Percy Jackson රකුසන්ගේ සමුදුරට…

මතක ඇති නේද, අතීත කාලයෙන් මිදිලා වර්තමාන කාලයේ අප අතරට සමීප වුණ අඩ-සුරවරයා! ඔබ හරි! Percy Jackson! ඔහු මේ පාර දෙවෙනි වික්‍රමයට යන්නට සූදානම්. මෙවර ගමන රකුසන්ගේ සමුදුරට(Sea of Monsters)…

‘Percy Jackson & the Olympians: The Lightning Thief (2010)’ සමගින් ඔහුගේ සිනමා වික්‍රමයන්ගෙන් පළමුවැන්න අපට දැක ගැනීමට ලැබුණා. මේ දෙවැන්න. මේකත් දක්ෂ ඇමෙරිකානු ලේඛකයෙකුගේ සිතින් උපන් නව අදහසක්. අතීත යුගයෙන් අහන්නට ලැබෙන අඩ-සුරවරුන් ඔහුගේ දක්ෂ සංකල්පයක් හරහා යළි වරක් මේ යුගයට කැඳවාගෙන එන්නට ඔහු සමත් වුණා. මෙය මෙනමින් ඔහු විසින් බිහි කළ අඩ-සුරවරයාගේ හපන්කම් ඇතුළත් පොත් පහකින් දෙවැන්න. පළමු සිනමා වික්‍රමය බෙහෙවින් සාර්ථකයි. එනිසා Fox 2000 සමාගම දෙවෙනි වරටත් Percy’ට සිනමා වරම් දෙන්නට තීරණය කරලා. පළමු වැන්න $ 95m වැයකින් $ 226.5m පමණ උපයා තිබෙනවා. ඒ වගේම Rick Riordan ගේ පාඨකයන් බොහෝ දෙනෙක් එය ආදරයෙන් වැළඳගෙන තිබෙනවා.

පොත් පහකින් යුතු මේ නව යොවුන් වික්‍රම කතා පෙළෙහි දෙවැන්න තමා මෙවර මේ ලෙස සිනමාවට පිවිසෙන්නේ. ගියවරට වඩා පහසු නමක් මේ පාර දීලා; Percy Jackson: Sea of Monsters විදිහට. ගියවර අධ්‍යක්ෂණයෙන් දායක වුණු Chriss Columbus(Harry Potter 1 & 2) වෙනුවට මෙවර ‘Diary of a Wimpy Kid’ – Thor Freudenthal තමයි අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. ඔහු පවුලේ කතා සහ විනෝදාත්මක නිර්මාණ ගැන උපරිම දක්ෂයෙක් වුණත් මේ ප්‍රභේදය ඔහුට නුහුරු එකක්. ඒ නිසා මේ ගැන ඇතිව තිබූ සැකසංකාවනුත් ඉවතලමින් මෙහි පෙර දසුන් පෙළක් නිකුත් වී තිබෙනවා. එයට අනුව පෙරට වඩා ආකර්ශනීය වික්‍රමාන්විත ක්‍රියාදාම ගහණ චිත්‍රපටයක් වන ලකුණු පහළ කර තිබෙනවා.
(මෙය තවමත් අන්තර්ජාලයට නිකුත් වී නැහැ. ආ ගමන්ම අප එයත් ඔබ වෙත ගෙන එන්නම්)

ගියවර චිත්‍රපටයේ සිටි ප්‍රමුඛ නළු නිළි කැළම යළි හමුවෙනවා මෙවරත් Logan Lerman(Perks of Being a Wallflower) පර්සි ජැක්සන් ලෙසත්, Brandon T. Jackson(Beverly Hills Cop 2013) පර්සිගේ ආරක්ෂකයා ලෙසත්, Alexandra Deddario(Texas Chainsaw 3D) පර්සිගේ පෙම්වතිය වන ඇනබත් ලෙසත් එක්වෙනවා. ඊට අමතරව අනෙකුත් පිරිස අතරින් Sean Bean, Pierce Brosnan, Katherine Keener සහ Kevin McKidd සුපුරුදු චරිත වලින් හමුවන විට සෙසු චරිත සඳහා තවත් සුපිරි නළු නිළි පිරිසකගේ දායකත්වය ලැබෙන බව සඳහන්. Scott Alexander සහ Larry Karaszewski යන ප්‍රවීණයන් දෙපළගෙන් තිරරචනය. නිෂ්පාදනය Karen Rosenfelt(Breaking Dawn) සමග Chris Columbus ගෙන්.

මෙවර කතාව පොඩ්ඩක් කිව්වොතින් මෙහෙමයි;

ගියවර පර්සි ඇතුළු සෙසු අඩ-සුරන්(Demi-Gods) නවාතැන් ගත් අඩ-රුහිරු කඳවුර(Camp Half-Blood) මෙවර ආක්‍රමණයකට ලක් වෙනවා. මීට හේතුව කවුරුන් හෝ විසින් මේ කඳවුර සහ එහි වෙසෙන්නන් නපුරේ බලවේගයන්ගෙන් සුරකින්නට කඳවුරට කර තිබෙන මායාජීවම් බිඳ දැමීමයි. මේ අදිසි බාධකයට විස කැවීමකින් දැන් එය අඩ-සුරන් හට එරෙහි සියළු නපුරට විවෘතයි. පර්සිගේ කඳවුරු සගයන් සියල්ලන්ගේම ආරක්ෂාව එක මොහොතින් වැනසී ගිහින්. එකම පිළියම වන්නේ පුරාවෘත්තගත ‘රන් කෙඳි’ සොයා ගැනීමම පමණයි. තම ආරක්ෂක මිත්‍රයාවත් කඳවුරත් ගලවාගන්නට පර්සි ඇනබෙත් හා සමග මෙවර රන් කෙඳි සොයාගෙන යන්නේ රකුසන්ගේ සමුදුරටයි. මේ වික්‍රමයට පර්සිගේ අඩ-සොයුරෙක් වන එකැස් යෝධයෙකුත් එකතු වෙනවා.

බලමු අපි මෙවර පර්සිගේ ඉරණම කෙසේ විසඳේවිද කියා? පර්සි එක්ක රකුසන්ගේ සමුදුරට වීර චාරිකාවෙහි යෙදෙන්නට 2013 අගෝස්තු 13 වනදා එළඹෙන තෙක් ලොව පුරා රසිකයන් පෙර මග බලාගෙන සිටිනවා, මේ වික්‍රමාන්විත චාරිකාව තිරයට එන දවස එය නිසා!

උදා (217 Posts)


2 thoughts on “Percy Jackson රකුසන්ගේ සමුදුරට…

  • September 12, 2013 at 2:38 PM
    Permalink

    Meka kawadada sub akka denne…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *