සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (X)

Machete 2

2010 ආපු Machete චිත්‍රපටිය බැලුවනම් ඒකෙ අන්තිමට ඇහිච්ච දේ මතකද? මතකද කිව්වා Machete ආපහු වතාවක් ඉදිරියේදි හම්බෙන බව Machete Kills සහ Machete Kills Again කියල චිත්‍රපටි දෙකකින්. එහෙනම් ඔන්න ඒ කිව්වත් වගේ ඔහු ඇවිදිල්ලා. නිකම්ම නෙමේ මරණයත් අරගෙන!

මෙහි පළමු වැන්න නොබැලුවා නම්; එහි තිබුණේ මෙක්සිකානු රජයේ පරීක්ෂකවරයෙක් තමන්ගෙ දූෂිත ප්‍රධානියා විසින් පාවා දීමකට ලක්වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පැහැරගත් කෙල්ලක් බේරාගන්නට ගොසින් ඔහුට අහිමිවෙන්නේ ඔහුගේ සහායිකාව පමණක් නොවෙයි, තම බිරිඳත් දුවත් අහිමි වෙනවා. ඔහුගෙ ජීවිතේ ගැළවුණත් පසුව ඔහු තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙනවා. නමුත් ඇමෙරිකානු සෙනෙට් සභිකයෙකුගේ තක්කඩි වැඩ පිළිවෙළකට ඔහුව කූඨ ලෙස යොදවාගැනීම නිසා ඔහු නැවතත් ඇමෙරිකානු රජයට සහ මෙක්සිකානු පාතාලයට එරෙහි වී; මෙක්සිකාවෙන් ඇමෙරිකාවට යන අනවසර සංක්‍රමණිකයන් වෙනුවෙන් සටන් වදින්නට පටන්ගන්නවා. ඊට ඔහුට සහාය වන්නේ ඇමෙරිකානු රජයේ නිලධාරීවරියක්(Alba) සහ මෙක්සිකානු කල්ලි නායකයෙකුගේ දියණියක්(Lohan).

මේ මුල් චිත්‍රපටිය අති සාර්ථක වුණා. $ 10.5m කින් $ 44m ඉපයුවා ඇමෙරිකාව තුළ. ඒ වගේම මෙය රුදුරු දර්ශන බොහෝ වශයෙන් අඩංගු වුණ දරුණු ගණයේ චිත්‍රපටියක් බව නැරඹූවන්ට අමතක නැතිව ඇති. ප්‍රථම වතාවට Danny Trejo ප්‍රධාන චරිතයකින් අප හමුවට ආ චිත්‍රපටියත් මේකයි. ඔහුට අමතරව Jessica Alba/ Robert De Niro/ Michelle Rodriguez/ Steven Seagal/ Don Johnson/ Lindsay Lohan වැනි අයවළුන් රංගනයෙන් එකතු වුණා. අධ්‍යක්ෂණය කළේ Robert Rodriguez සමගින් Ethan Maniquis දෙදෙනායි. Robert Rodriguez සහ Alvaro Rodriguez පිටපත් දායකත්වය සැපයුවා.

මේ චිත්‍රපටිය බිහිවුණේ එක්තරා විහිළුවක ප්‍රථිපලයක් හැටියට බව ඔබ නොදන්නවාත් ඇති ඇතැම්විට. Quentin Tarantino සහ ගේ Robert Rodriguez ගේ Grindhouse (2007)’ සිනමාපටයට අමුණා තිබූ ව්‍යාජ චිත්‍රපට පෙරදසුනකින් දැක්වුණේ Machete නමින් එළිදකින චිත්‍රපටියක් ගැනයි. නමුත් එවකට එය පොඩි මවාපෑමක් නැතිනම් බොරුවක් පමණයි. පසුව තමයි මෙය සැබෑවටම චිත්‍රපටයක් බවට පත් වී 2010 දී තිරයට පැමිණියේ. එය අති සාර්ථක වීම නිසා 2 සහ 3කුත් හදන්නට නිෂ්පාදන සමාගම තීරණය කළා.

2012 ජුනි 10 වැනිදා සිට රූගත කිරීම් ඇරඹූ මෙහි දෙවැන්න දැන් තිරයට පිවිසෙන්න සූදානම්. මෙවර නළු-නිළි කැළට Danny Trejo ප්‍රධානව Jessica Alba/ Lindsay Lohan/ Michelle Rodriguez කියන පුරුදු චරිත හැරුණු කොට; Mel Gibson/ Lady Gaga/ Amber Heard/ Sofía Vergara/ Alexa Vega යන අයත් ඇතුළත්ව තවත් බොහෝ පිරිසක් එකතු වෙන බවයි ආරංචිය.

මෙවර කතාව මේ වගෙයි;

ගියපාර Machete‘ට හැප්පෙන්ඩ වුණේ ඇමෙරිකාවට විරුද්ධව වුනාට මෙවර ඔහු සටන් වදින්නේ ඇමෙරිකානු රජයට පක්ෂව, ඒ ජනාධිපතිගේ ඉල්ලීමක් මත. න්‍යෂ්ඨික අවියක් මුදාහරින්නට සරසෙන මෙක්සිකානු ජාවාරම්කරුවෙකුට එරෙහිව ලෝකය බේරාගන්නටයි මෙවර හිත හොඳ යකඩයාගේ උත්සාහය. ඒ වගේම; මෙවරත් චිත්‍රපටයෙහි අවසානයේ තුන්වැන්නෙහි පෙරදසුන් අඩංගු වෙනු ඇති බව අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබෙනවා. ගියවර වගේම අධ්‍යක්ෂණය සහ සම පිටපත් රචනය Robert Rodriguez වෙතින්. සම රචනා දායකත්වය Kyle Wardගෙනුයි මෙවර.

 

තිරයට එන දිනය: 2013 සැප්තැම්බර් 13

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *