ඉදිරි දිගහැරුම… (XXVI) | CTHD 2: The Green Destiny මකරදහනේ පහුරු කොටියා…

අධ්‍යක්ෂක Ang Lee විසින් නිර්මාණය කෙරුණු, ඇමෙරිකානු-චීන-හොංකොං-තායිවාන් හවුල් නිෂ්පාදනයක් ලෙස එළිදු‍ටු, 2000 වසරේ දී ලොව පුරා අනපේක්ෂිත සුපිරි ආකර්ෂණයක් දිනු; Crouching Tiger, HIdden Dragon චිත්‍රපටිය එම වසරේ “හොඳම විදෙස් භාෂා සිනමාපටය” ලෙස ඔස්කා සම්මාන පවා දිනා ගන්නට සමත් වූ චිත්‍රපටියක්. එපමණක් නොවෙයි, එම සම්මානයත් ඇතුළත්ව මෙම චිත්‍රපටය විසින් දිනාගනු ලැබූ ඔස්කා සම්මාන ගණන, 04ක්. US$ 17m වැයකින්, ලොව වටා US$ 213.5m ආදායමක් ඉපයූ මෙය; ඇමරිකාව තුළ පමණක් ඉපයූ ආදායම US$ 128m වනවා. ඒ අනුව “කි’කලෙක හෝ වාර්තා වන, ඇමෙරිකාව තුළ ඉහළතම ආදායම්ලාභී විදෙස් භාෂා සිනමාපටය” ලෙස සැලකෙන්නේ ද මේ චිත්‍රපටියම තමයි. සම්මාන 40ක් දිනමින් ලොව පුරා අති සාර්ථකත්වයක් ඉපයූ මෙය Ang Lee‘හට අධ්‍යක්ෂකවරයෙකු ලෙස ලෝක සිනමාවේ මහත් ප්‍රසාදයක් හිමිකර දුන්නක්.

 

 

ඔන්න දැන් මෙහි දෙවැන්න තැනෙනවා. මේ වසරේ මැයි මාසයේ මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ වන්නටයි නියමිතව පැවතියේ. අපි කලිනුත් කීවා වාගෙම; මෙවර Ang Lee අධ්‍යක්ෂණයෙන් එක්වන්නේ නෑ. එහි සඳහන් කළ සිනමාත්මක අයිතිය සම්බන්ධව Sony සහ Weinstein යන සමාගම් අතර පැවති අරගලයත් නිම වෙලා පාටයි. චිත්‍රපටියේ නිෂ්පාදන බර පැන උසුලන්නේ Weinstein Company වෙතින්. ඒ අනුව ඉදිරියේදී මෙහි ඉතුරු පොත් ටිකත් සිනමාවට නැගුණොත්, ඒ දැන් වනවිට මුල් කෘතීන්’හි සිනමා නිර්මාණ අයිතිය හිමිකරගත් Weinstein සමාගමෙන්ම විය හැකියි.

 

Master Woo-Ping Yuen

සමාගමේ ප්‍රකාශයන්ට අනුව Woo-Ping Yuen තමයි මෙවර “Crouching Tiger, Hidden Dragon 2 – The Green Destiny” නමින් නම් කර ඇති චිත්‍රපටියෙහි අධ්‍යක්ෂණයෙන් දායක වන්නට යන්නේ. තිරපිටපත John Fusco අතින් නිමවෙද්දී, පහුගිය චරිත එලෙසම එක් කරගන්නටත් කතාවට අනුකූලව නව චරිත හඳුන්වා දෙන්නටත් ඔවුන් සූදානමින් පසුවෙනවා. මෙලෙස සිනමාවට නැගෙන්නේ චීන ලේඛක Wang Dulu‘ගේ පොත් පංචයක අවසානය වන The Iron Knight, Silver Vase යන පොත!

මෙහි කතාව මෙබඳුලු;

“Lo/Dark Cloud(Chen Chang) ගේ සහ Jen(Zhang Ziyi) ගේ දරුවා උපතේදී මාරු වෙලා. තමන්ගේ සැබෑ පුතා වෙනුවට ඔහුගේ දරුවා වෙන්නේ දුවක්. ඉතින් මේ මාරු වූ පුත්‍රයා සිය සැබෑ ජන්මයේ විස්තරත් උරුමයත් සොයා යන්නට ගන්නා ප්‍රයත්නයක් ගැනයි මෙහි කතාව. එනිසා The Iron Knight නම් වන මේ තුරුණු පුත්‍රයාත් The Silver Vase නමැති දියණි තනතුරේ වැඩුණු තරුණියත් කියන චරිත දෙක මෙහි නිසැකවම අඩංගුයි. එනමුත් කතාවෙහි ගොඩනැගීම මුල් කෘතියෙන් වෙනස් කර සකස් කර ගැන්මටයි නිර්මාණකරුවන්ගේ අදහස!”

Jen & Chen in CTHD

අලුත්ම ආරංචිවලට අනුව ගියවර චිත්‍රපටයේදී Yu Shu Lien කියන චරිතයෙන් එක් වූ Michelle Yeoh, මෙවර යළිත් එම චරිතය සදහා එක්කාසු වෙනවා. ඒ එක්කම Jen Yu ලෙසින් එහි චරිත නිරූපණයක නිරත වූ Zhang Ziyi ද එම චරිතය සමගින් මේ සදහා එක්වීමේ අවස්ථාවක් ඇති බව හෙළි නිර්මාණකරුවන් විසින් හෙළිදරව් කර තිබෙනවා.

මෙහි අධ්‍යක්ෂකවරයා වන Woo-ping Yuen අනගි චිත්‍රපට ගණනාවකම සටන් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අයෙක්. CTHD හැරුණුකොට; ඒ අතරට Matrix Trilogy/ Kill Bill Duology යන චිත්‍රපට අඩංගු වෙනවා. ඒ වගේම මේ ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණයත් නොවෙයි. 1978 සිට සිනමා අධ්‍යක්ෂණ කර්තව්‍යය ඔහුට හොදින් හුරුපුරුදුයි. එලෙසම, තිරරචකයා වන John Fusco සුපිරි සිනමා පිටපත් රචනා කළ අයෙක්. ඒ Young Guns/ Hidalgo/ The Forbidden Kingdom වැනි නිර්මාණවලට.

එනිසා මෙය උසස් මට්ටමේ සටන් සහ තාත්ත්වික දර්ශන සහිතව තිරයට එනු ඇතැයි නිෂ්පාදන සමාගමේ හිමිකරු වන Weinstein පුන පුනා කියනවා. එහෙම වුණත් මෙවර ගියවර වගේ නොවී චරිතවලට වඩා කතාව ඉස්මතු වන අන්දමේ හැසිරවීමක් ගැනයි ඔවුනගේ අවධානය යොමුව තිබෙන්නේ. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු තවමත් හෙළි කර නැහැ. කලින් පවසා තිබූ ලෙස 2013 අග වනවිට තිරයට ගෙන එන්නට තිබූ සැලසුම්නම් ව්‍යර්ථ වෙලා. දැන් කියැවෙන විදිහට රූගත කිරීම් ඇරඹෙනු ඇත්තේ පවා 2014 වසරේදීයි.

නවතම තොරතුරු අනුව, 2014 මාර්තු මස මෙහි රූගතවීම් ඇරඹෙනවා. එනිසා  Avengers 2/ Star Wars VII එක්ක කරට කර තරගෙට මේ සටන්සිනමා අනුබැදියත් 2015 වර්ෂයේදී රිදී තිරයට එයි සටනට. ඒ වගේම චීන ලේඛක Wang Dulu‘ගේ පොත් පහකින් යුතු මෙම පොත් පෙළෙහි මුල් කෘතීන් 03 ආශ්‍රිත සිනෙ නිමැවුම් ඉදිරියේදී තිරයට ගෙන ඒමේ සම්භාවිතාවකුත් තිබෙන බව කියැවෙන නිසා; අපි බලාගෙන ඉමු ඉතින් තවත් සුපිරි සටන්-චිත්‍රපට කිහිපයක් දැක බලා ගන්නා අදහසින්.

 

තිරයට එන දිනය: නිශ්චය කර නොමැත.

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *