Crouching Tiger, Hidden Dragon දෙවැන්නෙහි වැඩ ඇරඹෙයි!

~මේ අඩවිය පටන් අරන් මුල්ම ලිපිය පළ කරලා මාස 03කුත් ගත වුණා. එදා සිට අද දවස වෙනකොට, අපි මෙහි ලිපි 200ක් පළ කර තිබෙන බව සතුටින් මතක් කරන ගමන් ඒ වෙනුවෙන් අපට හයියක් වූ හැමකෙනෙකුටම ස්තුතියි කියන එක මේ ලිපිය පටන් ගන්ඩ ඉස්සරවෙලා කියල හිටියොත් හොදයි කියලා හිතුණා! ලිපියට අදාල නැති වුණත් ඒක අපේ යුතුකමක් ලෙස සලකන නිසා නොසලකා හරින්නෙ කොහොමද? නේද? එහෙමනම් දැන් හැරෙමුකෝ ලිපිය දිහාට :)~

Oscar සම්මාන ගණනාවකට වග කිව්ව සටන් චිත්‍රපටයක් හැටියට අදටත් කාගෙත් ප්‍රසාදයත් ආකර්ශනයත් ලබන Crouching Tiger, Hidden Dragon (2000) චිත්‍රපටය ලෝකය පුරාම ඉමහත් ජනප්‍රසාදයක් අත් කරගත්තක්. තවමත් චිත්‍රපට ලෝලීන් අතර මේ චිත්‍රපටයට හිමි වෙන්නේ ඉහළ තැනක්. මේ හේතුව නිසාම Ang Lee-ගේ අධ්‍යක්ෂණයෙන්(නමින් කිව්වම මතක නැතිනම් අපි මෙහෙම කියන්නම් –‘Life of Pi (2012)’ චිත්‍රපටයේ  අධ්‍යක්ෂකවරයා- දැන් මතක නේද? :D) හැඩ වුණු මේ චිත්‍රපටය හා සබැඳිව නවතම චිත්‍රපටයක් නිර්මාණය කරන්නට Weinstein සමාගම තීරණය කරලා. කියැවෙන හැටියට නමකුත් තබලා හමාරයි. ඒ Iron Knight, Silver Vase යනුවෙන්. ඒ වුණත් ඉදිරියේදී මෙය වෙනස් වන්නටත් ඉඩ තිබෙන බවකුත් සඳහන්.

සඳහන් වන ආකාරයට මෙම අනුබැඳියෙහි රූගත කිරීම් කටයුතු මැයි මාසය තුළ ආසියාවෙහිදී සිදු කරන්නට නියමිතයි. නමුත් Ang Lee අධ්‍යක්ෂණයෙන් මේ සඳහා දායක නොවනු ඇති. ඔහු වෙනුවට ඒ තැන ගන්නට සූදානමින් Ronny Yu මේ වන විට TWC හා සාකච්ඡාවන්හි නිරත වන බවයි පැවසෙන්නේ. ඔහු; Jet Lee රඟපෑ ‘Fearless (2006)’ චිත්‍රපටයෙහි අධ්‍යක්ෂකවරයායි. ඒ විතරක් නොවෙයි, Freddy vs. Jason, Bride of Chucky සහ ක්‍රියාදාම සිනෙයක් වන Formula 51 යන චිත්‍රපටද අධ්‍යක්ෂණය කොට තිබෙනවා. මේ තුනම කිසියම් උන්මාදයක් ඇති කරන්නට සමත්කම් දැරූ බවකුයි වාර්තා වෙන්නේ…

සැබැවින්ම චිත්‍රපට ලෝලීන් නොදන්නා රහසක් මේ චිත්‍රපටය හා සම්බන්ධයි. ඒ එහි මුල් නිර්මාණය ගැන. Crouching Tiger, Hidden Dragon කියන්නෙ කාණ්ඩ 05කින් යුතු පොතක්. මෙහි රචකයා ලෙස සඳහන් වන්නේ 20 වෙනි සියවසේ මුල භාගයේ චීනයේ විසූ Wang Dulu නමැත්තෙක්. මෙහි ග්‍රන්ථ අනුපිළිවෙළින් සැලකුවහොත් Crouching Tiger කියන්නෙ සිවවැනි පොත බව තමයි දනගන්ඩ තියෙන්නේ. මෙම කතා මාලාවේ අවසානය සනි‍ටුහන් කරන පොත හෙවත් 05 වැන්න වන Iron Knight, Silver Vase ඇසුරින් තමයි මේ කිව් චිත්‍රපටය තැනෙන්නේ.

Young Guns, Hidalgo සහ ‘Forbidden Kingdom (2008)’ වැනි චිත්‍රපට තිරරචනා කළ John Fusco මෙහි තිරරචනය භාරව කටයුතු කරන බවකුයි සැලවෙන්නේ. පෙර කී ඔහු ලියන ලද චිත්‍රපට 03ම ක්‍රියාදාම, වික්‍රම සහ ප්‍රේමය මනාව සංකලනය කළ ඒවා නිසා මේ නව නිර්මාණයත් එම ගුණයන්ගෙන් පිරී පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. අනික් කාරණේ ඔහු Wu Xia නම් චීන කතාන්තර කීමේ කලාවේ(ඉබාගාතේ යන වීරයන් හා සම්බන්ධ…) දැඩි ලෝලියෙක්. එනිසා මෙය ඔහුට සිහින නිර්මාණයක් හා සමයි.

නළු-නිළි කැළ ගැනනම් තවම නිර්ණය කර නැති පාටයි. ඒ වුණත් අහන්ඩ තිබෙන හොඳම ආරංචියක් වෙන්නේ පසුගිය Crouching Tiger, Hidden Dragon’හි මෙන්ම The Matrix ත්‍රිත්වයේ ද සටන් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ Woo Ping Yuen මේ චිත්‍රපටයෙහිද ඒ තනතුර භාර ගෙන තිබීම.

මෙහි පෙර සිනමා පටය නිර්මාණය වීමෙන් පසුව ඒ සඳහා තමනට නිසි සැලකීමක් නොලැබුණු බව මෙම ග්‍රන්ථ කර්තෲවරයාගේ පවුලේ උදවිය සිතූ නිසා මෙම පොත් පෙළ වෙනුවෙන් වන චිත්‍රපට අයිතිය උදෙසා Sony සහ Weinstein සමාගම් අතර උග්‍ර තරගයක් පවා ඇතිව තිබෙනවා. තමන් මෙහි අයිතිය දිනාගත් බවක් TWC වෙත හැ‍ඟෙන නිසා ඔවුන් ළහි ළහියේ මීට සූදානම් වුණත් නීතිමය බාධාවක් පැනනගින්නට තිබෙන ඉඩකඩ තවමත් විවර හැටියක් පෙනෙන්නට තිබෙන වග සඳහන් වන බවකුත් කිව යුතුමයි. එහෙම වුණොත් නම් වැඩේ කොයි අතකට පෙරළේවිද දන්නෑ ඉතිං! 🙁

ඒ කොහොම නමුත් දැනට තිබෙන විස්තරවල හැටියට Crouching Tiger, Hidden Dragon පසුබැඳිය (බොහෝ විට Iron Knight, Silver Vase යන නාමයෙන් යුතුව) 2013 ගිම්හාන සමය වන විට එළි දකිනු ඇතැයි සඳහන් නමුත් නිකුතු දිනයක් තවමත් සඳහන් කර නැහැ.

උදා (217 Posts)