RED II ලබන වසරේදී…!

ලබන වසර කිව්වට දැන්නම් එහෙම කියන්ඩ බෑත් වගේ නිකං. කමක් නෑ තව දවස් හතරක් තියෙනවනේ. ඒ හින්දා එහෙමම කියන්නම්. RED කියන්නේ “Retired, Extremely Dangerous” කියන එකයි. ඔබට මතකනම් මෙහි පළමු වැන්නේ විශ්‍රාමික CIA රහස් නියෝජිතයින් කරපු හරිය; මේක ගැනත් සැකයක් තියාගන්ඩ ඕනි නෑ ඔන්න.

මේ පළමු චිත්‍රපටය වූ ‘RED (2010)’ සිනමා සිත්තම DC Comics-ලගේ අනුගාමී සමාගමක් වන Homage Entertainment විසින් තමයි නිර්මාණය කරල තියෙන්නේ. දෙවැන්නෙහිත් නිෂ්පාදන කටයුතු මේ දිනවල හමාර කරමින් යනවා ඔවුන්. මේ කතාව චිත්‍ර-කතා පොත් තුනකින් යුතුව Homage Comics විසින්ම පළ කෙරුණු නිර්මාණයක සිනමා සම්ප්‍රාප්තියක්. මේක ලියල තියෙන්නේ Warren Ellis, Cully Hamner කියන රචකයින් දෙන්නා.

මේ චිත්‍රපටය නිකුත් කරද්දි, මේක ගැන වැඩි බලාපොරොත්තුවක් තිබ්බෙ නැතිලු හොඳට දුවයි කියලා. නමුත් හිතුවෙවත් නැති විදිහට මේක නැගලම ගියා. ඩොලර් මිලියන 58ක වැය වෙනුවෙන්, මෙයා අරං දීපු ගාණ ඩොලර් මිලියන 190ක් තරම් වුණා. ඉතිං මේ වගේ හොඳට දුවන චිත්‍රපටියක් හැදුණොත්, ඒවා මාලා චිත්‍රපටි බවට පත් කරන්ඩ HollyWoodයේ තිබෙන නැඹුරුව ගැන අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ. ඒ නිසා තමා මේකත් එහෙම හදන්ඩ තීරණය කෙරිලා තියෙන්නේ.

මේ අලුත් චිත්‍රපටයේ නිෂ්පාදන ඡායාරූපයක් නිකුත් කරලා මේ වෙනකොට. මේ අපි පහතින් පළ කරල තියෙන්නේ එම ඡායාරූපය තමයි. පළමු චිත්‍රපටයේ තිබුණා වගේම හාස්‍යජනක ඇඳුම් මෝස්තර යොදාගැනීම කෙරෙහි මේකෙදිත් උනන්දු වෙලා තියෙනවා. වයසට නොගැළපෙන, කොලු කුරුට්ටන්ගෙ ඇඳුම් පැළඳුම් එක්ක ගැටවර තාලේ මෝස්තර කරන වයසක ගොයියො ටික මේ පාර මොන මොනව කරනවද කියන එක දැනගන්ඩ තව හුඟාක් කලක් බලාගෙන ඉන්ඩනම් වෙන එකක් නෑ. හැබැයි මාස කිහිපයක ඉවසීමක්නම් තියෙන්ඩ වෙනවමයි.

ගිය පාර හිටිය අයගෙන් Brian Cox, Morgan Freeman, Karl Urban කියන අය මෙවර එක් වෙන්නෙ නෑ. ඒ වෙනුවට Anthony Hopkins, Catherine Zeta-Jones, David Thewlis, Byunghun Lee කියන පිරිස අලුතින් එකතු වෙනවා. Bruce Willis, Mary-Louise Paker, John Malkovich, Hellen Miren යන අය මේ දෙක අතර ගැළපුම ඇති කරනවා.

පළමුවැනි එක වගේම මෙහි පදනම් නිර්මාණයේ තිබෙන උග්‍ර සටන්කාරී ගතිය වෙනුවට හාස්‍යය කැටි කරමින් ක්‍රියාදාම මතු කරන්නට මෙහිදීත් වැඩි උත්සහයක් දරන බවයි ආරංචිය. මොකද මුල් එක ජනප්‍රිය වෙන්ඩ හේතු වුණේ ක්‍රියාදාමම නෙමේ. වයසට නොගැළපෙන ඇඳුම්, විකාරරූපී හැසිරීම් රටාවන්, පළපුරුද්දෙන් සපිරි සුළුකොට තැකීම් වගේ දේවල් ඒ වෙනුවෙන් අරිට වඩා දායකත්වයක් සැපයුවා. ඒ නිසා පොතේ තියෙන්නෙ මොනව වුණත් චිත්‍රපටියට එනකොට මේ දේවල් දිගටම තියාගන්ඩ මේ අය හිතන එක මහ අරුමයක් නෙමෙයි.

හ්ම්ම්… එහෙමනම් දෙවැනි වතාවටත් විශ්‍රාම සුවය පැත්තක තියලා, ටිකක් වැඩ කිඩ පෙන්නන්ඩ මේ විශ්‍රාමික CIA කට්ටියට සිද්ධ වුණේ තමන්ගෙ පරණ රහස් නියෝජිතයන්ව වනසල දාන්ඩ කරන CIA උත්සාහය දිගටම කෙරෙන නිසාද? නැතිනම් වෙනත් කාරණාවක් නිසාද? ඒක කියන්ඩනම් තවම කල් වැඩියි. ඒ වුණාට විශ්‍රාම සුවයෙන් ඉන්ඩ බැරි වෙන තැනට වැඩ සිද්ධ වෙනකොට පරණ සගයො ආපහු එක්කහු වෙලා සටන් කරන්ඩ පෙළ ගැහෙන එක මේ පාරත් සිද්ධ වෙන බව සහතිකයි. ඒ අය මේ වැඩේට සිනමාහල් කරා පිවිසෙන්න සූදානම් වෙලා ඉන්නේ 2013, අගෝස්තු 03 වැනිදා බවයි ආරංචිය.

උදා (217 Posts)


2 thoughts on “RED II ලබන වසරේදී…!

  • December 28, 2012 at 12:55 PM
    Permalink

    patta ah…RED 1 nam maru…..mekath elaz wei

  • December 28, 2012 at 12:48 PM
    Permalink

    එල වගේ 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *