වානර මිනිසාගේ නවතම සිනමා වික්‍රමය හරියාවිද?

Warner Bros. ලා David Yatesට වැඩක් පවරලා. මතකද ඔහු? Harry Potter සිනමාගමනයෙන් හතරකම වැඩ පෙන්නුව අධ්‍යක්ෂකවරයා. එහි අවසන් චිත්‍රපට 4ම ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුණ ඒවා.  අවසන් හතරම එක් අයෙකුට දෙන්නට තරම් ඔහු කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය තහවුරු වුණා. ඒ විශ්වාසය නිවැරදි බව ඔහු ඉතා හොඳින් සනාථ කළේ මේ චිත්‍රපට මාලාවේ ජනප්‍රියත්වය එකින් එකට ඉහළ නංවලා.

ඒ නිසා Warner Bros. දැන් ඔවුනගේ තවත් එක් සිනමා අයිතිවාසිකමක වගකීම ඔහුට පවරන්නට තීරණය කරලා. ඒ තමයි නිහඬ යුගය දක්වා ඉතිහාසයක් උරුම, -Tarzan- හෙවත් වානර මිනිසා නැවත සිනමාවට කැඳවීමේ වගකීම. |-Tarzan-ගේ මෙහි පළමු සිනමා සම්ප්‍රාප්තිය Tarzan of the Apes (1918)|. චිත්‍රාගාරය සැරසෙන්නේ 2014 නිකුතු දිනයක් ඉලක්කගත කරගෙන 2013 ගිම්හානයේ දි මේ වැඩේට මුල පුරන්ඩයි.

Alezander Skarsgard මේ චිත්‍රපටයේදී වානර මිනිසා වෙන්නට යන බවයි දැනට තිබෙන අයිරුව. True Blood රූකතා මාලාවෙහි රඟපෑ මේ නළුවා වානර මිනිසාගේ චරිතයෙහි අඩංගු ‘පෙනුම’ ට උරුමකම් කියන්නෙක් ලෙස ඔවුන් වටහාගෙන තිබෙනවා. 6′ 3″ක් පමණ උසකින් යුතු -Tarzan-ගේ මුහුණට අවැසි රෞද්‍ර/ අකම්පිත පෙනුම දරන මොහු එම චරිතය සඳහා නිසැක තේරීම බවට පත්ව තිබෙන වගයි දැනට කියැවෙන්නෙ.

එතකොට ඔහුගේ ප්‍රේම-රාජිණිය Jane වන්නට යන කෙනා විදිහට අයිරු කියවෙන්නෙ සාර්ථක Mama (2012) හි රඟපෑ සහ හොඳම නිළියට නාමයෝජනා Zero Dark Thirty (2012) වෙනුවෙන් 85වෙනි ඔස්කා උළෙලෙහිදී හිමිකරගත් Jessica Chastain ගැනලු. මේ චරිත නිරූපණයට ඇයට Golden Globe 70 වෙනි සම්මාන උළෙලෙහිදී හොඳම නිළිය සම්මානයත් හිමි වුණා. ඒ නිසා ඇයගේ ආගමනය මීට ආලෝකයක් ගෙනෙනු ඇතැයි යන්නයි අදහස. හැබැයි පරණ පුරුදු ළද බොළඳ ගති පැවතුම් යුතු සුකුමාර Jane ආර්යාව වෙනුවට ටිකක් වලියට බර අභියෝග එක්ක හැප්පෙන කෙනෙක් හැටියට චරිතය අපට හමුවෙයි කියලයි මේ අනුව පේන්නෙ.

කතාව මෙහෙමලු;

‘Tarzan (John Clayton සාමිවරයා) ආපහු ශිෂ්ට සමාජෙට එක්කාසු වෙලා අවුරුදු ගණනාවකට පස්සෙ, වික්ටෝරියා ‍රැජිණ ඔහුගෙන් ඉල්ලා සිටිනවා කොන්ගෝ වනයේ සිදු වෙන බවට ආරංචි පැතිරෙන අභිරහසක් ගැන හොයා බලන්නට කියලා. මේකට ටාර්සන් යන්නෙ හිටපු කුලී භටයෙක් වන Geoarge Washington Williams එක්කයි. කොන්ගෝවේ සිද්ධ වෙන මහාපරිමාණ දියමන්ති පතලක් ආශ්‍රිතව අණසක පතුරුවන නපුරු නොහික්මුණු යුදකාමියෙකුගේ තර්ජනයන්ට මුහුණ දෙන්නටයි ඔවුනගේ ඉරණම.’

කතාව මේ වෙද්දි Adam Cozad (Jack Ryan (2013) ලිවූ කෙනා) ලියාගෙන යනවා. සමහරුනම් කියන්නෙ මේක පිරිමින්ගෙ වික්‍රමයක් වෙයි කියලයි. තව අය කියනවා මේ ගමනට Jane යාවි කියලා. ඒකයි අර කිව්වෙ, ඒ චරිතෙ නුපුරුදු විදිහකට දකින්ඩ හැකි වෙයි කියලා. කොහොමත් Chastain එනවනම් එහෙම නොවී තියෙන එකක් නෑලු. ආසන්න කාලයේ ඇය ඉදිරියට ආවෙම ඒ වගේ චරිතවලින් නිසයි එහෙම කියන්නේ. ඒ ඇරුණහම අර කිව්ව Geoarge Washington Williams ට පණ දෙන්නට SLJ(Samuel L. Jackson) චිත්‍රපටයට එක්වනු ඇතියි කියලත් කියැවෙනවා.

එහෙමනම් චිරාත් කාලයක් මුළු ලෝකයක් රසවිඳි වික්‍රම පෙළක් සහ චරිත ‍රැසක් සහිතව Edgar Rice Burroughs රචනා කළ වානර-මිනිසාගේ කතා පෙළ ජීවමාන සිනමා අත්දැකීමකින් විඳන්නට බලාන ඉමු 2014දි මේක එනකම්. ඒ වගේම මේක කල් නොයා හැදේවායි පතමු නේ!

උදා (217 Posts)


8 thoughts on “වානර මිනිසාගේ නවතම සිනමා වික්‍රමය හරියාවිද?

  • Pingback: ජර්මනියෙන් එන Tarzan… – බයිස්කෝප් මංසල

  • March 17, 2013 at 9:48 PM
    Permalink

    @ dilan

    සහෝ ඕක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. නිකමට හිතන්න, පොතක තිබෙන සියලු විස්තර සිනමාපටයකට අඩංගු කරන්නට බැහැ වගේම අඩංගු කිරීමට අවශ්‍ය නැහැ. හේතුව පොතක් සහ සිනමාපටයක් කියන්නේ සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් කලා මාධ්‍ය දෙකක්. ඒ දෙක සන්සන්දනය කළ හැකි කිසිදු පදනමක් නෑ.

    දැනගන්නට කියනවානම් තිරපිටපතක එක් පිටුවක් සිනමාවේදී එක් විනාඩියයි. එතකොට පොතේ පිටු 300 ගාණම තිරයට නැගුවොත් පැය 3කට අධික වෙනවා. එහෙම එකක් බලන්ඩ පුළුවනිද? බලන්ඩ කැමති කවුද?

    අනික පොත් කියන්නේ වචන මාධ්‍ය කරගත් කලාවක්, සිනමාව කියන්නේ රූප මාධ්‍ය කරගත් කලාවක්. ඒ වගේම පොත්වල සවිස්තරව කියැවෙන දේ සිනමාවෙන් එලෙසින්ම දක්වන්න බෑ. ටාසන්ගේ හිත විස්තර කරන හැටි පෙන්වන්නේ කොහොමද? සංකේත සහ පසුතලය තමා එකම ක්‍රමය.

    කිසිම රටක උගන්වන්නේ නැහැ පොත් සහ චිත්‍රපට සැසදිය හැකි බව. එය වැරදි මතයක්. සිනමාව කියන කලාව ගැන අවබෝධය මදකමින් නැගෙන අදහසක්. මමත් කලක් හිතුවා ඔහොම නමුත් ඒ ගැන සොයායනකොට වැටහුණා එය එසේ නොවන බව. ඒ නිසා පොතේ තියෙන කතාවම චිත්‍රපටයකින් රසවිදින්ඩ බලාපොරොත්තු වෙන්නට එපා. එහෙම වුණොත් රචනය සහ සිනමාව කියලා කලා මාධ්‍යයන් දෙකක් මොකටද? අවශ්‍ය නැහැනේ.

    ඒ දෙක දෙකක්. මුළුමනින්ම අන්ත දෙකක තිබෙන දෙකක්. ඒ නිසා එකිනෙක නොසසදා වෙන වෙනම රසවිදින්න උත්සාහ ගත්තානම් ඔය ප්‍රශ්නය මතු වෙන එකක් නැහැ.

  • March 17, 2013 at 12:01 AM
    Permalink

    ටාර්සන් පොත් තරන් හොද කිසිම ෆිල්ම් එකක් මන් තාම දැකල නැ

  • March 11, 2013 at 9:03 AM
    Permalink

    නියමයි ස්තුතියි අයියේ ටාසන් නැවතත් කරළියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *