F&F 7න් ඉවරයි….??!

ඔබ අප කවුරුත් දන්න කියන F&F චිත්‍රපට පෙළහර ඉතාමත්ම ජනප්‍රිය වෙච්ච; සහ ලොව පුරා අති මහත් ආකර්ෂණයක් උපයා ගත්තු සිනමා පෙළක්. මේකේ මූලාරම්භක නිර්මාණය සමන්විත වුණේ චිත්‍රපට 3කින්. ඒ තමයි පිළිවෙළින් 1, 2, 3 ලෙස තිරයට ආ The Fast and the Furious (2001)/ 2 Fast 2 Furious (2003)/ The Fast and the Furious: Tokyo Drift (2006) නිර්මාණ තුන. මින් මුල් දෙක අධ්‍යක්ෂණය කෙරුණේ; පළමුවැන්න; Rob Cohen සහ දෙවැන්න; John Singleton විසින්. ඉන් පසුව ආ චිත්‍රපට සියල්ල -ඒ කියන්නේ මේ වසරේ මැයි 23 තිරයට එන 6 වැන්නත් ඇතුළත්ව 3 සිට 6 දක්වාම අධ්‍යක්ෂණය කළේ; Justin Lin.

මේ චිත්‍රපට පෙළ චිත්‍රපට පෙළහරක් බවට පත් වෙන එක ඇරඹුණේ 3න් වැන්නෙන් පසුවයි. එතෙක් එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති චිත්‍රපට විදිහට තමයි මේවා කළ එළි බැස්සේ. නමුත් සිව්වැන්නත් පස්වැන්නත් සෘජුවම සම්බන්ධකම් පෑවා එකිනෙකට. 6 වැන්නට එනකොට ඒක තවත් තහවුරු වෙලා. 7 වැන්න දක්වා ඉදිරියට යන්නෙත් ඒ හේතුව වඩාත් තහවුරු කරන්ඩ බවයි දැනගන්ඩ ලැබෙන්නේ…

මෙහි 1, 2, 3 අතර පැහැදිලි සම්බන්ධයක් නෑ; චරිත මගින් ගොඩනැගෙන සම්බධය හැරුණුකොට! නමුත් 4, 5, 6 එකිනෙකට එක එල්ලේ සම්බන්ධයි. එතකොට 7 වැන්නෙන් කරන්ඩ යන්නේ 1, 2, 3 සහ 4, 5, 6 කියන සියල්ල එකිනෙකට ඈ‍ඳෙන සම්බන්ධය ගොඩනැගීම බවයි පැවසෙන්නේ. ඒ කියන්නේ මේ චිත්‍රපට මාලාවෙහි තිබුණු නොපැහැදිලි තැන් පැහැදිලි කරලා, පැටළිලි සහගත තැන්වල පැටළිලි ඇරලා සියල්ල එකම දාමයක් බවට පත්කරවමින් මේක 7 වැන්නෙන් නිම වෙන්නටයි යන්නේ!

ඒ කොහොමවෙතත්, 6 වැන්න තිරයට එන උණුසුම පිටම 7 වැන්නත් කැන්දන්ඩ Universal Pictures චිත්‍රාගාර සමාගමට දැඩි හදිස්සියක් තියෙන හින්දා Justin Lin 7 වැන්නට අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ නෑ. මෙතුවක් කල් 3-6 දක්වාම පැවතුණ Chris Morgan සහ Justin Lin ගේ තිරරචක-අධ්‍යක්ෂක සුසංයෝජනය එනිසා 7 වැන්නට ලැබෙන්නේ නෑ. මේ චිත්‍රපට මාලාව තිරය මත විතරක් නෙමෙයි ප්‍රේක්ෂක සිත් තුළ සහ අලෙවි වාර්තා අතරත් හරඹ පාන පෙළහරක් බවට පත් කරවපු මේ තිරරචක-අධ්‍යක්ෂක මුසුව තමයි මෙය මෙතරම් දුරක් ‍රැගෙන ආ ප්‍රබලම හේතුව. නළු-නිළියන්ගේ හැකියාවත් කරට කර නිසා හැම අතින්ම මේක සාර්ථක වුණා.

Justin Lin 6 වැන්නෙහි පසු නිෂ්පාදන කටයුතු නැතහොත් ඔප්නැංවීමේ කටයුතු මේ දිනවල කරමින් පවතින බවයි දැනගන්ඩ තිබෙන්නේ. අධ්‍යක්ෂකවරයෙක් හැටියට තමන්ගේ නිර්මාණය උපරිම සුමට බවකින් එළි දක්වන්ඩ කැපවිය යුතු නිසා තමන් 7 වැන්නත් භාරගත්තොත් 6/ 7 පටළැවිලා දෙකම කම්බස් වෙන බව දැනගෙන ඔහු 7 වැන්නට බෑ කිව්වලු. ඒ නිසා මේ දිනවල චිත්‍රාගාරය සුදුසු අධ්‍යක්ෂකවරුන් ‍තෝරමින් ඉන්න බවකුයි ආරංචි වෙන්නේ. දැන් දැන් මේක අධ්‍යක්ෂකවරුන් බොහෝවකගේ ප්‍රතිචාරය බවට පත් වෙලා. Hunger Games 2 සහ Planet of the Apes ප්‍රතිනිර්මාණයෙහි දෙවැන්න වෙනුවෙන් ලැබුණු ආරාධනා ඒ ඒ අධ්‍යක්ෂකවරුන් ඉවත ලා තිබෙන්නේ ඉහත කී හේතුව නිසාවෙන්මයි. (ඒ හැරුණහම අධ්‍යක්ෂක Justin Lin- Terminator 5 සහ Highlaender ප්‍රතිනිර්මාණය කෙරෙහි යොමු වන්නට මග බලා හිඳීමත් තවත් එක් හේතුවක් බව සඳහන් 😀 )

කොහොම වුණත් මේ F&F චිත්‍රපට මාලාව සිනමා ලෝකේ මහා හරඹයක් බවට පත් කරවපු අධක්ෂකවරයාට ඒක නිසි විදිහට නිම කරන්නට නොලැබීමනම් අවාසනාවක්! 🙁  මොකද 7 වැන්නෙන් පෙර කතා සියල්ල එකිනෙකට සබැ‍ඳෙන හැටි පෙන්වන්නට යනවානම් ඒක එච්චර ලේසි පාසු වැඩක් වෙන්නෙ නෑ…

අනික දැනට මේ සඳහා සලකා බැලෙන අධ්‍යක්ෂකවරුන් තිදෙනාම මේ ෂානරය ගැන අද්දැකීම් ඇති අය නොවෙයි. නමුත් ඒක අසාර්ථකත්වයක් කරා බලපෑමක් ඇති කරන්නෙ නෑලු. මොකද justin Lin මේ සිනමා පෙළට එක්වනවිට ඔහුටත් එවන් අද්දැකීම් තිබිලා නෑ. නමුත් ඔහු තමයි මේක පහරක් බවට පත් කළේ. දැනට සලකා බැලෙන තිදෙනා මෙහෙමයි;

Kick-Ass 2 අධ්‍යක්ෂක:Jeff wadlow,
The Lincoln Lawyer අධ්‍යක්ෂක: Brad Furman,
Karate Kid අධ්‍යක්ෂක: Harald Zwart,

අද්දැකීම් මහගොඩක් නැතිවුණත්, මේ තුන්දෙනාම සුපිරි වැඩකරුවෝ බවයි පේන්නට තිබෙන්නේ. මේ තදියමට හේතුව 6 වැන්නෙහි උණුසුම පහවන්නට පෙර, අවම වසරක කාල පරාසයක් තුළ 7 වැන්නත් තිරයට ගෙන ඒමට Universal චිත්‍රාගාරයට ඇති තදබල වුවමනාව කියලයි දැගන්ඩ තියෙන්නේ. දැනට 2015 සඳහා දින වකවානු හිමිවනු ඇතැයි බලාපොරොත්තු තබා සිටින 7 වන භයංකාර වේගය, ඊට හුඟාක් කලින් 2014 ගිම්හාන සමය වෙනකොට සිනමාහල්වලට ගෙන එන්ඩයි මේ වලිකන්නේ ඔවුන්.

මොනවා වුණත්; එහෙනම් ඔන්න තවත් එක ත්‍රාසය, ක්‍රියාදාම සහ සුපිරි කුතුහලයක් පුරවගෙන, සිනමාහල් කරා වේගයේ භයංකාරත්වය ‍රැගෙන ආ මේ සිනමා පෙළහර නිමාව දකින්ඩ වාගෙයි යන්නේ. අපි බලමු එහෙනම් මෙතෙක් නොපැහැදුණු 1, 2, 3 එකිනෙකට ගැළපෙන හැටි; සහ 4, 5, 6 ත් එක්කත් ගැළපෙන හැටි; 7න් එළි වෙයිද කියලා? එහෙම වුණත් නොවුණත්; මේකත් එක්ක මේ සිනමා පෙළහරට තිත තැබෙන වගයි දැනට හෙළි වෙලා තිබෙන තතුවිත්තිවල වගවිත්තිය.

 

උදා (217 Posts)


9 thoughts on “F&F 7න් ඉවරයි….??!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *