ඉදිරි දිගහැරුම… (XVIII) | POTC රුවල් 5 ඔසවන සූදානමින්… (Update 2)

තවත් Walt Disney බෙදාහැරීමක ඉදිරි පියවර ගැනයි මේ ආරංචිය. කවුරුත් ආදරය කරන “කපිතාන් කොස් ගේකුරුල්ලා“(Captain Jack Sparrow) නැතිනම්; Johny Depp සුපිරි රංගන ශිල්පියාගේ, මූදු හතේ වික්‍රම ‍රැගත් සුපිරි සිනමා පෙළහරක 5 වැන්න වෙනුවෙන් පිඹුරුපත් සැකසෙමින් පවතිනවා.

මෙහි 4 වැන්න එතරම් විචාරක ප්‍රසාදය දිනා ගන්නට සමත් වුණේ නැතත්, අලෙවි වාර්තා පොතේ විප්ලවීය සටහනක් තැබුවේ, මේ සිනමා පෙළ සතු වැඩිම ආදායමක් උපයා දෙමින්. ඒ $ 1b කට එහා ආදායමක්(මින් පෙර මෙහි 2 වැන්න ඒ සීමාවෙන් ඔබ්බට ගියා). නමුත් පුදුමය කියන්නෙ; මේ සිනෙ පෙළෙහි අසාර්ථකම සහ නෝන්ජල්ම චිත්‍රපටිය ලෙස ගැරැහුම් ලද 4වැන්න තමා ලොකුම කුට්ටියේ අයිතිකාරය වුණේ. එනිසා වේද නොවේද වගේ තිබුණු 5 වැනි නිර්මාණය නිසැකවම සිදුවෙන බවට දැන් තහවුරු කරලා.

මේ වෙනකොටත් මේකේ පිටපත Jeff Nathanson(Rush Hour, Catch Me If You Can) කියන පිටපත් රචකයාගේ අධීක්ෂණයටත් යොමු වෙලා ඉවරයි. කතාව සම්බන්ධයෙන්නම් දැනගන්නට ලැබෙන්නෙ නෑ තවමත් කිසිදු විස්තරයක්. නමුත් ගියවර චිත්‍රපටයේ අවසානය හා යම් සම්බන්ධයක් ඇතුව ගොඩනැගෙයි කියන එක අනුමානෙට අදහස් කරනවා කවුරුත්. තියෙන විස්තරවලට අනුව, මේ චිත්‍රපට පෙළේ මුල් නිර්මාණ 3 වෙනම තුන්-ඈදුතුවක් ලෙස තිබෙන්නට හැරලා, 4 වැන්නේ සිට ඉදිරියට ගොඩනැගෙන නව තුන්-ඈදුතුවක් ගැන අදහසක් මුල්කරගෙනයි නිර්මාණකරුවන් කටයුතු කරගෙන යන්නේ. 5 වැන්නටත් පිටපත ලියල තියෙන්නෙ මේ මූදුකොල්ල සිනමා රචනාවන්ටම නම ගිය දෙන්නෙක්. Ted Elliot සහ Terry Rossio. මේ දෙන්න තමයි මේ සිනෙ පෙළටම රචනා දායකත්වය ලබා දුන්නේ. 

Joachim Rønning සහ Espen Sandberg

මේ වෙනකොට මේ 5 වැන්නේ භාරදූරය කරගහන්ඩ දෙන්නෙක් තෝරාගෙන අවසන්. ඒ ‘KON-TIKI (2012)’ අධ්‍යක්ෂක දෙපළ වන Joachim Rønning සහ Espen Sandberg. මේ දෙදෙනා තමයි 2012 වසරේ ඔස්කා නිර්දේශ ලත්, ඓතිහාසික සිනමා අන්දරය තිරයට ගෙනාවේ. පර්යේෂකයෙකු සහ ගවේෂකයෙකු වන Thor Heyerdal; 1947 වර්ෂයේදී පැසිෆික් සාගරයේ සැතපුම් 4,300ක දුරක් ‘බල්සා කොටං පහුරක’ නැගී ගිය එම ඓතිහාසික ගමනේ කතාවයි එහි අඩංගු වුණේ. මේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනාගේ මූදු ගමන් හැකියාවත් දක්ෂතාවත් නිසා ඔවුන් මේ සදහා නිසැක තේරීම බවට පත්ව තිබෙනවා. නිෂ්පාදක තනතුර හොබවන බෲක්හයිමර් වගේම කපිතාන් කොස් ගේකුරුල්ලාත් මේ ගැන ප්‍රසාදය පළකරලා තිබෙනවලු. මේ දෙපළ අවසන් ගිවිසුම්වලට එළඹි වහාම මෙහි වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව මේකෙ රූගතකිරීම් මේ වසරේ අග හෝ එන වසරේ මුල ඇරඹෙයි කියලයි කියැවෙන්නේ. ඒ නිසා පසුගිය කතා ටික ගැන මතක නැතිනම් මතක් කරගෙන මේ වෙනුවෙන් ලෑස්තිවෙලා හිටියොත් හොඳ හිටී…

 

තිරයට එන දිනය: 2015 ජුලි 10

 

නවමුව: ඕන්න POTC5 ට නමක් දීලා කියලා ආරංචියි. ආරංචියේ හැටියටනම් අධ්‍යක්ෂකවරුන් විතරක් නොවෙයි මෙවර තිරරචකයාගේත් වෙනසක් සිදු කරලා තියෙනවාලු. මුල් 04 ලියාපු දෙන්නා කතාව යොමු කළ දිහාවෙන් වෙනස් දිහාවකට ගෙනියන්ඩයි මේ වැඩේ කරලා තියෙන්නේ… ඒ වගේම Verbinski සහ Depp සුසංයෝගයෙන් “මී ගෙදර’ට” (Mouse House) මහ විශාල පාඩුවක් එකතු කරපු නිසා වෙන්නටත් ඇති අධ්‍යක්ෂකවරුන් ලෙසත් අලුත් දෙදෙනෙක් යොදාගන්නේ… එහෙමනම් 5 වැන්නේ නිල නාමය මේං මේකයි! 

“Pirates of the Caribbean: Dead Men Tell No Tales(2015)”

 

නවමුව 2:

Pirates-of-the-Caribbean

අලුත්ම ආරංචිවලට අනුව මේක ටිකක් කල් ඇදෙන වැඩක් බවට හැරිලා. ප්‍රබලතම හේතුව තමයි, Disney‘ලා තවත් මේ වගේ අමුතු චිත්‍රපටියක් හඳුවාදෙන්නට ගත් මිල-අධික වෑයම පුස්සක් වීම. පිටින් බැලුවහම මහා ලොකුවට පෙනුණට, ඇතුළේ මුකුත් නැතිය කියන The Lone Ranger ඇත්තෙන්ම හොඳ උත්සාහයක්. ඒ වුණත් වැරදුණ තැන තමයි POTC‘හි සිතුමැවි වීරවික්‍රම ක්‍රියාදාමයන්හි අරුමයට; බටහිර ගොපළු වික්‍රමවල කම්පනය ආදේශ කළහැකිවෙයි කියලා හිතාපු එක. කොච්චර හොඳ වුණත් වැඩක් නෑ කවුරුත් එපා කීවොත්? ඇරත් සිනමාව කියන්නෙ සේරටම කලින් වින්දනීය කලාවක්! විඳින්නට අමාරු හෝ ඉල්ලුමට සරිනොවන එකක් කොහේ කොතැනකවත් සාර්ථක වෙන්නෙ නෑමයි. ඇතුළෙ කතාව කොයිතරම් හොඳ වුණත් වැඩක් නෑ, එහෙම වුණොතින්.

මේ හේතුව නිසා Jerry Bruckheimer සහ Disney අතර පැවති ගිවිසුම ලබන වසරෙන් අහවර කෙරෙනවා. ඒ වුණත් ඔහු තම පුරාවෘත්තය Disney වෙත ඉතිරි කර තබලයි යන්නේ. ඒ තමා POTCPOTC5: Dead Men Tell No Tales වෙනුවෙන් Jack Sporrow අවශ්‍යම නිසා මිසක්, එහෙම නොවෙන්නට, මේ පාර Johnny Depp වුණත් එළියේ තමා. ලොක්කන්ට වැරදුණහම, ඒ වරද වෙන කාටහරිනෙ යන්නෙ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මුල සිටම අසාර්ථක වන ආකාරයේ චිත්‍රපටයක් කළ DIsney දැන් මිටි තැන්වලින් වතුර බස්සනවා. 😛

Christop Waltz
Christop Waltz

හරි! කතාව ගැන වැඩිදුර විස්තර හෙළි කරලා. කපිතන් ජැක් ස්පැරෝ සහ සතුරු කපිතන් බ්‍රෑන්ඩ් මේ පාර, පුදුමාකාර මායා උපකරණයක් පසුපස ලුහුබඳිනවා. කියැවෙන විදිහට මේ අසීමිත බලයක් දරන උපකරණය වෙන්නේ “ත්‍රිශූලයක්.” මේ පාර යන්නෙ කොහාටද කියල පුංචි ඉඟියක් ඒකෙන් ලැබුණත්, ඒක හරිමදැයි කියන්නට තවම බෑ. මේ පාර ජැක්ගේ මල්ලි එරික්වත් දකින්නට ලැබෙයි. හැබැයි ජැක්ගෙන් පළිගන්නට බ්‍රෑන්ඩ් අටවන උගුලේ වැටී මූදුකොල්ලකරුවෙකු ලෙස මරණයට පත්වෙන බවයි කියැවෙන්නේ.

ඒ හැරුණුකොට මේ පාර ජැක් එක්ක එකතු වෙන්නේ අලුත් කෙල්ලෙක්. ඒ Carina Smyth. කලින් සැරේ කපිතන් කළු‍රැවුලා’ගේ දියණියනේ… තාත්තව රවටලා; දුවව බේරලා; කළු‍රැවුලාගේ ශාපයෙන් සදහටම නිදහස් වෙන්නට ජැක් ස්පැරෝට එවර හැකිවුණා. මේ සැරේ, කපිතන් බාබෝසාගේ දියණිය. 😛 පේන හැටියට ජැක් කපිතන්ලගේ දූවරු එක්ක දිගටම පැටලෙයි වගේ… 😀 කැරීනා දක්ෂ තාරකා විද්‍යාඥවරියක්. ඒ දැනුම නිසාම මායාකාරියක් ලෙස හංවඩු ගැසුණු කෙනෙක්. බාබෝසාත් මළ බ්‍රිතාන්‍ය හමුදාකාර භූතයෙක් එක්ක පළිගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නට නියමිතයි. ඒ අතරේ පරණ පෙම් ජෝඩුවගේ හිස්තැන පුරවන්නට ගොවිපළකින් එන අලුත් ජෝඩුවකුත් එනවලු මේ වතාවේ වික්‍රමයට සහභාගී වන්නට.

කතාව අලුත් දිහාවකට ගෙනියනවයි කිව්වට, අලුත් වෙලා තියෙන්නෙ කතාවෙ ගමනාන්තය විතරයි. සැකිල්ල සුපුරුදු ලෙසම එහෙමමයි. අහ්…! අර කලින් කියපු ඉඟියෙන් කියැවෙන දේ හරිත් වගේ නේද? බලගතු, මායාවී ත්‍රිශූලයක් හොයායන්නට ජැක්ට තාරකා ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි කෙනෙකුත් හවුල් වෙන නිසා, අදහස් කරන විදිහටම සමුදුරු පතුළේ අතුරුදන් ජල නගරය බලා යන ගමනක් වීමේ ඉඩකඩ බොහොම වැඩියි. එහෙම එකක් හොයාගෙන යන්නටනම් සීමාව ඉක්මවූ තරු දැනුමකුත් අමුතු අමුතු තාලේ විදු දැනුමකුත් නොඅනුමානවම වුවමනා වෙයි තමයි. 😉

Rebecca Hall
Rebecca Hall

Django චිත්‍රපටියේ රංගනය වෙනුවෙන් “හොඳම සහාය රංගනය” ඔස්කා දිනූ Christoph Waltz මෙවර ස්පැරෝ‘ගේ හතුරා වෙන්නට සැරසෙනවා. ඒ එක්කම Keith Richards යළි වරක් Captain Teague ලෙසින් එක්වන්නට සූදානම්. ඒ එක්කම අර කියාපු Carina Smyth ලෙස එක්වන්නට යන්නේ Iron Man 3′හි දු‍ටු Rebecca Hall කියලයි කියන්නේ… බාබෝසා ලෙස Geoffrey Rush පෙර සේම එක්වේවි.

Jeff Nathanson‘ගේ තිරපිටපතට අනුව අධ්‍යක්ෂණය Joachim Rønning සහ Espen Sandberg(KON-TIKI) යුවළගෙනුයි. මේ රසායනිකයන් සියල්ලම නිවැරදිව එකිනෙකට මුසුකළ; තිරයේ හෝරා කිහිපය, හරියාකාරව සකසන්නට කලින් කීවාට වැඩි කලක් වුවමනාලු දැන්. කලින් විහින් කරගත්තු පාඩුව නිසා සෑහෙන බරක් තියාගෙන මේක කරගන්න එක බොහොම වැදගත්. චිත්‍රපට 4කින් $බිලියන 3.7ක් (4කට ඔන්න මෙන්න නෙහ්? එකක සාමාන්‍යයත් බිලියනකට කිට්‍ටුයි!) හොයපු මේ වගේ සිනෙ පෙළක් ඇණගන්න කිසිකෙනෙක් කැමති නෑ කියන එක පුදුමයක් නොවෙයිනේ කොහොමටත්. ඒ නිසා අලුත්ම ආරංචිවලට අනුව, සිනමාහල්වලට වැදිලා රසිකයන්ගෙන් මුදල් කොල්ලකන්නට නියමිත දිනයත්; මූදුකොල්ලකාරයෝ ටික කල්දාගෙන තියෙනවා. අපි කලින් කියපු දිනය කපාහැරලා ඔන්න අලුත් දිනය පහළින් සටහන් කළා. දුකයි තමයි 🙁 ඉවසමු ඒත් 🙂

තිරයට එන දිනය: 2016 ගිම්හාන සමය

උදා (217 Posts)