Wikileaks චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට Benedict Cumberbatch!

BBC නාලිකාවේ විකාශය වන Sherlock රූකතා මාලාවෙහි ප්‍රධාන චරිතය Sherlock Holmes-ට පණ පොවන නළුවා ටිකක් අමුතු නමක් තියෙන කෙනෙක් බව මතකයි නේද? Benedict Cumbebatch. එම කතා මාලාවෙන් ලද සුපිරි ජනප්‍රියත්වය හේතුවෙන් පසුගිය වසර ඔහුට වැඩ අධික වසරක් වුණා. මේ වසරේ තිරගත වීමට නියමිත Steve MacQueen-ගේ ‘Twelve Years a Slave’ සහ ‘The Hobbit: The Desolation of Smaug’, ‘Star Trek: Into Darkness’ කියන සිනමා නිර්මාණ ඔහුගේ රංගන දිවියේ තව එක් කඩඉමක් සනි‍ටුහන් කරනු ඇති බවත් සඳහන්.

ඔහු ඉන් ඔබ්බටත් ගෙන යමින් Oscar තෙක් කැඳවා ගෙන යන්නට සමත් තව චරිතයක් ඔහුට ලැබිලා. ඒ තමයි ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ Wikileaks වෙබ් අඩවියේ කතාව හා බැඳුණු සිනමා නිර්මාණය. Bill Condon (Twilight: Breaking Dawn) අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයට නම් තබා ඇත්තේ ‘The Fifth Estate(2013)’ යනුවෙනුයි. මේ සරත් සමය අගභාගයේදී ශාලාවන්ට පැමිණෙන්නට නියමිතයි. නිසැකවම Oscar සැලකිලි ලබන්නට වරම් ලබනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබෙන මෙය Benedict Cumberbatch ගේ නළු ජීවිතයේ දැවැන්ත පිම්මක් වනු ඇති.

සඳහන් වන ආකාරයට මෙම චිත්‍රපටය තිරගතවීම නොවැම්බර් 15 දා ඇරඹෙන්නට නියමිතයි. චිත්‍රපටයේ තිරකතාව සකසා ඇත්තේ Fringe තිරරචක Josh Singer-ගේ අතින්. ඒ සඳහා ඔහු පොත් දෙකක් පදනම් කරගෙන තිබෙනවා. ඒ තමයි ‘Inside Wikileaks: My Time with Julian Assange at World’s Most Dangerous Website කියන Daniel Domscheit-Berg ලියූ කෘතිය’ සහ Wikileaks: Inside Julian Assange’s War on Secrecy කියන Luke Harding ලියූ කෘතිය’

මෙහිදී Cumberbatch මහත් ආන්දෝනලනයක් ඇති කළ චරිතය වන Julian Assange ලෙස එකතු වෙනවා. ඔබට මතකනම් ඇමරිකා එක්සත් ජනපදයේ කුප්‍රකට, අප්‍රකට, දීන, නිහීන යුද රහස් හෙළි දරව් කරමින් ඒවායේ සත්‍යතාව ද සනාථ කරමින් මනුෂ්‍යත්වය වෙනුවෙන් මිනිසෙකු ලෙස සිය යුතුකම ඉ‍ටු කිරීමේ හේතුවෙන් රාජද්‍රෝහී චෝදනා ලැබ අත්-අඩංගුවට පත් වූ මිනිසා ඔහුයි. Wikileaks නම් විබපළ හරහා ඇමරිකානු හමුදාවේ සැබෑ මුහුණ ඔහු ලොවට හෙළි කළ නිසා එක්සත් ජනපදය දෙබරයකට ගලක් ගැහුවා වගේ ඇවිස්සිලා ඇවිළුණා. මේ චිත්‍රපටයේ දැක්වෙන්නේ ඔහු එම තොරතුරු හෙළිදරව් කරගෙන ලොවට කියන්නට ගත් අප්‍රමාණ වෙහෙස ගැනයි. විබපළ නිර්මාණයේ සිට මෙම අසික්කිත රහස් හෙළිකිරීම දක්වා ඔහු කැප කළ මහන්සිය, ඔහුගේ අරමුණ, සියගණන් රජයේ ලිපිගොනු ප්‍රසිද්ධ කිරීමට කෑ කට්ට වගේ දේවල් මෙහි අඩංගු වෙනු ඇතැයි කීවත්; කොතෙක් දුරට ඔහුගේ කටයුතු හෙළි දරව් කෙරෙනු ඇද්දැයි යන්න කිසිවෙක් දන්නේ නෑ. හේතුව ඔහු; නීතියේ ආරක්ෂකයා හා භාරකාරයා වන රජයම නීතිය සියතට ගෙන, නීතියට සැඟවී හිද කරන අකටයුතුකම්වලට එරෙහිව කැරලි ගැසූ මේ යුගයේ සමාජ-පෙරළිකාරයෙක් වන නිසා, ඒ තතු හෙළි කිරීම සඳහා කෙබඳු ආකාරයේ ඉඩ කඩක් ලබා දී ඇති ද යන වග තවම නොදන්නා නිසා.

(සැබෑ Julian Assange)

Cumberbatch ඇරුණුකොට David Bruhl (Inglorious Basterds) චරිත නිරූපණයෙන් Daniel Domscheit-Berg විදිහටත් දායක වෙන්නට නියමිතයි. ඊට අමතරව; David hewlis (RED 2), Laura Linney (The C Bag), Carice Van Houten (Game of Thrones), Dan Stevens (Downton Abbey) යන පිරිස සෙසු රංගනයෙන් එකතු වෙනවා.

Julian Assange කියන පෞරුෂය ප්‍රතිනිරූපණය කිරීම Cumberbatch-ටත් අභියෝගයක්. නමුත් එවන් අසාමාන්‍ය චරිත නිරූපණයෙහි නිපුණයෙකු වන ඔහුට මේ සඳහා සාධාරණය ඉ‍ටු කළ හැකි වනු ඇති බවයි කියැවෙන්නේ. මින් පෙර විබපළක නිර්මාතෘවරයෙකුගේ කතාවක් තිරයට නැගුණේ ‘The Social Network (2010)’ චිත්‍රපටය හරහායි. එම හේතුව නිසාම දැනටමත් මේ චිත්‍රපටය ඒ හා සමග සන්සන්දනය කිරීමටත් පෙළඹී ඇති බවක් සඳහන්. Bill Condon වගේ වෙනත් ආරකට හුරු අධ්‍යක්ෂකවරයෙකුට David Fincher ඇති කළ ප්‍රතිඵලය ගෙන දිය හැකිවේද යන්නත් ප්‍රශ්න කෙරෙනවා දැන් දැන්. අනික් කාරණේ ප්‍රධාන තිරරචක Josh Singer මෙතෙක් ලියා ඇත්තේ රූපවාහිනී තිරපිටපත් පමණයි. ඒ අනුව මේ කතාවේ වැදගත්ම හරය පැය කිහිපයකට ලුහු කරන්නට ඔහුට හැකිවේදැයි කියා නැගෙන ප්‍රශ්නයකුත් පැන නගිනවා. ඒ ගැනනම් සැකයක් තබා ගැනීමට අවශ්‍ය නැත්තේ “Fringe, The West Wing, Lie to Me” වැනි අත්දැකීම් වලින් සමන්විත ඔහුගේ හැකියාව අතිවිශිෂ්ට නිසා බව තව පිරිසක් කියනවා.

අවසාන වශයෙන් අනර්ග නළු-සෙසු පිරිසකගෙන් සමන්විතව කෙරෙන මේ නිර්මාණ කටයුත්ත 2013 නිකුත් වන ඉතාමත් ආකර්ශනීයතම සලරුවක් වනු ඇති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. ඇරත් මේ හරහා එළි දකින්නේ ඉතාම මෑත ඉතිහාසයේ වූ සිදුවීම් පෙළක් ආශ්‍රිත කතාවක්. මම නම් හරිම ආශාවෙන් ඉන්නේ මේක නරඹන දවස එනකම්. මම විතරක් නෙමෙයි බයිස්කෝප් අපි සේරම එහෙමයි. ඒ ගැන සැකක් නෑ. එහෙමනම් මෑත යුගයේ ලොවට බිහි වුණ වෙනස් විදිහක “රොබින්හුඩ්” කෙනෙකුගේ ජීවිතේ ගැන දැනගන්ඩ 2013 නොවැම්බර් 15 එළඹෙනකම් ඉවසමු.

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *