සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (XI)

Fast & Furious 7

Universal චිත්‍රාගාරය වහාම තමන්ගේ රියහරඹයන් කැටි කළ සිනමා පෙළහරේ අඩු-ලුහුඬු හරිගස්සමින් තව එක චිත්‍රපටියක් තනන්නට තීරණයක් අරගෙන තියෙන බව කවුරුත් වගේ දන්නවා ඇති මේ වෙනකොට. මේ කට්ටිය අඩු-ලුහුඬු හරිගස්සලා, ලෙහිච්ච තැන් ගැටගහලා, පැටළුම් ඇරලාම මේ සිනෙ පෙළ අහවරක් කරන්ඩ වගෙයි සූදානම.

ඔබට මතකනම් Tokyo Drift සිට මේ වසරේ නිකුත් වූ F&F6 දක්වාම අධ්‍යක්ෂණයෙහි නිරත වුණේ, Justin Lin. ඔහු තමා Fast & Furious/ 2 Fast 2 Furious සහ Tokyo Drift නමින් යුතුව, එකම තේමාවක් යටතේ(රිය-හරඹ) එකිනෙකට නොගැළපෙන ලෙස වෙන වෙනම නිකුත් වූ මුල් චිත්‍රපටි තුනෙන් පසු කාලීනව; මෙය එක දිගට දිවෙන එකම කතාවක දිගහැරුමක් බවට පත් කළේ. ඒ වුණත්; දැනට ප්‍රකාශිත පරිදි මේ කතා 6ම එකට රොක්කරලා සියල්ල එකම දාමයක් වූ හැටි පෙන්වන්නටම සෑදෙන 7 වැන්න ඔහු අතින් නොවෙයි නිම වෙන්නේ…

කලින් වතාවක අපි ඔබට කීවා, Lin‘ට 6 වැන්නෙහි හැඩ-වැඩ ගැන්වීමේ කටයුතුවලට කල් ඕනි කරන නිසා ඔහු 7 වැන්න භාර නොගන්නා බව සහ ඒ සඳහා සලක බැලෙන අධ්‍යක්ෂකවරුන්ගේ නම්ගොත් ගැනත්. ඒ කියාපු අය අතරින් මෙවර මේ සලරූ පෙළහරෙහි අවසානය සනි‍ටුහන් කරන්නට භාර වෙලා තියෙන්නේ James Wan එනම්; SAW I/ Insidious I, II සහ The Conjuring‘හි අධ්‍යක්ෂකවරයා හටයි. ඔහු ජයකෙහෙළි නංවලා තියෙන සිනමා ප්‍රභේදයනම් මීට වඩා හාත්පසින්ම වෙනස් එකක් වුණත් ඔහුගේ ආගමනය නිෂ්පාදන සමාගම විසින් තහවුරු කර අවසන්. කියැවෙන හැටියට, මේ 7 වැන්නෙන් මෙතෙක් හෙළි නොවූ රියහරඹ තරුවක් තිරයට ඒවි. ඒ සම්බන්ධ යම් ඉඟියක් 6 වැන්නෙන් සපයා ඇති බවයි පැවසෙන්නේ.

ආරංචිවලට අනුව ඒ තරුව Stath. ඒ කියන්නෙ Jason Stathem. ඔහු 6 වැන්නෙහි අපේ වීරයන්ගේ එදිරිකාරයා වෙන Owen Shaw (Luke Evans) ගේ සොහොයුරා වන Ian Shaw‘ලු. අර කිව් ඉඟිය; මේ චරිතය හඳුන්වා දෙන්නට Tokyo Drift තෙක් පසුපසට යනු ඇතිලු. මේ පහුගිය කතා 6 ම එකට බැඳලන්නටනම්, ඔහුගේ ආගමනය බොහොම වැදගත් වෙනු ඇති’යි කියන එකයි කියැවෙන්නේ. නමුත් මේ චරිතය කෙබඳු චරිතයක් ද යන වගනම් බලාගන්ඩ 7 එනකම් ඉන්ඩ වෙනවා.

මුලදී මුලදී අනවසර රිය-පැදවුම් සංස්කෘතිය සහ පොලීසියෙන් පළා ගොස් මිදෙන්නට බලන නරකයන් කල්ලියක් වටේ ගොඩනැගුණු කතාව, අද වෙනකොට වාහන ආශ්‍රිත යුධ හරඹයක් බවට පත්වෙලා අවසන්. 5 වැන්නෙන් ඉඟි කළ විදිහටම; මිය ගියා යැයි සිතා සිටි චරිතයක් නැවත 6 වැන්නෙන් දැකගන්නට ලැබෙනවා. ඒ එක්කලම 7 ට එනකොට Stath එක්කාසු වුණොත්, මේක The Rock/ Diesel සහ Stathem වගේ; සතුරො එක්ක හැප්පිලාම නමක් තියපු අයවළුන්ගෙන් පිරුණ මහා වලියක් නොවී තියේවිද? කියන එක කාටවත් කියන්ඩ බෑ. ඒත් එක්කම මේකෙන් බිඳී ගොඩනැගෙන තවත් අලුත් සිනෙ පෙළකට මුල්ගලකුත් වැටේවිද? කියන එකත් තවමනම් අපි කාටවත්ම හරියට දැනගන්ඩ ඉඩ තියලා නෑ ඔවුන්… ඒ ගැන දැනගන්ඩ වෙන්නෙ ඔන්න ඔය පහළ සඳහන් වෙලා තියෙන දවස පහුවෙලා තමා…  😛

 

තිරයට එන දිනය: 2014 ජූලි 11

උදා (217 Posts)


2 thoughts on “සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (XI)

  • June 11, 2013 at 4:06 AM
    Permalink

    man meke 6 beluwa film hall eke… . ,,,
    patta maxxxa,,,, ,
    katawa iwara wenne Jason Stathem gen..
    2k merenawa 6 weni katawe.. . 🙁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *