Tintin 2 චිත්‍රපටියේ කතාව මොකද්ද දන්නවද?

දන්නවද දන්නෙ නෑ Georges Remi‘ව? දන්නෙ නෑ… වෙන්ඩ බෑ… එහෙනම් Herge. අහ්! එයානම් දන්නව නේ…? ඒ තමා මේ ලෝකෙට ටින් ටින්’ව උපද්දපු කෙනා. එයාගෙ සැබෑ නම තමයි ඉස්සෙල්ල කිව්වේ. ‘The Adventures of Tintin: The Secret of the Unicorn  (2011)’ චිත්‍රපටය හැදුවේ Motion-Capture එහෙමත් නැතිනම් චලන-ග්‍රාහක තාක්ෂණයෙන්. Adventures of Tintin චිත්‍රකතා පෙළෙහි ප්‍රබලතම/ ජනප්‍රියතම කතාවන්ගෙන් එකක් එහි අඩංගු වුණානෙ. එය Oscar නිර්දේශ ලැබුවා විතරක් නොවෙයි ලෝකය පුරා ඩොලර් මිලියන 374ක් උපයන්නටත් සමත් වුණා.

Herge මේ චරිතය නිර්මාණය කරනකොට එතුමාවත් හිතන්ඩ නෑ Tintin මේ තරම් දුරක් යයි කියල. හරි හරි, එතුමාගේ ලෝක ප්‍රසිද්ධ ජනකාන්ත චරිතය ටින් ටින්ගේ සිනමාගමනයේ දෙවන පියවර ගැන විස්තර ටිකක් දැනගෙන ඉමුකො එහෙනම්. කලින් එකේ අධ්‍යක්ෂණය Steven Spielberg කරනකොට නිෂ්පාදනය Peter Jackson තමයි සිද්ධ කළේ. මේ පාර දෙන්න තමුන්ගෙ වැඩ මාරු කරගෙනලුනෙ. මේ පාර හැදෙන එක අධ්‍යක්ෂණය Peter Jackson භාර අරගෙන. කලින් කියල තිබුණෙනම් මේ අවුරුද්දේ අවසානයට ඉස්සර ඔහු මේ චලන-ග්‍රාහක රූගතකිරීම් වැඩ කටයුතු අවසන් කරන බවක්. නමුත් ‘The Hobbit – An Unexpected Journey (2012)’ චිත්‍රපටයේ වැඩ නිසා ඒක කල් දමන්ඩ සිද්ධ වෙලා. හේතුව The Hobbit ත්‍රිත්ව චිත්‍රපටයක් කිරීමේ අදහස පහළ වීමලුනෙ.

The Hobbit එක්ක රටවටේ යනකොට ඔහුගෙන් Tintin දෙවැන්න ගැනත් අහලා. උත්තරේ මෙන්න මෙහෙමයි;

“ඇන්තනි හොරොවිට්ස් තිරපිටපත ලියනවා, මම ඉදිරි සතිවලදී ඔහු හා එකතු වෙනවා. ඊට පස්සෙ මීළඟ අවුරුද්දේ ඒ වෙනුවෙන් කාලය හොයාගන්ඩ පුළුවන් වෙයි. Hobbit එකේ දෙවෙනි චිත්‍රපටයේ පසුනිෂ්පාදන කටයුතු අතරේ Tintin 2 එකේ චලන-ග්‍රාහක රූගත කිරීම් නිම කරන්ඩ හැකි වෙයි කියල මම හිතනවා.”

මේ චලන-ග්‍රාහක රූගත කිරීම්වලට මාසයක කාලයක් ගත වෙයි කියල කියනවා. ඒ එක්කම චිත්‍රපටය තිරය මතට ගෙනෙන්ඩ ඉන් පසුව කරන්ඩ තියෙන වැඩ ටිකට(පසුනිෂ්පාදන කටයුතු) අවුරුදු දෙකක් යන බවයි ආරංචිය. ඒ අනුව 2015දී තමයි මේක අපට බලන්ඩ ලැබෙන්නේ. ඒ කියන්නෙ පළමු එක ඇවිදිං අවුරුදු හතරකටම පස්සෙ තමයි මේක එන්නෙ. මේ නිර්මාණකරුවන්ගේ බලාපොරොත්තුව Tintin ත්‍රිත්ව චිත්‍රපටයක් ලෙස නිමා කිරීම. ඒ සඳහා මේ චිත්‍රකතා පෙළේ ප්‍රබලතම සහ ප්‍රධානතම කතා තුනක් ඇසුරින් සිනමා නිර්මාණ සිදු කරන්නටයි අදහස් කරගෙන ඉන්නවා කියන්නේ.

Jackson හිතාගෙන ඉන්නේ The Hobbit 3’හි රූගත කිරීම් සහ 2’හි අඩුලුහුඬු සැකසීම් කටයුතු අතරතුරේ ලැබෙන මාස 18ක කාලයේදී මේ වැඩෙත් අහවරක් කරගන්ඩයි. දෙවැන්නෙහි එන කතාව මොකද්ද කියලත් බලන්ඩ එපෑ. කලින් අවධානයට ලක් වෙලා තිබුණ; යෝජනාවෙලා තිබුණ ‘Prisoners of the Sun’ කතාව මේ දෙවැනි චිත්‍රපටයට නොගන්ඩයි තීරණය වෙලා තියෙන්නෙ. ඒ වෙනුවට ‘The Calculus Affair’ කතාව ගන්ඩලු කට්ටියගෙ වැඩි කැමැත්ත. ඒක මේ  කතා පෙළේ තිබෙන වඩාත්ම රහස් පරීක්ෂක ගතිගුණ රැගත් කතාව බවට ලැබී ඇති ඇගයීම් ගැන සැලකුවහම මේ තීරණේට ආවෙ ඇයි කියන එකත් තේරුම් ගන්ඩ ඒ හැටි අමාරු නෑ… 😉

කතාවෙ තියෙන්නේ කැල්ක්‍යූලස් මහාචාර්තුමා අලුත් විද්‍යාත්මක උපකරණයක් හදන්ඩ පර්යේෂණ කරද්දී, ඒක භයානක ආයුධයක් ලෙස යොදාගත හැක්කක් බව සලකාගෙන ඔහුව පැහැර ගැනීමකට ලක් වීමෙන් පස්සෙ, තම මිතුරා හොයාගෙන යන ටින් ටින් සහ කැප්ටන් හැඩොක් හෝඩුවා පසුපස පන්නගෙන යන හැටි. මේක විද්‍යාව පැත්තට බර නිසා Spielberg වැඩේ ලස්සනට කරයි කියලලු ගොඩ දෙනෙක් කියන්නෙනම්. කොහොමවුණත් Jackson තමන්ගෙ හුරුපුරුදු සහ පහසු කලාපය වන මායාවී වික්‍රමයන්ගෙන් බැහැරව ගිහිං මේක කරන හැටි බලන්ඩත් බොහෝ දෙනෙක් මග බලාගෙන ඉන්න බවයි කියවෙන්නේ…

උදා (217 Posts)


2 thoughts on “Tintin 2 චිත්‍රපටියේ කතාව මොකද්ද දන්නවද?

  • December 28, 2012 at 12:54 PM
    Permalink

    ඉක්මනට ආවොත් හොදා පළමු එක නම් පට්ට මේකත් අනිවා සුපිරියටම හදාවි

  • December 28, 2012 at 12:48 PM
    Permalink

    පට්ට පට්ට මේක නම් මම ආසම එකක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *