ට්‍රේලියානු නිළි Naomi Watts. ඇය බ්‍රිතාන්‍යයේ උපත ලබා පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ තැනැත්තියක්. එනිසා මේ චරිත නිරූපණයට ඇයට කිසිදු බාධාවක් ඇති වෙලා නෑ කිසිවිටෙකත්. හේතුව බ්‍රිතාන්‍යයේ පුද්ගල ප්‍රතිරූපයක් ගැන කියැවෙන චරිතයක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින්ම නිරූපණය කළ යුතුයැයි කියා මතයක් පැවතීම. මේ ගැටළුව James Bond චරිතයට පවා විටෙක අදාල වුණා. කොහොම නමුත් මේ චිත්‍රපටයහි චරිත යෙද්වීම ගෑන එතරම් ආන්දෝලනයක් ඇති නූණේ ප්‍රාධාන නිළියගේ සම්භවය ගැන පැහැදිලිවම සඳහන් වන නිසා.

රජ පවුලේ අනුමැතිය සහිතව මෙය නිපදවුණු නිසා, කෙන්සිංටන් මාළිගයේ පිටත සහ රාජකීය උද්‍යානය ඇතුළත පවා මෙහි රූගත කිරීම් කරන්නට නිර්මාණකරුවන්ට ඉඩ සැලසිලා තිබෙනවා. චිත්‍රපටයෙහි දිගහැරෙන්නේ ඩයනා කුමරියගේ අවසන් වසර දෙක ගැනයි. චාල්ස් කුමරුගෙන් දික්කසාද වීමෙන් අන්තුරුව පාකිස්ථානු හෘද ශල්‍යවෛද්‍ය Hasnat Khan (NAVEEN ANDREWS) සමග පැවති ආදර ගනුදෙනුව සහ අනෙකුත් තතු අළලා මෙය ගොඩැනැගී ඇති බව සඳහන්. 1995-1997 දක්වා කාල වකවානුව තුළ ඇගේ හදිසි අභාවයට පෙර ජීවිතය ගැන පමණයි මෙහිදී සිනමාවට නැගී ඇත්තේ.

මේ සඳහා දායක වන පිරිසත් එසේ මෙසේ අය නොවෙයි.

Naomi Watts: ඇය දෙවතාවක්ම ඔස්කා නාමයෝජනා ලද නිළියක්. දුර්වල සිනමා නිර්මාණයක වුවත් ඇගේ රංගනය කැපී පෙනෙන තරම් තියුණු වූ බව නොරහසක්. මෙවර මේ චරිත නිරූපණයත් සමග ඇය තෙවන වරටත් ඔස්කා නාමයෝජනා හිමිකරගනු ඇතැයි පැවසෙනවා. මෙවන් ලොවක් ආදරය කරන චරිතයක් නිරූපණය කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි, ඩයනාගේ ජනප්‍රියත්වයත් ආකර්ෂණයත් සැල්කූ කල එය දෙගුණ තෙගුණ වෙනවා. හේතුව ඇය හැම විටකම හැම තැනකම අවධානය දිනූ තැනැත්තියක් වීම සහ ලොව පුරා තවමත් ඇය වෙනුවෙන් වෙන්වූ රසිකයන් පිරිසක්/ අනුගාමිකයන් පිරිසක් සිටීම.

Oliver Hirschbiegel: ජර්මානු අධ්‍යක්ෂකවරයෙක් වන මොහු ‘Downfall (2004)’ වෙනුවෙන් හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා ඔස්කා නාමයෝජනා හිමි කරගත්තා. හිට්ලර්ගේ අවසාන කාලය වෙනත් ඇසකින් දු‍ටු මේ සිනමාපටය අතීශය ප්‍රසාදයක් හිමිකර ගෙන අනගි 250 තුළ 112 වැනි තැන දිනා සිටිනවා. මෙම අධ්‍යක්ෂකවරයා සැබෑ පුද්ගල ජීවන තතු අළලා වෙනත් මානයකින් චිත්‍රපටි තැනීම ගැන ප්‍රසාදයක් දිනූ අයෙක්.

Stephen Jeffreys: බ්‍රිතාන්‍ය ජාතික නාට්‍ය රචකයෙකු වන මොහු සම්මානනීය නාට්‍ය රචකයෙක්. සිය ප්‍රථම සිනමා තිරරචනය ලෙස “Diana” චිත්‍රපටය සඳහා තිරරචනයෙහි යෙදී ඇත්තේ, Diana: Her Last Love නමින් Kate Snell විසින් රචනා කරන ලද චරිතාපදානය ඇසුරින්.

ඉතින් පහුගිය සමය දිහා බලපුවහම අතීශය ප්‍රසිද්ධ චරිතයකට සාධාරණය ඉ‍ටු කළ නළු-නිළියන් ඉතා ඉහළ ඇගයුම් ලැබුවා විතරක් නොවෙයි, ඉහළ ප්‍රසාදයකුත් දිනා ගත්තා. ‘The King’s Speech (2010)’ චිත්‍රපටයෙන් VI වන ජොර්ජ් රජු ලෙස චරිත නිරූපණය කරමින් හොඳම නළුවා වූ Colin Firth/ ‘Iron Lady (2011)’ චිත්‍රපටයෙන් Margaret Thatcher ලෙස චරිත නිරූපණය කරමින් විචාරක පැසසුම් ලද Meryl Streep/ ‘My Week with Marilyn (2011)’ චිත්‍රපටයෙහි Marilyn Monroe ලෙස චරිත නිරූපණය කරමින් විචාරක පැසසුම් ලද Michelle Williams සහ ‘Lincoln (2012)’ චිත්‍රපටයෙහි Abraham Lincoln ලෙස චරිත නිරූපණය කරමින් හොඳම නළුවා වූ Daniel day Lewis මීට උදාහරණ.

Naomi Watts in Diana (2013)

මේ අතරට එක්වන අළුත්ම නම ‘Diana (2013)’ චිත්‍රපටයේ Princess Diana ලෙස චරිත නිරූපණය කරන Naomi Watts වෙනු ඇතැයි කියලයි කියවෙන්නේ. Diana (2013) සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා සිට එක්සත් රාජධානියේ තිරගත වීම ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

උදා (217 Posts)


2 thoughts on “වේල්සයේ කුමරිය යළි පණ ලබයි!

  • July 2, 2013 at 8:09 PM
    Permalink

    thanksssss hode

  • July 2, 2013 at 8:01 PM
    Permalink

    patta machan wadagath thorthurak uda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *