2012 සිනමාව දිග්විජය කළ චිත්‍රපටි 10…

2012 වසර සිනමාවට අතිශය සුවිශේෂී වර්ෂයක්. ඉහළතම ආදායම් ලාභී 50ට ගිය චිත්‍රපට 8ක්ම නිකුත් වීම/ $1b කඩඉම තරණය කළ චිත්‍රපට 4ක්ම බිහිවීම/ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට වැඩිම ගණනක් නිකුත් වූ වසර බවට පත්වීම/ ත්‍රිමාණ ප්‍රතිනිකුතූන් 6ක් එළිදැකීම වැනි කාරණා රැසක් මීට හේතු වෙනවා. ඒ අතරින් 2012 ආදායම් අතින් හරඹ පාපු චිත්‍රපට 10 ගැන විස්තර මෙම ලිපියෙන් ගෙන එන්නට අප අදහස් කළා.

මේ 2012 වසරේ සටහන් වූ සිනමා විශේෂත්වයන්ගෙන් කිහිපයක්:

*–  2012 වසරේ වැඩිම ආදායමක් ජනනය කළ චිත්‍රපට අතර ඉහළින්ම වැජඹෙන්නේ Josh Whedon’ගේ සමූහ වීර චිත්‍රපටය Avengers. ඊට පමණක් දෙවැනිව Christopher Nolan’ගේ අවසන් බැට්මෑන් චිත්‍රපටය වන Dark Knight Rises ද; තෙවනුව, Sam Mendes’ගේ බොන්ඩ් වීර වික්‍රම ‍රැගත් නිර්මාණකාර්යය Skyfall ද; සිව්වෙනුව Peter Jackson නිදන් සොයා ගිය හොබිට්ගේ වීර චාරිකාව වන An Unexpected Journey ද තිබෙනවා.

*–  The Hunger Games චිත්‍රපටය මෙම වසරේ $500m පසු කර ගිය ප්‍රථම චිත්‍රපටය බවට පත් වුණේ Avatar ගෙන් පසුව එක දිගට සති අන්ත 4ක්ම අලෙවි වාර්තාවන්හි අංක 1’හි ‍රැ‍ඳෙමිනුයි.

*–  2012 වසර “කි’කලෙක හෝ වාර්තා වන ඉහළතම ආදායම්-වාර්තා 50 ලැයිස්තුව” තුළට ඇතුළත් වන වැඩිම චිත්‍රපට සංඛ්‍යාවට උරුමකම් කියනවා. ඒ 2009 වාර්තා කළ චිත්‍රපට 7ක වාර්තාව 8ක් ලෙස අභිබවා යමින්. ඒ අතරට Ice Age: Continental Drift, Breaking Dawn – Part 2, The Amazing Spider-Man, සහ Madagascar 3 යන චිත්‍රපට නාමයනුත් අඩංගුයි.

*–  2012 වසර උරුම කියන දෙවන වාර්තාව $1b කඩඉම පැන ගිය වැඩිම චිත්‍රපට සංඛ්‍යාව එළි දු‍ටු වර්ෂය යන වාර්තාවයි. ඒ චිත්‍රපට 4ක්ම ඒ පිම්ම පැන්න නිසා. 2010න් පසු එකම සමාගමකින් නිපද වූ චිත්‍රපට දෙකක්ම $1b සීමාව ඉක්මවා ගියේ ද මේ වසරේදීයි. ඒ Warner Bros. සමාගමේ The Dark Knight Rises සහ The Hobbit: An Unexpected Journey කියන දෙක.

*–  එමෙන්ම වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් $500m සීමාව අභිබැවූ වසර ලෙසත් 2012 වාර්තා වනවා. ඒ චිත්‍රපට 13ක් $500m ට වඩා ඉපයූ නිසා. මේ අතරට Ted සහ Brave ද ඇතුළත්.

*–  චිත්‍රපට 11 ක්ම $600m ට වැඩි ආදායමක් ඉපයූ එකම වසරත් 2012 ම තමයි. ඒ චිත්‍රපට 11 අතරෙහි ‍රැ‍ඳෙමින්, Life of Pi පවා ඉන් ඉහළ ආදායමක් උපයන්නට සමත් වූ බැව් සඳහන්.

*– මේ වසර වැදගත් වෙන හේතු අතර පැරණි චිත්‍රපට 6ක්ම තිමාන ප්‍රතිනිකුතූන් ලෙස තිරයට ඒම බොහොම විශේෂ දෙයක්. ඒ චිත්‍රපට වන්නේ “Beauty and the Beast, Star Wars Episode I: The Phantom Menace, Titanic, Raiders of the Lost Ark, Finding Nemo සහ Monsters, Inc” යන 6.

*– ඒ අතරින් 2ක් වාර්තා සටහන් තැබීමට සමත් වෙලා. ඒ Star Wars Episode I: The Phantom Menace $1b ඉක්මවූ 13වන චිත්‍රපටය බවට පත් වෙමින් $1.027b උපයමින් සහ Titanic චිත්‍රපටය $2.185b උපයමින් $2b පසු කිරීමට සමත් වූ දෙවැනි චිත්‍රපටය බවට පත්වෙමින්. ඒ ඉම ජයගත් පළමුවැන්න Avatar!

*– $1b සීමාව පසු කර ගිය The Avengers ඒ ගොඩට එක් වූ 12 වැන්නා ලෙස කි’කලෙක හෝ සටහන් වන වැඩිම ආදායම් ලාභීන් අතර තුන්වැනි තැනත් උපයා ගනිද්දී, The Dark Knight Rises 13 වැනි ස්ථානයත්, Skyfall 14 වැනි ස්ථානයත්, The Hobbit 1 15 වැනි ස්ථානයත් ලෙස සනි‍ටුහන් වෙමින් $1b ඉම පසු කර ගියා.

 

දැන් මේ දිගහැරෙන්නේ 2012 වසරේ ඉහළතම ආදායම් ලාභී සිනමාපට 10ය ගැනයි…

01.

The Avengers
නිෂ්පාදන පිරිවැය: $220 මිලියන
ලොව පුරා සමස්ත ආදායම: $1.511 බිලියන

අද ලෝකයේ වඩාත්ම ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින සුපිරි වීරයන් ‍රැසකගේ දස්කම් එක්තැන් කළ වින්දනීය සලරුව 2012 වසරේ ඉහළතම ආදායම වාර්තා කරනවා. එදා මෙදාතුර ඉහළතම ආදායම් වාර්තා ලැයිස්තුවේ තෙවැනි තැනට මෙය හිමිකම් කියන්නේ පිළිවෙළින් $2.8 බිලියනයක් හිමි කරගත් Avatar(2010)ට සහ $2.2 බිලියනයක් හිමිකරගත් Titanic(1996)ට පමණක් පසුපසින් ‍රැ‍ඳෙමින්. මෙම ලැයිස්තුවේ ඉහළින්ම ‍රැ‍ඳෙන චිත්‍රපට දෙකම James Cameron ගේ නිර්මාණයන්. උතුරු ඇමරිකාව තුළ විශාලතම ආරම්භක සති අන්ත ආදායම ජනනය කරන්නට වගේම $1b සීමාව ඉක්මවූ වේගවත්ම සිනමා පටය බවට පත්වන්නටත් මෙය සමත් වුණා. දේශීය වශයෙන් $623.3 මිලියනයක් ද විදේශයන්හි $888.4 මිලියනය්ක්ද සටහන් කළා. එමෙන්ම වැඩිම ආදායමක් ලද චිත්‍රකතා අනුහුරුව/ වැඩිම ආදායමක් ලද සුපිරි වීර චිත්‍රපටය බවට පත් වුණා. Avatar සහ HP: Deathly Hallows Prat 2 හා සමාන දින ගණනක් ගත කරමින් $1b පසුකර ගියේ දින 19ක් තුළදීයි. එමෙන්ම නිකුත් වී දින 12කින් සිනමා පටයේ වියදම පියවන්නටත් සමත්කම් පා තිබෙනවා. එමෙන්ම Disney සමාගම සතු වැඩිම ආදායම් ලාභියා වන්නේ ද, සමාගම සතු $1b ඉක්මවූ 5 වැනි චිත්‍රපටය වන්නේ ද මෙයයි. ලොව පුරා ප්‍රදර්ශනාරම්භයේදී ඉපයූ 392.5 මිලියනය තෙවන වැඩිම ආරම්භක ආදායම බවටත් පත් වෙලා.

 

02.
Skyfall
නිෂ්පාදන පිරිවැය: $150-200 මිලියන
ලොව පුරා සමස්ත ආදායම: $1.108 බිලියන

James Bond හට මේ වසර කොහොමටත් සුවිශේෂීයි. මේ ඔහුගේ සිනමා සම්ප්‍රාප්තියෙන් ගෙවෙන 50 වැනි වර්ෂය. ඒ වෙනුවෙන් සුවිශේෂතම සැමරුමක් තබන්නට මෙම සිනමා පෙළෙහි 23 වැන්න වන Skyfall සමත් වුණා. ඒ කොයිම කාලෙක වුණත් වාර්තාගත වන ලොව ඉහළතම ආදායම් ලැයිස්තුවේ සිව්වැනි තැන අත්පත් කරගනිමින්. Daniel Craig චරිතයට පණපොවන තුන්වැනි නිර්මාණය වන මෙය Sam Mendes’ගේ අධ්‍යක්ෂණයක්. එහි නිකුතුවෙන් 5වන සතිය වනවිට යළි වරක් අලෙවි වර්තා සටහනේ අංක 1 ස්ථානයට පවා පිවිසෙන්නට හැකියාව ලැබුවා. බ්‍රිතාන්‍යය තුළ වාර්තා වන ඉහළතම ආදායම් ලාභියා වන්නට මෙය සමත් වුණේ, කලින් වාර්තා හිමිකරු වූ Avatar ඊට වඩා වැඩි වේගයකින් අභිබවා යමිනුයි. එමෙන්ම Sony සමාගම සතු ඉහළතම ආදායම් ලාභී සිනමාපටය වන්නටත් මෙය වරම් ලැබුවා. ආරම්බක සති අන්තයේ පමණක් $80.6 මිලියනයක් ජනනය කළා.

 

03.
The Dark Knight Rises
නිෂ්පාදන පිරිවැය: $250-300 මිලියන
ලොව පුරා සමස්ත ආදායම: $1.081 බිලියන

Christopher Nolan ගේ The Dark Knight ත්‍රිත්වයේ අවසානය සනි‍ටුහන් කළ මෙම සිනමාපටය එක්සත් ජනපදය තුළ $448 මිලියනයක් සහ ලොව වටා $632 මිලියනයක් ලෙසින් ආදායමක් වාර්තා කළා. මෙය මෙහි දෙවැන්න වන The Dark Knight(2008)ට වඩා අඩු දේශීය ආදායමක් සහ වැඩි එතෙර ආදායමක් වාර්තා කළා. දෙවැන්නෙහි දේශීය ආදායම $533 මිලියනයක් වෙද්දී එතෙර ආදායම වුණේ $469.7 මිලියනයක් පමණයි. මෙම සිනමාව වැඩිම ආදායමක් හිමි කරගත් සුපිරි වීර චිත්‍රපට අතර දෙවැනි තැනෙහි වැජඹෙනවා. Warner Bros. වෙතින් බෙදාහරිනු ලැබූ $1b ඉක්මවූ තෙවැන්න බවට පත්වුණා. එමෙන්ම IMAX සිනමාහල් වල වේගවත්ම $50m වාර්තාවත් දෙවන $100m වාර්තාවත් හිමිකරගත්තා. පළමු IMAX $100m චිත්‍රපටය වන්නේ Avatar චිත්‍රපටයයි. ඒ වගේම සිනමා ඉතිහාසයේ අඳුරු වාර්තාවක් මෙහි නම හා ඈඳුණා. ඒ කොලරාඩෝ ප්‍රාන්තයේ ඖරෝරාවල මැදියම් සමාරම්භක තිරගතවීමක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් 12 දෙනෙකු මියගොස් 58 දෙනෙකු තුවාල ලැබීම හේතුවෙන්.

 

04.
The Hobbit: An Unexpected Journey
නිෂ්පාදන පිරිවැය: $200-315 මිලියන
ලොව පුරා සමස්ත ආදායම: $1.016 බිලියන

1937 දී R.R.Tolkien අතින් ලියැවුණු මනකල්පිත ලොවකදී සිදුවන වීරචාරිකාවක් මත පදනම්ව නිමැවුණ ත්‍රිත්වයකින් සමන්විත චිත්‍රපට පෙළෙහි පලමුවැන්න මෙයයි. මෙය LOTR ත්‍රිත්වයට පෙරබැඳියක් ලෙසින් නිර්මාණය වන සිනමා ත්‍රිත්වයක්. එක්සත් ජනපදය හා කැනඩාව තුල $302 මිලියනක් සහ විදේශයන්හි $714 මිලියනයක් උපයන්නට සමත් වුණා. ඒ වගේම සාමාන්්‍ය සිනමා බාවිතාව වන තත්පරයට රූපරාමු 24 හි දෙගුණයක වේගයක් රූගත කිරීම් සහ ප්‍රේක්ෂණය කිරීම සඳහා යොදා ගනු ලැබූ ලොව ප්‍රථම සිනමාපටය මෙය වීමද මෙහි ඇති තවත් එක් සුවිශේෂීත්වයක්. මේ වනවිට මේ අනුව යමින් සිනමා ලොව 24fps වෙනුවට 48fps වෙත නැඹුරුවෙමින් සිටිනවා. සිනමාවේ අනාගත හැඩහුරුකම තීරණය කිරීමෙහි ලා තීරණාත්මක වන චිත්‍රපටයක් බවටත් එනිසා මෙය පත්වෙලා.

 

05.
Ice Age: Continental Drift
නිෂ්පාදන පිරිවැය: $95 මිලියන
ලොව පුරා සමස්ත ආදායම: $877 මිලියන

Twenthieth Century Fox සමාගමේ Ice Age සිනමා පෙලහරේ සිව්වැන්න ලෙස එළිබට මෙය, අලෙවි වාර්තා සටහනේ ශක්තිමත් ස්ථාවරයක් පෙන්නුම් කළ එකක්. දින දෙකක් තුළ වෙළදපළ 12කදී $11 මිලියනයක් උපයන්නට එය සමත් වුණා. ලතින් ඇමරිකාවේ සහ ප්‍රංශයේ පවා ඉහළ ප්‍රසාදයක් දිනූ මෙය එතෙරින් $714 මිලියනයක් ද, රට තුළින් $161 මිලියනයක්ද ඉපයූවා. 2012 වසරේ නිකුත් වූ සජීවීකරණ චිත්‍රපට අතුරින් ඉහළතම ආදායම සතු කරගත්තේ මේ චිත්‍රපටයයි.

 

06.
The Twilight Saga: Breaking Dawn Part 2
නිෂ්පාදන පිරිවැය: $120 මිලියන
ලොව පුරා සමස්ත ආදායම: $829 මිලියන

Twilight සිනමා මාලාවෙහි අවසානය සටහන් කරමින් තිරයට පැමිණි Breaking Dawn Part 2 නිෂ්පාදන සමාගම එක් වසරක් තුළ දේශීය වශයෙන් පමණක් $1b ආදායම් සීමාවෙන් ඔබ්බට කැඳවා යන්නට සමත් වුණා. මෙම සිනමා පෙළෙහි ඉහළම ආදායම වාර්තා කරන්නට ද මෙය සමත්කම් පෑවා. නව යොවුන් නවකතා මාලාවක සිව්වැනි කෘතිය ඇසුරින් තිරයට නැගුණු දෙවන චිත්‍රපටය වන මෙය අතිශය සාර්ථකත්වයක් දෙස් විදෙස්’හි අතපත් කරගත්තා.

 

07.
The Amazing Spider-Man
නිෂ්පාදන පිරිවැය: $230 මිලියන
ලොව පුරා සමස්ත ආදායම: $752.2 මිලියන

Sam Raimi මකුළු මිනිසාගේ වික්‍රමයන් ත්‍රිත්වයකි හමාර කළ පසුව, ඒ උණුසුම යන්නටත් මත්තෙන් යළි වරක් එය ප්‍රතිනිර්මාණය කරන්නට Marc Webb’ට භාර වුණා. මෙවර කතාව වෙනස්ම මගක ගෙනයමින් නව නළු-නිළියන් පිරිසක්ද යොදවා ගැණුනා. Andrew Garfield මකුළු මිනිසා වන Peter Parker වූ අතර Emma Stone ඔහුගේ ආදර උන්මාදය වන Gwen Stacy වුණා. අලෙවි වාර්තාවන්හි හොඳ අගයක් පෙන්නුම් කළ නිසා මෙහි දෙවැන්න සඳහා Webb සහ Garfield දැනටමත් සූදානමින් පසුවෙනවා. මෙය මේ වනවිටත් රූගත කෙරෙමින් පවතිනවා.

 

08.
Madagascar 3: Europe’s Most Want
නිෂ්පාදන පිරිවැය: $145 මිලියන
ලොව පුරා සමස්ත ආදායම: 742.1 මිලියන

DreamWorks සමාගමේ සජීවීකරණ චිත්‍රපට පෙළක තෙවැන්න ලෙස එළි දු‍ටු මෙය එතෙර අලෙවි වාර්තාවන්හි අංක 1 ස්ථානය මුල් දෙසතිය පුරාවටම ‍රැකගත්තා. ඒ මේ පෙලහරෙහි දෙවැන්න එතෙර ඉපයූ ආදායම $158.4 මිලියනයකින් අභිබවා යමින්. සමාරම්භක ආදායම ලෙස $60.4 මිලියනයක් දේශීයවද සටහන් කළා. මෙය මෙම සිනමා පෙළෙහි ඉහලතම ආදායම් ලාභියා ද වනවා. එමෙන්ම DreamWorks සජීවිකරණිතයන් අතුරින් ඉහළතම ආදායම ලාභියා ද වනවා. ඒ එතෙක් පැවති Shrek Forever After හි එතෙර ආදායම් වාර්තාව ඉක්මවා යමින්. එතෙර ආදායම $525m උපයා තිබෙනවා.

 

09.

The Hunger Games
නිෂ්පාදන පිරිවැය: $78 මිලියන
ලොව පුරා සමස්ත ආදායම: $691 මිලියන

ජනප්‍රිය නවයොවුන් නවකතා මාලාවක ප්‍රථම කෘතිය සිනමාවට නගමින් නිෂ්පාදනය කළ මෙය තුරුණු වීරවරියක් වටා ගොඩ නැගුණු කතා පුවතක්. ත්‍රිත්ත්ව නිෂ්පාදනයක් වන මෙහි දෙවැන්න මේ වසරේදී තිරයට එන්නට නියමිතව තිබෙනවා. දේශීය වශයෙන් $408 මිලියනයකුත් එතෙරින් $278කුත් උපයා තිබෙනවා. නිෂ්පාදන වියදම හා සාපේක්ෂ ආදායම් ජනන ප්‍රතිශතය අනුව එක්සත් ජනපදයේ වැඩිම තෙවන ආදායමට් ලොව පුරා නව වන තැනත් හිමිකරගෙන තිබෙනවා. එමෙන්ම DVD පිටපත් අලෙවියෙන් 2012 වසරේ හොඳම අලෙවිය ලද DVD පටය ලෙසද වාර්තාගත වෙනවා.

 

10.
Men In Black 3
නිෂ්පාදන පිරිවැය: $215 මිලියන
ලොව පුරා සම්ස්ත ආදායම: $624 මිලියන

MIB සිනමා පෙළහරෙහි ඉහලතම ආදායම වාර්තා කරනුයේ මේ සිනමාපටයයි. MIB පළමු වැන්න $589.4m සහ දෙවැන්න 441.8m ලෙස සටහන් වෙනවා.මෙහි තෙවැන්න නිකුත් වුණේ දෙවැන්නෙන් වසර 10කට පසුව සහ පළවැන්නෙන් වසර 15කටම පසුවයි. විශාලතම නිදහස් දින සති අන්ත IMAX ආදායමේ වාර්තාව POTC: On Stranger Tides වෙටිහ්න් උදුරා ගන්නටත් මෙය සමත් වුණා. මෙහි සිව්වැන්නක් ගැන යෝජනා සලකා බැලෙන බවද සැලයි.

උදා (217 Posts)


4 thoughts on “2012 සිනමාව දිග්විජය කළ චිත්‍රපටි 10…

  • April 16, 2013 at 10:43 AM
    Permalink

    නියමයි..

  • April 15, 2013 at 11:36 PM
    Permalink

    ela ela…thanks lot bro

  • April 15, 2013 at 1:05 AM
    Permalink

    පට්ටයි මචන්, ගොඩක් ස්තූතියි..

  • April 14, 2013 at 11:10 PM
    Permalink

    පට්ටයි……හොදේ…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *