මේ යුගයේ Zorro අයුක්තියට එරෙහිව USA නාලිකාවට.

පැරණි යුගයේ බිහිවුණු වීර චරිත පාදක කරගෙන කෙරුණු චිත්‍රපට, ටෙලි-කතා, සැකිලි රූ නිර්මාණය මහ තොගයක් තියෙනවා වුණාට තවමත් මේ චරිත කෙරෙහි ඇති ආකර්ශනයවත්, සැලකිල්ලවත් බිඳකින් තරම් අඩු වෙලා නෑ. දැන් දැන් තිබෙන අලුත්ම ප්‍රවණතාව තමයි පැරණි යුගයන්හි සිට යම් කිසි ලෙසකින් පුරාවෘත්ත ලෙස පැවත ආ හෝ කිසිවෙකුගේ මනසින් පහළ වූ මේ චරිත නවීන ලෝකයට කැන්දාගෙන එන එක.

මේ විදිහට අතීත යුගයෙන් මිදිලා නූතන ලෝකයට සමීප වෙන්ඩ බලා ඉන්න අලුත්ම වීරයා තමයි සෝරෝ. ඔබටත් මතක ඇති Z ලකුණ තමන්ගේ මැදිහත්වීම හඟවන්නට සටහන් කර යන අයුක්තිය අසාධාරණයට එරෙහි ජනතා වීරයව. මමත් කුඩා කාලෙ හරිම ආශාවෙන් බැලුව කාටූන් කතාවක්. අපේ බිමේ අපේ කමේ සලකුණු නොවුණත් අපිත් මේ වීරයන්ගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කළා.

මෙහෙම එනවා කිව්වට ඉස්සර හිටපු සෝරෝට වගේ මේ අලුතින් එන සෝරෝට කඩු හරඹ කරන්ඩ, ලෝගුවක් අඳින්ඩ, තොප්පියක් දාන්ඩ, අශ්වයෝ පදින්ඩ ඉඩක් ලැබෙන එකක් නැති පාටයි. හේතුව ඒ ඇඳුම්-පැළඳුම් අවි-ආයුධ එක්තරා යුගයක් සලකුණු කරන ඒවා වීම නිසා, මේ යුගයට නොපෑහීම. ඒ වෙනුවට මේ යුගයේ සෝරෝට මේ යුගයට ගැළපෙන දේවල් පාවිච්චි කරන්ඩ වෙයි කියන මතයේ මේ නිර්මාණකරුවන් ඉන්නවා. ඒ අනුව අලුත් සෝරෝගේ ආයිත්තම් ඔක්කොම වෙනස් වෙයි කියල තමා කියන්නේ. ඒ විතරක්යෑ සෝරෝ තමන්ගෙ සලකුණු තියල ගිය විදිහත් වෙනස් කරන්ඩ වෙලා තියෙනවා. ඉස්සර කාලෙ කිසියම් ලී මතුපිටක් මත කඩු තුඩින් Z ගහල ගියාට දැන් මේ යුගයේ නිව්යෝක් නගරෙ එහෙම දෙයක් කරන්ඩ ගියොත් වීරයෙක් කෙසේවෙතත් නීති නොසලකන මැරයෙක් කියල සලකන්ඩ පුළුවන් හින්දා, ඒ වෙනුවට අලුත් සෝරෝ සලකුණ තියන්ඩ වෙන ක්‍රමයක් යොදා ගනී කියන එකයි කාගෙත් අදහස. බාගවිට ඒ තීන්ත ඉස්නාවක් වෙන්ඩ පුළුවන්.

මේ යුගයේ සෝරෝ ගැන කියනවනම් තමන්ගෙ බාල සොයුරියවත් බලාකියාගෙන ඉන්න අනාථය යෞවනයෙක් විදිහටයි සඳහන් වෙන්නේ. මේ යුගයේ සිද්ධ වෙන අපරාධ සහ අයුක්තීන්ට එරෙහිව සටන් කරන නගරය සුරකින සෝරෝ, කොයි වගේ වේද කියන එකනම් බලාගන්ඩ තවම කල් වැඩියි. USA නාලිකාව මේ නිෂ්පාදනය ලබන වසරේදී සිදු කරන්නට අදහස් කරගෙන හිඳීමයි ඊට හේතුව. 1919 දී ඉස්සෙල්ලාම පෙනී හිටපු සෝරෝ මේ වෙද්දි නිර්මාණ ගණනාවක විවිධාකාරයේ ස්වරූප දරමින් අප හමුවට ඇවිත් තිබෙනවා. ඒ වුණාට මේ වෙද්දි හැදෙන සෝරෝ චරිතය අඩංගු එකම නිර්මාණයත් මෙය පමණක් නොවෙයි. Sonyලා වරක් Antonio Banderas’ව සෝරෝට අන්දපු ඔවුන්ගේ චිත්‍රපට නිර්මාණ අයිතිය ඉදිරියට ගෙනියන්ඩ බලාගෙන ඉන්නවා. ඒ එක්කම Gael Garcia Bernal රඟන ‘Zorro Reborn’ කියන නමින් යුතුව කෙරෙන නිර්මාණයක් ගැනත් ආරංචි තියෙනවා.

කොහොම වුණත් මේ චරිතය සතු දීර්ඝායුෂ සම්පත්තිය වගේම; යුක්තිගරුක ගුණය හේතුවෙන් USA නාලිකාව ‘Z’ යැයි නම් කර තිබෙන ඔවුනගේ නිර්මාණය කරළියට ගෙනෙනු ඇතෙයි කියල අපට අපේක්ෂා කරන්ඩ පුළුවනි. ඒ ආවහම බලමුකො මේ සෝරෝ කොයි වගේද කියල…

උදා (217 Posts)


3 thoughts on “මේ යුගයේ Zorro අයුක්තියට එරෙහිව USA නාලිකාවට.

  • December 29, 2012 at 11:18 AM
    Permalink

    නියම කතාවක් ස්තුතියි

  • December 29, 2012 at 10:30 AM
    Permalink

    එල

  • December 29, 2012 at 10:15 AM
    Permalink

    පට්ට එකක් නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *