DaVinci’ගේ වැඩ තව ඉවර නෑ…

තමන් වෙත මෙතෙක් /කල් ප්‍රේක්ෂක ගංගාවක් උරුම කර දුන් කැපුවා’හි වීරයා සමුගැනීමත් සමගම STARZ නාලිකාව අලුත් වීරයෙක් සොයා යෑම ආරම්භ කළා. ඒ වුණත් මේ වීරයා Spartacus‘ට වඩා වෙනත්ම අන්තයක ඉන්න කෙනෙක්. ඔහු උපායෙන් හරඹ කළ බුද්ධි වීරයෙක්. ඒ අලුත් වීරයා තමයි Leonardo DaVinci.

ඕං දැන් හොඳම හරිය 😉 … කට්ටිය අමාරුවේ දාන වැඩේ! මතකයිනේ රොයිලිගෙත් හසන්තගෙත් ඇඟ බැන්දා දෙවතාවක්! 😀 මේ පාරත් සූදානම ඒ වැඩේටම තමයි. හැබැයි මේ පාර බඳින්ඩ යන්නෙ කාගෙ ඇඟද කියන එකනම් තාමත් පැහැදිලි මදි!

නමුත් මේ අමුතු වීරයා දැනටමත් -ඒ කියන්නේ ආරම්භයේදීම- වැඩ පෙන්නලා ඉවරයි. නියාමක කොටස(Pilot Episode) විකාශය කිරීමෙන්ම STARZ නාලිකාවට වාර්තා ගත ප්‍රේක්ෂකත්ව අගයක් ලබා දෙන්නට මොහු සමත් වෙලා. ඒ ගණනින් 2.14m වන ප්‍රේක්ෂකත්වයක්. මේ හේතුවෙන් නියාමක කොටසෙහි තත්ත්ව වාර්තාවන් ප්‍රකාශ වූ වහාම ඔවුන් මෙහි දෙවැනි කතා සමයකුත් නිර්මාණය කිරීමට තීරණය කරලා. මේ ටිකේ ආපු වීරයො ඔක්කොම මේ වගේ, නේද? The Following තුළ පෝ’ගේ සිද්ධාන්ත ඇසුරින් කලාත්මකව මිනීමර ජෝ කැරොල් විසිනුත් මෙවන් තත්ත්වයක් ඇති කරවූ වග අප ඔබට කීවා මතක ඇති, දැන් කරළියට එන්නේ ආභ්‍යන්තරික රකුසන් හා සමග එන ඩා වින්සි.

මේ ඩාවින්සි කතාවට සැබෑ ඩා වින්සිගේ බලපෑමක් තිබුණත් ඒක එතරම් විශාල බලපෑමක් නොවෙයි. ඔහුගේ ජීවන තතු මේ ඔස්සේ ඉදිරිපත් වුණාට, මෙය වාර්තා-රංගයක්(Docu-Drama) නොවෙයි. තනිකරම ඉතිහාසමය අරුමැසි(Historical Fantasy) යන වර්ගීකරණයට වැටෙන එකක්. දැනටමත් ඩාවින්සි’ට වේල්සයට යන්නට නියම කරන්නට සැරසෙන බවක් තමයි සැලවෙන්නේ. ඒ මෙහි දෙවැනි කතා සමයේ රූගත කිරීම් කටයුතු සඳහායි. ඒ වගේම මෙහි දෙවැන්න පුංචි තිරයට එන වර්ෂය 2014 ලෙස තීරණය වී හමාරයි.

STARZ මෑතක කළ අලුත් වැඩ කීපයක් අසාර්ථක වේගෙන යද්දී; විකාශය කරන්නට තිබූ ටෙලි කතාමාලාවන් හිඟයකට ඔවුනට මුහුණ පාන්නට සිදු වුණා. ඒ අස්සෙ ප්‍රේක්ෂක ජනයා දිනා දුන් එකම වීරයා Spartacus ගේ සමුගැන්ම සිදුවීමත් නාලිකාවට විශාල පාඩුවක් වන බවට සැකයක් තිබුණේ නෑ. නමුත් DaVinci’s Demons‘හි ආගමනයත් සමගින් ඒ අඩුව පිරෙනවා විතරක් නොවෙයි, නාලිකාවට ප්‍රේක්ෂක මනසේ ලැගුම් ගන්නට හැකි ශක්තිමත් ස්ථාවරයකුත් මින් හිමිවෙලා. මෑතකදී දෙවැන්නක් තනන්නට තීරණය කළ එකම STARZ කතාව මෙය පමණයි.

මේ මොහොත වනවිටත් මේ දෙවැන්නෙහි නිර්මාණ කටයුතු සඳහා අවැසි පසුබිම් කටයුතු සිදුවෙමින් යනවලු. ඒ එක්කම මෙවර තිරපිටපත් ලියන්නට තවත් අයවලුන් එක්කාසු කරගන්නට මේ නිර්මාණයේ ප්‍රධාන තිරරචක සහ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන David S. Goyer කටයුතු කරලා. ඔවුන් හාසකතා සම්පාදකයින්(Comic Book Writers). නමින් Johathan Hickman (ඔහු ගැන දන්නෙ නැතිනම් ඔහු තමයි The Avengers, The Manhattan Projects ලියන කෙනා) සහ Matt Fraction (Fantastic Four, Hawkeye ඔහුගේ රචනාවන්). මේ දෙදෙනාගේ දායකත්වය අලුත් කතා සමයේ කොටස් දෙකක් සඳහා පමණක් ලබා ගන්නට Goyer කටයුතු කරනු ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.


2010 වසරේදී Marvel උදවියගේ S.H.I.E.L.D. නම් හාසග්‍රන්ථය රචනා කර ඇත්තේද Hickman. මොවුන් දෙදෙනාගේ දායකත්වය ලබා ගැනීමට නාලිකාවේ අනුමැතිය හිමිවෙලා. මාලානිර්මාපක Goyer ඔවුන්ව හඳුන්වන්නේ හාස දෙවිවරුන් වශයෙනුයි. ඔවුන් එතරම්ම දක්ෂ යක්ෂයින් දෙදෙනෙක්. එනිසා ඔවුනගේ රචන දායකත්වයෙන් කතා මාලාවට නව ආලෝකයක් එක්කර ගැනීමට ලැබුණු අවස්ථාව මගහැරගන්නට කිසිවෙකුත් කැමති වී නැහැ.

මෙය ඔවුනගේ පළමු රූපවාහිනී රචනා අද්දැකීම වුවත් ඔවුන් රචනා කලාවේ රජවරුන් නිසා එතරම් කාරියක් නැතිවෙයිලු මේ වැඩේ ඔවුනට. ඇරත් ඔවුන් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන පළමුවැනියන් නොවෙයි. මීට කලින් Geoff Johns (Arrow) ටෙලි මාලාව සමගින් සහ Brian K. Vaughan (Lost/ Under the Dome) ටෙලි මාලාවන් සමගින් ඉතා සාර්ථකව රූපවාහිනී රචනයට පිවිසුණා විතරක් නොවෙයි ඉන් ඉහළ ප්‍රසාහයකුත් හිමිකරගත්තා.

ඒඇරුණුකොට, The Manhattan Project සහ Hawkeye යන නිර්මාණ දෙකම හොඳම අඛණ්ඩ හාස මාලාව සඳහා වන සම්මානයට Eisner Award උළෙලෙහිදී නාම යෝජනා පවා හිමිකරගත්තා. ඉතිං එවන් දෙදෙනෙකුගේ හැකියාවන්ගෙන් බිඳක් ලැබීමම මේ කතා මාලාවට මහත් අනුබලයක් වනු ඇති. ඉතිං පැහැදිලියිනේ එහෙනම් ඇයි Goyer මෙයාලව ‍තෝරා ගත්තේ කියලා.

එහෙමනම් STARZ’ලගේ අලුත් වීරයා, රසික සිත් උන්මාදයෙන් පුරවන කුතුහලයේ නියමුවා DaVinci; එන වසරේදී යළිත් Demons ලා සමග අප හමුවට ඒවි. ඒ එනකොට අපේ කාටහරි වැඩ තියෙයි ආයෙමත්! 😛

උදා (217 Posts)


One thought on “DaVinci’ගේ වැඩ තව ඉවර නෑ…

  • April 21, 2013 at 8:57 PM
    Permalink

    එල එල
    හොදම හොද පෝස්ට් එකක්
    ගොඩාක් තොරතුරු දැනගත්තා
    ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *